30 October, 2020

Blog

වාම ජනතාවාදයක් කරා – හය වන කොටස

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ස්ලේවෝයී ශිෂෙක් සමකාලීන ගෝලීය අර්බුද කෙරෙහි බොහෝ බුද්ධිමතුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන කදිම නිදසුනක් ගෙන හැර දක්වයි. ඒ පළමු ලෝක යුද්ධ සමය පසුබිම් කොට ගත් විහිලු කතාවක් ඇසුරිනි. යුද පෙරමුණේ පසුබෑමට ලක් වෙමින් සිටි ජර්මානු පෙරමුණේ සෙනෙවියෙකු තම මිත්‍ර පාක්ෂික ඔස්ට්‍රෝ-හංගේරියන් පෙරමුණ වෙත මෙසේ ලියා යැවීය: “මේ පෙරමුණේ තත්ත්වය බරපතලයි, ඒත් විනාශකාරී නැහැ.” එයට ඔස්ට්‍රෝ-හංගේරියන් පෙරමුණෙන් ලැබුණු පිළිතුර මෙයයි: “මෙහෙ තත්ත්වය විනාශකාරීයි, ඒත් බරපතල නැහැ.” අප දැන් අතිශය විනාශකාරී ගෝලීය අර්බුද වෙත ප්‍රතිචාර දක්වන්නේත් මේ ආකාරයෙන්ම නොවේද? ගෝලීය උණුසුම ඇතුළු පාරිසරික විනාශය පිළිබඳ ගැටලුව, කොරෝනා අර්බුදය, ලෝක පර්යායේ බිඳ වැටීම හමුවේ උග්‍ර වන යුද අවදානම හෝ වෙනත් කවර හෝ ව්‍යසනකාරී කාරණයක් ගන්න. ඒවා මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම පවා අනතුරට හෙළන ආකාරයේ මහා ව්‍යසන බව අපි දනිමු. නමුත්, බොහෝ දෙනෙකු ඒවා බරපතලව භාර ගන්නේද නැත.

තත්ත්වය බරපතල නැත!

ශිෂෙක්ගේ මෙම නිදසුන වත්මන් ශ්‍රී ලාංකීය දේශපාලන තත්ත්වයට මෙරට බොහෝ බුද්ධිමතුන් ප්‍රතිචාර දක්වන ආකාරය සමග ද සැසඳිය හැකි බව මට හැඟෙයි. එක් අතකින් අප සිටින්නේ ණය උගුලක මුහුණුවරින් එන ආර්ථික අර්බුදයක කරවටක් ගිලෙමිනි. එම අර්බුදය තරඟකාරී ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ බාහිර අතපෙවීම්වලට උචිත පරිසරය සකසයි. (අප රට පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදය සහ චීනය අතර ගොඩ නැගෙමින් තිබෙන දෙවන ශීත යුද්ධයට අදාළ භූ-දේශපාලනික කලාපයේ, එනම් ඉන්දු-පැසිෆික් කලාපයේ මධ්‍යයෙහිම ය). කොරෝනා අර්බුදයේ ආර්ථිකමය සහ සමාජමය බලපෑම් ද ඉදිරියේදී මේ චිත්‍රයට එක් වන්නට නියමිතය. දේශපාලනික තලයෙහි අන්ත-දක්ෂිණාංශික අධිකාරීවාදය අන් කවර කලකටත් වඩා බලවත් වී ඇත. නිදහසෙන් පසු අප රටේ විකාශනය වූ සීමිත ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය දැන් පවතින්නේ මෙතෙක් නොවූ විරූ ආකාරයේ අනතුරක් ඉදිරිපිටය. ජාතිකවාදයේ විල්ලුද වැස්මෙන් ආවරණය කරන ලද මිලිටරිවාදයේ වානේමය හස්තය විපාක්ෂික කණ්ඩායම්වල හිස් මත පතිත වීම දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

නමුත්, වඩා වැදගත් කාරණය මෙයයි. මර්දනයේ යකඩ අත මෙවර පණ ලබන්නේ බහුතර කැමැත්තේ බලයෙන් වීමයි. එකී බහුතර කැමැත්ත දැන් ලොව සෙසු බොහෝ තැන්වල සිදු වන්නාක් සේ නව-ගතානුගතිකවාදී දෘෂ්ටිවාද මත පදනම් වී ඇත. 1980 දශකයේ එක්සත් රාජධානියේ මාගරට් තැචර්ගේ නව-ගතානුගතිකවාදී ඉංග්‍රීසි ජාතිකවාදය මෙනි. වත්මන් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩිගේ සහ අමිත් ෂාගේ හින්දූත්වවාදය මෙනි. කෙසේ වෙතත්, මේ නව අධිකාරීවාදයට ව්‍යවස්ථාමය රාමුවක් ද වුවමනාය. විසි වන ව්‍යවස්ථා සංශෝධනය එන්නේ ඒ වෙනුවෙනි. කෙටියෙන් කිවහොත්, “මේ පෙරමුණේ තත්ත්වය අතිශය විනාශකාරීය, නමුත් එය බරපතල නැත.” මන්ද යත්, එය තවමත් ප්‍රමාණවත් තරමින් බරපතලව භාර ගන්නට විපාක්ෂික කණ්ඩායම් සේම බුද්ධිමය ප්‍රජාව ද අසමත්ව ඇති බැවිනි.

මෑතකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායක පැවසූ කාරණයක් නම් තමන් විසි වන සංශෝධනයට එරෙහිව එතරම් දැඩි විරෝධයක් දැක්වීමට අපේක්ෂා නොකරන බවයි. ඒ එය බහුතර ජනයාගේ කැමැත්ත නියෝජනය කරන්නක් වන බැවිනි. ඔහුගේ ප්‍රකාශයේ ගැබ් වූ උත්ප්‍රාසාත්මක ස්වරය අනුව එය වාච්‍යර්ථයෙන් ගැනීම උචිත නොවේ. නමුත්, පසුගිය මහා මැතිවරණයෙන් පසුව ජවිපෙ/ජාජබ ප්‍රකාශකයින් කිහිප දෙනෙකු වෙතින්ම කියැවුණු ගැටලුකාරී නැඹුරුතාවක් අනුර කුමාරගේ ඉහත ප්‍රකාශයෙන් ද ගම්‍ය වේ. ඒ අන් කිසිවක් නොව තමන්ට ජන්දය නොදුන් ජනතාව වෙත වරද පැවරීමට ඇති නැඹුරුවයි. සැබවින්ම එක් මාධ්‍යවේදියෙකු වහාම ඔහුගෙන් පෙරළා එය ප්‍රශ්න කළේය. “ඔබට ජනතාව කෙරෙහි වෛරයක් තිබේදැයි” ඔහු විමසීය. එය එසේ යැයි මම කිසිසේත් විශ්වාස කරන්නේ නැත. නමුත්, වරද ජනතාව මත පැටවීමේ ආකල්පය (නැත්නම් “ජනතාවට හොඳ වැඩේ” යැයි කීම) ජවිපෙ නායකයින් වෙතින් ව්‍යංගයෙන් හෝ ප්‍රකාශයට පත් වීම එතරම් සාධනීය ලක්ෂණයක් නොවේ.

ජනතාවාදී ව්‍යාපාරය

ඒ වෙනුවට විමසිය යුත්තේ සැලකිය යුතු මහජන සහායක් දිනා ගැනීමට තමන් අසමත් වූයේ තමන්ගේ දේශපාලන නැඹුරුතාවේ, දේශපාලන ස්ථාවරයේ, දෘෂ්ටිවාදයේ, උපායික හෝ උපාය මාර්ගික තෝරා ගැනීමේ හෝ සංවිධාන ක්‍රියාවලියේ කවර වරදක් නිසාද යන ප්‍රශ්නය යි. අවශ්‍යව ඇත්තේ ස්වයං-විචාරයකි. තමා තුළ ඇති අඩුව බැහැරට (ජනතාව වෙතට) ආරෝපණය කිරීම (බහීෂ්කරණය කිරීම) නොවේ. අනෙක් අතට, ඉදිරියේ එන ප්‍රජාතාන්ත්‍රික අරගලය සාර්ථක කර ගත හැක්කේ ද ජනතාව (රාජපක්ෂ ව්‍යාපෘතියට සහාය දුන් ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් ද ඇතුළුව) දිනා ගැනීමෙන් මිස අන් කවර ලෙසකින්වත් නොවේ. මාවෝ සේතුං පැවසූ පරිදි ජනතාව විශ්වාස කළ යුතුය. ජනතාවගෙන් උගත යුතුය. ඒ උගත් දෙය පෙරළා ජනතාවට ඉගැන්විය යුතුය (ලුවී අල්තුසර් මාක්ස්වාදී දයලෙක්තිකය පිළිබඳ අග්‍රගණ්‍ය න්‍යායවේදියෙකු ලෙස මාවෝ සේතුංව සැලකීම පුදුමයට කරුණක් නොවේ).

මාවෝගේ ඉහත උදෘතයෙන් ගම්‍ය වන්නේ දේශපාලන මැදිහත්වීමට පෙර සිටම ජනතාව යනුවෙන් සදා නිම කළ ස්ථිතික යමක් පවතින බව නොවේ. එම ජනතාව නොවෙනස්ව පවතින බව ද නොවේ. විසිරුණු ජන සමූහයන් කිසියම් සාමූහික විඥානයක්, සාමූහික අභිලාෂයක් අත්පත් කරගන්නේ කවර තැනෙකද, එතැන ජනතාවක් නිර්මාණය වේ. එවන් සාමූහික විඥානයක් ඉබේ නිර්මාණය වන්නේ නැත. එවැන්නක් ගොඩ නැගීමේ ක්‍රියාව පුළුල් අරුතින් ගත් කල දේශපාලනික ය. මේ අනුව, ජනතාව යනුම දේශපාලන මැදිහත්වීම් මගින් නිර්මාණය වන්නකි; හැඩ ගැසෙන්නකි.

අනෙක් අතට, දේශපාලන ව්‍යාපාරයක් නොහොත් පක්ෂයක් යනු කුමක්ද? එය සෑම කල්හිම ජනතාවට ඉහළින් නොහොත් ඉදිරියෙන් සිටින්නට දෛවෝපගතව නියම වී සිටින යමක් ද? එසේ නම්, එම දේශපාලන ව්‍යාපාරයට ජනතාවගෙන් ඉගෙන ගැනීමට කිසිවක් තිබිය නොහැකිය. ජනතාවගෙන් ඉගෙන ගන්නවා යනුම දේශපාලන ව්‍යාපාරය ජනතාව සමග අන්තර්ක්‍රියා පැවැත්වීමෙන් පරිවර්තනයට ලක් වනවාය යන්නයි. එබැවින්, දේශපාලන ව්‍යාපාරය නොහොත් පක්ෂය ද කිසිසේත් පරිපූර්ණ යමක් විය නොහැකිය. එයට මුළුමනින්ම ස්ව-අනන්‍යතාවක් නොමැත. සරලව කිවහොත්, ව්‍යාපාරයක් නොහොත් පක්ෂයක් ගැන කියන විටම එයට අයත් නොවන යමක් ද තිබෙන බැව් හැඟවේ. මෙසේ පක්ෂය නොවන දෙයක් නොහොත් එයට පරිබාහිර දෙයක්/ලෝකයක් පැවතීම මාක්ස්වාදී දයලෙක්තිකයට අනුව ඉතාම වැදගත් ය. මන්ද යත්, පක්ෂයත් එය නොවන දෙයත් අතර ප්‍රතිවිරෝධය විසඳෙන්නේ ඒ දෙකම ඇතුලත් කර ගත් වඩා උසස් සමස්තයක් නිර්මාණය වීම මගිනි. අන්තෝනියෝ ග්‍රාම්ස්චි කතා කරන ඓන්ද්‍රීය පක්ෂය එවැන්නකි. එය කම්කරු පංතියට ඉදිරියෙන් සිටින්නට දෛවෝපගතව නියම වූ පක්ෂයක් නොවේ. පංතිය සමග ඓන්ද්‍රීයව සම්බන්ධ වෙමින් පංතිය සේම තමන්වමත් පරිවර්තනයට ලක් කරගන්නා පක්ෂයකි. කොටින්ම පක්ෂය යනු ඓන්ද්‍රීය බුද්ධිමතෙකි.

සමාජ විපර්යාසකාරී ව්‍යාපාරයක්

පක්ෂය හෝ ව්‍යාපාරය ජනතාවාදී එකක් වන්නේ එය මෙසේ ජනතාවට ඓන්ද්‍රීය නායකත්වයක් ලබාදීමට සමත් වන තාක් දුරට පමණි. එය ඓන්ද්‍රීය වන අතරම නායකත්වයක් ද විය යුතුය. වාම ජනතාවාදී නායකත්වයක් බවට පත්වනවා යනු ජනතාව අතර අධිපතිව පවතින ගතානුගතික සම්බන්ධතා සහ හුරු පුරුදුවලට පක්ෂය සහ පක්ෂ ක්‍රියාකාරිකයා අනුගත වනවාය යන්න නොවේ. දක්ෂිණාංශික බලවේග ඒ කාර්යය දැනටමත් ඉතාම සාර්ථක ලෙස සිදු කරනු ලබමින් පවතී. ජවිපෙ වුවත් මෙතෙක් නිර්මාණය කොට ඇත්තේ ඉතාම බරපතල ලෙස මෙරට අධිපති සංස්කෘතික ඇගයුම්වලට අනුගත වූ ක්‍රියාකාරිකයෙකි. සරලව කිව හොත්, ඔහු/ඇය කෑමෙන් බීමෙන් සහ ඇඳුමින් පවා “හොඳ ළමයෙකි.” එම හොඳ ළමයා තම පවුලේ, ප්‍රජාවේ හෝ ගමේ පවතින සංස්ථාපිත පීඩාකාරී ව්‍යුහයන් රැඩිකල් ලෙස ප්‍රශ්න කරන බවක් පෙනෙන්නේ නැත. නිදසුන් ලෙස, තම පවුලේ හෝ ප්‍රජාවේ මුල් බැස ගත් පීතෘමූලික ව්‍යුහ වෙනස් කිරීමට එම ක්‍රියාකාරිකයා මැදිහත් වන්නේද? ස්ත්‍රී කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ, ස්ත්‍රීන්ගෙන් දෑවැද්ද ඉල්ලීමේ, ස්ත්‍රී වැඩිවිය පැමිණීම සැමරීමේ ගතානුගතික චාරිත්‍ර දේශපාලනික ප්‍රශ්න ලෙස භාර ගන්නේද? ස්ත්‍රී-පුරුෂ ශ්‍රම විභජනයේ අසමාන ආකෘතීන් වෙනස් කිරීම දේශපාලන අරමුණක් බවට පත් කර ගන්නේද? කුළ ක්‍රමයට සහ ආගමික අධිකාරීත්වයේ බලයට එරෙහිව අරගල කරන්නේද? අනුග්‍රාහක දේශපාලන බලය මත පදනම් වූ ආර්ථික සූරාකෑමේ නව මාධ්‍යයන්ට එරෙහිව ජන සහභාගීත්වය සහිත විකල්ප ආර්ථික ආකෘතීන් යෝජනා කරන්නේද? (නිදසුනක් ලෙස, ජනයා පෙළන ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රමයට විකල්පව සීට්ටු හෝ සමූපකාර ක්‍රමය මත පදනම් වූ ආර්ථික සාමූහිකත්වයේ නව ආකෘතියක් යෝජනා කළ නොහැකිද?) කොටින්ම පක්ෂ ක්‍රියාකාරිකයා සමාජ විපර්යාසකාරකයෙකු බවට පරිවර්තනය වීමට සමත් වී තිබේද?

මේ ප්‍රශ්නවලට ලැබෙනු ඇත්තේ නිශේධනීය පිළිතුරු බව මගේ අවබෝධයයි. එය නිශේධනීය පිළිතුරක් වීමට බලපෑ ඓතිහාසික හේතුවක් තිබේ. ඒ 1960 දශකයේ මැද භාගයේදී පැරණි වාමාංශය ශ්‍රීලනිපය සමග සංධානගත වීමත්, ඊට සමාන්තරව ජවිපෙ වාමාංශික ප්‍රධාන ධාරාව ලෙසට ක්‍රම ක්‍රමයෙන් විකාශනය වීමත් සමග සම්බන්ධ ඉතිහාසයයි. ජවිපෙ ග්‍රාමීය තරුණ ජනයා වෙතට රැඩිකල් දේශපාලනය රැගෙන ගියේය. නමුත්, මෙසේ වම ගමට සංක්‍රමණය වීමත් සමග සංස්ථාපිත ග්‍රාමීය දෘෂ්ටිවාදයේ ග්‍රහණයට ද එය ගොදුරු විය. ලිබරල් අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය වමේ න්‍යාය පත්‍රයට අයත් නොවේය යන ගතානුගතික වාමාංශික ආකල්පය ද මේ සමග එක් වූ විට ඓන්ද්‍රීය සමාජ ප්‍රතිසංස්කාරකයෙකුගේ භූමිකාව භාර නොගෙන සිටීමට න්‍යායික හේතුවක් ද සැපයිණ. ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට අදාළ සියලු ප්‍රශ්න සමාජවාදී පරිවර්තනය තෙක් කල් තැබිය හැකි විය! ඒ වෙනුවට ජනවාර්ගික ජාතිකවාදය සමග (බොහෝ විට උපායික හේතු දැක්වීම් සමග) සංධානගත වීම වඩා තාර්කික වන්නට ඇත!!

නමුත්, දැන් ජවිපෙ සහ පෙසප ඇතුළු වමට නව ඓතිහාසික අභියෝගයක් භාර ගන්නට සිදුව තිබේ. එනම්, ධනවාදයට එරෙහි අරගලය තුළට ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගැනීමේ අරගලය ද බද්ධ කරන්නට සිදු වීමයි. මන්ද යත්, අප කැමති වුවත් නැතත් ඉදිරියේදී එන්නට නියමිත ඒකාධිපතිවාදයට එරෙහිව ලිබරල් සහ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලයයි. එයට නායකත්වය දීම අනාගත වාම ජනතාවාදී ව්‍යාපාරයක මග හැරිය නොහැකි වගකීමක් වනු ඇත. නමුත්, එසේ කළ හැක්කේ 2015 දී ජවිපෙ කළාක් සේ ලිබරල් යහපාලනවාදී හිසක් පිටතින් සවි කර ගැනීමෙන් නොවේ. ඒ වෙනුවට තම පක්ෂයම බරපතල අභ්‍යන්තර ප්‍රතිසංස්කරණයකට ලක් කර ගැනීම මගිනි. ඒ සඳහා පක්ෂ ක්‍රියාකාරිකයා නව දැනුමෙන් සහ සංස්කෘතියෙන් සන්නද්ධ විය යුතුය; සමාජයට නව දැක්මක් සහ නව ජීවන විලාසිතාවක් රැගෙන යන්නෙක් විය යුතුය; ගමේ නගරයේ පක්ෂ කාර්යාලය මහජන සංවාද මණ්ඩපයක් විය යුතුය; සංස්කෘතික මධ්‍යස්ථානයක් විය යුතුය. (මට හැඟෙන පරිදි දැනට තමන්ව මෙසේ ඓන්ද්‍රීය සමෝධානික බුද්ධිමතෙකු බවට පරිවර්තනය කර ගැනීමට දැනුවත්ව ප්‍රයත්න දරමින් සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණි).

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.