Colombo Telegraph

දරුවන් ශිෂ්‍යත්වයෙන් සමත් කරවන්න ගණදෙවියන්ට පුළුවන්ද?

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

පසුගිය අගෝස්තු 23 ඉරිදා පැවැත්වුණු පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන් වෙනුවෙන් විශේෂ ගණදෙවි පූජා රාශියක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංවිධානයකොට තිබූ බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. මාතර ප්‍රදේශයේ ජනප්‍රියත්වයට පත්ව හිඳින ආණ්ඩු පක්ෂයේ තරුණ දේශපාලනඥයකු විසින්ද පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සිසුන්ගේ ජය තහවුරු කිරීම පිණිස සංවිධානය කෙරුණු විශේෂ ගණදෙවි පූජාවක් ගැන ද පසුගිය අගෝස්තු 21 වැනි සිකුරාදා පැවැත්වූ බව ද මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

ගණදෙවියන් යනු බුදුදහමට හෝ බෞද්ධ සංස්කෘතියට කිසිදු සම්බන්ධයක් නොමැති භාරතීය වෛදික සම්ප්‍රදායේ දෙවියෙකි. ඉන්දීය ඉතිහාසය පිළිබඳ ප්‍රමාණික දැනුමක් සහිත විද්වතකු වන ඒ.එල්. බෂාම් පෙන්වා දෙන අන්දමට භාරතයේ මෙම ගණදෙවි සංකල්පය බිහිවී ඇත්තේ දුරාතීතයේ පැවැති ඇත් හිසක් සහිත කිසියම් ප්‍රාදේශීය දෙවි කෙනෙකු පිළිබඳ සංකල්පයක් විකාශනය වීමෙනි. කෙසේ හෝ වෛදික පිළිගැනීම අනුව හින්දු දේව මණ්ඩලයේ නුවණට අධිපති දෙවිදුන් වශයෙන් ප්‍රකටව ඇත්තේ ද ගණදෙවියන්ය. ඒ සම්බන්ධ ජනප්‍රවාද සිය ගණනකි. එමෙන්ම හින්දු දේවගණයා අතර මෙම ගණදෙවියන් ප්‍රමුඛතමයකු සේ සැලකෙයි.

මිහින්ත‍ලේ ආයකයක වාමනරූප අතර තිබී හමුවී ඇති ක්‍රිස්තු වර්ෂයට පමණ අයත් සේ සැලකෙන ඇත්හිසක් සහිත දේවරූපය ලොව මුල්ම යුගයේ ගණදෙවි රූපය හෝ රූපයක් ලෙස සැලකෙයි. එහෙත් ගණදෙවි ඇදහීම පිළිබඳ පර්යේෂණ මෙහෙය වන ඉතිහාසඥයන් මානව සහ සමාජ විද්‍යාඥයන් පවසනුයේ වර්තමාන ගණදෙවි ඇදහීම ඊට බොහෝ කලකට පසු පරිනාමය වූ වගකි. ඒ අනුව එම ඇත් හිස සහිත දෙවියා හුදෙක් වත්මන් ගණ දෙවියන්ම ද යනු විමසුමට ලක් කළ යුතු කරුණකි. ඒ කෙසේ හෝ අනුරාධපුර, ‍පොළොන්නරු වැනි ආදී යුගවල අප රටේ ගණදෙවි ඇදහීමක් ව්‍යාප්තව පැවැති බවට පිළිගත හැකි සාක්ෂි නැත. උතුරේ ‘පුල්ලෙයාර් සාමී’ නමින් හැඳින්වෙන ගණදෙවි ඇදහීම රට පුරා ව්‍යාප්තවී ඇත්තේ ඊට පසු කලෙකය.

අපට ඉතා පහසුවෙන් පිළිගත හැක්කේ වර්තමානයේ මෙරට ප්‍රචලිත ගණදෙවි ඇදහීම මහනුවර යුගයේ පමණ සිට ශීඝ්‍රයෙන් ප්‍රචලිත වූ බවකි. විශේෂයෙන් ක්‍රි.ව. 1747-1782 දක්වා මහනුවර රජකළ නායක්කර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ කාලයේ අත්තරගම රාජගුරු බණ්ඩාර නම් පඬිවරයකු විසින් ලියන ලද බව සැලකෙන ගණදෙවි හෑල්ල සහ වදන් කවි‍පොත එවක මෙරට පැවැති අධ්‍යාපන ක්‍රමයට අනුගත කිරීම මෙම ගණදෙවි සංකල්පය එවක සමාජය පුරා පැතිරී යෑමට හේතුවන්නට ඇත.

නුවණට අධිපති සේ සැලකෙන ගණදෙවියන් ‘ඒක දන්ත’ යනුවෙන්ද සංස්කෘත බසින් හැඳින්වෙයි. එහි අරුත එක් දතක් හෙවත් ‘එක් දළයක් ඇති’ යන්නය. නුවණට අධිපති ගණදෙවියන් එසේ එක් දළයක් අහිමි කරගත්තේ ද එක්තරා ‘අනුවණකමක්’ මුල් කරගනිමිනි. අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් ලියූ වදන් කවි‍පොතේම හතළිස් හයවන කවියෙන් ඒ පිළිබඳව මෙසේ විස්තර කෙරේ.

අඹ ගෙඩියක් උදෙසා තම චිත්තේ
ලොබකොට දිවගොස් දළ බිඳ ගත්තේ
ඔබට මම දැන් ගැතිවෙමි නිත්තේ
සුබ නුවණක් කිම දෙනවා නැත්තේ

මෙම කවිය මුල්කොට වඩාත් නිර්දය විමසුමක් කළහොත් මෙම කවියා ගැතිබවින් යුතුව නුවණක් ඉල්ලා හිඳිනුයේ කාගෙන්ද? පට්ටපල් මෝඩයකුගෙනි.

දැන් අපි පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය වෙත නැවත එමු. අප රටේ මාතර හෝ වෙනයම් ප්‍රදේශයක කිසියම් සිසුන් පිරිසක් අතිශය තියුණු මට්ටමේ තරග විභාගයක් වන පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්වීම පිණිස ගණදෙවිඳුන් වෙතින් විශේෂ අනුග්‍රහයක් ලැබුවා යැයි සිතමු. එහෙත් එය තම යථාර්තවාදී විෂය දැනුම සහ බුද්ධිය පදනම් කරගනිමින් විභාගයට මුහුණ දෙන සෙසු සිසුන් හට සිදුවන සහ සිදුකරන ප්‍රබල අසාධාරණයක් නොවන්නේද? එහෙත් අප එවැන්නක් ගැන අබමල් රේණුවකින් වත් බියවිය යුතු නැත. එනම් යථාර්ථවාදී පදනම යටතේ සිතනවිට ගුප්ත විශ්වාස මගින් එවැනි දැනුමක් බුද්ධියක් හිමිකරගැනීම හුදෙක් විහිළුවක් පමණක් වන බැවිනි.

මහනුවර යුගයේ ගණදෙවි ඇදහීම මෙරට ප්‍රචලිත වන අතරේ එය අපහාසයට උපහාසයට ලක්කළ පිරිසක් ද මෙරට වූහ. ඒ පහතරට විශේෂයෙන් මාතර වැසියන්ය. මතු දැක්වෙන රසවත් ජන කතාව ඊට කදිම නිදසුනකි.

අතීතයේ මාතර ප්‍රදේශයේ සුවිසල් ගණදෙවි කෝවිලක් විය. එහි ගණදෙවි රූපයට පළඳවා ඇති රන් රිදී මුතුමැණික් ආදී ආභරණ ඇතුළු කෝටි ප්‍රකෝටි ගණනක වස්තු සම්භාරයක් එම දෙවොල සතුවිය. මාතර ගණදෙවි කෝවි‍ලේ ඇති මෙම වස්තු සම්භාරය දුටු එම ප්‍රදේශයේ සොරුන් දෙදෙනකු තුළ මෙම දෙවොල බිඳ එම වස්තුව සොරාකෑමේ ආශාවක් ඉපදුණි. එහෙත් එම දෙවොල ඉදිකොට තිබූ ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව එය ‘බිඳීම’ කෙසේවත් කළ නොහැකි විය.

ගණදෙවියන් යනු නුවණට අධිපති දෙවියන් බව ඒ වන විට මාතර ප්‍රදේශයේද ප්‍රසිද්ධව තිබිණ. එබැවින් මෙම ගණදෙවි කෝවිල බිඳීම පිණිස ගණදෙවියන්ගෙන්ම උපායමාර්ගයක් අයැද සිටීමට, නැතහොත් ගණ දෙවියන්ගෙන් නුවණ සොරකම් කිරීමට සොරු තීරණය කළහ.

ඒ අනුව දිනක් පූජා වට්ටියක්ද රැගෙන ගණදෙවි කෝවිලට පිවිසි සොරුන් දෙදෙනා එම පූජා වට්ටිය ගණදෙවියන්ට පුද දී ස්වාමීනි, ඔබ වහන්සේ ඥානයට අධිපති බව මුළු ලෝවාසීහුම දනිති. එබැවින් අපට අනුකම්පාකොට මෙවන් කෝවිලකට රහසින් පිවිසිය හැකි ක්‍රමයක් වේ නම් එය අප හට වදාළ මැනවයි කීහ. එවිට තමන් හට කළ ඒ ප්‍රශංසාවෙන් මහත් ආඩම්බරයට පත් ගණදෙවියන් මෙහි පෑළදොර බිඳගතහොත් පහසුවෙන් මීට පිවිසිය හැකි යැයි කීහ.

පසුදාට පහන් විණි. එදින උදෑසන එම කෝවිලට පිවිසි පූසාරියාට පෙනී ගියේ කිසිවකු විසින් පෙරදා රාත්‍රියේ එම දෙවො‍ලේ පෑළදොර බිඳ එහි තිබූ සියලු වස්තුව පැහැරගෙන ගොස් ඇති බවය.

‘හොරාට ගණදෙවි නුවණ තියනවා’ යන පිරුළ හා සම්බන්ධ එම ජනකතාව මගින් පැවැසෙනුයේ කන්ද උඩරට රාජධානියේ ඉහළ පිළිගැනීමකට ලක්වූ ‘ගණදෙවි නුවණ’ සංකල්පය ඕලන්ද යුගයේ දකුණුකරයේ පැවැති ශාස්ත්‍ර ඥානයේ ආලෝකය ලත් බුද්ධිමත් මාතර ජනතාවගේ තියුණු උපහාසයට ලක්වූ අන්දමය. එවන් පසුබිමක් පැවැති රටක වර්තමාන මාතර මිනිසුන් අතුරින් ප්‍රමුඛතමයකු බවට පත් අයකු පස්වන ශ්‍රේණියේ දරුවන්ගේ ශිෂ්‍යත්ව සාමාර්ථය උදෙසා ගණදෙවි පූජාවක් පැවැත්වීම ඉහත සඳහන් ජනකතාව උඩුයටිකුරු කරවන මුග්ධ ක්‍රියාවක් සේ මට හැඟේ.

Back to Home page