Colombo Telegraph

විපක්ෂයේ මැදියම් රාත්‍රී බජව්ව

මීටත් වඩා බකතපස්කාරයන් තවත් නම් සිටිය නොහැක. පාර්ලිමේන්තු සභා ගැබේ රතු විල්ලූද පොළොවේ වැතිරී, ගී ගයා, බූරු ගසා, කෝලමෙන් සැපක් ගත් ජනතා නියෝජිත පිරිසක්, සිය පරාජිත නායකයාගේ නාමයෙන් යැයි කියමින් මැදියම් රැුය දක්වා නිදිවැරූහ. බැටළුවන් වෙනුවෙන් දිවි දීම යහපත් එඬේරාගේ සිරිතයි. මේ බැටළුවන් කෙළේ, පය පැටලී ප‍්‍රපාතයෙන් ඇදවැටුණු එඬේරා වෙනුවෙන් නිදිවරා සොටු සැලීමයි.

අල්ලස් චෝදනාවක් ගැන කටඋත්තරයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ කොමිසමට මහින්ද රාජපක්ෂව කැඳවීමට එරෙහි වීමේ මුවාවෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් පිරිසක් පසුගිය සඳුදා රාත්‍රී පාර්ලිමේන්තුවේ සරුවපිත්තල සත්‍යග‍්‍රහයක් පැවැත්වීම වූ කලී, ජනතා පරමාධිපත්‍යයේ පවිත‍්‍රතාව සුරකින මැදුර පෙර නොවූ විරූ ආකාරයෙන් දූෂ්‍ය කිරීමකි.

පාර්ලිමේන්තුව තුළ සිටි සිය නියෝජිතයන් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනෙතැයි ජනතාව බලාපොරොත්තු තබා සිටි මොහොතක, විපක්ෂය ඒ සඳහා සිය එකඟත්වයද ප‍්‍රකාශ කොට තිබූ මොහොතක, ඉහත කී අල්ලස් කොමසාරිස්වරියගේ නෛතික ක‍්‍රියාව, අතිශය වැදගත් 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත කල් දමා ගැනීමට දඩමීමා කර ගැනුණි. එසේ කිරීමේදී මේ පිරිසට කිසි ලැජ්ජාවක් තිබුණේ නැත. කිසි කණගාටුවක්, දුකක් තිබුණේ නැත. රටේ දෙකෝටියක් ජනතාව ජාතියේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා තමන් මත තබා තිබූ වගකීම මගහැරීමට ඔවුන් පසුබට වුණේ නැත.

ජනතාව වෙනුවෙන්, ජාතියේ යහපත තකා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔවුන්ගෙන් ගෞරවාන්විතව අපේක්ෂා කෙරුණේ, ගොරතර 18 වැනි සංශෝධනය අහෝසි කිරීම, ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල මැඩලන ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම, ආණ්ඩුවේ තොරතුරු දැන ගත හැකි වන සේ ජනතාව සවිබල ගැන්වීම, දෙවරකට වඩා එක පුද්ගලයෙකු ජනාධිපති වීම වැළැක්වීම සහ රාජ්‍ය ආයතනවලට ස්වාධීනත්වය ලබා දීම වැනි උතුම් කාර්ය භාරයකට උරදීමයි.

එම වගකීම ඔවුන් ඉටු කරන්නේ නම්, ජනාධිපතිවරයා සතු වර්තමාන අත්තනෝමතික බලතල කප්පාදු කළ හැකි වන්නේය. තමන් බලයට පත්වී දින 100 ක් ඇතුළත් එම බලතල අහෝසි කරන බවට වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාමත් පසුගිය ජනාධිපතිවරයේදී ප‍්‍රතිඥා දුනි. එම ප‍්‍රතිඥාව අකුරටම ඉටු කිරීමේ අභිලාෂයෙන් තවමත් පසුවන ඔහු එය අහෝසි කිරීම හෝ සීමා කිරීම වෙනුවෙන් නොසැලී පෙනී සිටී.

බොහෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු හරියට, රාජපක්ෂලා කැකුණ තලන විට යහතින් මගුල් කන හබන් කුකුළන් වැනි ය. ඇමති තනතුරු වැනි, ඔවුන් සතුව එදා තිබූ වරප‍්‍රසාද අප‍්‍රමාණ විය. පටු ස්වාර්ථය මත ස්වකීය ප‍්‍රමුඛතා පෙළ ගස්වාගෙන සිටි ඔවුන්ට, ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විපක්ෂ දේශපාලඥයන්ට එරෙහි දේශපාලනික දඩයම අවසන් කරන’ බවට ආණ්ඩුවෙන් සහතිකයක් ඉල්ලා සිටීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා වැඩි වැදගත්කමක් ගත්තේය. මිලියන 20 ක ජනතාවකගේ ජීවිත කෙරෙහි බලපාන පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් සලසා දෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ඔවුන් ඉදිරියේ නොවැදගත් දෙයක් විය.

රට ඉල්ලා සිටි, රටේ වෙසෙන ජනතාව ඉල්ලා සිටි දේවල් ඔවුන්ට වැදගත් නොවුණි. ඉතිං ඔවුන් කෙළේ, මද කිපුණු වල් අලි රංචුවක් සේ අයාලේ යකා නැටීමයි. එවිට කතානායකවරයාට සභාව කල් තැබීමට සිදුවිය. එහෙත් අදාළ ප‍්‍රශ්නය එයාකාරයෙන් ඉවරයක් කර ගැනීමට ඔවුන්ට හැකි වුණේ නැත. එම තොවිලයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට සිතූ ඔවුහූ ඊළඟට පාර්ලිමේන්තු සභා ගැබේම උපවාසයක් ආරම්භ කළහ. මේ අවස්ථාවේ මාධ්‍ය ඉදිරියට පැමිණි විමල් වීරවංශ එම තත්වය මනාව පැහැදිළි කර දුන්නේ මෙසේය: ‘‘19 බැරි නං 20 බැරි නං 25 වුණත් අපිට කමක් නැහැ. අපිට ඒක වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගෙනියන දඩයම නවත්තන එකයි. අද මුළු ?ම අපි ඒ ගැන අපේ විරෝධය ගෙනියනවා. අපේ ඉල්ලීම ඉෂ්ට වෙනකල් හෙට ? වෙනකල් වුණත් අපි සටන එක දිගටම ගෙනියනවා.’’

ලාංකීය ජනතාවගේ නිදහස, ස්වාධීනත්වය සහ මානව හිමිකම් රාජපක්ෂලා පාගා දමන විට ඇසක් ඇර නොබැලූවේ මේ මිනිසුන්මයි. ඒ රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ ‘ගරු ඇමතිවරුන්’ සේ සිටීම, කීකරු බල්ලන් සේ එහි ලැග සිටීමට එදා ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවුණි. මහින්ද රාජපක්ෂගේ බලය තවත් ඒකාධිපති කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත් එසැවූයේද මොවුන්මයි. රතුපස්වල ජනතාව පිරිසුදු ජලය ඉල්ලා උද්ඝෝණය කරද්දී වෙඩි කන විට, මීගමුවේ ධීවරයන් සිය ජීවිකාව වෙනුවෙන් විරෝධය දක්වද්දී වෙඩි උණ්ඩවලින් උත්තර ලබන විට, ඇස්කන් පියාගෙන සිටියේද මේ මිනිසුන්මයි. සිය නායකයාගේ පය ගැටෙන දූවිල්ල පවා සැපතකියි සිතා පොළොව සිප ගැනීමට පවා ඔවුන් පසුබට වුණේ නැත. පවිත‍්‍රා වන්නිආරච්චි වැනි ගැහැනු විළිලජ්ජා නැතිව ඔහුගේ දෙපා මුල එදා වැඳ වැටුණහ.

එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සමීක්ෂණයක් සඳහා ගිය අවස්ථාවේ, හම්බන්තොට නගරාධිපති ඔවුන් පස්සෙන් පිස්තෝලයක් මානාගෙන පැන්නූ අවස්ථාවේ, ඔවුන්ට මැරයන් ලවා ගල්මුල් ගැස්සවූ අවස්ථාවේ මේ විමල් වීරවංශ හෝ බන්දුල ගුණවර්ධන එක කෑම වේලක්වත් ගැනීමෙන් වැළකී උපවාස කෙළේද? තමන්ගේ පාර්ලිමේන්තු සගයන්ගේ ආරක්ෂාව සලසන්නැයි එදා නායකයාගෙන් ඔවුන් රහසින්වත් ඉල්ලා සිටියේද? පාර්ලිමේන්තුවේත්, එහි සිටින මන්ත‍්‍රීවරුන්ගේත් අභිමානය ගැන අද පම්පෝරි ගසන දිනේෂ් ගුණවර්ධන, එදා හම්බන්තොට ගිය මන්ත‍්‍රීවරුන්ගේ අභිමානය වෙනුවෙන් වචනයක් හෝ කතා කෙළේද?

මෙසේ වගකීම් විරහිතව පාර්ලිමේන්තුවේදී හැසිරීම මගින් මේ මන්ත‍්‍රීවරුන් මීට අවුරුදු පහකට කලින් ඔවුන්ව එහි පත්කොට යැවූ ජනතාවගේ විශ්වාසය උල්ලංඝනය කොට ඇත. ජාතික වැදගත්කමක් ඇති කාරණයක් මුල්තැන්හි ලා සැළකීමට අපොහොසත් වීමෙන් ඔවුන් පාර්ලිමේන්තුව මස්තබාල්දු කොට ඇත.

*2015 අපේ‍්‍රල් 26 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ ‘සන්ඬේ පන්ච්’ තීරුලිපියේ පළවූ “The Opposition’s Midnight Feast”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page