Colombo Telegraph

මූල්‍ය වංචා නඩු බරක් කරන ප්‍රමාද දෝෂ

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධිර

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් ලැබෙන වාර්තා මත ප්‍රභූන් සිර බාරයට ගැනීම අද පළවන දැවෙන පුවත් අතර මුල් තැන ගනී. විදේශ ගතව සිට ආපසු පැමිණි, බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපොළේ දීම අත්අඩංගුවට ගනු ලැබ, බන්ධනාගාර ගත කරන ලද්දේ, ගත වූ අප්‍රේල් මාසයේ දී ය. මේ දක්වා ඒ වැටුණු බලවතාට එරෙහි නඩුව ඇසීම ප්‍රත්‍යක්ෂව ආරම්භ වී නැති පරිසරයක, එසේ කිරීමට හේතු වූ චෝදනා ගැන පැහැදිලි අවබෝධයක් නොමැතිව, රෝගී ඇමතිතුමා ගිලන්රථයකින් රෝහලත් බන්ධනාගාරයත් අතර ඔබ මොබ ගෙන යනු බලා සිටි සාමාන්‍ය ජනතාව තුළ ජනිත වු ගැඹුරු සංවේගය, දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී.

යම් හෙයකින් බැසිල් රාජපක්ෂ මහතා යථා කාලයේ දී අධිකරණයකින් වරදකරුවකු බව තීරණය කරනු ලැබුවත්, ඔහු අත්අඩංගුවට ගැනීමේ දී හා බන්ධන ගත කිරීමේ දී ඔහුට සිදු වූ, වැලක් විය හැකි ව තිබූ, හෑල්ලුව දැකීමෙන්, ජනතාව තුළ ජනිත වූ, අනුකම්පාව ඒ තීන්දුව අබිබවා ඉස්මතු වන්නට ඉඩ තිබේ. ‘වැලක් විය හැකි ව තිබූ’ යයි මා කියන්නේ, පිටරට සිටිය දී ම තමාට විරුද්ධ චෝදනා දැනදැනත් පෙරළා පැමිණි තැනැත්තෙකු තුළ පැන යාමේ ප්‍රවණතාවක් ඇතිවිය නො හැකි බැවිනි. ඒ මානසික ප්‍රවණතාවය දැනට තමාට විරුද්ධව පරීක්‍ෂණ පැවැත්වෙන සෑම ප්‍රභූවරයෙකුට ම සාධාරණ ය. නීතියෙන් පැන යාම නිසා, අනිවාර්යයෙන් තමා ඉබේ ම, වරදකරුවකු බව ඔප්පු වීමෙන්, තමාගේ අනාගතය සදාට ම වැළලෙන බව ඔවුන් දන්නා බැවිනි.

බැසිල් රාජපක්ෂ මහතා මුහුණ දුන් තත්වය, එබඳු ම නඩුවක දී ජනාධිපතිගේ ලේකම්ගේ අත්දැකීමට හාත්පසින් ම වෙනස් විය. ඒ නඩුව මහාධිකරණයේ පැවරුණු අතර ලේකම්වරයා හිර භාරයට පත්කරවීම සඳහා, අවිධිමත් මාධ්‍යයෙන් නැගුණු දෝෂාරෝපණ මධ්‍යයේ, උගත් විනිසුරුවරිය විසින් එදින ම විත්තිකරු මුදා හරින ලදී. රිමාන්ඩ් භාරයේ පරමාර්ථය විත්තිකරු නීතියේ ග්‍රහණයෙන් පැන යාම වැළැක්වීම ය. ඉහත දැක් වූ හේතු නිසා, මූල්‍ය අපරාධ නඩුවලට පැටලුණු කිසිවකු තුළ පැන යාමේ සම්භාවිතාවක් ජනිත වීම අසීරු ය. ඔවුන්ගේ ප්‍රසිද්ධිය නිසා ඔවුන්ට ශිෂ්ට ලෝකයේ කොතැනක හෝ සැඟවී සිටින්නට නො හැක. සැඟවුනත් ඔවුන් අල්ලා ගැනීම ප්‍රශ්නයක් ද නොවනු ඇත. එබඳු පසුබිමක තමන් බැලීමට වැලිකඩට ඇදෙන ජන රැළ ප්‍රදර්ශනය කර, තමන් නිදහස් කරන්නයි රට පුරා රැළි පවත්වා, ජනතාව වටා අනුකම්පා බළකොටුවක් තනන්නට පසුබිම සාදන්නේ ඇයි? චූදිතයන්ට විරුද්ධව නෛතික පියවර ගන්නට කල් මැරීම හේතුවෙන්, අවසන් නඩු තීන්දු තමන්ට විරුද්ධව ලැබුනත්, ඒවා අර්ථශුන්‍ය කරන්නට ඔවුන්ට අවස්ථාව සැලසේ. ඒ ප්‍රමාදයෙන් පැන නැගෙන සැකය නිසා, මේ නඩු පැවරෙන්නේ පළි ගැනීමේ චේතනාවෙන් යයි ජනතාව කැලඹෙන්නට වුවද ඉඩ තිබේ.

මූල්‍ය අපරාධ නඩුවලට සම්බන්ධ වංචා හා වෙනත් අපරාධ ගැන ආණ්ඩුව කතා කළ කාලය සීමාව ඉක්මවා ගොස් තිබේ. සමහර නඩු ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‍ෂි සොයා ගැනීම අසීරු විය හැක. එසේ වුවත් පරීක්ෂණ සමාප්ත වී ඇති නඩු නො පවරන්නේ ඇයි? වේ ප්‍රමාදයට හේතුව කල් තියා සැලසුම් කිරීමට අසමත් වීමෙන් පැනනැගෙන ක්‍රමෝපාය කළමනාකරණ දෝෂයක් බව පෙනේ. පළමු ව මේ නඩු පවරන්නේ කවර උසාවියක දැයි තීරණය කළ යුතු ව ඇත.

මහේස්ත්‍රාත් උසාවියේ පැවරුණ නඩු මහාධිකරණයට මාරු කළ අවස්ථා ද දකින්නට ලැබිණ. පහළ උසාවියට ඇප දීමට බලයක් නො වූ බැවින් ඒ නඩුවල චූදිතයන්ට නඩුව ඉහළට ගෙන යන තෙක්, බන්ධනාගාරයේ තපින්නට සිදු විය. නැතහොත් ඔවුන්ට නිදහස ලබා ගැනීම සඳහා මහාධිකරණයට අභියාචනා කරන්නට සිදු විය. චෝදනා මට්ටම සලකා, ප්‍රතිපත්තියක් වශයෙන්. ආරම්භයේ දී ම, මේ නඩු කෙළින්ම මහාධිකරණයේ පවරන්නට පාලනාධිකාරය තීරණය කළේ නම් මේ තත්වය උදා නොවනු ඇත. මේ ප්‍රමාදය විත්තිකරුවන්ට සිදු වූ අසාධාරණයකි.

තවත් ප්‍රමාද වී ඇති තීරණයක් මේ නඩු අසන අධිකරණය හා එහි ව්‍යුවහයට සම්බන්ධ ය. මේ නඩු ඇසෙන්නේ මහාධිකරණයේ සාමාන්‍ය කාලසටහන ඇතුළත ද? එසේ වුව හොත් ඒවා දිග්ගැසෙමින් ගොස් අනන්ත කාලයේ ජලධාරාවෙහි දිය වී යනු ඇත. සමහර විට නඩු කෙළවර වන විට විත්තිය පැමිණිල්ල වන්නටත් ඉඩ තිබේ.

මේ අභියෝගයට ප්‍රත්‍යක්ෂ විසඳුම මේ නඩු ඇසීම සඳහා අතිරේක අධිකරණයක් හෝ ඊට වැඩි ගණනක් පිහිටුවීම ය. ඊ ළඟට මතුවන්නේ ඒ අධිකරණවල සංයුතිය පිළිබඳ ප්‍රශ්නයයි. චෝදනාවල හා චූදිතයන්ගේ බර අනුව විනිසුරුවන් එක් කෙනෙකුට වැඩි අධිකරණ අවශ්‍ය බව පෙනේ. විනිසුරන් දෙතුන් පලකගෙන් සමන්විත අධිකරණයක් ප්‍රතිපාදන අනුව, පිහිටුවීම අවස්ථාවෝචිත ය. මේ තීරණ ආරම්භයේ දීම ගත යුතු ඒවා ය. මූල්‍ය අපරාධ නඩුවලට සම්බන්ධ දේශපාලන බලපෑම් අවම කිරීම සඳහා යෝජිත විශේෂ අධිකරණවල විනිසුරන් අගවිනිසුරු තුමන් විසින් ම පත් කිරීම සුදුසු බව පෙනේ. නඩු කල් යාමෙන් ඇති වන පමා වළකා, මේ නඩු කඩිනමින් නිමා කිරීම සඳහා ඒවා මුල සිට අගට අඛණ්ඩව විමසීම අවශ්‍ය ය.

මේ ප්‍රශ්න කල් තියා සලකා බලා අවශ්‍ය පියවර නො ගත්තේ මන්ද යන ප්‍රශ්නය මෙහි දී මතු වෙයි. නීතිපති විශ්‍රාම යන තුරු ම අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට බලා සිටි, රජයකට මේ තත්වය අරුමයක් නො වේ. වර්තමාන රජය පොරොන්දු වූ ඉලක්ක තවමත් සපුරා ගැනීමට නො හැකි වීමට හේතුව මෙබඳු කළමනාකාර අතපසුවීම් බව පෙනේ. රට කරවන්ට අලුතෙන් පත් වූ නායකයෙකුට ඔහුගේ භාරදුර කාර්යභාරය ඉටු කිරීමේ දී අග්‍රගණ්‍ය උපාය මාර්ග උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීම ප්‍රඥා ගෝචර ය. එබඳු විශේෂඥයෙකු (කාර්යභාරයක් නැති) උපදේශක මණ්ඩලයේ මුදුනට පත් කර ගැනීමෙන් පාලනය පණ ගන්වා, අඩු වෙමින් ඇතැයි පෙනෙන ජනතා විශ්වාසය යළි දිනා ගැනීමට හැකි වනු ඇත. මූල්‍ය අපරාධ නඩු නිමා කිරීමේ ප්‍රමාදයත් ළඟ එන ප්‍රාදේශීය සභා මැතිවරණයත් අතර ඇති සම්බන්ධය ප්‍රබුද්ධ රජයකට රහසක් නො වේ.

Back to Home page