Colombo Telegraph

අයාලේ ගිය භික්ෂූන්

ස්වේ වින්

මීට වසර පහකට පෙර, මියන්මාරය හමුදා ආඥාදායකත්වය යටතේ තවමත් පවතිද්දී, මගේ බටහිර ජාතික සහ චීන මිතුරන් මගෙන් නිතර ඇසූ ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, අවිහිංසාව පරම දේශනාව කරගත් බුද්ධාගම වැනි ආගමක් අදහන රටක මෙතරම් හිංසාවක් සහ අමානුෂික හිරිහැරයක් පැවතිය හැක්කේ කෙසේ ද යන්නයි.

එකල හොංකොං විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය විෂය හදාරමින්, ස්වයං=විප‍්‍රවාසයක සිටි මගේ නිරායාස පිළිතුර වුණේ, රට පාලනය කළ හමුදා නායකයන්, නමින් මිස හැබෑ බෞද්ධයන් නොවන බවයි. යටත් විජිතවාදයට කලින් බලයේ සිටි රජවරු ද, එවැනි නාමික බෞද්ධයන් වූ අතර, ඔවුන්ගේ කාලයේදීත් මෙවැනිම මහා අපරාධ සිදු වූ බව මම තවදුරටත් පෙන්වා දුනිමි. වෙනත් වචනවලින් කිවහොත්, මෙය ආගමේ ප‍්‍රශ්නයක් නොව, ආගම අපයෝජනය කළ දේශපාලඥයන්ගේ ප‍්‍රශ්නයක් වන බව ය.

මියන්මාරයේ මධ්‍යම ප‍්‍රදේශයේ වෙසෙන, කිසි දවසක නිකායවාදී හිංසනයක යෙදී නැති මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව බෞද්ධයන් පසුගිය දා එල්ල කළ ප‍්‍රහාරයන්ගෙන් පසු, එවැනි පිළිතුරකට කිසි අවකාශයක් නැත

දැන් මට එවැනි උත්තරයක් තවදුරටත් දීමට පිළිවන් කමක් නැත. මියන්මාරයේ මධ්‍යම ප‍්‍රදේශයේ වෙසෙන, කිසි දවසක නිකායවාදී හිංසනයක යෙදී නැති මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව බෞද්ධයන් පසුගිය දා එල්ල කළ ප‍්‍රහාරයන්ගෙන් පසු, එවැනි පිළිතුරකට කිසි අවකාශයක් නැත. ඒ ගිනි තැබීම්, පහර දීම් සහ ඝාතනයන්ගෙන් සමහරක නායකත්වය ගෙන ඇත්තේ බෞද්ධ භික්ෂූන් යැයි වාර්තා වන තත්වයක් යටතේ, මෙය, ප‍්‍රතිපත්ති විරහිත නිලධාරීන්ගෙන් එහාට යන ප‍්‍රශ්නයක් බව පැහැදිළි වෙයි.

මේ තිරිසන් ක‍්‍රියාවල යෙදුණේ යැයි කියන භික්ෂූන් සත්‍ය වශයෙන්ම බෞද්ධ භික්ෂූන් වශයෙන් සැළකිය නොහැකි යැයි, සියයට 90 ක් බෞද්ධයන් සහ සියයට 65 ක් බර්මාර් වාර්ගිකයන්ගෙන් සමන්විත මියන්මාරයේ (බුරුමයේ* පොදු ජනයා කියනු ඇත. එහෙත්, එරටේ කලක් ගෞරවයට පාත‍්‍රව තිබූ සංඝ සාසනය අද වන විට අතිශයින් ¥ෂිත වී ඇතැ යි යන වේදනාකාරී යථාව වසං කිරීමට එවැනි ප‍්‍රකාශයක් සමත් වන්නේ නැත.

සසුන්ගත වූ තරුණ තරුණියන්ගෙන් බහුතරය, ආධ්‍යාත්මික පිපාසයකින් සාසනය වෙත ඇදී ආ කාලයක් තිබුණි. එහෙත්, හමුදා ජුන්ටාවෙන් රට කැරැුවුණු අර්ධ ශතකය තුළ පන්සල් වෙතට සාමනේරවරු ඇදුණේ, දේශ සීමාවන්හි හටගත් බිහිසුණු යුද්ධ සහ අන්ත දරිද්‍රතාව හේතුවෙනි. ඔවුන්ගෙන් බොහොමයක්, දෙමාපියන් අහිමි කරගත් අනාථයෝ ය. සෙස්සන්, හිසට වහලක් සහ මූලික අධ්‍යාපනයක් සඳහා අසරණ දෙමාපියන් පන්සලට ගෙනැවිත් භාර කරන ලද දරුවන් ය. සසුන්ගත මේ සාමනේරුවරුන්ගේ ආකෘතිය, බුරුමයේ (මියන්මාරයේ* හමුදා ආකෘතියට වෙනස් නැත. සමහර විහාරාධිපතිවරු, හමුදා නිලධාරීන් තරමටම කෲර වෙත්.

1990 දශකයේ ගතානුගතික බෞද්ධ පවුලක හැදුනු වැඩුනු මම, පාසලේ පස් වැනි ශ්‍රේණියෙන් පසු හැම ගිම්හානයක්ම ගත කෙළේ, ආරාමයක උගෙන ගනිමිනි. භාවනා කෙරෙහි යොමු වෙනු වෙනුවට, මෙකල භික්ෂූන් සිය කාලය කැප කෙළේ, මුදල්හදල් ලැබෙන ජ්‍යොතිෂය සහ දානමාන වෙනුවෙනි. අද බොහෝ භික්ෂූන්ට ඩිජිටල් දුරකථන, එල්.සී.ඞී. රූපවාහිනී සහ සුඛෝපභෝගී යානවාහන තිබේ. ඇතැමෙක් සූදු ද කෙළිති. ‘‘වයසට යනකොට විතරයි ඊළඟ ආත්මයක් ගැන හිතන්නේ,’’ යැයි, එක් විහාරාධිපතිවරයෙක් ගිය සතියේ මට කීවේය. ‘‘අනිත් පැත්තෙන් ගත්තහම, හුඟාක් හාමුදුරුවරුන්ගේ ජීවිත ගිහි ජීවිතවලට වෙනස් නැහැ.’’

නරකම කාරණය වන්නේ, මා ආරාමගතව උගන්නා කාලයේ මට හමු වූ භික්ෂූන් තම සාසනය දැක්කේ, යම් අධානග‍්‍රාහී නිකායක් වශයෙන් වීමයි. වෙනත් ආගමික විශ්වාසයන් ගැන ඔවුන් තුළ තිබුණේ නිගරුවකි. බුදුන් වහන්සේගේ දේශනාවන් තුළ අඩංගු සාර්වත‍්‍රික ගුණය ඔවුන් මායිම් කෙළේ නැත. දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් අස්ථාවර සමාජයක්ව පවතින තාක් කල් මියන්මාරයේ බුද්ධ සාසනයට පැවතිය හැක්කේ, ලෞකික ප‍්‍රශ්න ඇති මිනිසුන්ගේ ගෘහස්ථ රක්ෂාස්ථානයක් වශයෙන් පමණි. සමහර අවස්ථාවල, ආගම්වාදී භේද අවුළුවන තෝතැන්නත් වශයෙනි.

2001 දී මියන්මාරයේ මධ්‍යම ප‍්‍රදේශ ගණනාවකම, මුස්ලිම් විරෝධී කෝලාහල ඇති විය. ඒවාට සහභාගී වූ තරුණ භික්ෂූන් වහන්සේලා ගණනාවක් සිරගත වූහ. ඉන් සමහරෙකු මට මුණගැසුණි. මුස්ලිම්වරුන්ගේ දේපළ ගිනිබත් කිරීමෙන් තමා බුද්ධාගම ආරක්ෂා කරගත් බව, කෙනෙක් ආඩම්බරයෙන් මා සමග කීය. එම අපරාධ සඳහාම සිරගතව සිටි තවත් භික්ෂුවක්, මුස්ලිම් ජනතාවට එරෙහි වෛරී අදහස් පතුරුවන, ‘969 ව්‍යපාරය’ නමින් හැඳින්වෙන සංවිධානයක් අද මෙහෙයවයි.

රකීන් ප‍්‍රාන්තයේ වෙසෙන, රටක් නැති මුස්ලිම් සුළුතරයක් වන රොහින්ග්යා ප‍්‍රජාවට එරෙහිව ගිය වසරේ එල්ල කළ අමානුෂික ප‍්‍රහාරයන්ගෙන් පසුව, මගේ මිතුරු සමහර භික්ෂූන් වහන්සේලා මට නිතර කී කතාවක් තිබුණි. එනම්, මානව හිමිකම් සහ බටහිර සාරධර්ම ඒ කියන ප‍්‍රජාවට සුදුසු නොවන බවයි. ඒ මන්දැ යි ප‍්‍රශ්න කරමින්, රොහින්ග්යා ප‍්‍රජාවත් මනුෂ්‍යයන් වශයෙන් සළකා බෞද්ධ ධර්මානුකූලව ඔවුන්ව භාරගත යුතුව ඇතැ යි මා පෙන්වා දුන් විට ඔවුන් කෙළේ හිස දෙපසට වනා, මා බුරුම ජාතිකයෙකු නොවන බවට අවලාද නැගීමයි.

අඩු වශයෙන්, මා බෞද්ධයෙකු නොවෙති යි නොකීම ගැන, මෙහි දී මම සතුටු වෙමි.

*2013 අපේ‍්‍රල් 17 වැනි දා ‘ලැටිටියුඞ්’ වෙබ් අඩවියේ පළවූ Monks Gone Bad ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’  Photo; Khin Maung Win/Associated Press

Back to Home page