Colombo Telegraph

කාගෙ ගෑනි කාට ගියත්…

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

හෙට දින ලංකා මාතාව ස්වයංවරයෙහි නිරත වන්නට නියමිත ය. “ස්වයංවරය” පෙර සිරිතට ගැහැනියක තම සැමියා තෝරා ගන්නා උත්සවය යි. එහිදී ඇය කරන්නේ තමා විවාහ කර ගන්නට රැස්වන පිරිමින්ගෙන් තමා වැඩියෙන්ම කැමති තැනැත්තා තෝරා, ඔහුට මල්මාලයක් පළඳවා, ඔහු හා සමග විවාහ වීම යි. පෙර දවස ලංකා මාතාවගේ “ස්වයංවරය” සීමිත විය. ඒ සම්ප්‍රදාය අනුව, ඇගේ අභිමතය සීමා වූ බැවිනි. අවශ්‍යයෙන්ම රටේ රජපරපුරේ ඊළඟ පුරුක තෝරා ගැනීමට ඇයට සිදුවුණි.

ප්‍රජාතන්ත්‍රවාදය උදාවීමෙන් පසු ලක්මවගේ “ස්වයංවරයේ” සීමාව අසීමිත සේ පුළුල් විය. තෝරාගැනීම සඳහා දැන් ඇයට පක්ෂ රාශියක් ඇත. ඊට අමතරව “අලි මදිවට හරක්” කීවා සේ ස්වධීන කණ්ඩායම් දුසිම් ගණන් තිබේ. මේ පොරය නිසා ඇයට අද දක්වා සම්පුර්ණයෙන්ම රටට ගැලපෙන ආණ්ඩුපක්ෂයක් තෝරා ගැනීමට නො හැකි වී තිබේ. නිදහස ලැබුණු දා සිට, මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙකකට මල්මාලාව පැළඳුව ද, ඒ එක පක්ෂයකටවත් ඇගේ අවශ්‍යතා සපුරා ලන්නට මෙතෙක් හැකි වී නැත. පුරසාරම් කියා, නොයෙක් පොරොන්දු දී, මල්මාලාව කර ලවා ගත්ත ද, එය නො කඩවා දරා සිටින්නට සෑම පක්ෂයක්ම් අසමත් විය. එහෙත් පරාජයෙන් පසුබට නො වන ඔවුහු, නැවත නැවතත් එකිනෙකාගේ ලන්සුව දෙගුණ කරමින් මල්මාලාවට පොරකති.

පොරොන්දු

නාමයෝජනා බාර දුන් දා සිට දසතින් ඇසුණේ, ඒ හෙට්ටු පොරයේ දෝංකාරය යි. දෙන පොරොන්දු ඒ වූ පරිදි ඉටු වුව හොත් ලබන මැතිවරණයෙන් පසු මේ රට සුරපුරයක් වනු නො අනුමාන ය. රට පුරාම කර්මාන්ත පුර ය. පොකුරු ගම්මාන ය. සංචාරක කේන්ද්‍ර ය. අගහිග අයවලුන්ට බෙදා දෙන්ට පොරොන්දු වෙන භාණ්ඩ, මුදල් හා ණය ආධාර වෙස්සන්තර ජාතකය සිහි ගන්වයි. එක පක්ෂයක් දෙන පොරොන්දුව තවත් පක්ෂයක් දෙගුණ කෙරේ. එහෙත් බලයේ සිටියදී ඉටු නො කළේ මන්දැයි නො කියති. දේසපාලන වේදිකාවෙන් තරගෙට ලැබෙන පොරොන්දු ඇසෙන විට, පැරණි ගැමි කතන්දරයක් මතක් වෙයි. එය මෙසේ ය.

ගංවතුර ගලන දවසක, දීන් හා පාල ඔරුවකින් ගඟ හරහා යන්නට පටන් ගත්තේය. රළ පහර සැඩ වීම නිසා ඔරුව ගඟ මැද පෙරළුණි. පණ බේරා ගැනිම සඳහා, දෙදෙනා ගසා ගෙන යන ඔරු කඳේ එල්ලුනහ. සිරිත් පරිදි, පාලට කතරගම දෙවියන් සිහිවිණි. මේ අනතුරෙන් ගැලවීමට දෙවියන්ගේ පිහිට ලබා ගැනීම පිණිස ඔහු මෙසේ යාඥා කරන්නට පටන් ගත්තේය. “අනේ කතරගම දෙවි හාමුදුරුවනේ, තමුන්නාන්සේ මාව මේ ඇබැද්දියෙන් බේර ගත්තොත්, මම ඔබ වහන්සේට පාට හතේ මල්වට්ටියකුයි, පලතුරු හතක පූජාවට්ටියකුයි, නෙළුම්මල් මාලෙකුයි පූජා කරනව”.

මේ අසා සිටි, දීන් කතරගම දෙවියන් නො ඇදහූ නමුත්, පණ බේරා ගැනිම සඳහා කුමක් හෝ කළ යුතු බැවින්, ඔහු ද යාඥා කරන්නට පටන් ගත්තේය. ඔහු ම්ල්වට්ටි හත් සීයකුයි, පූජවට්ටි හත් සීයකුයි, රත්තරන් මාල හත් සීයකුයි බාර වන බව ඇසූ, ගිලෙන ඔරු කඳේ එල්ලී සිටි, පාලට මැරෙන්නට යන මොහෙතේවත්, පරම්පරාගත කුතුහලය යටපත් කර ගත නො හැකි විය. “ඈ තම්බි, තමුසේ කොහොම ද ඕව ඔක්කොම දෙන්නේ?” ඔහු දීන්ගෙන් ඇසුවේය. “බයවෙන්න එපා, අයියා,” දීන් ඇහැ ඉඟිමරමින් පාලට පිළිතුරු දුන්නේය “ගොඩට ගීහිල්ලනේ බාරෙ ගෙවන්නේ”. පාල කවරදාවත් මැතිවරණ රැලියකට සහභාගී වී නැති බව දීන්ට අවබෝධ වන්නට ඇත.

දේශපාලන වේදිකාවල දෙන පොරොන්දුවල පදනම කුමක් ද? ඒවා ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය මුදල් කන්දරාව ජාතිය සතු ද? නැති නම් එපමණ ණය සම්භාරයක් ලබා ගන්නට තරම් අපේ ආර්ථිකය ශක්තිමත් ද? යෝජිත ආයෝජනවලට ප්‍රමාණවත් සහයෝගයක් පිටරටින් ලැබේ ද? ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තිමත් යටිතල පහසුකම්, ශ්‍රමශක්තිය අපට තිබේ ද? මේ විස්තර ලබා ගන්නට සෑහෙන කාලයක් ගත වේ. ඒ ගවේෂණය කළ යුත්තේ සියුම් ක්‍රමවේදයකට අනුව ය. එබඳු පදනමක් නොමැතිව, වේදිකාවෙන් නැගෙන කයිවාරු මත, ජාතියේ අනාගතය වෙනස් කළ හැකි තීරණයක් ගැනිම අසීරු පියවරකී.

ජාතික සැලැස්මක්

දෙන පොරොන්දු නො වරදවා ලැබෙන්නට නම්, ඒවා ක්‍රමානුකූල ජාතික සැලැස්මක පදනම් විය යුතුය. එබඳු සැලැස්මක් සකස් කිරීම ආවට ගියාට කළ හැක්කක් නො වේ. එබන්දක් සකස් විය යුත්තේ ආර්ථික/සමාජ විද්‍යඥයන් විසිනි. ඒ සඳහා සමීක්ෂණ, ගවේෂණ හා අධ්‍යයන අනිවාරිය ය. එදා මෙදාතුර එබඳු ජාතික සැලැස්මකින් අපේ ගමන්මග සලකුණු නො වීය. වැත්තෙන් වැත්ත, හිතුමතේ පොරොන්දු දෙමින්, අප රැවැට්ටිමට අපේ දේශපාලකයන්ට හැකි වුයේ, එබන්දක් අප සතු නො වූ බැවිනි.

ලෝකයේ දියුණු රටවල දේශපාලකයන්ට එබඳු අසංවිධිත, ඒකපාක්ෂික ප්‍රකාශ කළ නො හැක්කේ කොයි පැත්තෙන් ආවත්, සම්මත ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන් සියලු දෙනාම බැඳී සිටින නිසා ය. ලෝකයේ ඉතාම බලවත් පුද්ගලයා යයි කියන ඔබාමාටවත් කොන්ග්‍රස් මණ්ඩලයෙන් සම්මත නො වූ සැලැස්මක් ක්‍රියාත්මක කළ නො හැක. මැතිවරණයෙන් පසු කොයි පක්ෂය බලයට ආවත්, නව රජයේ මංගල පියවර විය යුත්තේ එබඳු ස්ථාවර ජාතික සැලැස්මකට අඩිතාලම දැමීම යයි සිතමි.

මෙතෙක් බලයට පැමිණි සැම පක්ෂයක්ම ගත් තීරණ අද රට පත් වී ඇති තත්වයට වග කිව යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් වරින් වර ගෙන ආ පනත් මගින් පියවරෙන් පියවර ඔවුහු රට එකාධිපතිත්වයට යොමු කළහ. එහෙත් ඒ සෑම අසම්මත ක්‍රියාවක්ම බැර වුණේ, පුරවැසි අපේ නමට ය. හේතුව ඒ තීරකයන් තෝරා පත්කර ගන්නා ලද්දේ පුරවැසියන් වූ අප විසින් බැවිනි. කාගේ ගෑනි කාට ගියත් ළමයි ලැබුණේ අපේ නමට ය. ඒ අසාධාරණය ඉවත් කිරීම අත්‍යවශ්‍ය පියවරකි. ඒ සඳහා තැබූ මුල් පියවර පසුගිය ජනාධිපති මැතිවරණයෙදී තබන ලද බව පෙනේ. මින් පෙර එබඳු උත්සාහයක් නො ගත්තා නොවේ. එහෙත් ඒ එකක්වත් සාර්ථක වුයේ නැත.

යහපාලන පුරවැසි පෙරමුණ

රටේ ගමන් මග වෙනස් කරන්නට රටේ සාමාන්‍ය ජනතාව තැබූ මුල්ම සාර්ථක පියවර මාදුළුවාවේ සොභිත හිමියන් ප්‍රමුඛ යහපාලන පුරවැසි පෙරමුණ යි. අලුත් දේශපාලන පරිසරයක් බිහි කිරීමට ඔවුන්ගේ මග පෙන්වීම උපයෝගී වූ බව ප්‍රත්‍යක්ෂ ය. රජය යහමගට යොමුකරන්නට කැප වූ නො නිල ආයතන රාශියක්ම වරින්වර බිහි වූ නමුත් ඒ එකකටවත් යහපාලන පුරවැසි පෙරමුණ අත්කර ගත් අර්ථසිද්ධිය ලඟා කර ගන්නට බැරි විය. පසුගිය ජනවාරි 8 වන දා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ යම් විප්ලවයක් සිදු වූණා නම්, එහි නම්බුව ප්‍රමුඛ වශයෙන් යා යුත්තේ ඒ පෙරමුණට ය. ඔවුන් සමාජය තුළ නැගූ ප්‍රතිරාවය නො වන්නට ඒ විප්ලවය ඇටකුනා වන්නට ඉඩ තිබිණ.

පුරවැසි පෙරමුණේ සහයෙන් බිහිවූ අලුත් අත්දැකීම නව රජය යටතේ පෙරමුණටම ගෙනයාම යහපාලනයේ මුඛ්‍ය අවශ්‍යතාවකි. අපට ලැබෙන ළමයින් අපේම ළමයින් බවට වග බලා ගැනිමට මධ්‍යස්ථ යාන්ත්‍රණයක් අවශ්‍ය ය. එය පාලන තන්ත්‍රයට සමගාමිව, එය නිරීක්ෂණය කරමින් ඉදිරියට යන, මහජන මණ්ඩලයක් විය යුතු ය. ඒ ආයතනය පවතින රජයේ හොඳහිත මත එහි අනුග්‍රහයෙන් යැපෙන්නක් නොවී, ස්වාධීනව, අපක්ෂපාතව, ජනතාව වෙනුවෙන් රජය ගණකාධිකරණයට ලක්කරන ව්‍යවස්ථාගත උපකරණයක් විය යුතු ය. එබඳු සංස්ථාවක්, අලුතෙන් ලියන්නට නියමිත ව්‍යවස්ථාවට ඇතුළත් කිරිම 17 වන දා බලයට ඒන රජයේ පරම යුතුකමකි. එය උත්තර මන්ත්‍රණ සභාව, සෙනෙට් සභාව හෝ එබඳු සුදුසු පාඨයකකින් නම් කළ හැක. රටේ නම පතල විද්‍යඥනයන්ගෙන්, විශාරදයන්ගෙන් හා ඒ ඒ පළාත නියෝජනය කරන, ජන සම්මානය දිනූ, ප්‍රභුන්ගෙන් ඒ මණ්ඩලය සමන්විත විය යුතු ය. නිදහස්ව, නිර්භයව පවතින රජය විෂයබද්ධව විවේචනය කරන්නට ඒ ආයතනයට බලය තිබිය යුතු අතර, ඒ විවේචනවලට සාධනීය ප්‍රතිචාරයක් දක්වීමට ඒ රජය බැඳී සිටිය යුතුය.

දැවෙන ප්‍රශ්න

අලුතින් බිහි වන, රජයට රටට දැනෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට වර්ෂ කීපයක් ගත විය හැකි නමුත්, මුල් අවුරුද්ද ඇතුළතම නිමා කළ හැකි, නිමා කළ යුතු, වැඩ කීපයක් ඇත. ඉන් පළමුවැන්න, විටින් විට, රාජ්‍යනායකයන් විසින් තමන්ගේ බලය තහවුරු කර ගැනිම සඳහා අණ්ඩ දමන ලද, මුල සිටම ඒකාධිපති පාලනයකට තුඩු දුන්, ‘බහුබූත ව්‍යවස්ථාව’ ඉරා දමා, ඒ වෙනුවට අත්‍යන්තයෙන්ම ජනහිතකාමී, අනාගතයට ඔරොත්තු දෙන, සංයුක්ත ලේඛනයක් නිර්මාණය කර ගැනීම යි. ඒ සමගම නුසුදුස්සන්ට, දාමරිකයන්ට, කූට ව්‍යපාරිකයන්ට හා ජාතිවාදීන්ට මුදල් බලයෙන්, චන්ඩ්කමින්, පාරලිමේන්තුවට රිංගා ගැනීමට මග පෑදු, මැතිවරණ නිතිය ද අලුතින්ම ලිවිය යුතුව ඇත.

මේ කටයුතුවල නිරතවිමේදී, අවශ්‍යයෙන්ම සිහි තබා ගත යුතු ප්‍රධාන කරුණු කීපයක් තිබේ. අනාගතයේදී වාර්ගික ගැටුමකට ඉඩ නො තබා, ජාතික සමගිය තහවුරු කිරීම ඉන් පළමු වැන්න යි. දැනට ඒ ප්‍රශ්නය යන්තමින් ගැටගැසී තිබෙන්නේ ඉන්දියානුවන් විසින් බලෙන් අපේ කර මත පැටවූ 13 වන සංශෝධනය නිසා ය. එහෙත් ඒ විසඳුම දෙපැත්තටම තෘප්තිකර නැත. දෙමළ ජනතාව තවතවත් අයිතිවාසිකම් ඉල්ලන අතර, දුන්නා වැඩි යයි සිංහල ප්‍රේමීහු තර්ක කරති. නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී අලුතෙන්ම සිතිය යුතු ප්‍රශ්නයකි මේ. තමතමන්ගේ ප්‍රායෝගික සීමාවන් දෙපක්ෂයම තාත්විකව වටහාගත යුතු අතර, දෙපක්ෂයටම ගැලපෙන විසඳුමක් නිර්මාණය කර ගැනීම සඳහා බලයට පත් වන පක්ෂය නම්‍යශීලී විය යුතුය.

ඈති-නැති පරතරය උපරිම මට්ටමට පටු කිරීම නව රජයේ තවත් අභියෝගයකි. ඒ සඳහා රටේ නැති-බැරි පුරවැසියන්ගේ ආදායම් මාර්ග පුළුල් කිරීම අනිවාර්ය ය. රැකියා අවස්ථා උත්පාදනය ඊට පිළිතුර වේ. එසේ කළ හැක්කේ ගොවිතැන හා කර්මාන්ත දියුණු කිරීමෙනි. ණය පහසුකම් සැලසීම, විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කිරීම හා යටිතල පහසුකම් දියුණු කිරිම ඊට අවශ්‍ය උපායමාර්ග වේ. මේ අවශ්‍යතා රාජ්‍යබලය අපේක්ෂා කරන ඇතැමුන් හොඳින් වටහාගෙන ඇති බව පොකුරු පිටින් ඔවුන් දෙන පොරොන්දුවලින් වටහා ගත හැක. එපරිද්දෙන්ම ඒවා ඉටු කිරීමට ඔවුන්ට හැකි වුව හොත් රටේ ආර්ථිකය ස්ථාවර වනු ඈත.

මූලික අයිතිවාසිකම් ස්ථාවර කිරීම අලුත් ආණ්ඩුවේ තවත් වැදගත් යුතුකමකි. මෙහිදී ඈති-නැති පරතරය දුරලීම පමණටම ප්‍රමුඛත්වය ලැබිය යුතු කරුණකි ප්‍රවර්තන පුරුෂාධිපත්‍යය යටතේ ස්ත්‍රින්ට සිදු වන හිරිහැර, පීඩන හා අසාධාරණකම්. ඒවා සොයා සමනය කිරීම. හැදෙන වැඩෙන දරූ පරම්පරාවේ අඩුපාඩු සපුරාලීම තරම්ම වැදගත් ය. නිදහස් අධ්‍යාපනයේ ඌණතා සම්පුර්ණ කොට, දැයේ දරුවන්, උගත්, සෞඛ්‍ය සම්පන්න, ශිෂ්ට පුරවැසියන් වශයෙන් සමාජයට ඉදිරිපත් කිරීම හෙට අනිද්දා රට බාර ගන්නා පාර්ශවයේ පරම යුතුකමකි. ව්‍යාපාරිකයින්ගේ නොයෙක් බාධක හා විද්‍යඥයින්ගේ තර්ක විතර්ක මැද කුරෝළු වෙමින් යන ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යථාවත් කිරිම ද ක්ෂණික අවධානය යොමු විය යුතු ගැටළුවක් බවට පත් වී තිබේ.

මේ ප්‍රශ්න විසඳීම සඳහා, අලුත් පාරලිමේන්තුව විසින් බිහි කෙරෙන කිරිකැටි ළමයින් අපේම ළමයින් ද, ඔවුන් අංග සම්පුර්ණව උපදින්නේ ද යන වග පුරවැසි අප වෙනුවෙන් තහවුරු කිරිම, ස්ථාපිත කරන්නට යෝජිත, පුරවැසි පෙරමුණේ ප්‍රතිබිම්බය වූ, උත්තර මහජන මණ්ඩලයට භාර ය.

Back to Home page