Colombo Telegraph

වැලිවේරිය සිද්ධිය, ගෝඨාභය සහ ජනරජයේ ජනතාවගේ ප‍්‍රමුඛතා ලැයිස්තුව

ත‍්‍රිෂාන්ත නානායක්කාර

ආචාර්ය ත‍්‍රිෂාන්ත නානායක්කාර

ජනප‍්‍රිය ගායක වික්ටර් රත්නායක, මා කුඩා කාලයේ, ‘ස’ නමින් සංගීත ප‍්‍රසංග මාලාවක් රට පුරා පැවැත්වීය. වරක් මම පවුලේ අය සමග, එවක දකුණේ ප‍්‍රධාන උත්සව සියල්ල පැවැත්වෙන ගාල්ල නගර සභා ශාලාවේ වේදිකාගත කෙරුණු ‘ස’ ප‍්‍රසංගයක් නැරඹීමට ගියෙමි. සමහර විට, පොදු අවස්ථාවකට සහභාගී වූ මගේ ප‍්‍රථම අත්දැකීම එය වන්නට ඇත. සදා මතකයේ රැඳෙන ඒ සොඳුරු ගීතමය වින්දනයට අමතරව, එදා මිනිසුන් නගර ශාලා ප‍්‍රවේශයේ පොදිකමින්, එකිනෙකා තෙරපමින් පොරකෑ සැටි මට කවදාවත් අමතක නොවේ. කුඩා දරුවෙකු වූ මට ශාලාවට ඇතුළු වීම, සිතා ගැනීමටත් නොහැකි තරමේ දුෂ්කර කාර්යයක් විය. හැඩිදැඩි වැඩිහිටියන්ට පවා ඒ කලබලය මැද්දේ ශාලාවට ඇතුළු වීම පහසු නොවීය. එසේ පොරකෑ සෑම දෙනාම, ස්වකීය ප‍්‍රවේශපත් නියමිත ස්ථානයේ දී ඉදිරිපත් කොට, පිලිවෙලකට පේලි ගැසී සාධාරණ ක‍්‍රමයකට ගියේ නම්, ඊට වඩා පහසුවෙන් සහ කරදරයකින් තොරව හැම දෙනෙකුටම ශාලාවට ඇතුළු විය හැකිව තිබු බව, එදා එහි සිටි කිසිවෙකුට වැටහුණු බවක් පෙනෙන්ට නොවුණි.

සාධාරණ ක‍්‍රමයකට අනුගතව කටයුතු කිරීමට බොහෝ ක්ෂේත‍්‍රවලදී ශ‍්‍රී ලාංකිකයන් දක්වන අසමත් කම, කෙමෙන් වැඩිවිය පත්වෙද්දී, මට වැටහෙන්ට විය. මේ අසමත්කමේ ගොදුරු බවට ඔවුන්ම පත්වන සැටි, මාරක මාර්ග අනතුරු, රෙගුලාසිවලට පිටතින් කෙරෙන කර්මාන්ත නිසා සිදුවන පරිසර දූෂණ, පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ දී ඇති වන අපේක්ෂා භංගත්වය, රජයේ සේවයේ අස්සක් මුල්ලක් නෑර ඇති අල්ලස, නීතියේ ආධිපත්‍යයට පුරවැසියෙකුට ඇති අයිතිය අහිමි වීම ආදී සමාජ අපගමනයන්හි දක්නට ලැබෙන වර්ධනයෙන් පෙන්නුම් කෙරේ.

වැලිවේරිය සිද්ධිය, මේ ගොදුරු වීමේ ක‍්‍රියාවලිය ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නකි. විටෙක, ආසියාවේ ආශ්චර්යක් ගැන ඇති කරගන්නා අපේක්ෂාවකින් ජනතාව උද්දාමයට පත්වෙත්. අහස සිඹින ගොඩනැගිලි, යෝධ වරායවල් සහ පොකුරු කර්මාන්ත ශාලා දැක ඔවුහූ පිනා යති. රටක නීතියක් විවිධ අයවළුන්ට විවිධ අයුරින් ක‍්‍රියාත්මක නොවිය යුතු බව, එම උත්කර්ෂය තුළ, ඔවුහූ නොතකා හරිති. නීතියේ ආධිපත්‍යය කෙරෙහි වන ගෞරවයට, මානව හිමිකම්වලට සහ ව්‍යවස්ථාපිත පාලනයට ඉහළින් සහ ඒවා නොතකමින් උඩ දැමන ආර්ථික සංවර්ධනයක්, තිරසාර නොවන බව ඔවුහූ නොතකති. වික්ටර් රත්නායකගේ ‘ස’ ප‍්‍රසංගය පැවති නගර ශාලාවට ඇතුළු වීමේ දී කුඩා කල දුටු ඒ අශෝභන දර්ශනයට මේ තත්වය සෑහෙන දුරට සමාන වන බව මට සිතේ. ඊටත් වඩා සිතට කණස්සල්ල ගෙන දෙන කාරණයක් වන්නේ, මගේ දැන උගත් මිතුරන් පවා, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වැනි බටහිර සංකල්පවලට වඩා ආර්ථික සංවර්ධනය ප‍්‍රමුඛත්වය ගත යුතු බවට වර්තමානයේ ලංකාවේ ඇතිව තිබෙන අදහස වෙනුවෙන් පෙනී සිටිනු දැකීමයි. මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය යනු බටහිර සංකල්ප නොවන බවත්, ඒවා බුදුරජාණන් වහන්සේගේ දේශන තුළ පවා සොයාගත හැකි බවත් මොන තරම් පෙන්නා දුන්න ද, රාජ්‍ය මාධ්‍යයේ ප‍්‍රචාරණය තරම් ඔවුන් තුළ එවැනි බුද්ධිමය තර්ක අර්ථ ගන්වන බවක් නොපෙනේ.

සිවිල් විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව මෙහෙයවා ජීව උණ්ඩ පාවිච්චි කිරීමට මත්තෙන්, පොලිස් කැරලි මර්දන ඒකක සේවයට කැඳවූයේ ද යන්න, වැලිවේරියේ සිද්ධියෙන් ඉස්මතු කෙරුණු නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැටළුවට අදාළව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප‍්‍රශ්න කළ යුතුව තිබේ. ලන්ඩන් නුවර සිට මෙවැනි ප‍්‍රශ්නයක් මතු කිරීමට මට ඇති අයිතිය කුමක් දැ යි ඔහුගේ අනුගාමිකයන් ප‍්‍රශ්න කළ හැකිය. ශ‍්‍රී ලාංකීය ගමන් බලපත‍්‍රයක් හිමි ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන්, හඳේ සිට හෝ එසේ ප‍්‍රශ්න කිරීමට මට ව්‍යවස්ථානුකූල අයිතියක් ඇති බව මෙහි දී මතක් කර දිය යුතුව ඇත. මෙසේ හමුදාව ලවා ජීව උණ්ඩ සිවිල් ජනතාවට එරෙහිව පාවිච්චි කළ මෑත ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ.

මානව හිමිකම් පැත්තෙන් ගත්තොත්, වතුර ප‍්‍රශ්නය ගැන මේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ දැන් කලක සිට ය. පිරිසුදු පානීය ජලයට ජනතාවට ඇති මූලික අයිතිය ගැන සොයා බැලීමට, එම ජනයා පාරට බසින තෙක් සිටියේ ඇයි? ගෝඨාභය රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ පවතින නගර සංවර්ධන අධිකාරියට ගැනෙන ප‍්‍රශ්නයක් වන, ජලය දූෂණය වීම ගැන විද්‍යාත්මක ගවේෂණයක යෙදීමට, එම බලධාරීන් අර්බුදය මෙතරම් උග‍්‍ර වන තෙක් සිටියේ ඇයි? එසේ කිරීමට අසමත් වීම, වින්දිත මිනිසුන්ට එරෙහිව මෙසේ මාරක බලය පාවිච්චි කිරීමෙන් වසං කර ගැනීම හරි ද?

අවසාන වශයෙන්, ගෝඨාභය රාජපක්ෂට මතක් කර දිය යුතු දෙයක් තිබේ. ඔබේ සහෝදරයාගේ පාලනයට එරෙහිව නැගෙන ඕනෑම ජනතා බලයක් මර්දනය කිරීම සඳහා හමුදාව යොදා ගැනීමට තරම් ඔබ තුළ පවතින මාන්නාධික හිතුවක්කාර ආකල්පය නිසා, විනාශ වන ජීවිත බොහෝ ය. ශ‍්‍රී ලංකාව අයිති වන්නේ ඔබේ පවුලට යැයි නොසිතන්න. ඔබට රිසි පරිදි එරටේ වෙසෙන ජනතාව ඝාතනය කිරීමට ඔබට නොහැකි බවත් සිහියට ගන්න. ශ‍්‍රී ලංකාව, ජනරජයක් බව, ඔබ නොදන්නේ නම්, මතක් කර දිය යුතුව තිබේ. ජනරජයක, පරමාධිපති වන්නේ ජනතාවයි. මේ සටහන, එම බලය අභ්‍යාස කිරීමේ අයිතිය එක දිගටම පාවිච්චි කෙරෙන බව ඔබට දන්වා සිටීමකි.

*2013 අගෝස්තු 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Weliweriya Incident, Gotabaya, And The Priority List Of The People In The Republic ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page