Colombo Telegraph

යහපාලන ආණ්ඩුවේ අර්ථසාධක සුදු කෙලිය

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

මෛත්‍රීපාල- රනිල් ව්ක්‍රමසිංහ යහපාලන ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට කුරුමානම් අල්ලන්නට පටන් ගෙන ඇත. රනිල් ව්ක්‍රමසිංහ අගමැතිවරයා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට කල ප්‍රකාශනයේ මෙම කරුණ ඉතා පැහැදිලිව සදහන් කර ඇත්තේ ය. 1994 දී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ලෝක බැංකු අණ පරිදි මෙවන් උත්සාහයක් ගනු ලැබුවේ ය. එහෙත් එයට ඉඩක් නොලැබිණ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2011 දී තවත් වරක් සේවක අර්ථසාධක අරමුදලට කොටන්න ලොකු උත්සාහයක් ගනු ලැබුවේ ය. අභීතව එයට එරෙහිව සටන් කල පුද්ගලික අංශයේ කම්කරු පන්තිය එම උත්සාහයද පරාජය කලේ ඉහල මට්ටමේ වියදමක් දරමිනි. නිදහස් වෙළද කලාපයේ රොෂාන් චානක සහෝදරයට එම සටන වෙනුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවන්ට සිදුවිය. විශේෂයෙන් නිදහස් වෙළද කලාපයේ කම්කරු සහෝදරියන්ගේ සහ සහෝදරයන්ගේ අධිෂ්ඨාන සහගත අරගලය හමුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජිතව පසු බැස්සේ ය. එමෙන්ම එම සටන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩිමුරය ද වුයේ ය. ධනේශ්වර ආණ්ඩු සේවක සටන් හමුවේ පසු බැස්සද, ධනේශ්වරය පන්තියට රුපියල් 1.700,000,000,000 මුදල් තොගය කොල්ලකා ගැන්ම ඇත හැර දැමිය නොහැක. එය සපුරා ගන්නා තෙක්ම එම උත්සාහය ඔව්හු අත නො ඇරති. මෛත්‍රීපාල- රනිල් ව්ක්‍රමසිංහ යහපාලන ආණ්ඩුව මේ අල්ලන්නේ තෙවන කුරුමානම ය. අනිවාර්යයෙන්ම මෙම ප්‍රයත්නය ද පරාජය කල යුතු ය.

වෘත්තීය සමිති මෙම නිමේෂයේ දී කල යුත්තේ ආණ්ඩුව හෝ අගමැති වරයා ලවා එය කරන්න යන්නේ කුමක් දැ යි පැහැදිලි කර දෙන ඉල්ලා සිටීම නොවේ. මෙම කුරිරු ප්‍රයත්නය පරාජය කිරීමට පන්තිය සංවිධානය කිරීම ය. සාකච්ඡා සභා වල කාලය කා දැමීම නොව වැඩ බිමට ගොස් සංවාදයක් පටන් ගැන්ම ය. 2011 වඩාත් සංවිධිතව පුනරුච්චාරණය කිරීම ය.

සාකච්ඡාවට ආරම්භයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් ව්ක්‍රමසිංහගේ ප්‍රකාශය ට හැරෙමු. එහි මෙසේ සදහන් වේ. “අපි සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල රැක ගැන්මට පියවර ගන්නෙමු. මෙම අරමුදල් දෙක එක්අරමුදලකට එකතු කොට නව ජාතික විශ්‍රාම අරමුදලක් ඇති කෙරේ. එහි ඒකාබද්ධ වටිනාකම රුපියල් 1,700,000,000,000 ක් වේ. සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට කලාක් මෙන් මෙම සම්පත් අපතේ යැවීමට දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට අපි ඉඩක් නොදෙමු. ව්‍යවස්ථාදායක සභාව, විශ්‍රාම අරමුදල භාරකාර මණ්ඩලය පත් කරනු ඇත. එය සිවිල් සමාජ, වෘත්තීය සමිති සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් ගෙන් සැදුම් ගනු ඇත.”

අප විසින් මුලින්ම ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මෙවන් වෙනසක් කරන්නේ මක් නිසා ද යන්න ය. 1958 එය පිහිට වූ දින සිට මේ දක්වා සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව ය. එම තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති වල බලකිරීම නිසා බවත් අප අමතක නොකළ යුතු ය. එවකට වෘත්තීය සමිති නායකත්වයේ සිටියේ ආචාර්ය එන් එම් පෙරේරා වැනි අය ය. එමනිසා මෙම බල කිරීම ආවට ගියාට ගත් එකක් ලෙස නොසැලකිය යුතු ය. පවතින තත්ත්වය වෙනස් කිරීමට යෝජනා කරන්නේ නම් එයට සාධාරණ සහ තාර්කික හේතු තිබිය යුතු ය. මගේ දැනුමේ හැටියට ආණ්ඩුව පැත්තෙන් ප්‍රධාන තර්ක තුනක් ඉදිරිපත් කෙරේ. අපි ඒවා එකිනෙක කෙටියෙන් සලකා බලමු.

පලවෙනි තර්කය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශනයේ සදහන් වේ. ඔහුට අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ මුදල් දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් අව භාවිතයට ලක් කර ඇත්තේ ය. මෙහි යම් සත්‍යයක් තිබිය හැක. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් වලින් සියයට 92ක් ම ආයෝජනය කර ඇත්තේ ආණ්ඩුවේ සුරැකුම්පත් වල ය. එසේනම් අවභාවිතයට යොදාගෙන ඇත්තේ උපරිම ය ලෙස ගත්තද සියයට 8ක ප්‍රමාණයකි. එවන් අවභාවිතයන් පරීක්ෂාවට ලක් කර එයට වගකිව යුත්තන්ට දඩුවම් දීම විනා කල යුත්තේ පවත්නා ක්‍රමය වෙනස් කිරීම නොවේ.

දෙවන තර්කය වන්නේ මෙම අරමුදල් වඩා ලාභ ලබන අයවස්තු වල ආයෝජනය කරන්නේ නම් සේවකයනට වැඩි ප්‍රතිලාභ ලබා දිය හැකි බව ය. මෙය ඇත්තක් ද? දැනට සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් වලට සියයට 10 ක පමණ පොලියක් ලැබේ. එය ඉහල ප්‍රතිලාභයක් නොවුවද සහේතුක එකකි. අද ඉතුරුම් තැන්පතුවකට ලැබෙන පොලියට වඩා වැඩි එකකි. මෙයට වඩා ප්‍රතිලාභ ලබන ආයෝජන තිබිය හැක. සක්විති සහ දඩුගම් මුදලාලි ඉහල පොළී ගෙවූ බව අපි දනිමු. එහෙත් එම ආයෝජන බෙහෙවින් අවදානම් සහිත ඒවා බවත් අපි දනිමු. ඉහල ප්‍රතිලාභ බලා ගෙන අවදානම් අංශයන්ට සේවක අරමුදල් යොදවන්නට ඉඩ දෙන්නේද?

තෙවන තර්කය වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව ආණ්ඩුවේ ණය කළමනාකරු ද වන නිසා සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකරණය ද එම ආයතනයට ද බාර දීම නිසා අභිලාශයන්ගේ ගැටුමක් ඇතිවිය හැකි බව ය. ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය උස්වත්තේ ආරච්චි ද මෙම තර්කය ඉදිරිපත් කරයි. එහි යම් සත්‍යයක් ඇත. ආණ්ඩුවේ ණය කළමනාකරු ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවට පොලිය පහත මට්ටමක තබා ගැන්මට අවශ්‍ය ය. මෙනිසා සේවක අර්ථසාධක අරමුදලට ලැබෙන ප්‍රතිලාභ අඩුවිය හැක. මෙම තර්කය ගොඩ නැගෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන සහ එකම අරමුණ විය යුත්තේ උද්දමනය පාලනය කිරීමය යන සාවද්‍ය නව ලිබරල් තර්කය මගින් ය. අපට මෙහිදී කිව යුත්තේ එවන් ගැටුමක් තිබුන ද මෙතෙක් ශ්‍රී ලංකා මහා බැංකුව මෙම කාර්ය සහේතුක යහපත් බවකින් ඉටු කල බව ය. නව යෝජනාව මගින් තත්වය තවත් නරක වේ ද?

මෙම තර්ක තුනම යෝජිත වෙනස්කම සාධාරණය කිරීමට ප්‍රමාණවත් නොවේ. එම තර්කවල නිස්සාරත්වය අපට තවත් පැත්තකින් සාකච්ඡා කල හැක. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල කළමනාකරණය කිරීම පිළිබද තවත් වැදගත් කරුණක් වන්නේ කළමනාකරණ පිරිවැය ය. අපට ලබාගත හැකිව තිබෙන තොරතුරු වලට අනුව සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සදහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අයකර ඇති ගාස්තුව නැත්නම් එහි කළමනාකරණ පිරිවැය සාපේක්ෂව අඩු එකකි. ස්වාධීන භාරකාර මණ්ඩලයකින් පාලනය වන සේවක භාරකාර අරමුදලේ කළමනාකරණ පිරිවැය සාපේක්ෂව වැඩි ය.

මට හැගෙන විධියට මෙම තර්ක තුනම මෙම යෝජනාවන්හි සත්‍ය වුවමනාව වහංගු කිරීමට ඉදිරිපත් කෙරුණා ඒවා ය. මෛත්‍රීපාල- රනිල් ව්ක්‍රමසිංහ යහපාලන ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට කුරුමානම් ඇල්ලීමේ ඇත්ත වුවමනාව කුමක් ද? එය මෙයට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවල වුවමනාවෙන් නොවේ. අග්‍රාමාත්‍ය වරයා සදහන් කරන පරිදි රුපියල් 1.700,000,000,000 මුදල් තොගය විශාල එකකි. ආයෝජනය සදහා ඉදිරිපත්වන සමාගම් තම මුදල් යොදවන්නේ නැත. විදේශීය ආයෝජකයන් ද එසේම ය. ඔවුන් හැකිතාක් දුරට රටේ ඇති අන්සතු අරමුදල් ප්‍රාග්ධන සමුච්චනයට යොදා ගැන්මට ප්‍රවේශම් වන්නේ ය. ධනේශ්වර පන්තිය සහ යහපාලන ආණ්ඩුව ඇතුළු 1994 සිට මෙතෙක් පැවතී ආණ්ඩු තර්ක කලේ එනයින් රටේ ආර්ථික සංවර්ධනයට පිටුවහලක් වනු පමණක් නොව සේවකයනට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන බව ය.

සේවකයනට වැඩි ප්‍රතිලාභයක් ලැබේ ද? සෙතක් වේද? මගේ පිළිතුර එසේ නොවන බව ය. එසේ වුවද ඒ විශාල අවදානමක් ඇතිව ය. මෙය කරුණු කිහිපයකින් සනාථ කල හැක. පලවෙනුව, සේවක අර්ථසාධක අරමුදලේ අරමුදල් වලින් සියයට 6ක් මේ වනවිට ද ආයෝජනය කර ඇත්තේ ව්‍යාපාර කොටස් වල ය. පහුගිය ආන්ඩු කාලයේ අවභාවිතය ලෙස දක්වන්නේ මෙම කොටස ය. නව යෝජනා අනුව මෙම ප්‍රතිශතය තව දුරටත් වැඩිවිය හැක. එසේ වුවහොත් අරමුදල්වල සුරක්ෂිතභාවය පිළිබද ගැටලුව උග්‍ර නොවන්නේ ද? අයවස්තු කළමනාකරණය පිළිබද සාමාන්‍ය නීතියක් වන්නේ ප්‍රතිලාභ වැඩි අයවස්තුවල අවදානම ද සාමාන්‍ය යෙන් වැඩි බව ය.

දෙවනුව, ආණ්ඩුව තර්ක කරන්නේ ව්‍යවස්ථාදායක සභාව මගින් පත්කෙරෙන ස්වාධීන මණ්ඩලයක් වෙත මෙම අරමුදල් පවරන හෙයින් අරමුදල් අවභාවිතයට ඇති ඉඩ අඩු බව ය. මෙය කිසිසේත්ම සාධාරණ තර්කයක් නොවේ. ශ්‍රී ලංකා මහා බැංකුව ඒ හා සමාන සමහරවිට ඊටත් වඩා ස්වාධීන ආයතනයකි. එයද මුල්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට වග කියයි. එමනිසා යෝජිත වෙනස මගින් කිසිදු නව ආරක්ෂණයක් නො සැපයේ. යෝජිත වෙනස මගින් පත්කරන නව භාරකාර අරමුදලේ සාමාජිකයන් ලෙස වෘත්තීය සමිති නියෝජනත්වයක් තිබීම නිසා සේවක වුවමනාවන් වඩා හොදින් වගබලා ගනු ඇත යන තර්කය ගැන කිවයුත්තේ 1958 දී වෘත්තීය සමිති නායකයන් එසේ නොසිතු බව ය. වෘත්තීය සමිති නායකයන් ද මිලට ගත හැකිය. මේ වන විට මෙම මණ්ඩල සාමාජිකත්වය බලා සිටින වෘත්තීය සමිති නායකයන්ගේ අද හැසිරීම ම මෙයට සාක්ෂියකි. සුභවාදීව නව භාරකාර මණ්ඩලය ඉතාමත් හොදින් කටයුතු කරන්නේයැයි උපකල්පනය කරමු. එහෙත් එම මණ්ඩලයට අරමුදල් කලමනාකරනය ගැන විශේෂ දැනුමක් නොමැති හෙයින් අරමුදල් කලමනාකරන සමාගම් වල පිහිට පතන්නට වනු ඇත. මෙරට එවන් සමාගම් ඇත්තේ අතලොස්සකි. එම සමාගම්වල කැරට්ටුව ද හොද නැත. මෙම අරමුදල් කලමනාකරන සමාගම් බොහෝවිට සලකන්නේ සේවක සුභසෙත නොව තම පන්තියේ සගයන් ගේ වුවමනාව ය.

තෙවනුව, නව යෝජනාව මගින් අරමුදල් කළමනාකරණ පිරිවැය වැඩිවිය හැකි අතර සහ කළමනාකරණ විධි ක්‍රමය වෙනස් වන්නේ ය. මෙයට පෙර දැක්වූ පරිදි ශ්‍රී ලංකා මහා බැංකුව කළමනාකරණය කරන සේවක අර්ථසාධක අරමුදල සහ වෙනම මණ්ඩලයක් මගින් සේවක භාරකාර අරමුදල සැසදීමේදී පලවන්න පිරිවැය අඩු එකක් වූ බව අපි දුටුවෙමු. නව යෝජිත ක්‍රමය වඩා ආසන්න වනේ දෙවැන්නට ය. එමනිසා කළමනාකරණ පිරිවැය විශාල වශයෙන් වැඩිවන බවට පුරෝකථනය කල හැක. එහි අවාසිය ද යන්නේ සේවකයනට ය.

මෙරට වැඩකරන ජනතාව එක් හැඩින කිව යුත්තේ නව යෝජනා අකුලා ගත යුතු බව ය. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුදු කෙලියකට යට නොකළ යුතු ය.

Back to Home page