Colombo Telegraph

නිදහස් අධ්‍යාපනය උරචක්‍රමාලාවක් නොවේ

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

නිදහස් අධ්‍යාපනය ගැන සිතන විට මගේ සිතට දැනෙන්නේ ඉමහත් සතුටකි – ණයගැති බවකි. මගේ තත්තා සේවය කළේ රජයේ කාර්යාලයක සුළු සේවකයකු වශයෙනි. ඔහුට මුදල් අය කරන, පෞද්ගලික විද්‍යාල දකින්නටවත් ලැබුණේ ඔහුගේ ගමේ ධනවතුන් වෙනුවෙන්, ඔවුන්ගේ පුතුන් ඒවාට ඇතුළු කිරීමට ගෙන ගිය අවස්ථාවල පමණි. එවක ප්‍රාථමික අංගයේ ඉගෙනීම ලැබූ මා ගැන තාත්තා තුළ මහත් බලාපොරොත්තුක් විය. එහෙත් මා පෞද්ගලික විද්‍යාලයකට යැවීමට තමාට වත්කමක් නැති බව ඔහු හොඳින් දැන සිටියේය. “කොලුවා ජේස්ට විබාගේ පාස් වුණාම ඉස්කෝලෙක උගන්නන්න යවන්නයි ඉන්නේ. බැරි වෙන එකක් නෑ නේද?” යි මගේ පියා ඔහුගේ මිත්‍රයන්ගෙන් නිතර විමසීය.

පළමු වතාවට 1944 දී පවත්වන ලද පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් මා මුදුණින්ම සමත් වුයේ ඒ අතර ය. ඒ සාමාර්ථය ගමේ බලවතුන්ට දැරිය නො හැකි සිද්ධියක් විය. මගේ ශිෂ්‍යත්වය අවලංගු කරවන්නට පෙත්සම් ඉදිරිපත් විය. ජිවන දීමනා එකතු කළ විට මගේ තත්තාගේ මාසික වැටුප රුපියල් පනහේ සීමාව ඉක්ම වන බව ඔවුහු තර්ක කළහ. අපේ ගෙය පිහිටා තිබුණේ ගර්හිත හැතපුම් තුනේ සීමාව ඇතුළත බව ඔප්පු කිරීම සඳහා අයෙක් ටේප් පටියකින් ඒ දුර මැන්ණෝය. ඒ විරෝධතා නිසා මගේ ශිෂ්‍යත්වය අවලංගු විය. එහෙත් තාත්තා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ, එවක කොළඹ අධ්‍යාපන නිලධාරියාව සිටි, වේදවානම් මහතාගේ අනුකම්පාව හා වැටහෙන නුවණ නිසා, ඒ ශිෂ්‍යත්වය නැවතත් මට ලැබිණ. ඒ පිහිටෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයට බැඳී, ඉංගිරිසියෙන් අධ්‍යාපනය අරඹා, ලන්ඩන් මැට්‍රක්යුලේෂන් විභාගය සමත් වීමි. එහෙත් එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වධාරීන්ට ලැබුණු දීමනාව ප්‍රමාණවත් කිරීමට තාත්තාට වත්කමක් නො වූ නිසාත්, ඔහුගේ විශ්‍රාමයෙන් පසු පවුල නඩත්තු කිරීමේ වගකීම මට පැවරුණු නිසාත්, ගුරු වෘත්තියට බැඳී, පුද්ගලිකව පාඩම් කර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගන්නට මට සිදුවිය. මධ්‍ය විද්‍යාලයකින් ආ පළමුවන නිලධාරියා සේ ලංකා සිවිල් සේවයට බැඳෙන්නට මට හැකි වුයේ ඒ බාහිර උපාධියේ පිහිටෙනි.

මා ආ දුරුමග ගැන හැරී බලන විට, මට නිතැතින්ම සිහිවන්නේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ කන්නන්ගර මැතිතුමා ය. එතුමාගේ දූරදර්ශි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නො වන්නට හීනෙකින්වත් දිසාපතියෙකු, අධ්‍යක්ෂකයෙකු, සංස්ථා සභාපතියෙකු, අමාත්‍යංශ ලේකම්වරයෙකු වනවා තබා ඒ ගැන හිතන්නට වත් මට නො ලැබෙන බව මම ඉඳුරාම දනිමි. ඒ හැම තැනකදීම කන්නන්ගර මැතිතුමා මට ලබා දුන් ණය හැකි පමණින් ගෙවන්නට කිසි විටෙක අමතක නො කෙළෙමි. එසේ කළේ එතුමාගේ ප්‍රතිමා ඉදිකිරීමෙන්වත්, ඒවාට මල්මාලා පැළඳවීමෙන්වත් නොව, එතුමා නඟා සිටුවන්නට කැප වූ, නැතිබැරි ජනතාවට මගේ උපරිම සේවය ලබා දීමෙනි. එසේ කළ හැක්කේ මගේ නිල කාමරය තුළට වී, මහේශාක්‍ය ලීලාවෙන් වැජඹීමේන් නොව, මහජනයාට නිරාවරණය වීමෙන් බව මට වැටහුණේය. අධ්‍යක්ෂක තනතුර ලබා, කුඩා කර්මාන්ත දෙපාරමේන්තුවට ගිය දා මෙහිදී මගේ සිහියට නැගෙයි. එහි සේවකයෙකු මට වෙන්වූ කාමරයේ දොර ඇරගෙන, මා ඊට ඇතුළු වන තුරු බලා සිටියේය. දොර මුදුණේ සවි කර තිබුණු ‘මෙහි ඇතුල්වීම තහනම්’ යයි සඳහන් ලෑල්ල මට ඇස ගැසුණේ එවිට ය.

“ඇතුල් වෙන්න සර්” සේවකයා මට ආයාචනය කළේය.

“ඇතුල් වෙන්නේ කොහොමද? මේ ‘ඇතුල්වීම තහනම්’ කියල ගහල තියෙන්නේ’ මම ඔහුට කීවෙමි.

“ඒ පිට අයට” සේවකයා මට කරුණු පැහැදිලි කළේය.

“පිට අය අපිනෙ. මෙතනින් වැඩක් කර ගන්න එන අය තමයි මේකේ අයිතිකාරයෝ. ගලවනවා ඔය ලෑල්ල. මා හමුවෙන්න එන කෙනෙකුට කවදාවත් තහංචි දාන්න එපා”. මට ඇතුළු වන්නට ගැලවුණු තහනම් ලෑල්ල මා එම දෙපාරතුමේන්තුවෙන් ඉවත්ව යන තුරු නැවත සවි වුණේ නැත. මා හමුවන්නට ආ කුදුමහත් සැම කෙනෙකුටම මගේ දොර නිබඳව විවෘත වී තිබුණේය.

මහජනයාට ප්‍රවේශය ලබා දීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන් එන තෙක් බලා සිටීමෙන් පමණක් නිදහස් අධ්‍යාපනය ඔස්සේ මුදුණට පැමිණි අයෙකුගේ ණය ගෙවා නිම කළ නො හැකි බව මම විශ්වාස කරමි. මා සේවය කළ හැම තැනකම මම ක්ෂේත්‍රයට ගොස් නැතිබැරි අයගේ අගගිඟකම් සොයා බලා, ඒවාට පිළියම් යෙදුවෙමි. ජීප් රථයකින් තබා ට්‍රැක්ටරයකින්වත් යන්නට බැරි තැන්වලට පයින් ගියෙමි. මූදූරුවේ මහවැලි ගඟබඩ මහා වනයේ ගඟෙන් වතුර ඇද ගොඩගොවිතැන් කළ ගොවියන් හමුවන්නට මා ගඟ ඉහළට ගියේ බෝට්ටුවකිනි. එහිදී තම ගොවිතැනට දිය අදින්නට ගොවියන් දරන වෙහෙස දුටු මම ඔවුන්ට ණයට වතුර පෝම්ප ලබා දීමට පියවර ගතිමි. එසේ ලැබුණු පොම්පයක් ගෙන යාමට කච්චේරියට පැමිණි ගොවියෙකුට එය බාරදීමට පෙර, ඔහු හඳුනාගත යුතු විය. “තමුසේ අඳුනන පියන් කෙනෙක්, කම්කරුවෙක් මෙහෙ ඉන්නවාද?” යි ගබඩාබාරකරු ගොවියාගෙන් විමසා තිබේ. ඒ පැනයට පිළිතුරු දෙමින්, “පියන්ල කම්කරුවෝ කව්රුවත් මම දන්නේ නෑ. දිසාපතිතුමා නම් මම අඳුනනවා” යයි ගොවියා ගත් කටටම පිළිතුරු දුන් බව අසා මම අමන්දානන්දයට පත්වීමි. මගේ සේවා කාලය තුළ මට ලැබුණු ලොකුම සම්මානය ඒ පිළිතුර බව මම දිවි ඇති තෙක් විශ්වාස කරමි.

නිදහස් අධ්‍යාපනය ඔස්සේ පෙරට එන නැතිබැරියන් අමතක නො කළ යුතු තවත් කරුණක් නම් ලබන තනතුරු නිසා තම හිස උදුම්මා නො ගත යුතු බව ය. එසේ මුදුණට ආ ඇතැම් නිලධාරීහු තමන් උපන් දා සිට කෑ කොස්පොළොස් අමතක කොට, වැජඹෙන පුරාජේරු ජිවිතයකට ප්‍රවිෂ්ට වෙති. රෑ පුරා සමාජ ශාලාවල ගැවසෙමින් කාලය කා දමති. එබඳු ආටෝප ජීවන රටාවක් ගත කිරීමට මුදල් හිඟ වන විට පගාවට පෙළඹෙති. ධනවත් පවුලකින් විවාහයක් කර ගෙන අමාරුවේ වැටෙති. එබඳු නො ගැලපෙන කරකාර බන්ධන නිසා අකාලයේ මිය ගිය මගේ සගයන් කීප දෙනෙක් මෙහිදී මගේ සිහියට නැගෙයි. මගේ ආදායමට දැරිය නො හැකි වියදමකට මම නො බැඳුනෙමි. එසේ කිරීම අයුතු ලාබ ලැබීමට මග පැදීමක් බව මට ප්‍රත්‍යක්ෂ විය. මගේ දරුවන් සියලු දෙනාම උපන්නේ රජයේ රෝහල්වල ය. අමාත්‍යංශ ලේකම් කෙනෙකුව සිටියදී මා ලෙඩට බේත් ගත්තේ මහ ඉස්පිරිතාලෙනි.

දොස්තරවරුන්ගේ වැඩවර්ජන නිසා අසරණව, බංකු මත වැටී සිටින හව්හරණක් නැති ලෙඩුන් දකින මගේ සිත සසල වෙයි. ඔවුන්ට නිදහස් අධ්‍යාපනය නො ලැබෙන්නට වැඩ වරණ දොස්තරවරුන්ගේ මහලු දෙමව්පියන් ද ඒ බංකු මතම වැතිරී සිටිනු ඇතැයි මට සිතේ. සේවක අයිතිවාසිකම් අනභිබවනීය ය. ඒවා ලබා ගැනීමට සටන් වැදීම සේවකයන්ගේ පරම යුතුකමකි. ඒ උදෙසා ස්වාමි පක්ෂය හා සමග අභීතව සටන් කළ යුතු ය. එහෙත් ඒ හේතුව නිසා සාමාන්‍ය ජනතාව අතරමංකරන්නට කාටවත් අයිතියක් ඇතැයි මම විශ්වාස නො කරමි. ගොයම් කෑ මුවාගේ වරදට මුවහම පලි නැත. විශේෂයෙන්ම මහජන මුදලින් අධ්‍යාපනය ලබා කරලියට ආ කෙනෙකුට තමන්ගේ පෝෂකයන් පරදුවට තබා ඔවුන්ට ද්‍රෝහී වී, තම මල්ල පුරවා ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.

මා පාසල් ගිය යුගයට වඩා දැන් සමාජය පොහොසත් ය. මේ වන විට මධ්‍යම පංතිය වර්ධනය වී ප්‍රසාරණය වී තිබේ. ඒ පරිවර්ථනය අනුව නිදහස් අධ්‍යාපනයේ හැඩතලද වෙනස් විය යුතු යයි මම විශ්වාස කරමි. අද පවතින ආර්ථික පරිසරය අනුව හැම දරුවෙකුටම එක හැන්දෙන් නිදහස් අධ්‍යාපනය බෙදිය යුතු යයි මම නො අදහමි. දේශ​පාලන ලකුණු දමා ගැනීම සඳහා දෙමාපියන්ගේ ආදායම නොසලකා නිල ඇඳුම් හා පොත්පත් නොමිලයේ බෙදා දීම එබඳු මහදැනමුතු කමකැයි මම සිතමි. ඇතිහැකි අයගේ දරුවන්ටත් දෙන මේ ප්‍රදාන ඉතිරිකර ගත හොත් ඒ පිරිවැයෙන් නැතිබැරි දරුවන්ට වඩා පහසුකම් සැලසීමට ඉඩ සැලසෙනු ඇත.

ප්‍රතිපාදන සීමා නිසා විශ්වවිද්‍යාලවලින් විසිවෙන දරුවන්ට තම මුදල් ගෙවා දැනුම ලබා ගැනීම, හුදෙක් නිදහස් අධ්‍යාපනයේ මූලික ප්‍රතිබිම්භය ආරක්ෂා කර ගැනීම උදෙසා තහනම් කිරීම ම්ලේච්ඡ ක්‍රියාවකැයි මම සිතමි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජාතික ධනය හා මානව සම්පත් පිටරටට ඇදී යාම පමණි. කළ යුතුව ඇත්තේ ස්වයංඅධ්‍යාපනය තහකම් කරනු වෙනුවට ඒ අනුසාරයෙන් නැතිබැරි දරුවන්ගේ අධ්‍යාපන අවශතා පුළුල් කිරීම ය. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මුදල් ගෙවා ඇතුළු වන සෑම අපේක්ෂකයෙකු වෙනුවට ඒ වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල අනුපිළිවෙලින්, මුදල් නොගෙවන අපේක්ෂකයෙකු බඳවා ගත යුතු යයි අණ ලැවිමෙන් පිට රටට විසිවෙන මුදල් රඳවා ගන්නා අතරම විභාගයෙන් විසිවන්නට නියමිතව සිටි අසරණයන් කණ්ඩායමකට නො සිතූ අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙහි මා සඳහන් කර ඇති මගේ අත්දැකීම් පුරසාරම් සේ නො ගනු මැනවි. නිහඬ ජිවිතයක අගට එළැඹි සිටින මට කයිවාරුවෙන් වැඩක් නැත. මා ඒ අවස්ථා හුවාදැක්වුයේ හුදෙක් මා ආ මග දිගේ ඉදිරියට ඇදෙන මගේ අනුගාමිකයන්ට මග පෙන්වීමක් වශයෙන් පමණි. ඒවා කියවා ඔවුන්ගෙන් අඩක්වත් තමන්ගේ මුල අමතක නොකරන්නට, පොදු ජනයාගෙන් ඈත් නොවන්නට, ඔවුන්ට ගැම්බර් නොදමන්නට, පුහු අටෝප ජිවිතයකට ඇබ්බැහි නොවන්නට, දුෂණයට නැඹුරු නොවන්නට, තමන්ගේ සිතැඟි ඉටු කර ගැනීම සඳහා අසරණයන් බිල්ලට නොදෙන්නට, නිදහස් අධ්‍යාපනය අර්ථවත් කරන්නට අධිෂ්ඨාන කර ගත හොත්, නොයෙක් දුෂ්කරතා මැද හණිහණික මේ ලිපිය ලියන්නට මා දැරූ වෙහෙස මහත්ඵල මහානිශංස වනු ඇතැයි උදක්ම අදහමි.

නිදහස් අධ්‍යාපනය රට නගන මහඟු උපාය මාර්ගයකි. එය උරචක්‍රමාලයක් කරගත යුතු නැත.

Back to Home page