Colombo Telegraph

බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී කොවුර් ‘දේවදත්තයෙක්’ ද?

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා වී අවසානයේ මෙම හේතුවාදය යන වදන ඒ සඳහා යෙදී ඇත්තේ අඩමානයට මෙනි. කෙසේ හෝ අද වන විට එය හේතුවාදය වශයෙන්ම සිංහල බසෙහි පැලපදියම් වී තිබේ.

Rationalism යන ඉංග‍්‍රීසි වදන සඳහා ලොව පිළිගත් අරුත් ගැන්වීම් දෙකක් තිබේ.

ඒ මෙලෙසිනි.

1. නිගමනයන් හෝ ක‍්‍රියාවන් ආගමික විශ්වාසයන් හෝ  භාවාත්මක ප‍්‍රතිචාරයන් මත නොව තර්කය සහ දැනුම මත පදනම් විය යුතු ය යන විශ්වාසය හෝ න්‍යාය.

2. දැනුමෙහි නිශ්චිත පදනම අත්දැකීම් මත නොව තර්ක බුද්ධිය මත පිහිටිය යුතු ය යන න්‍යාය.

මගේ පෞද්ගලික විශ්වාසය අනුව මානව ඉතිහාසයේ ප‍්‍රථම හේතුවාදියා ක‍්‍රිස්තු පූර්ව හයවන සියවසේ ඉන්දියාවේ පහල වූ සිද්ධාර්ථ ගෞතම නම් ශාස්තෘවරයා ය. එනම් බුදුන් වහන්සේ ය. එහෙත් එම දේශනාවේ මූලික හේතුවාදී පදනම යටපත් කොට පසුව සංවර්ධනය වූ බුද්ධාගම නම් ආගමික දෘෂ්ටිවාදය නිසා ලොව හේතුවාදීන්ගේ ලේඛනයේ මුලින්ම සඳහන් විය යුතු සිද්ධාර්ථ ගෞතම නාමය ඉන් බැහැරට ඇදී ගොස් ඇති අයුරක් පෙනෙන්නට තිබේ. හේතුවාදී න්‍යාය මුළුමනින්ම අන්තර්ගත පටිච්ච සමුප්පාදය නම් න්‍යාය ඇතුළත් මූලික බුදු සමයෙන් එය අර්ථකථනය වනුයේ මෙලෙසිනි.

ඉමස්මිං සති ඉදං හොති – මෙය ඇති කල්හි මෙය වෙයි.
(හේතුව පවත්නා කල්හි ප‍්‍රතිඵලය පවතී.)
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති – මෙය ඉපදීමෙන් මෙය උපදී.
(හේතුව හට ගැනීමෙන් ඵලය හටගනී.)
අමස්මිං අසති ඉදං නහොති – මෙය නැති කල්හි මෙය නොවේ.
(හේතුව නොපවත්නා කල්හි ප‍්‍රතිඵලය නොපවතී.)
ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති – මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
(හේතුව නැතිවීමෙන් ප‍්‍රතිඵලය නැතිවේ.)

හේතුඵලවාදය හෙවත් පටිච්ච සමුප්පාදය Causality යන ඉංග‍්‍රීසි වදන හා මනාව සැසඳෙනුයේ එබැවිනි.

හේතුඵලවාදය පිළිබඳව කතා කරන විට ඊට අතිශයින් සමාන්තර ගමනක යන  චින්තන ධාරාවක් වන හේතුවාදය පිළිබඳව ද සඳහන් කළ යුතු ය. නමුදු අද වනවිට සමස්ත ශ‍්‍රී ලාංකීය ජන සමාජයෙන් සියයට අනූවකටත් වඩා සිතනුයේ හේතුවාදය යනු අනාගමික සේම ආගම් විරෝධී චින්තන ධාරාවක් බව ය. එය බලවත් මුලාවකි.

කෙසේ හෝ ශ‍්‍රී ලාංකීය හේතුවාදයේ පියා වශයෙන් සැලකෙන එහි සමාරම්භක සභාපති ඒබ‍්‍රහම් තෝමස් කොවුර් විසින් එක්දහස් නවසිය හැටේ දශකයේ ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමය පිහිටුවීමත් සමඟ එය සියලූ ආගමික සංස්කෘතික සාරධර්ම පද්ධතින් නිශේධනය කරන ශුන්‍යතාවාදයක් (Nihilism) යන මතය රටපුරා පැතිර ගොස් තිබේ. එදා තත්ත්වය පසෙක තිබිය දී අද ද බොහෝ දෙනකු සිතනුයේ හේතුවාදීන් යනු ආගම් වහකදුරු කොටගත් පිරිසක් ලෙසිනි.

ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ ඇතැම් වත්මන් සාමාජිකයන් තුළ පවා මෙවන් ආගමික විරෝධයක් පැන නැඟ ඇත්තේ එහි නිර්මාතෘ දිවංගත ආචාර්ය එ්බ‍්‍රහම් ටී. කොවුර් හේතුවාදය සහ ආගම් ඇදහීම සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය පිළිබඳව නිසි වැටහීමක් නොමැති නිසා යැයි මට සිතෙයි.

ඒ සම්බන්ධයෙන් ආචාර්ය කොවුර්ගේ අගනා අදහස් දැක්වීමකට මුල පිරෙනුයේ පරගම්මන සිරිල් විජේසිංහ නම් මහතකු 1968 ඔක්තෝබර් හත්වන දා ‘සිලෝන් ඔබ්සවර්’ පුවත්පත සඳහා ලියනු ලැබූ ලිපියකි. විජේසිංහ මහතාගේ ලිපිය මෙලෙසිනි.

‘‘පුනරුත්පත්තිය, කර්මය, බුද්ධත්වය ආදී සියලූ ආගමික විශ්වාසයන් හේතුවාදය මගින් ප‍්‍රතික්ෂේප වන බව අප රටේ හිඳින ප‍්‍රමුඛතම හේතුවාදියා වන ඒබ‍්‍රහම් ටී. කොවුර් මහතා නොබෝදා දේශනයක දී සඳහන් කොට ඇත.

ඔහුගේ එම ප‍්‍රකාශය වෙත මගේ අවධානය යොමුව තිබේ. ඒ ඔහුගේ හේතුවාදී සංගමයේ නිලධාරීන්ගෙන් වැඩි දෙනකු බොදු වත් පිළිවෙත් අනුගමනය කරන්නවුන් බව මා පෞද්ගලිකව දන්නා නිසා ය. (කොවුර් මහතා කෙසේ කීව ද) මෙම මහතුන්ට පුනරුත්පත්තිය ආදී ආගමික විශ්වාස පරම සත්‍යයක් මිස බොරු නොවේ.

ඒ අනුව මෙම විෂයය පිළිබඳව සභාපතිවරයා දරන ස්ථාවරය පිළිබඳව මෙම මහත්වරුන් සිතනුයේ කුමක් ද? යන්න දැනගැනීම අපට වැදගත් වනු ඇත. මේ සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ සමාජයෙන් ‘‘මිථ්‍යා විශ්වාස’’ දුරු කරලීමට පෙර ඒවා තම සාමාජිකයන් වෙතින් ඉවත් කිරීම ශ‍්‍රී  ලංකා  හේතුවාදී සංගමයට වඩාත් ඵලදායී විය හැකි බව ය.’’

සිරිල් විජේසිංහ මහතාගේ මෙම අභියෝගාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් එවක ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමය මගින් ප‍්‍රකාශිත The Ceylon Rationalist Ambassador ලිපි කළඹ මගින් ආචාර්ය කොවුර් දී ඇත්තේ මෙබඳු අතිශය සහනශීලී පිළිතුරකි.

‘‘හේතුවාදය මගින් සියලූ ආගමික විශ්වාස ප‍්‍රතික්ෂේප වන බව මෑතක දී මා ප‍්‍රකාශ කළ බවක් විජේසිංහ මහතා පවසා ඇත. මා කිසි විටෙකත් එබඳු ප‍්‍රකාශයක් කොට නැත. එපමණක් නොව මගේ ප‍්‍රකාශය වාර්තා කළ පුවත්පතේ ද එවැන්නක් සඳහන්ව නැත.

කිසිදු ආගමක යහපත්, සදාචාරාත්මක අංග ප‍්‍රතික්ෂේප කිරීමට හේතුවාදීන්ට අවශ්‍ය නැත. ඔවුහු එසේ නොකරති. ඔවුන් පසුබට නොවනුයේ ආගම් හා සබැඳුණු මිථ්‍යා විශ්වාස ප‍්‍රතික්ෂේප කිරීමට පමණි. අනෙක බොහෝ ආගම්වලින් ඉදිරිපත් කෙරෙන යහපත් සදාචාරාත්මක ඉගැන්වීම් එම ආගම්වල ඒකාධිකාරයන් නොවන බව ද හේතුවාදීහු දනිති. එනිසා එ්වා ආගම් හා සබැඳුණු මිථ්‍යාවන් හා කලවම් කර නොගන්නා හේතුවාදීහු ඇතැම් ආගමික භක්තිමතුන්ටත් වඩා හොඳින් එම සදාචාර ධර්ම පිළිපදිති.’’

එසේ පවසන ආචාර්ය කොවුර් එහි මෙසේ ද සඳහන් කර ඇත.

‘‘ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමය එම අරමුණු හා එක්වන සැමට එක සේ විවෘත ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යූහයකි. දැනට ගුප්ත අන්ධකාරයේ ගිලී ඇති තර්කයටත්, විමර්ශනයටත් ලක් කළ හැකි සෑම දෙයක් කෙරෙහිම සංවිභාගශීලීවීම එහි මූලික අරමුණු අතර වෙයි.  එමෙන්ම ජාති, ආගම්, කුල ආදිය මුල් කර ගනිමින් සමාජීය, දේශපාලනික, ආර්ථිකමය වශයෙන් මානව සංහතියේ අභිවෘද්ධියට සිදු කෙරෙන නොවිධිමත් බලපෑම්වලට විරෝධය පෑම ද අප සංගමයේ අරමුණකි. ලෞකික (Secular)  වූ ආචාර ධර්මීය විනයවත් අධ්‍යාපනයක් තුළින් බුද්ධිමත්, සදාචාරාත්මක පුරවැසියන් සමාජයට දායක කරවීම අප සංගමයේ අරමුණය.

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සියලූ සාමාජිකයෝ මෙම පොදු අරමුණු උදෙසා ක‍්‍රියා කරති.

අන් බොහෝ අය සේම අප සාමාජිකයෝ ද කුඩා වියේ සිට ආගම්වල නාමයෙන් විවිධ අන්ධ මිථ්‍යා විශ්වාස මගින් හැසිරවුණු මනැස්වලින් යුක්ත වූවෝ වෙති. අපගේ අරමුණ වනුයේ ඒ තුළින් මුදා ගන්නා ඔවුන් හේතුවාදී චින්තනයට යොමු කිරීම ය. මෙහි දී ආගම්වලින් මෙන් ඔවුන්ගේ සිතීමේ හා විමසීමේ නිදහසට අප විසින් වැට කඩොලූ බඳිනු නොලැබේ. ඒ අනුව ඇත්තෙන් නැත්ත වෙන්කර ගැනීමට ඇති හැකියාව මත එම මිථ්‍යා විශ්වාස එකි’නෙක දුරු කර ගැනීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත. එබැවින් හේතුවාදී සංගමයේ සාමාජිකයන් ආගම් විශ්වාස මුලිනුපුටා දැමිය යුතු ය යන විජේසිංහ මහතාගේ උපකල්පනය හුදු සාවද්‍ය එකක් බව කිව යුතු ය.

ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ සාමාජිකයන් වැඩි දෙනකු බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කරන බව විජේසිංහ මහතා පෞද්ගලිකව දැන හිඳින්නට පුළුවන. එය අපට ප‍්‍රශ්නයක් නොවේ. එමෙන්ම ලෝකය මැවූ සර්වබලධාරී දෙවියකු පිළිබඳවත්, මරණින් මතු ඉවත්ව යන ආත්මයක් පිළිබඳවත් සංකල්ප මුළුමනින්ම බැහැර කොට ඇති බුදු දහමින් ශේෂ වී ඇති බුද්ධාගම දැනට පවත්නා සෙසු ආගම් අතුරින් වඩාත්ම හේතුවාදී දහම බව ද කිව යුතු ය. එමෙන්ම සෙත් කවි, නැකත්, පිරිත්, පුනරුත්පත්තිය, පේ‍්‍රත ලෝක, දිව්‍ය ලෝක, ධාතු වන්දනා, බෝධි පූජා, යක්ෂ, පේ‍්‍රත විශ්වාස, සූනියම්, නැකත් ආදී බුදු දහමේ මූලික හරයනට අයත් නොවන දේ නූතන බෞද්ධයන් මූලික බෞද්ධ ඉගැන්වීම් ලෙස පිළිගන්නා බව ද හේතුවාදීහු හොඳින් දැන අවබෝධ කරගෙන හිඳිති.’’

ඒ අනුව වර්තමානයේ බොහෝ දෙනෙකු ‘දේවදත්තයකු’ සේ දකින ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ සැබෑ භූමිකාව දෙස විමසිලිමත් වන අපට ඔහු බෞද්ධාගමික ලේබලය අලවා නොගත් සැබෑම බෞද්ධයකු නැතහොත් බුද්ධියේ සරණ ගිය අයකු බව අපට වටහා ගත හැකි වනු ඇත.

 

Back to Home page