Colombo Telegraph

එක්සත් ජනපද – ශ්‍රී ලංකා සහයෝගිතා සංවාදයේ ප්‍රධාන කරුණු හතර

තෝමස් ෂැනන්

තෝමස් ෂැනන්

ඔබ සියලු දෙනාට ම ආයුබෝවන්, වනක්කම්.

එම කාරුණික හැදින්වීම ගැන විදේශ ඇමති සමරවීරට මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. ශ්‍රී ලංකාවේ මූලෝපායක සබඳතා පිළිබඳ අධ්‍යයනයට කැප වී ඇති හා හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් වෙනුවෙන් නම් කර ඇති මෙම ගෞරවනීය ආයතනයට පැමිණීම ට ලැබීම සතුටට කරුණකි.

කදිරගාමර්ට වඩා මෙම සබඳතාවල වැදගත්කම අවබෝධ කර ගත් අය සිටියේ නම් ඒ ඉතා ස්වල්ප දෙනෙකි. ප්‍රවීණ ජාත්‍යන්තර සිවිල් සේවකයෙකු මෙන් ම විදේශ කටයුතු පිළිබඳ අසම සම විශේෂඥයෙකු ද වූ එතුමා විදේශ ඇමති ලෙස තුන් වරක් ම පත් කරන ලදි. එතුමාගේ භයානක ඝාතනය සිදුවී දැන් අවුරුදු 10ක් පමණ ගතවී ඇතත් එක්සත් සාමකාමී ශ්‍රී ලංකාවක් පිළිබඳ ඔහුගේ දැක්ම දැන් දිනෙන් දින වඩාත් සත්‍යයක් බවට පත් වෙමින් තිබේ.

එය පහසු කරුණක් නොවන බව කදිරගාමර් දැන සිටියේ ය. ඔහුගේ ම වවන වලින් ඒ ගැන කියා ඇත්තේ මෙසේයි. “මෙය, ඉන්ද්‍රජාලිකයෙක් හිස් වැසුමෙන් හාවෙක් ගන්නවා වැනි දෙයක් නොවේ. සාමය ක්ෂණිකව නිෂ්පාදනය කළ හැකි දෙයක් ද නොවේ. සාමය යනු දීර්ඝ ගමනක් මෙන් ම දුෂ්කර ක්‍රියාවලියකි.“

නමුත් ඔබේ රටේ ඒ දීර්ඝ ගමන හොඳින් ආරම්භ වී තිබේ. ඒ කටුක අතීතයෙන් ඉදිරියට යමින් සාමකාමී, සාධාරණ , ප්‍රජාතන්ත්‍රවාදී හා සමෘද්ධිමත් අනාගතයක් කරා යෑමට ජනවාරියේත්, අගෝස්තුවේත් ඔබ ගත් තීරණය මුළු ලෝකය ම දුටුවේ ය.

ශ්‍රී ලංකාව, දීප්තිමත් අනාගතයක් කරා යා හැකි වන ආකාරයට ඡන්ද පෙට්ටිය තුළින් තම රටේ ගමන් මගේ පාලනය අතට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි පණ ගැන්වීමට පුරවැසියාට ඇති බලය විදහා දක්වන, හොඳ උදාහරණයකි. අප දැන් ශ්‍රී ලංකාව දෙස බලන්නේ ලොව පුරා අන් අයට ප්‍රබෝධාත්මක ආවේගයක් ලබා දිය හැකි, සාධාරණත්වය හා දයාව තුළින් දුෂ්කර අතීතය ජය ගත් හා රටේ ආරක්ෂාව, සමෘද්ධිය හා ගරුත්වය ශක්තිමත් කරමින් ස්ථාවර හා සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කරන රටක් ලෙසයි.

එක්සත් ජනපදයට දැකීමට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අතර නායකත්වය ගන්නා, ගෝලීය ආර්ථිකයට දායකත්වයක් සපයන, විදේශ රටවල මානව හිමිකම්, සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන හා ජාත්‍යන්තර නීතිය රැක ගැනීමට ආධාර කරන ප්‍රබල ශ්‍රී ලංකාවකි. මේ රටේ සිටින ව්‍යවසායක ජනතාව, බහුල සම්පත් හා උපායෝචිත පිහිටීම ආදිය නිසා ශ්‍රී ලංකාවට එසේ කටයුතු කිරීමට සුවිශේෂී හැකියාවක් ලැබී තිබේ.

ඇත්ත වශයෙන් ම මෙම අලංකාර ගොඩනැගිල්ලේ ඉතිහාසය ද ශ්‍රී ලංකාවේ මූලෝපායක පිහිටීමේ පිළිබිඹුවකි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට පවරා දීමට පෙර එය බ්‍රිතාන්‍ය වෙළඳ මණ්ඩලයට අයත් ව තිබූ අතර රාජකීය ප්‍රදීපාගාර සේවයේ ශාඛාවක් එහි පිහිටුවා තිබුණි.

ඔබ ද දන්නා පරිදි ශ්‍රී ලංකාවේ නාවික වැදගත්කම ඉතිහාසයේ ඉතා ඈත ට විහිදෙයි. පැරණි ග්‍රීසියේ, රෝමයේ, අරාබියේ හා චීනයේ නෞකා ශ්‍රී ලංකාව හරහා ගමන් කර ඇති අතර එහි වරායන්හි නැංගුරම් ලා තිබේ.

මම ඊයේ ත්‍රිකුණාමලයේ දී ෆෙඩ්රික් කොටුවේ සංචාරය කළෙමි. මෙයට අවුරුදු 400කට පමණ පෙර පෘතුගීසීන් විසින් ඉදි කරන ලද මෙම බළකොටුව යුරෝපීය බලවතුන්ගේ මූලෝපායක ප්‍රතිවිරෝධයන්ට හේතු වී තිබේ. පෘතුගීසීන්ගෙන් එය ලන්දේසීන්ට හිමිවූ අතර 1795 දී බ්‍රිතාන්‍යයන් එය අල්ලා ගැනීමට පෙර ප්‍රංශ ජාතිකයන් අතට එහි අයිතිය කීප වරක් ම මාරු වී තිබේ. ශ්‍රී ලංකාව නිදහස ලබාගත් 1948 වර්ෂය වන තුරු ලෝක යුද්ධ දෙකේදීම එය ශක්තිමත් කර රැක ගන්නා ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. ත්‍රිකුණාමලය තවමත් ලෝකයේ හොඳම ස්වාභාවික ගැඹුරු වරායක් වන අතර එම අලංකාර නගරයේ ද අසීමිත වර්ධන හැකියාවක් තිබේ.

මම එහි සිටිය දී අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) විසින් අර්ධ වශයෙන් අරමුදල් සැපයූ අයිස් කම්හලක් නැරඹීමට ගියෙමි. මෙය කුඩා පරිමාණ ධීවරයන්ට ඔවුන් දිනපතා අල්ලා ගන්නා මාලු සුරක්ෂිත ව තබා ගැනීමට ආධාර කරයි. නමුත් මෙවැනි කම්හල් නො තිබූ යුගයේ ශ්‍රී ලංකාවට අයිස් ආනයනය කිරීමට සිදු විය. 1800 ශතකයේ මුල් භාගයේ දී මැසචුසෙට්ස්හි බොස්ටන්වල ව්‍යවසායකයෙක් නිව් ඉන්ග්ලන්ඩ් හි මිදුණු පොකුණු වලින් කපා ගත් අයිස් කුට්ටි කොළඹට ඒවා ඇති බව ඔබ විශ්වාස නො කළත් සත්‍යයකි.

ඇත්ත වශයෙන් ම අපේ රටවලට ශත වර්ෂ ගණනාවක් ඈත ට විහිදෙන වාණිජ සබඳතා පිළිබඳ දීර්ඝ හා ඵලදායි ඉතිහාසයක් තිබේ.

1789 තරම් ඈත සිට එක්සත් ජනපදයේ තල්මසුන් අල්ලන නැව් හා වෙළඳ නැව් ශ්‍රී ලංකා වරායන් වෙත පැමිණ තිබේ. 19වැනි සියවස අවසන් වන විට එක්සත් ජනපද -ශ්‍රී ලංකා වෙළඳ-සබඳතා ඉතා දියුණු මට්ටමක පැවතුණි. අපි මුතු, මිනිරන් හා තේ වැනි ද්‍රව්‍ය ආනයනය කළ අතර වීදුරු භාණ්ඩ, භුමිතෙල් හා ඖෂධ වර්ග අපනයනය කළෙමු. අද ශ්‍රී ලංකාවේ විශාලම ඒක-රාජ්‍ය වෙළඳපොළ වන්නේ එක්සත් ජනපදයයි. 2014 දි ඔබේ අපනයනවලින් සියයට 20ක් එක්සත් ජනපදයට අපනයනය කෙරුණු අතර ඒවායේ වටිනාකම චොලර් බිලියන දෙකහමාරක් පමණ විය.

මීට දින දෙකකට පෙර ගුවන් මගින් කොළඹට ළඟා වෙද්දී මා දුටුවේ දකුණු ආසියාවේ කාර්ය බහුල ම වරායයි. ලෝකයේ හොඳ ම වරායවල් 30න් එකක් වන එය තුළින් වර්ෂයකට බහාලූ මිලියන පහකට වැඩි ප්‍රමාණයක් ගමන් කරයි. මෙම සංඛ්‍යාව තවත් ඉහළට යන බව මගේ විශ්වාසයයි.

ඔබේ රට පිහිටා ඇත්තේ අප්‍රිකාව, දකුණු ආසියාව හා නැගෙනහිර ආසියාව සම්බන්ධ කරන මං සන්ධියකයි. ආර්ථික විද්‍යාඥයින්ගේ පුරෝකථනයන් ට අනුව මේ ශත වර්ෂයේ මැද භාගය වන විට ලෝකයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 50ක් ලැබෙන්නේ ආසියාවෙනි. ඊළඟ දශක කීපය තුළ මේ කලාපයේ ජීවත් වන බිලියන ගණනාවක් ජනතාව විසින් ජනනය කරනු ලබන ඉල්ලුම හා සැපයුම ලෝක ආර්ථිකයටත් ගෝලීය ස්ථාවර බවටත් ඉතා වැදගත් වනු ඇත. වෙළඳාම හා ආයෝජනය පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීමේ ඔබේ දැක්මට අපේ ඉන්දු-ශාන්තිකර ආර්ථික සහයෝගිතා වැඩපිළිවෙළ තුලින් අපි සහාය දක්වමු.

ගාල්ලේ පැරණි ලන්දේසි බල කොටුවේ සිට බලන විට හොර්මුස් හා මලක්කා සමුද්‍ර සන්ධී අතර ශ්‍රී ලංකාව පසු කරමින් යන නිමක් නැති නෞකා සංඛ්‍යාව දැකීමෙන් විස්මයට පත්වූ බව තානාපති කෙෂාප් මට විස්තර කළේ ය. ලෝකයේ සාගරවල ගමන් කරන සියලුම නැව් වලින් සියයට හතළිහක් හොර්මුස් සමුද්‍ර සන්ධිය තුළින් ද ලෝකයේ වෙළඳ නැව් වලින් හරි අඩක් මලක්කා සමුද්‍ර සන්ධිය තුළින් ද ගමන් කරයි. සරලව ම කිව හොත් මුළු ලෝකයේ ම ස්ථාවර බව හා සෞභාග්‍යය රැඳී ඇත්තේ මෙම වැදගත් බලශක්ති හා වෙළඳ මාර්ග මතය. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ මේ මුහුදු මාර්ගවල හරි මැදයි.

උදාහරණයක් හැටියට ඉන්දියානු සාගර උපාන්ත සංගමය ඇතුළු බහු-පාර්ශ්වික සංවිධානවල කටයුතු වලට ක්‍රියාකාරී ලෙස සහභාගි වීමෙන් ඔබ අනිකුත් රටවල් හා ජාතීන් සමග යහපත් සබඳතාවක් පවත්වා ගෙන තිබේ. ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේත්, නාවික ආරක්ෂාව හා සුරක්ෂිතතාවට ආධාර කිරීමේත් කලාපීය ප්‍රයත්නයන්ට ඔබේ රටට නායකත්වය දිය හැකි යයි කදිරගාමර් වරක් ප්‍රකාශ කර ඇති බව මෙහි දී සඳහන් කිරීමට කැමැත්තෙමි.

එළඹෙන දශක කීපයේ දී ලෝකයේ ම වැඩි අවධානයක් යොමු වනු ඇත්තේ ඉන්දියානු සාගර කලාපයේ ආර්ථිකය, දේශපාලනය හා ආරක්ෂාවටයි. ප්‍රජාතන්ත්‍රීය පාලනයේ සාරධර්ම ප්‍රවර්ධනය කරන හා මානව හිමිකම්, නෞකා ගමන්වල නිදහස, තිරසාර සංවර්ධනය හා පාරිසරික භාරකාරත්වයට ගරු කරන කලාපීය සවිඤ්ඤාණකත්වයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව දිගටම දායකත්වය සපයනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ඔබ දැනටමත් බොහෝ දේ ඉටු කර තිබේ. මේ අතර නීති විරෝධී මිනිස් ප්‍රවාහනය වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රොටොකෝලය අනුමත කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඔබේ හඬ හා ඡන්දය මගින් සිවිල් සමාජයට සහාය පළ කිරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිතයාගේ ආසියා-ශාන්තිකර සාකච්ඡාවට ලබන වර්ෂයේ සත්කාරකත්වය සැපයීමට එකඟ වීම ආදිය මේ අතර වේ. මෙම කටයුතුවලින් ඔබ පෙන්වා දි ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකය පුරාම මානව හිමිකම් වැඩි දියුණු කිරීමට ඔබ දක්වන කැපවීමයි.

ඔබේ හමුදාව ද කලාපීය නායකත්වය ගෙන තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ නේපාලය මුහුණ දුන් භයානක භූමි කම්පාවෙන් පසු සහන සැපයුම් සමග එහි පැමිණි පළමු රටවල් අතරෙන් එකක් වන්නේ ඔබයි. එම ව්‍යසනයෙන් විනාශ වී ගිය ප්‍රදේශවලට සහනාධාර ගෙන යෑමට හා ගිලන් රථවලට යෑමට හැකි වන සේ කිලෝමීටර ගණනාවක මාර්ග පිළිසකර කරන ලද්දේ ඔබේ ඉන්ජිනේරු බලකාය විසිනි.

ඔබේ කලාපය, දේශගුණික විපර්යාස හා උග්‍ර කාලගුණ තත්වයන්ට මුහුණ දෙන විට මෙවැනි ප්‍රයත්නයන් වැඩි වැඩියෙන් අවශ්‍ය වනු ඇත. ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දීමටත් මානූෂීය ආධාර සැපයීමටත් ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇත.

ලෙබනනය, මධ්‍යම අප්‍රිකානු ජන රජය හා දකුණු සුඩානය වැනි ලෝකයේ ඉතා දුෂ්කර ස්ථානවලට සාම සාධක හමුදා යැවීමෙන් ඔබේ හමුදාව ගෝලීය ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේදී තම දායකත්වය ලබා දී තිබේ. මෑත දී පැවැත්වුන ලෝක නායකයන්ගේ සාම සාධක සමුළුවේ දී අතිරේක සේනාංක ගණනාවක් ලබා දීමට ජනාධිපති සිරිසේන දුන් පොරොන්දුව අපි අගේ කරමු. ශ්‍රී ලංකාවේ වෘත්තීය නිපුණත්වය හා ගරුත්වය පිළිබිඹු වන සහභාගිත්වයක් සහතික කිරීමට අපි ඔබ සමග වැඩ කිරීමට බලාපොරොත්තු වෙමු.

එක්සත් ජනපදය මේ සියලු ප්‍රයත්න අගේ කරන අතර රටට දීප්තිමත් අනාගතයක් සහතික කිරීම සඳහා ඔබේ හමුදාවට සාධනීය කාර්ය භාරයක් ඉටු කළ හැකි යයි අපි විශ්වාස කරමු. මානව හිමිකම් මණ්ඩලයේ දී අප සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනාවේ සඳහන් වන පරිදි “උල්ලංඝනය කිරීම් හා අපයෝජනයන්ට වග කිව යුතු අය සම්බන්ධයෙන් විශ්වසනීය වග වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම මගින් වෘත්තිය නිපුණත්වය හා ගරුත්වයට සුදුසු පරිදි හමුදාව තුළ කටයුතු කළ අයගේ හොඳ නම ද ආරක්ෂා වෙනු ඇත,“ මෙම ප්‍රකාශයන්ට අපි ප්‍රබල ලෙස සහාය දක්වන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට සහයෝගීත්වයෙන් ආධාර කිරීමට ද අපි සුදානම් බව දැන්වීමට කැමැත්තෙමි.

ඔබේ රටට පැමිණි අවස්ථාවේ රාජ්‍ය ලේකම් කෙරී හා තානාපතිනි පවර් පැහැදිලි කළ පරිදි ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීමට, බහු-වාර්ගික හා ආගමික ප්‍රජාවන් අතර සංහිඳියාව ගොඩනැගීමට හා ආර්ථික වර්ධනය වේගවත් කිරීමට අප ශ්‍රී ලංකාවත් සමග දිගටම ක්‍රියා කර ඇත්තෙමු.

දැන් අපි වෙළදාම වැඩි දියුණු කරමින්, සෘජු විදේශීය ආයෝජන වැඩි කරමින් ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් ඇති බව ලෝකයට ම පෙන්වා දීමට ක්‍රියා කරමු.

විශේෂයෙන්ම ඌන-සංවර්ධිත ප්‍රදේශවල පුද්ගලික අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපි වෙර දරමු. රැකියා ජනනය කිරීමට, ආයෝජන දිරිගැන්වීමට හා ව්‍යාපාරික වාතාවරණය දියුණු කිරීමට අපි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන්ට ආධාර කරමු. මෙම ප්‍රයත්න තුළින් යුද වැන්දඹුවන්, ආබාධිතයන්. නැවත පදිංචි කරවූ පවුල් හා හිටපු සටන්කාමීන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට ආර්ථික ස්ථාවර බවක් ගෙන ඒමට අවශ්‍ය මූල්‍ය ආධාර, උපකරණ, පුහුණුව හා වෙළදපොළ ආදිය ලබා දීමට උපකාර කරනු ඇත.

තරගකාරී හා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා අපි ශ්‍රී ලංකාවේ ආර්ථික අමාත්‍යංශ සමග එක් ව කටයුතු කරමු.

විශාල පරිමාණයේ මූල්‍ය වංචා, විශ්වාසය කඩ කිරීම්, මහජන මුදල් අවභාවිතය හා මුදල් විශුද්ධි කරණ අපරාධ ආදිය ගැන විමර්ශනය කර නඩු පවරන දූෂණ විරෝධී කාර්ය සාධන බලකායන්ට ආධාර කරමින් නීතිය බලාත්මක කිරීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අපි උදව් කරමු.

ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර ඇති සහයෝගිතාව දිනෙන් දින වර්ධනය වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රගතියත් සමග ඉදිරි අවුරුදු වලදි අපේ සබඳතාව පුළුල් කිරීමටත් ශක්තිමත් කිරීමටත් අපි සැලසුම් කරමු.

ඇත්ත වශයෙන් ම මා මෙම සතියේ මෙහි පැමිණීමට එක් හේතුවක් නම් විදේශ ඇමති සමරවීර සමග කාලයක් ගත කිරීමයි. පළමුවැනි එක්සත් ජනපද – ශ්‍රී ලංකා සහයෝගිතා සංවාදයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දෙනු ඇත්තේ එතුමායි. ලබන අවුරුද්ද මුලදී අපි වොෂින්ටන් නුවර දී හමුවූ විට අපේ සාකච්ඡා ප්‍රධාන කරුණු හතරක් වටා සිදු වනු ඇත.

මෙයින් පළමුවැනි කරුණ වන්නේ පාලනය, සංවර්ධන සහයෝගිතාව හා ජනතාවන් අතර සබඳතායි. මෙයට අධිකරණමය පියවරවල සිට ප්‍රතිසන්ධානය හා අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් ආදි සියල්ල ඇතුළත් වනු ඇත.

දෙවැන්න වන්නේ කාන්තාවන් සවිබල ගැන්වීම, ආයෝජන වතාවරණය හා පිරිසිදු බලශක්තිය ඇතුළු ආර්ථික සහයෝගිතාවයි.

තුන්වැන්න, වර්තමාන හා අනාගත අභියෝග වලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ හමුදාව සූදානම් කිරීමට අවශ්‍ය සාමය පවත්වා ගැනීමේ හා ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ ඇතුළු ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාවයි.

හතර වැනි කරුණ වන්නේ දේශගුණික විපර්යාස වැළැක්වීම හා නාවික ආරක්ෂාව සහතික කිරීම ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය කටයුතුයි.

මෙම ආරම්භක සංවාදයට අපි සැලසුම් කරන විට විදේශ ඇමතිවරයාට සහ මට, අපි ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වන දේ පිළිබඳ විස්තර ඔබට ලබා දීමට හැකි වනු ඇත.

නමුත් ඔබට ද පෙනී යන පරිදි අපේ සහයෝගිතාව සියලු ම ක්ෂේත්‍රවලට විහිදී යන බැවින් අප රටවල් දෙකේ ම ජනතාවන්ට එයින් ප්‍රතිලාභ හිමි වනු ඇත.

මෙම දූපත් රාජ්‍යයේ ඇති යෝධ හැකියාවන් දැක ගැනීමෙන් පසු අනාගතය ගැන විශිෂ්ට බලාපොරොත්තු තබා ගත හැකි බව මම දනිමි.

එම අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදය ඔබ සමග දිගටම කටයුතු කරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදි සහකරුවෙක්, දීර්ඝ කාලීන මිතුරෙක් හා ශක්තිමත් හා කැප වූ හවුල්කරුවෙක් ලෙස අපි ඔබ සමග එකට සිටිමු.

ස්තුතියි.

*2015 දෙසැම්බර් 16 වැනි බදාදා ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී උපදේශක තෝමස් ෂැනන් පැවැත්වූ කථාව

Back to Home page