Colombo Telegraph

ශ‍්‍රී ලංකාව භයානක මාවතක

මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික=බහුතරවාදය නැවත වරක් හිස ඔසවා තිබේ. මේ වන විට හතර දෙනෙකු ඝාතනයට ලක්ව ඇත. තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇත. මුස්ලිම් ජාතිකයන්ට අයත් ගෙවල්දොරවල් සහ ව්‍යාපාරික ආයතන දවස් දෙකක් තිස්සේ ගිනිබත් කෙරී ඇත.

‘බොදුබල සේනා’ නමින් මෑතක දී පිහිටුවා ගත් අන්තවාදී කණ්ඩායමක් මගින් උසිගන්වන ලදැ යි පැහැදිළිවම පෙනෙන්ට ඇති මෙම ප‍්‍රචණ්ඩත්වය, අළුත්ගම සහ බේරුවල වෙරළාසන්න නගරවල තදින් පැතිර ගොස් තිබේ. එම තත්වය කෙතෙක් බරපතල වී ද යත්, සාමය ආරක්ෂා කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමටත්, හමුදාව සහ විශේෂ පොලිස් කාර්ය බලකායන් කැඳවීමටත් ආණ්ඩුවට සිදුව ඇත. සමහර විට, 1980 දශකයේ ඇති වූ ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචණ්ඩත්වයෙන් පසු, මෙයාකාරයෙන් සන්නද්ධ අංශ එම පළාතේ යෙදවීමට ආණ්ඩුවට සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය විය හැකිය.

එහෙත්, අවුරුදු දෙකකටත් අධික කාලයක් තිස්සේ, ‘බොදුබල සේනාවේ’ ප‍්‍රකෝපකාරී ක‍්‍රියාකලාපයන් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නොසළකා හැර තිබුණි. ප‍්‍රධාන වශයෙන් මුස්ලිම් ප‍්‍රජාවටත්, ක‍්‍රිස්තියානි ආගමිකයන්ටත් එරෙහිව විවිධ අවස්ථාවල මෙම සංවිධානය කළ කී දෑ ගැන පැහැදිළි සාක්ෂි තිබියදීත්, එය පාලනය කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව කිසිවක් කෙළේ නැත. ඒ වෙනුවට, ජනාධිපති මහින්ද රාජපක්ෂත්, ඔහුගේ බලගතු සොහොයුරු ගෝඨාභය රාජපක්ෂත්, විවිධ අවස්ථාවල ‘බොදුබල සේනා’ කාර්යාලයට ගියහ. ඔවුන් එම සංවිධානය කෙරෙහි දක්වන බලගතු අනුග‍්‍රහය පිළිබඳ සංඥා ඒ මගින් නිකුත් කෙරුණු අතර සුජාත භාවයේ මුද්‍රාවක් ද ඔවුහූ එම සංවිධානයට ලබා දුන්හ.

ගිය සතියේ මුස්ලිම් තරුණයන් තුන් දෙනෙකු සහ බෞද්ධ භික්ෂුවක් අතර බහින්බස් වීමක් සිදුවීමේ පටන් මුස්ලිම්-විරෝධී කලහකාරී මනෝ භාවයක් අළුත්ගම පළාතේ ඔඩුදුවමින් තිබුණි. එවැනි පසුබිමක් තුළ, පසුගිය ජුනි 15 වැනි දා, එම නගර මධ්‍යයේ ‘බොදුබල සේනාව’ මගින් රැුස්වීමක් පැවැත්වීම නතර කරන්නැ යි, එම පළාතේ වෙසෙන සිහිබුද්ධියෙක් ඇති බොහෝ මිනිසුන් ද, සමස්තයක් වශයෙන් වඩාත් පුළුල් රටේ සිවිල් සමාජය ද ඉල්ලා තිබුණි. එවැනි රැුස්වීමක් මගින් ඇති විය හැකි ප‍්‍රතිවිපාක පිළිබඳ ඔවුන් පෙන්වා දුන් අවදානම, සුළු ජන ප‍්‍රජාවන්ට එරෙහිව එක් බෞද්ධ භික්ෂුවක් විසින් එම අවස්ථාවේ පවත්වන ලද ප‍්‍රකෝපකාරී කතාවක් අවසන් වූ සැණින් ඇති වූ විනාශයන්ගෙන් මොනවට පෙන්නුම් කෙරුණි. මෙම රැුස්වීම ආවරණය කිරීමට යොදවා තිබූ සන්නද්ධ පොලිස් බලකාය, එම තත්වය පාලනය කිරීමට කිසිවක් කෙළේ නැත.

නොවිසඳුණු දෙමළ දේශපාලනික අභිලාෂයන් ඇතුළු තවත් හේතු ගණනාවක් නිසා ඇති වූ දීර්ඝ යුද්ධයකින් මෑතකදී ගොඩ ආ රටක් වශයෙන් සහ එම යුද්ධයට සම්බන්ධ ඇතැම් ප‍්‍රශ්නවලින් තවමත් ගොඩඒමට නොහැකිව සිටින රටක් වශයෙන්, තමන්ට ලැබුණු අවස්ථාව මීට වඩා බුද්ධිමත් ආකාරයකින් පාවිච්චි කිරීමට ලංකාවට පුලූවන් කම තිබුණි. එහෙත් ඒ වෙනුවට, රටේ නායකයන්ගේ පටු දේශපාලන අභිලාෂයන් සඳහා මහජාතික බහුතරයේ හැඟීම් තමන්ට වාසිදායක ආකාරයෙන් හසුරුවා ගැනීමට යාමෙන් සිදුව ඇති බව පෙනෙන්නේ, අළුත් සතුරන් සෙවීමට ජාතිකවාදයට තල්ලූවක් සැපයීමයි.

යුද්ධයෙන් පසුව දෙමළ ප‍්‍රශ්න කළමනාකරණය සම්බන්ධයෙන් දැනටමත් ලෝකයේ පරීක්ෂාවට ලක්ව සිටින ජනාධිපති රාජපක්ෂ, තවත් සුළුතර ප‍්‍රජාවක් සාහසිකව ඉලක්ක කෙරෙමින් තිබෙන අවස්ථාවක උඩඟුවෙන් කටයුතු කිරීම නිසා නැවත වතාවක් ඔහුව ලෝක පරීක්ෂාවට භාජනය වෙයි.

ගැටුම් ඇති වීමෙන් පසු, පීඩාවට පත් ප‍්‍රදේශ බැලීමට ගිය ජනාධිපතිවරයා සිදුව ඇති අලාභහානිවලට වන්දි ගෙවීමට පොරොන්දු වී තිබේ. එහෙත්, එම ප‍්‍රචණ්ඩත්වය හෙළාදැකීමක් හෝ ඒ ප‍්‍රචණ්ඩත්වය පසුපසින් සිටි කිසිවෙකු නිසියාකාර විවේචනයට ලක්කිරීමක් හෝ ආණ්ඩුව පැත්තෙන් සිදුව නැත. පොරොවෙන් කපන්ට සිදුවීමට කලින් නියපොත්තෙන් කඩා ගැනීමට තවමත් කාලය තිබේ. එහෙත්, ‘‘කිසි පුද්ගලයෙකුට හෝ දේපළකට හානි කිරීමට අපට ඉඩ දිය නොහැක’’ යනුවෙන්, සමාජ මාධ්‍යය හරහා හුදු පණිවිඩ නිකුත් කිරීමෙන් පමණක් එය කළ නොහේ.

*2014 ජුනි 20 වැනි දා ඉන්දියාව් ‘හින්දු’ පුවත්පත “A Dangerous Road in Sri Lanka” නැමැති හිසින් පළ කළ කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Back to Home page