Colombo Telegraph

මිනිහා නොමිනිහා දනී – කුණු මාළු සියඹලා දනී

සෝමපාල ගුණධීර​ –

මිනිහා නොමිනිහා දැන ගත  යුතු, විශේෂ දවසක් ලබන මාර්තු මස විසි නව වෙනිදා උදා වන්නට නියමිත ය. එදින මිනිහාට නොමිනිහා හඳුනා ගන්නට බැරි වුණොත්, එසේ බැරි වූ, හැම මිනිහාට ම/ගැහැණියට ම හා ඔවුන්ගේ සහෝදර පුරවැසියන්ට, ඊ ළඟ අවුරුදු පහ ඇතුළත, අපමණ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු විය හැක.

ඒ දවස විශේෂ වන්නේ එදින ලංකාවේ විශාලතම පළාත් දෙකේ, එනම්  බස්නාහිර හා දකුණේ, පළාත් සභා මැතිවරණ පැවැත්වෙන නිසා ය. එදාට පළාත් නවයේ ම විසිරී සිටින, ඡන්ද දායකයන්ගෙන් තුනෙන් පංගුවකටත් වැඩි ගණනක්, තම නියෝජිතයන් තෝරා ගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරනු ඇත. එතැන් සිට ඔවුන්ගේ පළාත පාලනය වන්නේ එදා තෝරා ගනු ලබන බහුතර කණ්ඩායම විසිනි. ඒ කණ්ඩායම යම් වැරැද්දක් කළොත්, එය නිවැරදි කර ගත යුතු ව ඇත්තේ විපක්ෂ කණ්ඩායම මගිනි. ඒ කණ්ඩායම් දෙක ම තෝරන්නෝ ඡන්දදායකයෝ ය. ඒ අනුව, ඉදිරි පළාත් පාලනයේ හොඳ නරක රඳා ඇත්තේ, ඡන්දදායකයන් මැතිවරණය දා ප්‍රකාශ කරන මනාපය  මත බව අමුතුවෙන් කිව යුතු නො වේ. අනිත් පළාත් සභාවලට ද ආදර්ශයක් ගත හැකි තීන්දුවක් දීමෙන්, මුළු රට ම යහමගට යොමු කිරීමේ අවස්ථාවක් තමන් අත ඇති බව දැන, ඒ අනුව ක්‍රියා කිරීමෙන්, රට ගොඩ නැගීමේ කටයුත්තට සහභාගී වන්නට, බස්නාහිර හා දකුණේ ඡන්ද දායකයෝ සිහි තබා ගණිත්වා!

එදා සහ අද 

අපේ දෙමවුපියන්ගේ, මුතුන්මිත්තන්ගේ, කාලයේ පැවති මන්ත්‍රණ සභා කෙතරම් විනීතව, නීති ගරුකව, අභිමානවත් ව, ක්‍රියාත්මක වූයේ දැයි අපි දනිමු. අසා ඇත්තෙමු. ඒ වැදගත් තත්වයට මුල් වූයේ ඒ සභාවල ජනතා නියෝජිතයන්ගේ අවංකකම යි. හැදිච්චකම යි. පිරිසිදු චරිතය යි.  එබඳු පුද්ගලයන් කරළියට ගෙන ඒමේ නම්බුව හිමි වන්නේ, ඔවුන්ට ඡන්දය දුන් සාමාන්‍ය ජනතාවට ය. ඔවුන්ගේ සත් ක්‍රියාවේ ආනිශංස ඔවුහු ම විඳ ගත්හ.

ඒ හා සසඳන විට, ඒ ඒ මට්ටම්වල නියෝජිත සභාවල අද තත්වය අහසට පොළොව මෙනි. ප්‍රාදේශීය සභාවක ඇති වන හැල හැප්පිලි, එදිරිවාදිකම්, අඬදබර අසන්නට නො ලැබෙන දවසක් උදා වන්නේ කලාතුරකිනි. සමහර මන්ත්‍රීවරු පොලිසියට පහර දෙති. ඔවුන්ගේ රාජකාරියට බාධා කරති. නීතිය අතට ගෙන සාමාන්‍ය ජනයාට හිරිහැර කරති. බිමත් ව කෝලාහල කරති. රජයේ සේවකයන්ට පරිභව කරති. පාරවල් අවහිර කරති.

පාර්ලිමේන්තුව තුළ පවා, ඇතැම් අවස්ථාවල දක්නට ලැබෙන අසංවරය, මුළු රටට ම අවමානයකි. එන්ට එන්ට ම, මේ තත්වය තව තවත් නරක් වෙනවා මිස, හොඳ වන බවක් නො පෙනේ. මත්තේ දී වත්, මේ අභාග්‍ය සම්පන්න නොසිරිත් මඩින්නට හැක්කේ අපට ම ය. එසේ කළ හැකි එක ම අවස්ථාව මැතිවරණය යි. ළඟ ළඟ එන පළාත් සභා මැතිවරණයේ දී ඒ යුතුකම ඉටු කිරීමෙන් නැවතත් රට සුමගට යොමු කිරීමේ අපේ උතුම් කාර්යභාරය, පුරවැසි අපි සියලු දෙනා ම එක් වී, ආරම්භ කරමු. ආඳා යවා තබා වල්පත ගන්නට බලා නො සිටිමු.

සුදුස්සන් තේරීම

මැතිවරණ කොමසාරිස් විසින් අනුමත කරන ලද, ඕනෑම පක්ෂයකට තම ඡන්දය දීමට පුරවැසියන්ට අයිතියක් ඇත. මැතිවරණයේ දී ඡන්දදායකයකු පක්ෂයක් තෝරා ගත යුත්තේ, තමා විසින් ම ය. එය තමාගේ දැනුමට හා බුද්ධියට අනුව,  හෘද සාක්ෂිය මෙහෙයවා, කළ යුතු කටයුත්තකි. අන් අයකුට ඊට මැදිහත් වීමට, බල පෑමට අයිතියක් නැත. එහෙත් කෙනෙකු තෝරා ගත් පක්ෂය තුළ, ඉතා ම සුදුසු අපේක්ෂකයන් වෙන් කර ගැනීමට ඉවහල් වන, නිර්ණායකයෙන්  රටට ම හඳුන්වා දීම ජාතික මෙහෙවරකි. මේ රටේ උගත්, දැනුවත්, සැම කෙනෙකු ම ඒ මෙහෙවරෙහි වෙලෙවි ව යෙදෙනු ඇතැයි උදක් ම, අපේක්ෂා කරමි. ඒ වැදගත් යුතුකම වැඩපොළේ, කෙළිබිමේ, අවන්හලේ, පුදබිමේ, ගුරුනිවසේ, වෙදගෙදර  හා මගතොටේ සාමාන්‍ය ජනයා හමු වන සෑම අවස්ථාවක ම ඔවුන්ට කළ හැක.

මැතිවරණයක දී, මා නියෝජනය කරන්නන් තෝරා ගැනීම සඳහා මා අනුගමනය කරන මිමි කීපයක් පහත සඳහන් කරමි.

මගේ අවධානය මුලින් ම යොමු වන්නේ මින් පෙර මන්ත්‍රී පදවි දැරූ අපේක්ෂකයන්ට ය. ඒ පදවිවල ඔවුන් කළ සේවය නො වරදින මිම්මකි. ඔවුහු තමන්ගේ යුතුකම් නො පිරිහෙළා ඉටු කළෝ ද? ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට වෙහෙස නො බලා නිරත වූවෝ ද? නැත හොත් පදවි නාමයෙන් උදම් වී, අලස ව, විසල්  මැදුරුවල, සැප යානවාහනවල සුරසැප වින්දෝ ද? නිලබලයෙන් අල්ලස් ගෙන, බලා සිටිය දී පොහොසත් වූවෝ ද? තමන් බලයට පත්කළ ඡන්දදායකයන් අතර පිටරටින් ආ සංචාරකයන් මෙන් හැසිරුණෝ ද? එබන්දන් විළිලැජ්ජා නැති ව, නැවතත් ඡන්ද පොරයට අවතීර්ණ වුව හොත්, ඔවුන්ට කළ යුතු දේ අමුතුවෙන් කියා දිය යුතු නැත.

මන්ත්‍රී පදවිය දරද්දී තම යුතුකම් නිහතමානී ව, නො පිරිහෙළා ඉටු කළ අපේක්ෂකයන්ට ප්‍රමුඛත්වය දීම සාධාරණ ය. ඒ හැම අවස්ථාවක දීම නො වේ. ඇතැම් විටෙක සභාවට අමුත්තෙකු වුවත්, තමාගේ ගැඹුරු දැනීමෙන්, පුළුල් අත්දැකීමෙන් හා තීක්ෂණ බුද්ධියෙන් පළාතට අද්විතීය සේවයක් කළ හැකි නවකයන් තරග බිමට පිවිසිය හැක. ඒ සේවය ප්‍රතික්ෂේප කිරීම පළාතට ම පාඩුවක් විය හැකි බැවින්, ඔවුන් හා ප්‍රවීණයන් අතර තරගයක් ඇති තැන, ඡන්දදායකයන්ට දුෂ්කර තුලනාත්මක තීරණයක් ගැනීමට සිදු වේ.

ඡන්දය දෙන්නට සුදුස්සකු තෝරා ගැනීමට තවත් පහසු මිම්මකි, යම් මැතිවරණයක් ආරම්භ වූ දා සිට අපේක්ෂකයෙකු හැසිරුණ අන්දම. ඔහු ඡන්ද නීතිවලට අනුව තමාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූයේ ද? ප්‍රචාරක කටයුතු කළේ ද? නැතහොත් පෝස්ටර, කටවුට්, බැනරවලින් පරිසරය කෙලෙසුවේ ද? ඒවා ඉවත් කිරීම සඳහා මහජන මුදල් නාස්ති කළේ ද? පාර අවහිර කරමින් පෙළපාළි ගියේ ද? දෙගොඩහරියාමේ, බෙරිහන් දෙන විකාශන යන්ත්‍ර මගින් කයිවාරු ගසා, මුළු ගම ම අවදි කළේ ද? මෙබඳු අසම්මත හැසිරීම් තුළින්, නො හැදෙන ගහ එක පෙත්තෙන් ම කාටත් දැන ගත හැක.

බරපතළ විෂමාචාර 

ඊටත් වඩා දැඩි අවධානයෙන් විමසිය යුතු විෂමාචාරවලට වැඩි සැලකිල්ලක් යොමු විය යුතු වේ. අල්ලසින් හෝ මැර බලයෙන් ඡන්දදායකයින්ට අයුතු බලපෑම් කළේ ද? නිලබලයෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ ද? රජයේ දේපළ අවභාවිත කළේ ද? මේ කිසි ම අපචාරයක් හැංගී හොරා  කළ නො හැක. එවැනි අමනකම් කළවුන් සෑම ඡන්දදායකයෙක් ම සක්සුදක් සේ දනී. ඒ බව දැන දැන ම, එබන්දෙකුට තම ඡන්දය පිරිනමන කෙනා තමාගේ වළ තමා ම කපා ගන්නා, මෝඩයෙකි. මැතිවරණයට පෙර ඒ නො දැමුණු පුද්ගලයන් හැංගි හොරා කරන වැඩ, ඉන් පසු එළිපිට ම කරන බව තේරුම් ගත නො හැක්කේ, මන්දබුද්ධිකයන්ට පමණි. මැතිවරණයේ දී, තමා ම දමා ගන්නා, කැලේ යන ගැරඬියන්, “කනවෝ, කනවෝ” කියා පසු ව මොර දෙන්නේ ඇයි?

මේ අනුව බලන විට, පළාත් සභාවට යැවීමට නියම සුදුස්සන් මැතිවරණ කාලය තුළ දී ම, නැත හොත් ඉන් පෙර, ඔවුන්ගේ ක්‍රියා කලාපය ඔස්සේ තෝරා ගත හැක. සාමාන්‍යයෙන් අපේක්ෂකයන් අහල පහල නිවැසියන් බැවින්, ඔවුන්ගේ වතගොත ඡන්දදායකයන්ට අරුමයක් නො වේ. ඔවුන් සාමකාමී පුද්ගලයන් ද, දුරාචාරයේ යෙදෙන්නන් ද, සුරාසොඬුන් ද, ස්ත්‍රීදූෂකයන් ද, ළමාඅපචාරකයන් ද, මතට ඇබ්බැහි වූවන් ද, මත්කුඩු ජාවාරම් කරුවන් ද යන විස්තර ඡන්දදායකයන්ට අමුතු වෙන් කියා දිය යුතු නැත.  දැන දැන ම එබන්දන් හෝ එබන්දන්ට සම්බන්ධකම් ඇති අය, තෝරා පත් කර ගැනීමට තම ඡන්දය ප්‍රදානය කිරීම, සිය පණ හානි කර ගැනීමකි. ඊටත් වඩා ජාති ද්‍රෝහී ක්‍රියාවකි.

අයෝග්‍ය අපේක්ෂකයෝ

පෙර කී බරපතළ දුර්වලකම් ඇත්තන් අවශ්‍යයෙන් ම ප්‍රතික්ෂේප කළ යුතු වේ. ඊට අමතර ව සැලකිය යුතු තවත් කරුණු කීපයක් ද ඇත. ඉන් ප්‍රධාන වන්නේ, ‘අපේක්ෂකයා දේශපාලන ක්ෂේත්‍රයට සුදුස්සෙක් ද?’ යන වග යි. සමහරුන් තරඟ බිමට එන්නේ පුහු ප්‍රසිද්ධිය පතා ය. අතමිට සරු කර ගැනීම සඳහා ය. දේශපාලනය ගැන මූලික දැනුමක් වත්  ඔවුන්ට නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමාජවාදයේ අර්ථය ඔවුහු නො හඳුනති. ඒ ගැන පත පොතින් හෝ දැනවතුන්ගෙන් අසා දැන ගෙන නැත. ඔවුන් හඬ නගා කියන සටන් පාඨවල නියම අරුත් ඔවුහු ම නො දනිති. ඒවායේ ශබ්ධයෙන් මිස අර්ථයෙන් ඔවුන්ට වැඩක් නැත. එබඳු පුහු පුද්ගලයන් දේශපාලන කරළියට ගෙන ඒමෙන් රටට කරන්නේ විපතකි. දේශපාලනය යනු විද්‍යාවකි. එය දැන ගියොත්, කතරගම ය; නො දැන ගියොත්, අතරමග ය.

ඇතැමුන් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ පරම්පරා ගත පදවි තහවුරු කර ගැනීම සඳහා ය. නැතහොත් පවුල් බලය ආරක්ෂා කර ගැනීම සඳහා ය. ඔවුන්ට ද පුද්ගලිකව දේශපාලන ඥානයක් හෝ විඥානයක් නැත. ඔවුන්ට වඩා දැන උගත්, රටට කැප වූ, දක්ෂයෝ ගම තුළ ම සිටිති. එහෙත් ඔවුන්ට තැනක් නො ලැබෙන්නේ ඔවුන්ගේ ම පන්තියේ පුරවැසියන් ධන බලයට, පවුල් බලයට යට වෙන නිසා ය. බලවතුන්ගේ මුහුණු ලොකු කර ගන්නට කරන මේ පවා දීමෙන්, අනාගතයේ දී වත් තමන්ගේ මූලික අයිතිවාසිකම් ලබා ගැනීමේ අවස්ථාව ඔවුහු කැප කරති.

තවත් සමහරුන් දේශපාලනයට රිංගන්නට එන්නේ ඊට අදාළ නැති, ක්‍රීඩා, චිත්‍රපට, වැනි වෙනත් ක්ෂේත්‍රයක දැක්වූ හපන්කම්වල මුවාවෙනි. ඇතැමුන් බාල ටෙලිනාට්‍යවල රඟපා ලබා ගත් පුහු ජනප්‍රියතාවය දේශපාලනයට රිංගීමට දඩමීමා කර ගන්නට උත්සාහ කරති. එහෙත් ඔවුන්ට දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නැත. එම ක්ෂේත්‍රයෙන් ජනතාවට ඉටු විය යුතු සේවය ඉටු කරන්නට අසමත් වීමෙන් එබන්දෝ ජනතාව සමග ම අතරමං වෙති. එසේ කරළියට පැමිණි ශිල්පීන් මැවූ විකට ජවනිකාවලින් දේශපාලනයට හාස්‍ය රසයට වැඩි යමක් මෙතෙක් ලැබී නැත. කලාකරුවන් දේශපාලනයට සුදුසු නැතැයි මම නො කියමි. එම ක්ෂේත්‍රයෙන් පැමිණ, දේශපාලන කරළියේ ද, මැනවින් රඟ පෑ නිපුණයන්  ගැන අපි අසා ඇත්තෙමු. ඔවුහු කලා ඥානය සමග ම ලෝක ඥානය ද මුහුකුරා ගත් අය වූහ.

විශේෂ අවධානය

අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී ඡන්දදායකයන්ගේ අවධානය යොමු විය යුතු, අපේක්ෂකයන්ගේ පෞද්ගලික සුදුසුකම්වලට අමතර වූ, කරුණක් ද ඇත. එනම් අතීත විසමතා නිසා සමාජයේ ඇතැම් කොටස්වලට සිදු වූ අසාධාරණකම් සමනය කිරීම ය. ගතානුගතික සිරිත් විරිත් නිසා කොන් වූ කොටස්වලට වැඩි අවධානයක් යොමු කොට, ඔවුන්ට කරළියට ඒමට වැඩි ඉඩප්‍රස්ථා ලබා දීම කාගේත් යුතුකමකි. වඩා සුදුස්සන් පසෙකට දමා, එබන්දන් ඉදිරියට ගෙන ආ යුතු යයි මම නො කියමි. එහෙත් දෙපැත්ත සම බර වූ තැන, ඔවුන්ට වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය. ඓතිහාසික හේතු නිසා වැඩි අවධානයක් යොමු විය යුතු කොටසකි කාන්තා පක්ෂය. එසේම කාර්යක්ෂම කඩඉම ඉක්ම කළ මහල්ලන්ට වඩා, එබඳු ම සුදුසුකම් ඇති තරුණයන්ට ඉඩ දිය යුතු ය. රදල වාදය, කුල බේදය  හා සම්පත් විසම ව බෙදී යාම නිසා කොන් වූ පීඩිතයන්ට ඔවුන්ගේ සුදුසුකම් අනුව, වැඩි සැලකිල්ලක් දැක්වීම ද සාධාරණ ය.

මෙහි සඳහන් සියලු ම සුදුසුකම් ඇත්තෙකු තෝරා ගැනීමට නො හැකි අවස්ථා උද්ගත වන්නට ඉඩ තිබේ. සර්වතෝභද්‍ර පුද්ගලයන් පෘතග්ජනයන් අතරින් සොයා ගත නො හැකි බැවිනි. එබඳු අවස්ථාවක කළ යුත්තේ, අපේක්ෂකයන්ගේ සුදුසුකම් හා නුසුදුසුකම්  දෙගොඩ ගසා, ප්‍රබල වැරදි කළවුන්  එක එල්ලේ ම කපා හැර, නුසුදුසුකම් අහෝසි කළ හැකි තරම්  සුදුසුකම් ඇත්තන් තෝරා ගැනීම ය. මහජන නියෝජනයක් නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. සර්ව සම්පූර්ණ අපේක්ෂකයන් එන තෙක් බලා සිටීමෙන් ඇති වන අවසාන ප්‍රතිඵලය එය යි. අපේක්ෂකයන්ගේ යම් යම් අඩුපාඩු නිසා, ඡන්දය දීමෙන් වැළකී සිටින සර්වතෝභද්‍රවාදීන්ගේ අවධානය යොමු විය යුතු තර්කයකි මේ. තමන්ගේ වැළකී සිටීම, ඇතැම් අවස්ථාවල ඡන්ද ප්‍රතිඵලය නොපිට පෙරළීමට පවා හේතු වන බව ඔවුන්ගේ අවධානයට යොමු විය යුතු ය.

කුණු මාළු  හා සියඹලා      

‘මිනිහා නොමිනිහා දනී’ සමග ම යන වැකියකි, ‘කුණු මාළු සියඹලා දනී’. සියඹලා යොදා, කුණු මාළු හොඳ මාළු කරන්නා සේ ම, මැතිවරණයක දී නොමිනිසුන් මිනිසුන් කරන සියඹලාවක් ඇත. ඒ අල්ලස යි. මැතිවරණයක දී අල්ලස නොයෙක් ස්වරූප ගනී. මුදල් බෙදීම ඉන් ප්‍රධාන ය. බත්මුල්, අරක්කු බෝතල්  සංග්‍රහ පතළ ය. වක්‍රාකාරයෙන් දෙන වෙනත් අල්ලස් බොහෝ ය. රැකියා ලබා දීමට, ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර දීමට, ගෙවල් තනා දීමට, මංමාවත් අලුත්වැඩියා කර දීමට, විදුලිය සැපයීමට, සහනාධාර ලබා දීමට දෙන පොරොන්දු ඉන් සමහරකි.

වැඩියෙන් ම ඒ පොරොන්දු දෙනු ලබන්නේ, බලයේ සිටින පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් විසිනි. ඔවුන් ඒ පහසුකම් දෙන්නේ මහජන මුදලිනි, ඔවුන්ගේ හෝ ඔවුන්ගේ පක්ෂයේ සාක්කුවෙන් නො වේ. ඒ අනුග්‍රහ අනුන්ගේ මඟුල් ගෙදරක දී කරන සත්කාරවලට දෙවැනි නැත. තමන් ම ගෙවන අයබදුවලින් ලැබෙන ඒ පහසුකම් ලබා ගැනීමට, තැරැව්කාරයන්ට තමාගේ ඡන්දයෙන් පගාව දීම, දොරකඩ ගහේ කොස් ගෙඩියක්  මුදලට කඩා ගැනීමක් වැනි මෝඩ ක්‍රියාවකි.

ස්වකීය මුදල් යොදවා, ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් යම් යම් පොදුවැඩ කරවන අයත් ඇතැම් විට දක්නට ලැබේ. ඔවුන්ට ඒ මුදල් ලැබුණේ කෙසේ දැයි විමසා බැලීම වගකීමක් ඇති, පුරවැසියෙකුගේ යුතුකමකි. ජාතිද්‍රෝහී, විනය විරෝධී, දූෂිත  ක්‍රියාවලින් උන් හිටි ගමන් ධන කුවේරයන් වූවෝ ද අප අතර සිටිති. ඔවුන් තම පුද්ගලික මුදල් යොදවා කර දෙන වැඩට රැවටී එබන්දන්ට තම මනාපය පිරිනමන්නෝ නහය මිරිකා ගෙන ජරාව කන්නෝ ය.

ඇරත් මුදල් වැය කර බලයට පත් වන්නන්, පසුව ඒ මුදල මෙන් දස දහස් ගුණයක් මහජන මුදලින් හා කූට ව්‍යාපාරිකයන්ගේ සහායෙන්,  කඩා වඩා ගන්නා බව පතළ රහසකි. ඔවුන් මුදල් බෙදන්නේ ඇඟ කසනවාට නො වේ. මෙහි දී තම වත්කම් බැරකම් ප්‍රකාශ නො කරන අපේක්ෂකයන්ට විශේෂ අවධානයක් යොමු විය යුතු ය. මැතිවරණ කොමසාරිස් තුමා පුන පුනා ඉල්ලද්දීත්, නිහඬ ව සිටීමට ගූඪ හේතුවක් තිබිය යුතු ය. ප්‍රතිපත්තියක් වශයෙන් එබන්දන්ට මනාප නො දීමෙන් සමාජය පමණක් නොව, අබල දුබල, මැතිවරණ පනත ද ශක්තිමත් කළ හැකි ය.

අයථා ක්‍රම වලින් ඡන්ද ලබා ගන්නට තැත් කරන දූෂිත පුද්ගලයන්ට නො රැවටී අවංකව, නීති ගරුක ව, තරඟ කරන, ප්‍රබුද්ධ අපේක්ෂකයන් කරළියට ගෙන ඒමෙන්, යථා කාලයේ දී තමන්ගේ අඩුපාඩු නිසියාකාරව සපුරා ගැනීමට වඩා විශ්වාස දායක මාර්ගයක් පෑදේ. මනාප ගන්න දෙන පුහු පොරොන්දුවල, කාපු බීපු වෙලාවට කරන කතාවලට වැඩි යමක් නැති බව දන්නෝ දනිති. පසුගිය මැතිවරණවලට පෙර සියලු ම පක්ෂ දුන් පොරොන්දු ඒ වූ පරිදි ඉටු වූයේ නම්, අද ශ්‍රී ලංකාව සුරපුරයකි.

යුතුකම ඉටු කරමු 

අපේක්ෂක ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමෙන් පසු මට ප්‍රශ්නයක් ඇති විය. එහි සඳහන් කිසිවකුගේ විස්තර මම නො දනිමි. ඡන්ද දායකයන් බහුතරයක් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා නිසැක ය. මූලික විස්තර නො මැති තැන, තේරීමේ නිර්ණායකවලින් වැඩක් නැත. මේ අඩුපාඩුව සම්පුර්ණ කළ යුත්තේ තරග කරන පක්ෂ විසිනි. තම ලැයිස්තුවේ සෑම අපේක්ෂකයෙකු ම තෝරා ගැනීමට තුඩු දෙන විස්තර සඳහන් ලේඛනයක් ඔවුන් විසින් කල් නො යවා නිකුත් කරනු ඇතැයි උදක් ම අපේක්ෂා කරමි.

ළඟ එන මැතිවරණයේ දී, තම ඡන්දය නිසි පරිදි පාවිච්චි කරන්නා අනාගතයට ද වැදගත් සේවයක් ඉටු කරයි. මුලින් කී පරිදි ක්‍රමක්‍රමයෙන් පරිහානියට ගිය අපේ මැතිවරණ සංස්කෘතිය යථාවත් කිරීම මෙරට සැම පුරවැසියෙකුගේ ම යුතුකමකි. එය ක්ෂණික ව කළ හැකි හපන්කමක් නො වේ. පුනරුත්ථාපනය කළ යුතු ව ඇත්තේ ද ක්‍රමක්‍රමයෙනි. ඒ ක්‍රියාවලියේ ආරම්භය මේ මැතිවරණයෙන් පටන් ගනිමු. ඒ ආරම්භය කළ හැකි එක ම විධිය අප සියලු දෙනා ම අපගේ වටිනා ඡන්දය අපේ හිතට එකඟ ව, නියම සුදුස්සන්ට පිරිනැමීම යි. ඒ ජාතික යුතුකම ඉටුකිරීමට අපි සියලු දෙනා ම තරයේ අධිෂ්ඨාන කර ගනිමු.

මැතිවරණය දා ගොරකාවෙන් මුලා වී, කුණු මාළු කන අය, එදා රෑ ගොරව ගොරවා නිදා ගත්තත්, ඒ අජීර්ණයෙන් ඇති වන පාචනය නිසා, රෑ පහන් වන තුරු නිදි වරන්නට සිදු වන දවසක් ඔවුන්ට ළඟ දී ම උදා වනු ඇත, ඒ ඔවුන් ඡන්දය දුන් නුසුදුස්සන් බලයෙන් මත් වී, දූෂිත ව, දාමරික ව, පිස්සු නටන්නට පටන් ගත් දාට ය.

Back to Home page