Colombo Telegraph

මේ අපේ තකතිරුකමද, කරුමයද, නැත්නම් ඒ දෙකමද?

සුරනිමල උමගිලිය

නාමයෝජනා භාර දී තිබේ. නොවැම්බර් 16 වැනි දාට අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිතයි. එය ව්‍යවස්ථාවේ පැනවෙන අවශ්‍යතාවක් වන අතර සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, විශේෂයෙන් පළමු වරට ඡන්දය පාවිච්චි කරන තරුණ පරම්පරාවටත් එය ඉමහත් වැදගත්කමක් ඇති අවස්ථාවකි. තිස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් නාමයෝජනා භාර දී ඇතත්, සැලකිය යුතු තරමේ බරසාර තරගකරුවන් ඇත්තේ දෙදෙනෙකු පමණි. එය, නිදහසේ පටන් අපේ රටේ සාමාන්‍ය මාදිලිය වී ඇති අතර එහි වැඩි වෙනසක් ඒ දීර්ඝ කාලය තිස්සේ සිදුව නොමැත.

නිදහසේ පටන් මේ රට පාලනය කර තිබෙන්නේ සිංහලයන් වන අප ය. එබැවින් එදා පටන් අද දක්වා අපේ රටේ ආර්ථික, සමාජ සහ වෙනත් සියලු වෙනස්කම්වල වගකීම භාරගත යුත්තේ ඒ සිංහලයන් වන අපම ය. මේ අතර අපේ සංවාද කතිකාව තුළට අලුත් වචනයක් එක්ව තිබේ. එනම්, සිංහල-බෞද්ධ යන්නයි. එය එසේ වෙච්චාවේ. එසේ නම්, මේ රටේ නිදහසේ පටන් රට පාලනය කොට ඇත්තේ එකී සිංහල-බෞද්ධයන් ය. ඒ නිසාම, රටේ අද තිබෙන තත්වයේ වගකීම භාරගත යුත්තේද ඒ සිංහල-බෞද්ධයන්ම ය. ඊළඟ අවුරුදු සීයක් යනතෙක්මත් මේ රට පාලනය කරනු ඇත්තේ නිසැකවම ඒ සිංහල-බෞද්ධයන්මයි. කිසි මුස්ලිම් ජාතිකයෙකු, කිසි දෙමළ ජාතිකයෙකු තබා කිසි සිංහල-කතෝලිකයෙකුවත්, ඔවුන්ගේ ජන කණ්ඩායම් විසින් සෑම වසරක් පාසාම නිවුන් දරුවන් බිහි කළත්, මේ රටේ ජනාධිපති තනතුරට පත්නොවනු ඇත. අපේ ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ වාර්ගික සහ ආගමික කාරණා මත පදනම් වෙමින් නිසා, ජනාධිපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් කවදත් වාසි සහගත තත්වයක සිටිනු ඇත්තේ රටේ බහුතරයක් වන සිංහල-බෞද්ධයන් වන අපම ය.

ඔය කියන සිංහල-බෞද්ධ පාලකයන් නිදහසේ පටන් අපේ රට පාලනය කර ඇති ආකාරය ගැන අප සෑහීමකට පත්වන්නේද? කොහෙත්ම නැත. විපක්ෂයේ සිටින සෑම පක්ෂයක් විසින්ම එය අපට මතක් කරදෙනු ලැබේ. අප සිටින්නේ බරපතල ණය අර්බුදයකයි. අපේ ජනතාව සිටින්නේ හිඟමනට අතපාමිනි. අධ්‍යාපනය සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට, තිබෙන ණය බර විසින් අපට ඉඩ දෙනු නොලැබේ. අපේ රාජ්‍ය සේවය මොන තරම් අනවශ්‍ය බරකින් පිරී ඇත්ද යත්, අනාගත පරම්පරාවටත් උරදීමට සිදුවන විශ්‍රාම වැටුප් කන්දක් අපට තිබේ. එයද ණය බරකි.

අපි අපේ ඉතිහාසය ගැන ආඩම්බර වෙමු. අපේ අතීත වාරිමාර්ග පද්ධති ක්‍රමය ගැන ආඩම්බර වෙමු. අතීත රජවරුන්ගේ ඉංජිනේරු කුසලතා ගැන ආඩම්බර වෙමු. ඒ සියල්ල අපේ ආඩම්බරයට නිමිති වෙයි. එහෙත් වර්තමානයේ අපට ප්‍රජා සවිඥානකත්වයක් නැත. අප වාහන පදවන ආකාරය, පාරේ ගමන් කරන ආකාරය ඒ බව මොනවට පෙන්වයි. සමාජ අනුග්‍රහශීලීත්වය අප අතරේ දක්නට නැත. රිය අනතුරක් සිදු වූ විට රියැදුරාට පහර දීමට පෙරට එන අපි ඒ අනතුරට ලක්වන තෙක් රියැදුරාගේ මදාවි ධාවනය ගැන කිසිවක් නොකියමු. වෙනත් රථයකට ඉස්සර කිරීමට ඉඩක් නැතිව තිබියදී පවා තොරතෝංචියක් නැතිව වාහන නළා හඬවන රියැදුරන් ගැන අපි කටක් නාරිමු. අනිකාව වෙට්ටු දමා ඉස්සර කරන මෙවැනි රියැදුරෝ ඊට යාර කිහිපයකට පසුව මගියෙකු නංවා ගැනීමට බසය නතර කරති. මෙය, අප කවුරුන්ද යන්න දක්වන එක නිදසුනක් පමණි. ඔව්, අපේ චින්තනය හැඩගැසී ඇත්තේ එයාකාරයටයි. එසේ තිබියදී, ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අප පාවිච්චි කරන්නේ මොන මිණුම් දණ්ඩක් ද?

එකක් වන්නේ, සිංහල-බෞද්ධ කම ය. ඊළඟට, ගිරිය පුප්පන් කෑගැසීමට ඇති හැකියාව ය. ඊළඟට, අපේ ජාතික ආරක්ෂාව ගැන කතා කිරීම ය. නොමිලේ දේවල් බෙදා දීමට සහ මැතිවරණ කාලයේදී අතපය දිග හැර වියදම් කිරීමට ඇති හැකියාව ය. ඊට, ගෝඨා සහ සජිත් සුදුසු වෙත්. අනෙක් අය වැදගත් වන්නේ බාහිර අලංකාරික හේතු සම්බන්ධයෙනි. ඔවුන්ට කළ හැක්කේ, ප්‍රධාන තරගකරුවන් දෙන්නාගේ ඡන්ද ප්‍රමාණය අඩු කිරීම ය.

ගෝඨාභය රාජපක්ෂ ඇත්තම බරසාරත්වයක් ඇති පුද්ගලයෙක්ද? ඔහු සිංහල-බෞද්ධ රට අතහැර පලායද්දී කිසිවෙකු කිසිවක් කීවේ නැත. ඔහු රටෙන් පලාගිය අතර, ඊට පසු අවස්ථාවක බොහෝ මාධ්‍යවේදියෝ ඔහුගෙන් පලාගියහ. ඔහු නැවතත් සිංහල-බෞද්ධ රටට පැමිණීමට තීරණය කෙළේ ඔහුගේ සහෝදරයා රටේ ජනාධිපති වූ විට පමණි. ඊළඟට, රටේ ජනාධිපති අපේක්ෂකත්වය ඊයේ පෙරේදා ලැබෙන තෙක්, ඇමරිකානු පුරවැසි භාවය අත්හැරීමට ඔහු සිතුවේ නැත. එය පවා, එනම් ඇමරිකානු පුරවැසි භාවය ඇත්තෙත්ම ඔහු අතහැරියේද යන්න පවා, තවමත් සැක සහිත ය. එය ඔප්පු කිරීමේ සහතිකයක් පෙන්වන්නැයි, බිය නිසාම, කිසිවෙක් ඔහුගෙන් නොඉල්ලති. එසේ ඉල්ලීමට ඔවුන් බිය වන්නේ, ගෝඨාභය බලයට ආවොත් තමන්ට විය හැකි අනතුර ගැන කල්තියා දන්නා නිසා ය.

මේ මොහොතේ පවා ඔහුගේ බිරිඳ ඇමරිකානු ජාතික ය. ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ද එසේ ය. සංඝ රත්නයට ඒ ගැන කිසි ගාණක් නැත. මේ මොහොතේ හිස්බුල්ලා ඔහුට ආධාරකයක් වීමත් ඔවුන්ට ගාණක් නැත. එහෙත් හිස්බුල්ලා සජිත් සමග යාන්තමට හෝ සිනාසුණොත් ඒ සංඝ රත්නයට එය ලොකු ප්‍රශ්නයකි. එයින් කියැවෙන්නේ ගෝඨාභයගේ සහායක කඳවුර (මහින්දගේ උරුමය) ජාතිවාදී බවද?

හමුදාවේ සේවය කරන කාලයේ තිබූ ඔහුගේ පුද්ගල ලිපිගොනුව මේ වන විට අතුරුදහන්ව තිබේ. මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුවේදී, එම ගනුදෙනුව රටක් (ලංකාව) සහ තවත් රටක් අතරේ සිදුවූ අන්තර්-රාජ්‍ය ගනුදෙනුවක් පමණක් බව ඔහු අධිකරණයේ දිවුරුම් දී කීවේය. එහෙත් එය බොරුවක් බව දැන් හෙලි වී තිබේ. ඒ නඩු ලිපිගොනුවත් දැන් අතුරුදහන් ය. ඔහු ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කළ ලිපිගොනුවත් ආගිය අතක් නැත. අලුත් ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කල ලිපිගොනුවත් අතුරුදහන් ය. අලුත් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කළ ලිපිගොනුවත් අතුරුදහන් ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීමට මොහොතකට කලින් තමා පසුපස ලුහුබැඳ එන ඝාතකයන් පැමිණි මෝටර් සයිකල් අංක ලසන්ත විසින්ම සටහන් කොට තිබූ ලසන්තගේ සටහන් පොත පොලිස්පතිවරයා හරහා ගෝඨාභයට ලැබීමෙන් පසු එයත් අතුරුදහන් ය.

මේ සියල්ල අහම්බ සිදුවීම්වත්, නිලධාරීන්ගේ අතපසුවීම්වත් විය නොහැක. ඒ සියල්ල පසුපස එක් නිශ්චිත රටාවක් තිබේ. එය මොන තරම් ඝෝර ද? අපට අවශ්‍ය කරන්නේ එවැනි අපේක්ෂකයෙක්ද? නැත්නම්, පවතින යථාර්ථය විසින් ඉල්ලා සිටින්නේ එවැනි කෙනෙක්ද?

2019 ඔක්තෝබර් 18 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Are We Stupid Or Doomed Or Both නම් ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page