Colombo Telegraph

දුෂ්කර සංක‍්‍රාන්තිය: ඇතැමුන් ඊට එදිරි වන්නේ ඇයි?

සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

සත්තු නිදහසේ සැරිසැරීමට කැමැත්තෝය. සෙස්සන් ඊට බාධා කරනවාට උන් කැමති නැත. එසේම දරුවෝ ද නිදහස භුක්ති විඳීමට කැමැත්තෝය. සෙස්සන් තමන්ව පාලනය කරනවාට ඔවුන් කැමති නැත.

නූතන සමාජයන්හි ජීවත් වන අප, සතුන්ට පවා නිදහසේ සැරිසරන්ට ඉඩ දෙන්නේ නැත. අපේ ප‍්‍රයෝජනය සඳහා අප කරන්නේ උන්ව හීලෑ කර ගැනීමයි.

ළමුන් සම්බන්ධයෙන් ගත් විට, ප‍්‍රාථමික මට්ටමෙන් මෙන්ම ද්විතීයික මට්ටමෙන් ද ඔවුන්ව සමාජගත කිරීමට අපි වෙහෙසෙමු. ඔවුන්ගේ ශාරීරික සහ බුද්ධිමය සංවර්ධනයට හේතුවන ආකාරයෙන් කටයුතු කරන අතරේම, සමාජයටත් සංස්කෘතියටත් ඔවුන්ව ගැඩගැස්වීමට අපි වෙහෙසෙමු. මේ සමාජකරණයට විරෝධය දක්වන ඇතැම් ළමෝ බාලාපචාරකරුවෝ වෙත්. ඇතැමෙක් වැඩිවිය පත්වෙද්දී අපරාධකරුවන් බවට ද පත්වෙත්. එහෙත්, සාමාන්‍යයෙන් ළමෝ සහ තරුණයෝ, තම චර්යාවන් පාලනය කෙරෙන විවිධ සීමාවන්ට යටත් වීමේ අවශ්‍යතාවත්, සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික ජීවිතය නියාමනය කෙරෙන ආයතන පද්ධතියට හැඩගැසීමේ අවශ්‍යතාවත් ඉක්මණින් වටහා ගනිති.

නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයන් තුළ ස්ථාපිත ක‍්‍රියාකාරී ජීවන රටා, සමාජයේ වැඩි දෙනෙකුගේ සුභසිද්ධිය තකා යුක්තියුක්ත කෙරේ. සාමකාමී සහජීවනය, මිනිස් අවශ්‍යතා සන්තර්පනය, සමාජ සාධාරණත්වය, සමාජ සහ ආර්ථික සංවර්ධනය සහ දුර්වලයන් ආරක්ෂා කිරීම ආදිය එවැනි ක‍්‍රියාකාරීත්වයන්ට අයත් ය.

එසේ හෙයින්, අද බෙහෙවින් කතා කෙරෙන යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය, හුදෙක් වියුක්ත සංකල්ප නොවන අතර, ඒවා සමාජයේ පුරවැසියන් අතිබහුතරයකගේ සන්තෘප්තියට හේතුවන පරිදි මහජන කටයුතු කළමනාකරණය පහසු කරවනු වස් යොදා ගැනෙන ක‍්‍රියාකාරකම් සමුදායක නියෝජනයක් වශයෙන් ගත යුතුය. එහෙත් එසේ පොදුවේ පිළිගත් නියාමනයන් කෙරෙහි වැඩි තැකීමක් නැති අය ද සිටිත්. පසුගිය ජනාධිපතිවරණ සමයේ පැහැදිළිව දක්නට ලැබුණේ එම යථාර්ථයයි.

ජනවාරි 9 වැනි දා ඇති වු පාලන තන්ත‍්‍රයේ වෙනස විසින් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය පමණක් නොව, විවිධ ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික කාරණාවන්ට අදාළව සමාජය සංවිධානය වී ඇති ස්වභාවයත් වෙනසකට ලක්කෙරෙන සැබෑ අවකාශයක් විවර කෙරුණි. එසේ වතුදු, රටේ වෙසෙන වැඩිහිටි ජනගහනයෙන් විශාල කොටසක්, විවිධ හේතූන් මත, ඡන්දය පාවිච්චි කෙළේ එවැනි වෙනසකට එරෙහිවයි.

මේ දේශපාලනික විභේදනය වනාහී, භින්න මතිමතාන්තර සහ සමාජයේ පවතින තරගකාරී අවශ්‍යතාවන්හි ප‍්‍රතිඵලයකි. බොහෝ කාලයක් තිස්සේ, විශේෂයෙන් අවසාන වසර දහය තිස්සේ, එවැනි අදහස් උදහස් සහ තරගකාරී අවශ්‍යතා ප‍්‍රවර්ධනය කෙරී තිබුණි. එක පැත්තකින්, ශ‍්‍රී ලංකා රාජ්‍යය ඇතුළතින් මෙන්ම පිටතින් ද තර්ජනයකට ලක්ව ඇතැ යි යන අදහස, බහුතර ප‍්‍රජාවේ විශාල පිරිසක් කෙරෙහි බලපෑම් ඇති කරන දෘෂ්ටිවාදයක් බවට පත්කර තිබුණි. අනිත් අතට, විවිධ භෞතික වරදානවලට හිලව්වක් වශයෙන් අන්ධ අනුකූලතාව සහ දේශපාලනික පක්ෂපාතීත්වය ඔජ වඩවන සේ සමස්ත රාජ්‍ය යන්ත‍්‍රය සකස් වීම, ප‍්‍රජාතන්තීය ආණ්ඩුකරණය සහ නීතියේ ආධිපත්‍යය විකාරයක් බවට පත්කෙළේය.

ජනාධිපතිවරණයට කලින් රටේ පැවති මේ තත්වය නිසා, සම්මත මැතිවරණ ක‍්‍රියාවලිය හරහා මහින්ද රාජපක්ෂව පරාජය කළ නොහැකැයි බොහෝ දෙනාට සිතුණි. ඇත්ත වශයෙන්ම, පෙර නොවූ විරූ එක්සත් භාවයක් විපක්ෂ බලවේග අතර ඇති නොවිණි නම් තවමත් අප වෙසෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනයක් යටතේ ය.

කවුරුත් දන්නා පරිදි, එම පාලනය පෙරලා දැමීම සඳහා පෙරමුණ ගත් සමාජ සහ දේශපාලනික බලවේග නව රජයක් සඳහා වන පුළුල් තේමාවන් අරභයා එකඟව සිටියත්, මතිමතාන්තර සහ අවශ්‍යතා අතින් ඔවුහූ විවිධාකාර වූහ. අද අප ඉදිරියේ තිබෙන ආණ්ඩුව එවැනි පුළුල් සන්ධානයක් නියෝජනය කරන එකතුවකි.

එසේ හෙයින් විවිධ විෂයයන් අළලා එක සේ එකඟ වීමට හෝ කටයුතු කිරීමට ඒ විවිධාකාර බලවේගවලට හැකියාවක් නැති වීම ස්වභාවික ය. මේ නිසා අද අපට තිබෙන්නේ, එක්සත් න්‍යාය පත‍්‍රයක් වටා ගොඩනැගුණු ශක්තිමත් දේශපාලන සන්ධානයකට වඩා, අසමාන පාර්ශ්වකරුවන්ගේ එකතුවකි. ආණ්ඩුකරණයේ පුළුල් තේමාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එකඟ විය හැකි වෙතත්, විශේෂිත වූ ප‍්‍රතිපත්තිමය සහ කාර්ය සාධනයන් සම්බන්ධයෙන් ඔවුන් අතර වෙනස්කම් මතු වීමට පුලූවන. ලබන අපේ‍්‍රල් මාසයෙන් පසුව එළැඹෙන මැතිවරණයෙන් අනතුරුව මේ තත්වය වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, මේ මොහොතේ වැදගත් කාරණය වන්නේ, ඇති කරගත් දේශපාලනික පිම්ම නිරපරාදේ නාස්ති නොකොට රැුක ගැනීමයි.

ඒ අත්කර ගත් වෙනස මත ගොඩනැගෙමින්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, සැබවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූත්, පාරදෘෂ්‍ය වූත්, වගවීම් සහිත වූත් ආණ්ඩුවක් සඳහා අවශ්‍ය කරන වඩාත් තිරසාර පදනමක් දමා ගැනීම සිහි කල්පනාවෙන් යුත් සෑම පුරවැසියෙකුගේමත්, සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයකමත් මූලික වගකීම වන්නේය.

අද අප ඉදිරියේ ඇති තත්වය, දේශපාලන වෙනසක් සඳහා හඬ නැගූ බොහෝ දෙනාගේ අභිලාෂයට මුළුමණින් සමපාත නොවෙනවා විය හැකිය. එසේ වන්නේ, නව පාලකයන් වෙන ලෝකයකින් මිහිබට පිරිසක් නොවන නිසාත්, බොහෝ කාලයක් තිස්සේ ලංකාවේ දේශපාලනයේ නියැළුණු පිරිසක් වන නිසාත් ය. එසේම, ඔවුන්ට බලයට ඒමට සහාය පෑ ඇතැම් දෙනා ද එසේ වන හෙයිනි.

ඔවුන්ගෙන් ඇතැමෙකු, පැරණි සහ සුපුරුදු සෙල්ලම කෙරෙහි ආශක්ත වන බවට සංඥා පෙනෙන්ට තිබේ. එය, සාමාන්‍ය මිනිස් දුර්වලතාවන්හි ප‍්‍රතිඵලයකි. ඒවා වැළැක්විය හැක්කේ, පැහැදිළි නීති සහ රෙගුලාසි මගින් පමණි. එසේ හෙයින් පුද්ගලයන්ගේ අභිමතානුසාරී බලය පාවිච්චි කිරීමේ හැකියාව අවමයක තබා ගැනීම සඳහා අවශ්‍ය කරන නීතිරීති හඳුන්වා දීම ආණ්ඩුවේ කාර්ය භාරයයයි. ඇතැම් රාජ්‍ය ආයතනවලට කර තිබෙන අළුත් පත්වීම් දෙස බලන විට, එම ආයතන නැවත වරක් දේශපාලනීකරණය කිරීමේ ප‍්‍රයත්නයන් දියත් වන බවට තර්ක කිරීමේ හැකියාව කෙනෙකුට තිබේ. එහෙත්, ප‍්‍රශ්නය වන්නේ එවැනි දේශපාලනික පත්වීම් වැළැක්වීම සඳහා අවශ්‍ය කරන රෙගුලාසි තවමත් ඇති කරගෙන නොමැති බව ය.

එවැනි රෙගුලාසි නැති තත්වයක් තුළ සිදුවන්නේ, බලයට පත්වන්නන් විවිධ පීඩනයන්ට යට වීමයි. පොදුවේ ගත් විට අළුත් ආණ්ඩුව යහපාලනය, නීතියේ ආධිපත්‍යය, සාමය සහ සමාජ සාධාරණත්වය වැනි උත්තුංග සංකල්ප කෙරෙහි සංවේදී වන තාක් කල්, ඉහත කී පීලි පැනීම් ඉවසා සිටීමට කෙනෙකු කැමති විය හැකිය. එහෙත් වඩාත් ලිබරල් මතවාදී සහ සමාජ සවිඥානයෙන් යුත් දේශපාලනික ක‍්‍රියාධරයන් ඉහත කී තත්වය ඉවසා සිටීමට කැමති නැත.

එසේ වෙතත්, පසුගිය මැතිවරණ ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කෙරුණේ ජනගහනයෙන් විශාල පිරිසක් එකී ලිබරල් සහ සමාජවාදී සාරධර්ම කෙරෙහි සංවේදී නොවන පිරිසක් බවයි. යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ සමාජ සාධාරණත්වය ගැන පසුගිය රජය තැකීමක් නොකළ බවට තර්කයක් නැතත්, සිංහල බෞද්ධ ප‍්‍රදේශවල බහුතරයක් හිටපු ජනාධිපතිවරයාගේ ඒ ක‍්‍රියාකලාපය අනුමත කළ බවත් අමතක නොකළ යුතුය. එම හැසිරීම, මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය මාධ්‍ය සහ වෙනත් සම්පත් මැතිවරණය සඳහා අපයෝජනය කිරීම ආදිය මගින් පමණක් විස්තර කළ නොහේ.

අන්ත දූෂිත සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පාලනයක් කෙරෙහි කිසිවෙකු පක්ෂපාතී විය හැක්කේ කරුණු දෙකක් පෙරදැරිව පමණි. එකක් වන්නේ, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඒ පුද්ගලයා තුළ ඇති නොතැකීමයි. දෙවැන්න වන්නේ, නග්න ආත්මාර්ථයයි. මේ දෙක, එකිනෙකට පරායත්ත බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉතිං, ගතවූ දශක කිහිපය තුළ ලංකාවේ දේශපාලන තරගය සිදුව ඇත්තේ තියුණු ප‍්‍රතිපත්තිමය වෙනස්කම් මත නොවන බව අපට පෙනී යයි. 1977 න් පසු බලයට පත් වු සෑම ආණ්ඩුවක්ම පාහේ පොදුවේ අනුගමනය කොට ඇත්තේ වෙළඳපොළ කේන්ද්‍ර කරගත් ආර්ථික ප‍්‍රතිපත්තියකි. ඒ අතරේ, අඩු මට්ටමක හෝ සමාජ පිරිවැයක් ද පවත්වාගෙන ගොස් තිබේ. සෑම ආණ්ඩුවකම අයවැය ප‍්‍රතිපාදනයන් දෙස බැලීමේ දී මේ තත්වය පෙනෙන්ට තිබේ. ජනතාවගේ ඡුන්දය ඉල්ලා සිටින පදනම, පැහැදිළි ප‍්‍රතිපත්තිමය වෙනස් කම් මත ස්ථානගත නොවෙන විට, පාලක පංති කරන්නේ තමන්ගේ දේශපාලනික ප‍්‍රතිරූපය සරි කර ගැනීම සඳහා වෙනත් උපක‍්‍රම කෙරෙහි යොමු වීමයි.

දේශපාලනික ආධාරකරුවන්ගේ පක්ෂපාතීත්වය සහතික කෙරෙන ජාලයන් ගොඩනගා ගැනීම සඳහා දේශපාලනික වරදාන සැපයීම, වැදගත් රාජ්‍ය ආයතන දේශපාලනීකරණයට නතු කිරීම, දේශපාලනික ප‍්‍රචාරණය කෙරෙහි දැඩි විශ්වාසයක් රැුඳවීම සහ විකල්ප මතවාද මර්දනය කිරීම ආදිය එවැනි උපක‍්‍රමවලට ඇතුළත් වෙයි. පසුගිය අවුරුදු දහයක කාලය තුළ අප අත්දැක්කේ එවැනි තත්වයකි. ආණ්ඩුවේ ප‍්‍රචාරණයට රැුවටුණු අඩු උගත්කමක් ඇති, නොමේරු පුරවැසියන් පමණක් නොව, රටේ පවතින ආණ්ඩුකරණයේ පරිහානිය තේරුම්ගත හැකිව සිටි තවත් විශාල පිරිසක් ද එම තත්වයට අනුකූලතාව දැක්වූහ.

මේ නිසා, එවැනි බලවේගයන්ගෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගත හැක්කේ, ශක්තිමත් ව්‍යවස්ථාමය, නීතිමය සහ ආයතනික ආරක්ෂණ විධිවිධානයන් ස්ථාපිත කිරීමෙන් පමණක් බව අප වටහා ගත යුතුය. මන්ද යත්, අප මේ කතා කරන ජනතාව වනාහී, තවමත් සමාජානුයෝජනයට ලක් කළ යුතුව සිටින බබ්බුන්ම නොවන බැවිනි.

*2015 පෙබරවාරි 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “The Difficult Transition: Why Are Some Hostile?”  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Back to Home page