Colombo Telegraph

ව්‍යවස්ථාව පිළිබඳ පලහිලව්ව

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

අලුත් අවුරුද්දේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්නට ආණ්ඩුව පොරොන්දු වී තිබිණ. දැනට වලංගු ව්‍යවස්ථාව කාලානුරුප කර, තවම අවුරුද්දක් ගත වී නැත. ජයෝදාවත් සමග, උත්සවශ්‍රීයෙන්, ඒ කටයුත්ත සැල කළ නමුත්, පැලැස්තර දැමූ ලේඛනයක් ඉතිරි කොට වැඩේ හීන්සීරුවේ නිමාවට පත්වුණේය. අලුත් අවුරුද්දේ නමෝවීත්තියෙන් ව්‍යවස්ථාවක් ගෙන එන්නට රට කරවන්න්නන් පෙළඹ වුයේ ඒ පටලැවිල්ල විය යුතුය.

අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී, ගිය අවුරුද්දේ එවැන්නක් සඳහා ගත් උත්සාහය ව්‍යාර්ථ වුයේ මන්දැයි සිතා බැලීම නුවණට හුරුය. එහිදී ඇතැම් පාරළිමේන්තු මන්ත්‍රීවරුන් යෝග්‍ය පරිදි, ජාතික අවශ්‍යතාවක් සපිරීමේ පරමාර්ථයෙන් ක්‍රියා නො කළ බව පැහැදිලි විය. පැහැදිලිවම ඔවුන් මෙහෙයවනු ලැබුවේ කණ්ඩායම් අතර ඇති භේදයන්ට වඩා ඒවා තුළම වූ හැලහැප්පිලිවලිනි. පැවති අධිකාරයට හිතවත් කණ්ඩායම ඒ දෝස්මුර දැම්මේ ප්‍රතිපත්ති මුලකව නොව, උපායමාර්ගයක් වශයෙනි. දබරය මුහුකුරා යත්ම, ආරම්භයේදී ප්‍රකාශිත යහප්‍රතිපත්ති හුළඟේ ගියේය. ඔරුව නො පෙරළී, බේරා ගැනීම සඳහා, නොයෙක් ඉඩප්‍රස්ථා දී, කේවෙල් කරන්නට බලධාරීන්ට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ වහාම විසඳා ගතයුතු අවුල්ජාලයකි. ඒ තත්වය තවමත් පහව ගොස් නැත. ඇත්ත වශයෙන් එය තව තවත් කුරෝළු වෙමින් පවතී.

ඇම හා කේවෙල්

අලුත් ව්‍යවස්ථාව හදන්නට පෙර, ඒ සම්බන්ධයෙන් ගිය අවුරුද්දේ දැරූ උත්සාහයට සිදු වූ ඉරණම මෙනෙහි කිරීම ප්‍රයෝජන වත් වනු ඇත. ව්‍යවස්ථාවක් සෑදීමේ දී, මන්ත්‍රීවරුන්ට තමන්ගේ යුතුකම් හා සදාචාරය අමතක කරවන හේතු හා හිඩැස් මොනවා දැයි අප විසින් සොයා බැලිය යුතු ය. නිදහස ලැබූ දා පටන්, කීප වතාවක් ම උත්සාහ ගත් නමුත්, කාලයටත්, පරිනාමණයටත් ඔරොත්තු දෙන, ව්‍යවස්ථාවක් හදා ගන්නට අපට නො හැකි වූ බව ප්‍රත්‍යක්ෂ ය. නව ව්‍යවස්ථාවක් තැනූ සෑම අවස්ථාවක ම, කාලය හා අත්දැකීම විසින් එහි අඩුපාඩු පෙන්වා දෙන තෙක්, එය ඉස්තරම් යයි අප සිතා සිටි හැටි විස්මය ජනක ය. ශිෂ්ට ලෝකයේ නියම ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් වන්නට අපට සැබෑ උවමනාවක් ඇත්නම් පෙර කළ වැරැද්දෙන් මෙවර වැළකෙමු.

ජාතිවාදය, ආගම්වාදය වැනි හේතු කීපයකට අමතරව, අපේ ව්‍යවස්ථාදායකය සුදු පොලක් බවට පත් කළ, හේතු දෙකක් මම දකිමි.

1. ඉන් එකක් ඇම දැමීමයි. එනම් බලයේ රැඳී සිටීම සඳහා, නායකයන් තමන්ගේ බහුතරය තර කර ගැනීම පිණිස, සාමාජිකයන් ඇද ගැනීම සඳහා රෙපෝරු වශයෙන් ඇමති තනතුරු පාවිච්චි කිරීම යි. පාරලිමේන්තුවේ බහුතරය යෝග්‍ය පරිදි, ප්‍රතිපත්ති මත නොව, වාසිය හා ලාභය මත රැඳී ඇත්තේ මේ කේවල් කිරීම හේතු කොට ගෙන ය.

2. අනික හෙට්ටු කිරිම යි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බලයේ රැඳී සිටීම සඳහා පක්ෂයෙන් පක්ෂයට මාරු වීමෙන් මේ තත්වය ඇති වේ. මෙහි දී, තමන් කෙරෙහි ඡන්දදායකයන් තැබූ විශ්වාසය බිඳ දැමීමට ඔවුන් මෙහෙය වනු ලබන්නේ, බලයට ඇති කෑදර කමෙන් ජනිත වන පෞද්ගලික වාසිය යි. ජනතා විශ්වාසය බිඳ දැමීමට ප්‍රධාන වශයෙන් වගකිය යුත්තේ ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය, පියවරෙන් පියවර දියාරු කළ, අධිකරණය යි.

සූදු පොලක්

දේශපාලන ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් ඔට්ටු මඩුවක් බවට පත් වුන හැටි ප්‍රත්‍යක්ෂය. අපේ දේශපාලන ඉතිහාසය පුරාම විද්‍යමාන වූ මේ ප්‍රවණතාවය 2004 දී උත්සන්න වී, සියුම් බල තුලනයක්, ඒකාධිකාරයක් බවට පත් කළේ ය. එහෙත් ඊට අභියෝග කළවුන්ගේ කාර්යසාධනය ඊටත් අන්ත වී තිබේ. කාලයක් තිස්සේ යටපත් වී තිබුණු, ජනතා අභිලාෂයක් සන්තර්පණය කරමින් 19 වන සංශෝධනය කඩිමුඩියේ සම්මත කර ගන්නා ලදී. එමගින් රට පුරා නැගුණු ප්‍රීති ඝෝෂා මධ්‍යයේ අමාත්‍යාංශ ගණන, සාධු සිතින් 35ට සීමා කරන ලදී.

එහෙත් මාස කීපයක් ගත වන්නට පෙර, සංශෝධනය තුළ උපක්‍රමශීලිව සඟවා තිබූ ගැටයක් ඔස්සේ ඒ සීමාව හීන්සීරුවේ උල්ලංඝනය විය. උල්ලංඝනයට මග පෑදූ අවසරය රඳා තිබුණේ කැබිනෙට්ට්වේ ප්‍රමාණය අනුව නොව හරවා ගත යුතු ප්‍රතිලාභ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව මත බව පෙනී ගියේ ය. එමගින් පාලක පිළ ශක්තිමත් කරන්නට අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණනට සමාන අමාත්‍යාංශ ගණනක් මවන්නට රජයට අවස්ථාව පෑදුණ නමුත්, ඒ පියවර නිසා ප්‍රතිපාදන නාස්තියේ බර දරන්නට සිදු වූ, ඔවුන් බලයට පත් කළ, ජනතාව අතරේ ආන්දෝලනයක් ඇති කළේ ය.

මේ උප්පරවැට්ටි නිසා අපේ පාරලිමේන්තුව වෙන්දේසි පොලක් බවට පත් වී තිබේ. එමගින් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් අතර තිබිය යුතු සාමාන්‍ය අනුපාතය උඩු යටිකුරු වීම නිසා අපේ ව්‍යවස්ථාදායකය විහිළුවක් බවට පත් වී ඇත. තවත් අමාත්‍යංශ ළඟ දීම තනන්නට යන බවක් ද සැල ය. උපරිම සීමාව කාර්යභාරය නොව පාරලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් ගණන බව පෙනේ. පාලකයන්ගේ වාසනාවට ශබ්දකෝෂයේ පදවි නාම හිඟයක් නැත.

වෘත්තීය ප්‍රවේශයක්

2015 ඔක්තෝබර් 2 දා අයිලන්ඩ් පත්‍රයේ පළ වූ “අලුත් ව්‍යවස්ථාවක් තැනීම: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඒකාධිකාරයෙන් වැළකෙන්න” නමින් පළ වූ මගේ ලිපියේ මෙසේ සැල කළෙමි:

“අලුත් ව්‍යවස්ථාවක් තනන ප්‍රයත්නයේ දී, අතීත අත්දැකීම්වලින් වර්තමාන රජය ඉගෙන ගත යුතු පාඩමක් ඇත. එනම් තමන්ගේ පුද්ගලික වාසිය හා මහජන සුබ සිද්ධිය අතර ඇති විය හැකි ගැටීම නිසා, බලයේ සිටින මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා කරණයට සහභාගි වීමෙන් එය විකෘති වීමට ඉඩ තිබෙන බව ය.. මෙසේ සිදු විය හැක්කේ නඩුවත් බඩුවත් තමන් සතු වීම නිසා, ඔවුන්ගේ පෞද්ගලික වාසිය ජනතා අවශ්‍යතාවට උඩින් තැබීමට ඉඩ ඇති බැවිනි. එපමණක් නොව, ලේඛනයේ දර්ශනය හා පරිමාව ද ව්‍යවස්ථා දායකයාගේ නිපුණත්වයට සීමා වේ. ඒ තත්වය වළකා ගැනීම සඳහා යෙදිය යුතු ප්‍රත්‍යක්ෂ පිළියම නම් පෞද්ගලික බලපෑම්වලින් හා සීමාවන්ගෙන් වියුක්ත වීම පිණිස ක්‍රියාකාරී දෙසපාලකයන්ට විවෘත නො වූ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලවා ව්‍යවස්ථාවේ කෙටුම්පත සකස් කරවීම යි. අතීත අත්දැකීම්වලින් පැහැදිලි වන්නේ, ව්‍යවස්ථාවක් ජනහිතකාමී, සමබර නීතියක් කරන්නට අවශ්‍ය නම් එය නිර්මාණය කිරීමේ කටයුත්ත තාවකාලික ව්‍යවස්ථා දායකයන් කණ්ඩායමකට පැවරීම අඥාන ක්‍රියාවක් බව ය.

ඇරත් ව්‍යවස්ථාව ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරන ලියවිල්ලකි. ව්‍යවස්ථාදායකය ඒ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන එක අංශයක් පමණි. සීමිත කාලයක් තුළ, නියමිත වැඩසටහනක් මෙහෙය වන්නට තේරී පත් වන ඔවුන්ට ජනතාවගෙන් වරමක් නො ලබා පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්නට බලයක් නැත. ඒ හේතුව නිසා, පසුගිය දා පාරලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ සඳහන් යෝජනාව ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීමකි. ඒ සත්‍යය වැටහීමෙන් දෝ, දැන් ඒ යෝජනාව අකුළ ගෙන ජනතාවගේ අදහස් විමසීම සඳහා රට වටා යන කමිටුවක් පත් කර තිබේ.

ඒ පියවරෙන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අනිත් පර්යන්තයට තල්ලු වී ඇත. අසංවිධිත කණ්ඩායමකට හිතුමතේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා පිටවාන විවෘත කර තිබේ. එසේ කිරීමේ දී, පිල් බෙදීම නිසා අලුත් ව්‍යවස්ථාවක් තැනීමට විරුද්ධ කල්ලියක් ඇති බව අමතක වූ සේ ය. දිස්තිරික්කයෙන් දිස්තිරික්කයට යාමට නියමිත වීදි නාටකය විසිරි සිටින, නො දැනුවත් ජනතාව අතර කලබල ඇති කිරීමට යොදා ගෙන, වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නට ඔවුන්ට ඉඩ ඇති බව නො පෙනුණේ ද? සුලබ ජනප්‍රියත්වයක් පතා, ගෙන ඇති ඒ පියවරේ දුර්විපාකයන්ට මුහුණ දීමට රජය සුදානම් බවක් නො පෙනේ.

පළාත් සභාවලට තැනක්

ඇරත් අතරමග අහම්බෙන් එකතු කර ගත් පුද්ගලික මතවල ඇති ව්‍යවස්ථාමය වටිනාකම කුමක් ද? ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි අර්බුදවලට වග කියන්නේ කවුද? ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මූලික පියවරක් වශයෙන් ජනතා මතය විමසිය යුතු බව සත්‍යයකි. එහෙත් ඒ විමසීම නිසි පරිදි සංවිධානය විය යුතු ය. ජනමත විමසීමක් නියම කර ඇත්තේ ඒ නිසා ය. පරිපූර්ණ ජනමත විමසීමක් පැවැත් වීමට අවශ්‍ය අවබෝධය හා තාක්ෂණය මෙරට සතු නො වීම අභාග්‍යයකි. ඒ අඩුව පිරවීමට ඇති හොඳ ම විකල්පය දැනටමත් පිහිටුවා ඇති පළාත් ආණ්ඩු ක්‍රමය යොදා ගැනීම යි.

පළාත් සභා විමසීමෙන් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගත හැක. මහා රජයෙන් තමන්ට නිසි තැන නො ලැබීම ගැන පළාත් සභා කලකිරී සිටින බව පැහැදිලි ය. මේ නො සැලකිල්ලට එරෙහිව නඩු මගට බහින බවට පවා තර්ජන එල්ල වී තිබේ. එබඳු පසුබිමක ව්‍යවස්ථාව පිළිබඳ ව ඔවුන් විමසීමෙන් අන්නෝන්‍ය සම්බන්ධය තහවුරු වී, ඔවුන් මහ රජයට වඩා සමීප කෙරෙනු ඇත.

පළාත් සභා විමසීමෙන් ලැබිය හැකි තවත් සැඟවුණු වාසියක් තිබේ. පළාත් සභා පිහිටුවීමේ එක ම පරමාර්ථය විසිරෙන සුළු ජන කොටස් රඳවා ගැනීම බව පෘථුල දුර්මතයකි. එනිසා ඔවුන් අතර ඇති පොදු ප්‍රශ්න රාශියක් අමතක ව ගොස් තිබේ. එක ම වේදිකාවක ඔවුන් විමසීමෙන් ඔවුන්ගේ පොදු ප්‍රශ්න ඉස්මතු වී එකට එකතු වී, ඒවාට සාමූහික විසඳුම් සොයන්නට ඔවුන් පෙලඹෙනු ඇත. එසේ කිරීමේ දී, වාර්ගික ප්‍රශ්න යට පත් වී, ආර්ථික හා කළමනාකරණ ප්‍රශ්න ඉස්මතු වී, ඒවාට විසඳුම් සොයන්නට ගන්නා සාමූහික ප්‍රයත්නයේ දී, පරම්පරා ගත එදිරිවාදිකම් කාලයත් සමග මැකී යාම ස්වාභාවික ය.

අසාධාරණ සීමාවක්

ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලය පාරලිමේන්තුව පවරා ගෙන ඇත්තේ, සෝල්බරි ව්‍යවස්ථාවේ නියමයක නෂ්ටාවශේෂයක් වූ 1978 ව්‍යවස්ථාවේ 82 වගන්තිය යටතේ විය යුතු ය. එහි ප්‍රතිඵලය යටගිය ව්‍යවස්ථාදායකයක බලය පණ ගැන්වීමකි. 1972 ව්‍යවස්ථාව ඒ බලපෑමෙන් ඉවත් වී, පාරලිමේන්තුවෙන් පිට තැනක අලුතින් ම ව්‍යවස්ථාවක් නිර්මාණය කළේ ය. ඔවුන් අතින් වෙනත් වැරැද්දක් සිදු විය. එනම් ව්‍යවස්ථා නිර්මාණය මන්ත්‍රීන්ට පමණක් සීමා කිරීම ය. එනිසා පරමාධිපත්‍යය දරන ජනතාව කොන් වී මන්ත්‍රීන්ගේ සිතැඟි පමණක් ඉස්මතු විය. ප්‍රතිඵලය වුයේ ව්‍යවස්ථාව ඒකාධිපති ස්වරූපයක් ගැනීම යි.

මෙබඳු පසුබිමක, 1972 දී මෙන්, ඓතිහාසික හේතූන් නිසා, තමන් මත පැටවෙන බැඳීම් පසෙක ලා, ජනතා සහභාගිත්වය පිළිබිඹු කරන, ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කිරීම බුද්ධි ගෝචර ය. මෙහි දී ජනතාව සමග ඇති කර ගත හැකි හොඳ ම ව්‍යුහාත්මක සම්බන්ධය රාජ්‍ය තන්ත්‍රයේ දැනට පවතින සැකිල්ල යි. ඒ අනුව, දැනට බලපවත්වන දේශපාලන ආරුක්කුවේ පුරුක් පහත දැක්වෙන පරිදි සංග්‍රහ කොට, ව්‍යවස්ථාදායක සභාවක් පිහිටු වන්නැයි මම යෝජනා කරමි.

1. සෑම පළාත් සභාවකින් ම නියෝජිතයෙක්

2. පාරලිමේන්තුවේ නියෝජනය වන සෑම පක්ෂයක ම නියෝජිතයෙක්

3. විරුද්ධ පක්ෂයේ නායක

4. කථානායක

5. අගමැති

ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන ජනාධිපතිට පිරි නැමේ.

සර්වතෝභද්‍ර කෙටුම්පතක්

සාකච්ඡා මෙහෙයවීම සඳහා අග්‍රගණ්‍ය කෙටුම්පතක් අවශ්‍ය වේ. රජය විසින් ව්‍යවස්ථා කරණයට සහය වීමට පත් කර ඇති කමිටුවේ සාමාජිකයන්ගේ සුදුසුකම් ගැන ප්‍රශ්නයක් නැති නමුදු, ඒ සෑම කෙනෙකුට ම නියමිත කර්තව්‍යයට, විශේෂයෙන් ම කෙටුම්පත් කාර්යයට, අදාළ වෘත්තීය නිපුනත්වය හා අත්දැකීම ඇද්දැයි ප්‍රශ්නයක් මතු වේ. මෙරටේ එබන්දන්ගේ අඩුවක් ඇතුවා නො වේ. තමන්ගේ විශේෂඥ දැනීමෙන් හා අත්දැකීමෙන් කෙටුම්පත පෝෂණය කළ හැකි කීප දෙනෙකු ම මම දනිමි. ඔවුන් අතර, ව්‍යවස්ථා කරණ ක්‍රියාවලියට සක්‍රිය ව සහය වී ඇති විශ්‍රාමික ලේකම්වරු, ව්‍යවස්ථා නීතිය ප්‍රගුණ කළ, ජාත්‍යන්තර ආභාසය ලත් විශේෂඥයෝ, මහාචාර්යවරු සිටිති. ඔවුන්ගෙන් සමහරු නිතර මේ විෂය ගැන පුවත්පත්වල අදහස් පළ කරති. පාරලිමේන්තුවේ පළ වන විවිධ මත සංග්‍රහ කොට, ආදර්ශ කෙටුම්පතක් සකස් කරවා ගැනීම සඳහා ඔවුන්ගේ දේශපාලන ප්‍රවණතා නො සලකා, එබඳු පුද්ගලයන්ගේ සහාය ලබා ගත යුතු යයි යෝජනා කරමි.

එබන්දන් ප්‍රවර්තන ව්‍යාපෘතියට සහභාගී කර නො ගැනීම මවිතයට කරුණකි. ඔවුන් කොන් වී ඇත්තේ දේශපාලන හේතුන් මත ද? ව්‍යවස්ථා සම්පාදනය, තරඟකාරී හෝ විරුද්ධවාදී ක්‍රියාවලියක් නො වන බව මෙනෙහි කළ මැනවි. එහි සාර්ථකත්වය රඳා ඇත්තේ, සම්මුතිය මත ය. ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පත් කළ යෝජනා කීපයක් පිළිගැනීමෙන් පසු ඔවුන් දැක්වූ සුබ ප්‍රතිචාරය මේ සත්‍යය ඔප්පු කර ඇත. අලුත් ව්‍යවස්ථාවේ සාර්ථකත්වය රඳා ඇත්තේ, අදාළ පාර්ශවවල නියෝජනයත්, අවංක සම්මුතියත් මත ය. වාර්ගික හා ආගමික විෂයන්ට සම්බන්ධ වගන්තිවලට පරස්පර මතවාද ඉදිරිපත් වී හැක. බහුතරයේ පරම්පරා ගත අයිතිවාසිකම් යට පත් කරතියි සැක කෙරෙන පියවරයන්ට විරුද්ධ ව ඇතැම් කණ්ඩායම් විසින් දැනටමත් උද්ඝෝෂණ පවත් වති. කෙටුම්පත් කරුවන් ඉදිරියේ ඇති අභියෝගය එබඳු හැල හැප්පිලිවලට ඉඩ නො තබා පිටපත සකස් කිරීම ය.

මහජන යහපත පාව දිය නො හැක

පරිසමාප්ත කෙටුම්පතක් සැකසීම කටයුත්තෙන් බාගයක් පමණි. අනිත් බාගය, 19 වන සංශෝධනය අනුමත කිරීමේදී සිදු වුනාක් මෙන්, තමන්ගේ පෞද්ගලික වාසිය සලසා ගැනීම සඳහා එය විකුර්ති කිරීමට මන්ත්‍රීවරුන්ට ඉඩ නො දීම ය. තමන්ගේ පෞද්ගලික ස්ථාවරයන්ට හෝ වාසියට පටහැණි වගන්ති ඔවුන් නියාලු ව පිළිගනිතැයි සිතීම ප්‍රඥාගෝචර නො වේ. එබඳු අවස්ථාවක දී, ඔවුන් ස්ථාවර නියෝග තුළ ඇති හිඩැස්වලින් රිංගා පනත අනුමත කර ගැනීමට බාධා කිරීමෙන් දෙපාවක් මතු වනු ඇත. අමාත්‍යංශ ගණනට උපරිම සීමාවක් හෝ පිල මාරු කිරීමට තහනමක් ඔවුන් ඉබේම පිළිගනිද්ද? ඊට නායකත්වය ද, 19 වන සංශෝධනයේ දී දැක්වූ, ප්‍රතිචාරය ම දැක්වුව හොත් අලුත් ව්‍යවස්ථාවත් පරණ පාරේ ම යනු නො අනුමාන ය. ව්‍යවස්ථා කරණ ක්‍රියාවලියට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගත යුතු නැතැයි යෝජනා කෙරෙන්නේ ඒ නිසා ය. ඊට ව්‍යතිරේකය, සෑම මට්ටමක ම නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සැකසුණු ව්‍යවස්ථාවකට දැක්වෙන පෞද්ගලික විරුද්ධත්වයක නෛතික වටිනාකම තීරණය කරන්නට උපරිමාධිකරණයට පැවරීම ය. නැතහොත් ඒ විරෝධතා ජනමත විචාරණයකට යොමු කිරීම ය.

Back to Home page