Colombo Telegraph

ජාතික උරුමය, දේශපේ‍්‍රමය සහ සංවර්ධනය

සිරි හෙට්ටිගේ

ප්‍රෞඪ ජාතික උරුමයකට හිමිකම් නොකියන රටවල් බොහොමයක් ලෝකයේ නැත. අතීත ජයග‍්‍රහණයන්, සාඩම්බර ඓතිහාසික සම්ප‍්‍රදායයන් සහ චිරාත්කාලීන සංස්කෘතික සම්පත්-ආගමික වේවා, සාරධාර්මික වේවා, ආහාරපාන, කලා ශිල්ප හෝ ගෘහ නිර්මාණ ශිල්පාදිය වේවා- ඒ සියල්ල, රට රාජ්‍යයන්හි ජාතික උරුමයේ අංගෝපාංග වන්නේය. ජාතිකවාදීන් තමන්ගේ එකී සම්පත් තාර්කිකව පාදාගෙන, දේශපේ‍්‍රමී හැඟීමක් ජනනය කිරීම සඳහා ඒ වටා ජනතාව ඒකරාශී කරති. අතීත උරුමයේ පූර්ණ වාසිය වර්තමාන ජාතික යහපත සඳහා උපයෝජනය කර නොගන්නා රටක් ලෝකයේ නැති තරමි. හැම රටක්ම පාහේ ස්වකීය ජාතික ප‍්‍රතිමූර්ති, සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා භාවිත කරයි.

මහාචාර්ය සිරි හෙට්ටිගේ

ඒ තාක්, සියල්ල යහපත් ය. එහෙත් අතීතයේ භේදකාරී ස්වභාවය අනතුරුව ඉස්මතු වෙයි. ජීවිත විනාශ වීම්, ජනතා අවතැන් වීම් සහ දේපළ විනාශයන් ගෙන දෙමින් අතීතයේ බොහෝ රටවල් විනාශ කළ සහ තවමත් විනාශ කරන මූලයන් ඇත්තේ ද ඒ අතීතයේම වීම උත්ප‍්‍රාසාත්මක ය. අතීතයේ පැවති වෙනස්කම්, යම් ජනතාවකගේ සාමූහික ජාතික උරුමයේ කොටසක් වශයෙන් පැවති ඓතිහාසික සහ සංස්කෘතික සම්ප‍්‍රදායයන් තුළ තබා සළකනවා වෙනුවට, නානා වාර්ගික කණ්ඩායම් නියෝජනය කරන මතවාදීහූ ජාති-කේන්ද්‍රිය දිශානතියක යමින්, එකී අතීත සම්ප‍්‍රදායයන්හි විවිධත්වය තුළ පැවති ඒකත්වය ප‍්‍රතික්ෂේප කරති. ඉතිං, එවැනි මතවාදීන්ගේ සන්තකයට පත්වන දේශපේ‍්‍රමය, බෙදාහදාගත් ඓතිහාසික අතීතයක් අගයන පුළුල් දේශපේ‍්‍රමී හැඟීමක් සහිත අවකාශයක මං අවුරාලන භේදකාරී දේශපාලනික ව්‍යාපෘතීන් තුළ දිය කර හැරේ. බෙදාහදාගත් ඓතිහාසික සම්ප‍්‍රදායක් පිළිබඳ හැඟීමක ඇති අඩුව නිසා, අනාගත පොදු දෛවයක් හෝ බෙදාහදාගන්නා අනාගතයක් සඳහා කටයුතු කිරීමෙන් ජනතාව වළකාලනු ලබයි. මෙය, දේශයක සාමූහික සම්පත් සහ පුළුල් ජනතා කුසලතා ඒකරාශී කිරීමෙන් ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීමට වෙහෙස දරන රටවල් මුහුණදෙන ප‍්‍රධාන අභියෝගයකි. අනිත් අතට, මෑත අතීතයේ සීග‍්‍ර ආර්ථික වර්ධනයක් ඇති කරගෙන තිබෙන රටවල් ඔවුන්ගේ අතීත සංස්කෘතික සම්ප‍්‍රදායයන් තුළ පැවති වෙනස්කම් අවම කරගැනීමටත්, ජාතික එක්සත් කමක් පිළිබඳ හැඟීමක් ජනනය කිරීමටත් සමත්ව තිබේ. චීනය වේවා, සිංගප්පූරුව හෝ දකුණු කොරියාව වේවා, ආර්ථික සහ සමාජ සංවර්ධනයක් අත්කරගෙන සිටින බොහෝ ආසියාතික රටවල්වලින් එය මනාව පෙනෙන්ට තිබේ. යටත්විජිත ආක‍්‍රමණ සහ යටපත් කර ගැනීම් වැනි ජාත්‍යන්තර සම්බන්ධතා තුළ පැවති අතීත අත්දැකීම්, වර්තමානයේ පවා රට රටවල් අතර සම්බන්ධතා කෙරෙහි බලපෑම් කළ ද, ඒවා පවා රටක පුරවැසියන් අතරේ දේශපේ‍්‍රමී හැඟීම් සවිබල ගැන්වීමට දායක වී තිබේ.

අතීතයෙන් එන ඓතිහාසික සහ සංස්කෘතික බර පොදි නිසා ඇති වන භේදකාරී සහ පීඩාකාරී බලපෑම්වලින් මිදී සිටීමට සෑම රටක්ම සමත්ව නැති බව සැබවි. එහෙත් එම සාමර්ථය ලද රටවල් අද වන විට ඔවුන්ගේ සංස්කෘතික උරුමයන්ගෙන් ප‍්‍රතිලාභ ලබා ඇත්තේ, හුදෙක් සංචාරක ඩොලර් සල්ලි ඇද ගැනීමෙන් පමණක් නොව, පුරවැසියන්ගේ ජීවිත ඒ මගින් පෝෂණය කිරීමට ද සමත් වීමෙනි. රටවල් සතු ඓතිහාසික සහ සංස්කෘතික සම්ප‍්‍රදායයන්ගේ අද්විතීයත්වය සහ දිදුළන සුළු භාවය බොහෝ විට කැපී පෙනෙන්නේ, ගෝලීයකරණයේ බලපෑම යටතේ ලෝකය වේගයෙන් සමජාතීය වෙමින් පවතින නිසා ය. ඒ නිසා, තම තමන්ගේ රටවල අසමසම ඓතිහාසික සහ සංස්කෘතික සම්ප‍්‍රදායයන් සතු සැබෑ සහ විශේෂිත අගයන් හඳුනා ගැනීමේ වගකීම ආණ්ඩුවලට පැවරෙන අතරම, අතීතය පාවිච්චි කොට වර්තමානයේ භේදභින්නකම්, අසමගිකම් සහ ගැටුම් ඇති කිරීමට තුඩුදිය හැකි පක්ෂග‍්‍රාහී අවශ්‍යතා මැඩලීමට ද වගබලාගත යුතුය. ඉතිහාසය ගැන අපට සහතික වශයෙන් කිව හැකි එකම දෙය වන්නේ, එය වෙනස් කළ නොහැකි බවයි.

අතීතයේ දී යහපත් දේවල් කළ සහ අයහපත් දේවල් කළ මිනිසුන් දැන් ජීවතුන් අතර නැත. අද දවසේ යහපත් දේවල් සහ අයහපත් දේවල් කරන ඇත්තෝ තවමත් වෙසෙති. ඔවුන්ට බලපෑම් කිරීමට අපට පුළුවන. සමහරවිට ඔවුන්ව වෙනස් කිරීමටත් අපට පුළුවන. එහෙත් අතීතයේ ජීවත් වූ අය සම්බන්ධයෙන් එසේ කළ නොහේ. අද ජීවත් වන අයවළුන්ව යහපත සඳහා පොළඹවන අතරේ, අද ජීවත් වන මිනිසුන්ගේ භෞතික සහ සමාජ අභිවෘද්ධිය කඩා ඉහිරවිය හැකි ආකාරයෙන් අතීතය පාවිච්චියට ගැනීම වැළැක්වීමට අපට කළ හැකි සෑම දෙයක්මත් කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් පාඩම් උගත හැකි රටවල් බොහොමයක්, බටහිර මෙන්ම නැගෙනහිර ද තිබේ. ඒ සඳහා තරුණ සහ වැඩිහිටි සියල්ලන්ගේ සිත් විවෘතව, විචාරශීලීව තබාගත යුතුව ඇත. අධ්‍යාපනික සහ මාධ්‍ය ආයතනවලට ඒ අරභයා කළ හැකි ප‍්‍රධාන කාර්යභාරයක් තිබේ. එහෙත් අවාසනාවකට, මේ ආයතන දෙකම එහි දී සාර්ථක වී ඇත.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජනතාවගෙන් බහුතරයක් අවිචාරවත් වීම නිසා, පක්ෂග‍්‍රාහී දේශපාලනික ව්‍යාපෘතීන් සඳහා ස්වකීය හිතළු මත පිහිටා ඓතිහාසික සහ සංස්කෘතික සම්ප‍්‍රදායයන් හුවාදක්වන භේදකාරී බලවේගවල පහසු ගොදුරක් වීමට එම ජනතාවට සිදුව තිබේ. ඒ මගින් ඇති කෙරෙන අභ්‍යන්තරික භේදභින්නතා නිසා, සාමූහික ජාතික සංවර්ධනයක් වෙනුවෙන් විවිධාකාර සමාජ සහ සංස්කෘතික කණ්ඩායම් එක්සත් කිරීම දුෂ්කර කරයි.

යුද්ධයෙන් පසුව ඇති වී තිබෙන අවුල් සහගත දේශපාලනික වාතාවරණයත්, විශේෂයෙන් මෑතකදී පැවැත්වූ පළාත් සභා මැතිවරණවලින් පසුව ඇති වී තිබෙන තත්වයත් දෙස බැලීමේ දී, අප මුහුණදෙන සමාජ සහ සංස්කෘතික භේදභින්නතා කෙතරම් ව්‍යසනකාරී ද යන්නත්, ඒවා ජය ගැනීම කෙතරම් දුෂ්කර විය හැකි ද යන්නත් පෙන්නුම් කරයි. රට ඉදිරියේ ඇති සමාජ සහ ආර්ථික අභියෝග කෙතරම් බරපතල ද යත්, බිඳී විසිරුණු සමාජයක් යළි ගොඩනැංවීමත්, ජනතාව මුහුණදෙන හදිසි ආර්ථික, සමාජයීය සහ මානසික ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කෙරෙන පොදු ජාතික ඉලක්ක පද්ධතියක් අරමුණු කරගත් මීට වඩා සූදානමක් ප‍්‍රභූ පංතියෙන් මෙන්ම මහජනතාවගෙන් ද ප‍්‍රදර්ශනය විය යුතුව තිබේ. මෙවැනි අභියෝග සහ එදිරිවාදිකම් ඉදිරියේ ආසියාවේ මෙන්ම වෙනත් කලාපවල බොහෝ රටවල් ද ප‍්‍රතිචාර දක්වා ඇත්තේ අපට වඩා වෙනස් ආකාරයකිනි. එවැනි රටවල් තමන්ගේ ආර්ථික සහ සමාජ සංවර්ධනයේ අභිවෘද්ධිය තකා ස්වකීය භෞතික සහ මානව සම්පත් උපයෝජනය කරගෙන ඇති අතර, එය, වාර්ගික=සංස්කෘතික භේදයකින් තොරව රටේ සියළු ජන කොටස්වලට සෙත සලසා තිබේ. ඒ වෙනුවට අපේ රට සිටින්නේ, එකිනෙකාගේ විශේෂතා පිළිබඳ ව්‍යාධිගතව, දේශපාලන බලය සහ භෞතික සම්පත් සඳහා වන පොරයක නිරතවයි. සමස්තයක් වශයෙන් රටේ අනාගත අපේක්ෂාවන් ගැනවත්, සාමාන්‍ය ජනයාගේ වර්තමාන යහපැවැත්ම ගැනවත්, රටේ දේශපාලනික ප‍්‍රභූ පැලැන්තියට වගක් ඇති බවක් නොපෙනේ. තමන්ගේ පටු ග‍්‍රාමීයත්වයෙන් එළියට ඒමට ඔවුන්ට ඇති නොහැකියාව ඔවුන් සමස්ත සමාජයටම ප‍්‍රක්ෂේපණය කරනු ලැබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එම ජනතාව, වර්තමානය විසින් ඉල්ලා සිටින යථාර්ථයන්ට අනුගත විය නොහැකිව, බොහෝ විට අතීතයේම පැටලී සිටිති.

*2013 ඔක්තෝබර් 14 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ National Heritage, Patriotism & Development ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page