Colombo Telegraph

රම්ෆෝසාගේ පැමිණීම: ඇත්තෙන්ම සිදුවන්නේ කුමක් ද?

‘ද සන්ඬේ ටයිම්ස්’ කතුවැකිය –

වැඩ බලන දකුණු අප‍්‍රිකානු ජනාධිපතිවරයාගේ ලංකා ගමන තුළ ඇත්තේ ගුප්ත භාවයකි. එම සංචාරය ගැන හේතු පැහැදිළි කර දීමට ආණ්ඩුව තැත් කරන තරමට, එම සංචාරය තව තවත් ගුප්ත භාවයක ගිලෙයි.

තොරතුරු සොයා බැලීමට අපේ රටවලට සාමාන්‍යයෙන් දුවගෙන එන විශේෂඥයන්, ඔවුන් ගැන හෙළිදරව් වීමට කලින් පැන ගන්නා බව සාමාන්‍යයෙන් කියැවේ. කලින් ඇති කරගත් මතිමතාන්තර මත ‘තුන්වැනි ලෝකයට’ එන විදේශ වාර්තාකරුවන්ව හැදීන්වෙන අන්වර්ථ නාමය වන්නේ, ‘දුවන ජෝන්ලා’ හෝ ‘දුවන ජේන්ලා’ වශයෙනි. එසේ නම්, ලංකාවට පැමිණි දකුණු අප‍්‍රිකානු වැඩ බලන ජනාධිපති සිරිල් රම්ෆෝසා ගැන කෙනෙකුට කිව හැක්කේ කුමක් ද?

සිරිල් රම්ෆෝසා

ඔහුගේ සංචාරය ගැන යම් කොහොල් ගතියක් ලංකා ආණ්ඩුවට ඇත. ඔහු ‘මැදිහත්කරුවෙකුවත්’, ‘පහසුකම් සලසන්නෙකුවත්’ නොවන බව උදක්ම කියා සිටීමට අපේ විදේශ ඇමතිවරයාට සිදු විය. වෙනත් විදිහකින් කිවහොත්, ඇමතිවරයා කීවේ, රම්ෆෝසා නොකරන්නේ කුමක් ද යන්න මිස කරන්නේ කුමක් ද යන්න නොවේ. බැරිම තැන ඔහු කීවේ, ‘අදහස් හුවමාරු කර ගැනීමක්’ සඳහා විදේශ දූතයා මෙහි ආ බවයි. එහෙත්, මොනවා ගැන අදහස් ද යන්න අපට ප‍්‍රශ්න කිරීමට සිදුවෙයි.

මේ අතර, කොළඹ සිටින දකුණු අප‍්‍රිකානු මහ කොමසාරිස්වරයා එම සංචාරය ගැන කතා කිරීමත් අපේ ඇමතිවරයා විසින් අවුරන ලදි. සංචාරයේ නිමිත්ත වන්නේ හුදෙක් අදහස් හුවමාරු කර ගැනීමක් නම්, ඒ ගැන සැඟවීමට ඇති කාරණා කවරේ ද? මේ සමස්ත සිද්ධියම වසං කිරීමට ආණ්ඩුව තැත් කරන බව පැහැදිළි ය. විපක්ෂය මගින් මතු කළ ප‍්‍රශ්නයකට පාර්ලිමේන්තුවේ දි ආණ්ඩුව දුන් පිළිතුරත් වැඩිමනත් දෙයක් හෙළදරව් කෙළේ නැත.

ආණ්ඩුව රටට දීමට තතනන චිත‍්‍රය වන්නේ, රම්ෆෝසාගේ සංචාරය මගින් මෙරටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදු නොවන බව පෙන්නුම් කිරීමයි. ඒ නිසා එය විවාදයට තුඩුදිය යුත්තක් නොවන බවයි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණ කණ්ඩායම රටට ඇඟිලි ගසන්නන් වශයෙන් හංවඩු ගසන ආණ්ඩුව, දකුණු අප‍්‍රිකාණු රාජදූතයාගේ ගමන එසේ නොවේ යැයි කීම උත්ප‍්‍රාසාත්මක ය.

ඒ දෙක අතර වෙනසක් ඇති බව නොකිවමනා ය. එහෙත්, දකුණු අප‍්‍රිකානු රාජ්‍ය නියෝජිතයාගේ ගමන තුළ ඇති අභිමතාර්ථ ගැන ආණ්ඩුව මීට වඩා ජනතාවට විවෘත විය යුතුය. දකුණු අප‍්‍රිකානුවන් ද මේ ගමනේ අර්ථය ගැන ලිස්සා යාමට බලන බවක් පෙනේ. තමන්ගේ ප‍්‍රධාන පරමාර්ථය වුණේ තම රටේ ක‍්‍රිකට් කණ්ඩායම ලංකාවේ කණ්ඩායමට තඩිබානවා බැලීම යැයි ඔවුහූ කියති. එහෙත් යාපනේ දී උතුරු පළාත් සභා මහ ඇමති විග්නේෂ්වරන් හමු වූ සම්ෆෝසා කියා ඇත්තේ, තමන්ගේ ගමන, ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා වැඩපිළිවෙලටත්, බලය බෙදාහැරීමේ ඉන්දීය ක‍්‍රියාවලියටත් අනුපූරක වන බව ය.

කෙසේ වෙතත්, පොදුවේ පවතින විශ්වාසය වන්නේ, අතරමග ඇනහිට ඇති ආණ්ඩුවේ සහ දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡුා නැවත ආරම්භ කැරැුවීම හෝ බලය බෙදාහැරීමේ විෂයට අදාළ පාර්ලිමේන්තු කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගී කරවා ගැනීම, රම්ෆෝසාගේ ගමනේ අරමුණ වන බවයි. එහෙත් එකම භාණ්ඩය, අළුත් ‘වෙළෙන්දෙකු’ ලවා විකුණා ගැනීමට හැකි වේ ද?

ආණ්ඩුව මේ දෙස දෙයාකාරයකින් බලයි. 13 වැනි සංශෝධනය සහ ‘ඊටත් එහා’ යාමට ඉන්දීය ආණ්ඩුවට අපේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුව කෙරෙහි ඉන්දියාව එක දිගට දක්වන උනන්දුව යම් තාක් බාල කිරීම එක පැත්තක තිබේ. අනිත් පැත්තෙන්, දෙමළ සුළුතරයට වඩාත් ස්වායත්ත භාවයක් ලබා දෙන ලෙස කරන ඉල්ලීම ඉටු කරලීමට තමන් බරසාරව වෙහෙස වන බව පෙන්වමින්, අඩු වශයෙන් ඊළඟ මැතිවරණය දක්වා හෝ ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් කල් ගැනීමේ අභිප‍්‍රාය තිබේ.

නිදහස දිනා ගැනීමෙන් අවුරුදු 66 ක් ගතව තිබියදීත්, තමන්ගේ දේශීය ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා, තමන්ට වඩා සාපේක්ෂ වශයෙන් ලාබාල රටවල් කෙරෙහි පරායත්ත වීමට ලංකාවට සිදුව තිබීම අපේ අවාසනාවකි. ඊටත් වඩා අවාසනාව වන්නේ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ හරහා අපේ ඇතැම් වැරදි නිවැරදි කර ගැනීමේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට තරම් වන දේශපාලනික හයියක් නොතිබීම හේතුවෙන් ඒ අවස්ථාවත් නාස්ති කරගෙන තිබීමයි. වර්තමාන ශෝචනීය තත්වයට රට පත්ව ඇත්තේ ඒ හේතුවෙනි.

තමන්ගේ ආරක්ෂාව, දකුණු අප‍්‍රිකානු මැදිහත් වීමක් හරහා සාක්ෂාත් කර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කිරීම, පමණ ඉක්මවන අභිලාෂයකි. දකුණු අප‍්‍රිකානුවෝ එරට සිටින දෙමළ ප‍්‍රජාවේ බලපෑමට යටත් වෙති. ඊට අමතරව, සුළුතර ප‍්‍රජාවන් පීඩාවට පත්වන්නේය යන මනෝ භාවය කොහොමත් දකුණු අප‍්‍රිකානුවන් තුළ තිබේ.

අසාධ්‍ය තත්වයට පත්ව ඇති දේශීය ප‍්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා බාහිර ආධාර නොපැතිය යුතු බවක් මෙයින් අදහස් නොවේ. ගෝලීයකරණයට හසුව ඇති අද ලෝකය තුළ එවැනි ආධාර උපකාර පැතීම අසාමාන්‍ය දෙයක් නොවේ. ශ‍්‍රී ලංකාව, බාහිර ලෝකයේ අත්දැකීම් සඳහා කවුළු විවර කිරීමට සහ එම විවර කිරීම් තුළින් හමන සුළඟින් ගසාගෙන නොයාමට තරම් ස්වාධීනත්වයෙන් සවිමත් ය. ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර ගොඩනැගිය යුතු පාලම වන්නේ දකුණු අප‍්‍රිකානු මැදිහත් වීම නම්, එය භාර ගැනීමේ වරදක් නැත.

එසේ වෙතත් ප‍්‍රශ්නයකට ඇත්තේ ආණ්ඩුවේ සත්භාවයයි. දරුස්මාන් වාර්තාව ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් වශයෙන් රට ඇතුළේ පට්ට ගැසූ මේ ආණ්ඩුව, දරුස්මාන් සහ ඔහුගේ පිරිස හමු වී තමන්ගේ තර්ක ඉදිරිපත් කිරීම සඳහා ඉහළ පෙළේ කණ්ඩායමක් හොර රහසේම නිව්යෝර්ක් නුවරට පිටත් කර හැරීම හෙළි වීම, ආණ්ඩුවේ සත්භාවය ප‍්‍රශ්නයක් වූ වැදගත් අවස්ථාවකි.

එනිසා අප ඉදිරියේ ඇති බරපතල ප‍්‍රශ්නය වන්නේ මෙයයි: දකුණු අප‍්‍රිකානු වැඩබලන ජනාධිපතිවරයාගේ සැබෑ ඇස්තමේන්තුව කුමක් ද? ඉන්දියාවේ නව ආණ්ඩුවේ සහාය ඇතිව ශ‍්‍රී ලංකාවේ දේශපාලන ප‍්‍රශ්නය විසඳීමට තමන් අපේක්ෂා කරන බවත්, උතුරට අදාළ ප‍්‍රශ්නත් විසඳා ගැනීමට තමන් සමත් වේ යැයි විශ්වාස කරන බවත්, අපේ ජනාධිපතිවරයාට ඔහුට කී බවක් වාර්තා විය. කෙසේ වෙතත්, මීට සමාන අත්දැකීම් ඇති වෙනත් රටවල මතයන්ට කන්දීමටත් තමන් සූදානම් බව ද ඔහු කියා තිබේ. එසේ නම් එම ස්ථාවරය ජනතාවට පැහැදිළි කළ නොහැක්කේ ඇයි?

දේශපාලඥයෝ පොලිස්කාරයන්ට මාංචු දමති

රථවාහන පොලිස් නිලධාරියෙකු සමග නියෝජ්‍ය ඇමතිවරයෙකු ඇති කරගත් ඝට්ටනයත්, එම සමස්ත සිද්ධිය ගැන විධිමත් පරීක්ෂණ පැවැත්වීම ගැන පොලිස් දෙපාර්තමේන්තුව පස්ස ගසමින් සිටියදී එම පොලිස් නිලධාරියාට සේවයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමත් මගින් පෙන්නුම් කරන්නේ, නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතන අද මොන තරම් හෑල්ලූවට ලක්ව ඇත් ද යන්නයි.

එක පැත්තකින්, බරපතල අකාර්යක්ෂමතාව ද, තවත් පැත්තකින් අත්තනෝමතික මර්දනකාරීත්වය ද ගැන කාලයක සිට පොලිස් දෙපාර්තමේන්තුව ජනතා ගර්හාවට ලක්වෙයි. මේ නිසා ඔවුන් කරන යහපතක් වුව නිසි සැලකිල්ලට හසු නොවී වැසී යයි.

පොලීසිය ගැන ඇති විශ්වාසය බිඳී යාම නිසාම ගම්වල මිනිසුන් නීතිය අතට ගැනීමට පටන් ගෙන ඇත. මෙය, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ දී මෙන්ම රතුපස්වලදී ද අපි දැක්කෙමු. වඩාත් මෑතම උදාහරණය සැපයෙන්නේ අළුත්ගමිනි. පොලීසිය නියමිත අවස්ථාවේ නියමිත ආකාරයෙන් කටයුතු කෙළේ නම් එම විනාශය ලත් තැනම ලොප් කළ හැකිව තිබුණි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසමක් පත්කිරීමෙන් අපේක්ෂා කෙළේ එවැනි ප‍්‍රවණතාවන් වළක්වා, කාකි ඇඳුමට පිටකොන්දක් දීමයි. අවාසනාවකට ඒ 17 වැනි සංශෝධනය කටුගා දැමුණි. එහි ප‍්‍රතිවිපාකය වී ඇත්තේ, දේශපාලඥයාට, එනම් ගැමි මදාවියාට පොලීසියට ඉහළින් සිටීමට අවස්ථාව සලසා දීමයි.

දකුණු අධිවේගී මාර්ගයේ ඇති වූ සිද්ධිය, තමන්ට හැකි පමණින් යුක්තිය සඳහා සටන් කිරීමට පොලිස් නිලධාරියෙකු ඉදිරිපත් වූ එක් අවස්ථාවකි. බොහෝ දෙනා එසේ කි‍්‍රයා කිරීමට අසමත් විය හැක. එහෙත්, ඒ නිසා ඇති වන කලකිරීම නම් දිගටම පවතිනු ඇත.

*2014 ජුලි 13 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත්  “Ramphosa Visit: What’s Really Happening?” නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page