Colombo Telegraph

ඊළඟට කුමක් ද? මුස්ලිම් විරෝධී කෝලාහලවලට පසුවදනක්

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

මෑතක දී සිදුවූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් නිසා ඇති කරගත් පැල්ලම මකා ගැනීම සඳහා යම් ගැලවීමේ ක‍්‍රමයක් සොයාගත යුතු බව ලංකාවේ ආණ්ඩුවට පෙනී ගොස් තිබේ. මේ අශෝභන ප‍්‍රහාරයන් සිදුවූ බේරුවල ආසනය නියෝජනය කරන රාජිත සේනාරත්න ඇමතිවරයා මුස්ලිම් ජනතාවගෙන් විවෘතව සමාව අයැද තිබේ. සැහැසි පිරිස් විසින් විනාශ කරන ලද නිවාස සහ දේපළ පිළිසකර කර දෙන බවට ආණ්ඩුව පොරොන්දු වී තිබේ. පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ බොදුබල සේනා සභාපතිත්වයෙන් ඉල්ලා අස්වූහ. මේ අතර, ජාතිය හෝ ආගම කුමක් වෙතත් සෑම ශ‍්‍රී ලාංකිකයෙකු වෙනුවෙන්ම ආණ්ඩුව පෙනී සිටින්නේය යන නිසරු කතාව ජනාධිපතිවරයා නැවතත් කීවේය. එසේ වෙතත්, 1983 දී මෙන්ම, මෙහි දී ද වරද පටවන්නේ, සුළුතරයේ ඊනියා අන්තවාදයක් මත ය.

ෂ්‍යාම් සෙල්වදුරේගේ නවතම නවකතාව වන ‘‘ද හන්ග‍්‍රි ගෝස්ට්ස්’’ තුළ ප‍්‍රධාන චරිතය වන ෂිවන්ගේ මව ‘‘මං හිතන්නේ නැහැ මගේ ජීවිත කාලේ ඇතුළේ සාමයක් දකින්න ලැබෙයි කියලා’’ යනුවෙන් කරන වඩාත් යථාර්ථවාදී නිරීක්ෂණය ඉදිරියේ ෂිවන් මෙසේ කියයි: ‘‘දෙපැත්තට හිර වෙලා ඉන්න දුප්පත් මිනිස්සු දිහා බලන කොට, එක පැත්තක් දිනලා මේක ඉවරයක් වෙනවා නං ලොකු දෙයක්.’’ ෂිවන්ගේ අධි=තාත්වික රූපකය, 2009 මැයි 18 වැනි දා හිමිදිරියේ මුල්ලිවයික්කාල් පටු මුහුදු තීරයක දී සැබෑවක් විය. මව සහ පුතා යන දෙන්නාගේ හිතේ තිබුණේ වෙනස් අදහසක් නිසා, දෙන්නාම යම් තාක් දුරකට නිවැරදි වූ සෙයක් පෙනේ. ෂිවන්ට අවශ්‍ය කෙළේ සන්නද්ධ ගැටුමේ අවසානයකි. මවට අවශ්‍ය කෙළේ පොදුවේ සාමයකි. අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ මෑතක සිදුවූ දේවල්වලින් නැවත නැවතත් පෙන්නුම් කෙළේ ලංකාවට සාමය පැමිණ නැති බවයි. නිශ්චිතවම, දුප්පතාට සහ සමාජයෙන් කොන් වූ කොටස්වලට නම් සාමයක් ඇත්තේම නැත. මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ සෘජු සහ වක‍්‍ර ආශිර්වාදය ලබන බොදුබල සේනාවෙන් උසිගන්වන සිංහල=බෞද්ධ සැහැසි ජනයාගේ දුෂ්ට සහ අමානුෂික ප‍්‍රහාරයන්ට ඉහත කී පෙදෙස්වල ජීවත් වන මුස්ලිම් ජාතිකයන්ව ලක්කෙරුණි. ආණ්ඩුව පෙන්නුම් කිරීමට තතනන විදිහට, මේ පළාත්වල ඇති වූ සිදුවීම් අහඹු හෝ හුදෙකලා සිදුවීම් වශයෙන් විස්තර කළ හැක්කේද? ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේ කියා ඇති පරිදි සහ රටේ ආරක්ෂක අංශයත් කියන පරිදි, සිංහල සහ බෞද්ධ යන පාර්ශ්ව දෙකම මේ සිදුවීම්වල එක සමාන වැරදිකරුවන් වන්නේද?

අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ ඇති වූ තත්වය වූ කලී, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ඝට්ටනය අවසානයේ සිට මුදාහරින ලද ක‍්‍රියාවලියක තනි ලක්ෂ්‍යයක් පමණි. මෙහිදී මා පාපොච්චාරණයක් කළ යුතුව තිබේ. පශ්චාත්-යුද කාලීන අවකාශය තුළ ඇති විය හැකිව තිබූ වර්ධනයන් ගැන මගේ සරල අපෝහක තර්කණයන් හරහා මා පැමිණ තිබුණේ වැරදි නිගමනයන්ටයි. 2009 දී දෙමළ අන්තවාදය තිරසාරව පරාජයට පත්කිරීම මා දුටුවේ, එම අන්තවාදයේ ‘අනිකා’ වන සිංහල අන්තවාදී ජාතිකත්වය දුර්වල කිරීමට තුඩුදෙනු ඇතැ යි කියාය. මහින්ද රාජපක්ෂ, වින්ස්ටන් චර්චිල්ගේ උපදේශයක් අනුගමනය කරනු ඇතැ යි මම සිතුවෙමි: ‘‘ජයග‍්‍රාහී පක්ෂයට මහත්මා ගතියක් තිබිය යුතුය’’.

එහෙත් දෙමළ අන්තවාදය දෙමළ ඩයස්පෝරාවට විතැන්ව ඇති අතර, සිංහල=බෞද්ධ ජාතිකවාදි හැඟීම් එක දිගටම ඇවිළවීම සහ සිංහල බෞද්ධ ජාතිකවාදය අලිඛිත රාජ්‍ය දෘෂ්ටිවාදය බවට පත්කිරීම හරහා ලබන මැතිරවණ ජයග‍්‍රහණයන් තුළින් බලයේ සිටීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පිඹුරුපත් සකසයි. එම ප‍්‍රවණතාවට සමගාමීව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක‍්‍රමය තවත් තර කරන ලදි. එසේම, ව්‍යවස්ථාමය අධිකාරීවාදය සහ රාජ්‍යයේ අධි-සුරක්ෂිතතාව, ඉලක්කයන් දෙකක නාමයෙන් සුජාත කෙරේ: එනම්, ආර්ථික සංවර්ධනයත්, සාමය සහ ආරක්ෂාවත් නාමයෙනි. උද්වේගය එක දිගටම අවුලූවා තබා ගැනීම සඳහාත්, නිරන්තරයෙන්ම රාජ්‍යය තර්ජනයට ලක්ව ඇතැ යි පෙන්නුම් කිරීම සඳහාත් කරනු ලබන්නේ, දෙමළ ජනතාවගේ ඕනෑම විරෝධතාවක් සහ සටනක්, එල්ටීටීඊ සංවිධානය හමුදා බලයක් වශයෙන් නැවත හිස එසවීමක් වශයෙන් රූප ගැන්වීමයි. විවිධාකරයේ අන්තවාදී බෞද්ධ කණ්ඩායම්, පාලක සන්ධානයේම සිංහල බෞද්ධ දේශපාලන පක්ෂ සමග පවා තරගයට නැගී සිටීමක් අප දකින්නේ එම සන්දර්භය තුළයි. ඉතිං, අවශ්‍ය තන්හිදී, තමන්ගේ පාර්ශ්වකාර පක්ෂ වන ජාතික හෙළ උරුමය සහ එක්සත් නිදහස් පක්ෂය කරන බලපෑම් සහ ඉල්ලීම් පාලනය කර ගැනීමට ජනාධිපතිවරයාට මේ කණ්ඩායම් පාව්චිචි කළ හැක.

බෞද්ධ අන්තවාදී සංවිධානවල සැහැසි ක‍්‍රියා මුලින් පටන් ගත්තේ පොඩියට ය. ඉතා දිළිඳු මුස්ලිම් ජාතිකයන් වැඳුම් පිදුම් කළ දඹුල්ලේ කුඩා පල්ලියක් පිහිටා ඇත්තේ දඹුල්ල විහාරයේ ඉඩමක් තුළ ය යන අවසරය යටතේ ඊට පහර දුනි. ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් දේවස්ථානත්, මුස්ලිම් ජාතිකයන් සතු කඩ සහ සාප්පු සංකීර්ණත් ප‍්‍රහාරයන්ට ලක්කෙරුණි. එවැනි ප‍්‍රහාරයන් කෙමෙන් රට පුරා පැතිරුණි. ඒවා වැළැක්වීම මෙන්ම ඒවාට එරෙහි නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීම, ආණ්ඩුවත් පොලීසියත් ප‍්‍රතික්ෂේප කෙළේය. එමගින් එවැනි අපරාධකාර සංවිධානවලට දෙන ලද පණිවිඩය වුණේ, නීතිය තමන්ට එරෙහිව ක‍්‍රියාත්මක නොවන බවයි. බොදුබල සේනාව හලාල් විරෝධී දීප ව්‍යාප්ත ව්‍යාපාරය දියත් කොට මුස්ලිම් දේපලවලට පහර දීම් පටන්ගත්තේ එම සන්දර්භය තුළ ය. හලාල් යනු තමන්ගේ ආගමික සහ සංස්කෘතික කාරණයක් බවත්, බෞද්ධ පාරිභෝගිකයන්ට එහි කිසි අදාළත්වයක් නැති බවත් මොන තරම් මුස්ලිම් ආගමික ප‍්‍රජාව විසින් පෙන්වා දුන්න ද ඉන් පලක් වුණේ නැත. මේ අතර, සිංහල බුද්ධාගම කෙරෙහි තමන් සතු ඒකාධිකාරය අහිමි වෙතැ යි බිය වු ජාතික හෙළ උරුමයත් හලාල්-විරෝධයට එක් විය. නැවතත් මුස්ලිම් දේපල සහ ආගමික ස්ථාන ප‍්‍රහාරයන්ට ලක්වන විට ආණ්ඩුව කට වහගෙන සිටියේය.

එක්තරා ආකාරයකින් මේ තත්වය, දෙමළ ජනතාවට එරෙහිව දියත් වූ 83 විනාශයට මදක් පෙරාතුව පැවති තත්වයට, මූලික වශයෙන් සමාන ය. වෙනස ඇත්තේ, මෙවර ඉලක්ක වන්නේ මුස්ලිම් ජාතිකයන් සහ ක‍්‍රිස්තියානි භක්තිකයන් වීමයි. අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ සිදුවීම්වලට සිංහල බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් එක සමාන වගකීමකට යටත් යැයි පවසන කතාවට පදනමක් නැත. උදාහරණයක් වශයෙන්, ශේෂ පත‍්‍රය සැලකිල්ලට ගන්න: හතර දෙනෙක් මරුමුවට පත්වූහ. ගෙවල් 150 ක් සහ කඩ 90 ක් විනාශ කෙරුණි. මුස්ලිම් පල්ලි 15 ක් ප‍්‍රහාරයට ලක්වුණි. පවුල් 2000 ක් සරණාගතයන් බවට පත්කෙරුණි. මෙසේ පීඩාවට පත්වූවන්ගෙන් හතරෙන් තුනක් පමණ මුස්ලිම් ජාතිකයන් ය. මේ සිදුවීම්වලින් බොහොමයක් හටගත්තේ ඇඳිරි නීතිය පැවති කාලයේ වීම තවත් විශේෂත්වයකි.

සිදුවීම්වලින් පසුව ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කුමක් විණි ද? පොලීසිය එක් භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත්තේය. ඒ, බොදුබල සේනාවට එරෙහිව මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම සඳහා නිර්භයව පෙනී සිටි භික්ෂූන් වහන්සේ නමකි. එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගෙන් පැය ගණනක් පොලීසිය ප‍්‍රශ්න කෙළේය. තවත් මුස්ලිම් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ නිවසට යන එන වාහන පරීක්ෂාවට ලක්කෙළ්ය. කලබලකාරී තත්වය තුළ හැකි තාක් නීතිය හා සාමය රැුකීමට තැත් කළ ඉහළ පෙළේ දෙමළ පොලිස් නිලධාරියාව මාරු කෙළේය. ප‍්‍රහාරයට ලක්විය හැකි යැයි පොලීසිය හොඳින් දැන සිටි තවත් මුස්ලිම් දේපළ ප‍්‍රහාරයන්ට ලක්වුණි. ආණ්ඩුවේ ව්‍යාපෘතිය පැහැදිළි ය. ඊට අවශ්‍ය කරන්නේ, වින්දිතයන් අපරාධකරුවන් සේ ද, සැබෑ අපරාධකරුවන් වින්දිතයන් සේ ද හුවා දැක්වීමට ය.

ඇති වු ප‍්‍රහාරයන් සහ ඒවාට ආණ්ඩුව දැක්වු ප‍්‍රතිචාරයෙන් පෙන්නුම් කරන්නේ, එය එකකින් අනික වෙන් කළ නොහැකි, දේශපාලනික ව්‍යාපෘතියක අංගයක් වන බවයි. සන්නද්ධ ගැටුම 2009 දී නිමාවට පත්විය. එහෙත් යුද දේශපාලනයේ කිසි වෙනසක් සිදුව නැත. 2005 දී සහ 2009 දී සිංහල හෙජමොනික න්‍යාය පත‍්‍රයක් උඩ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ දෙකක් ජයගත්තේය. ඒ නිසා, ඊළඟ වසර ආරම්භයේ සමහරවිට පැවැත්විය හැකි ඊළඟ ජනාධිපතිවරණයත් ජයග‍්‍රහණය කිරීම සඳහා එම දේශපාලන ව්‍යාපෘතිය ප‍්‍රයෝජනවත් වනු ඇතැ යි ඔහු සහ ඔහුගේ පවුලත්, පක්ෂයත් සිතනවා විය යුතුය. අසල්වැසි ඉන්දියාවේ ‘භාරතීය ජනතා පක්ෂය’ බලයට පැමිණීම ගුජරාටයට නතර කළ නොහැකි විණි නම්, ශ‍්‍රී ලංකාවේ දී අළුත්ගම සහ බේරුවල කෙසේ නම් වෙනස් වන්න ද? එහෙත් ශ‍්‍රී ලංකාවේ ජනවිකාශන සංඛ්‍යාවන් අනුව ඊට වෙනස් ප‍්‍රතිඵලයක් ගෙන දේ ද?

*2005 ජුලි 05 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ What Next? Postscript To Anti-Muslim Riots නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

 

Back to Home page