Colombo Telegraph

අයවැය: ප්‍රතිසංසකරණ සහ තුනෙන් දෙක ගැනීමට කරන විපරීත වැඩ​

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, යහපාලන රජයේ දෙවැනි අයවැයයි.

දශක දෙකකටත් වඩා වැඩි කාලයක් සමාජ සුභසාධනය නාමයෙන් නැතහොත් ආණ්ඩුවේ මුදල් දන්දීම, බලය පවත්වාගෙන යාම සදහා පමණක්ම ඉලක්ක කොටගත් අයවැය හුරුපුරුදු ජනතාවට මෙම අයවැය අපූරු අත්දැකීමකි.

පසුගිය දශක දෙක තුළ අයවැයට පසුදින ජනතාවට එය දැනුනේ දානමය පිංකම් ගෙදරකට ගියා වැනි හැගීමකි. එනම් උත්සවයට සහභාගී වී හොදින් කා බී තමන්ගේ තත්ත්වයද රටට ලෝකයට පෙන්වා ගෙදර ගොස් සැපසේ නිදා ගන්නවා වැනි හැගීමකි. දානය දුන් අයට වැඩ ගොඩකි. අස්පස් කිරීම, බිල් ගෙවීම, දොස් පරොස් ඇසීම වැනි වද වේදනා ගොඩකි. තවදුරටත් කිවහොත් පසුගිය අයවැය වල සම්ප්‍රදාය වූයේ, ණය වී තිඛෙන දේ විකුණා හෝ ජනතාවට පිනට දී වැඩි කොටසක් පාලකයන්ගේ සාක්කුවට දමා ගැනීමයි.

එහි ප්‍රතිඵලය නම් වසර 2500 කට වඩා පැරණි ලංකාවේ සමාජ ආර්ථීක දේශපාලන ක්‍රමය කඩා වැටී සුනු විසුණු වීමට ආසන්න වීමයි. රටේ ණය වාරිකය ආණ්ඩුවේ අදායමට වඩා ඉහළ අගයක් ගනී.ආණ්ඩුවේ කටයුතු දිනපතා පවත්වාගෙන යාමට විශාල වශයෙන් දේශීය මුලාශ්‍ර වලින් ණය ගැනීමට සිදුව තිබේ. රටේ හා රජයේ වියදම් ඉහළ අගයක පවත්වාගෙන යාමත්, ආර්ථීක කාරණා දේශපාලන බල ව්‍යාපෘති සමග තදින් ගැටගසා තීබිමත් නිසා විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය පළුදු වී ඇති අතර විදේශීය ණය හා ආධාර දෙන ආයතන වල විශ්වාසයද බිංදුවටම බැස තිබේ. එම තත්ත්වයට වංචා දූෂණ හා අවනීතිය එකතු වූ විට රට මකරාගේ කටට වැටීම අරුමයක් නොවේ.

මෙවන් සන්දර්භයක් යටතේ අයවැයක් ඉදිරිපත් කිරීම, විශේෂයෙන් එම අයවැය තුළින් ආර්ථීක හා සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම ආණ්ඩුවක් දිවි නසා ගන්නා ආකාරයේ වැඩකි. විශේෂයෙන්ම ලංකාව වැනි දේශපාලන සහභාගීත්වය ඉහළ අගයක් ගන්නා සමාජයක එය පහසු ක්‍රියාවලියකි.

අගමැතිතුමන්ගේ දැක්මට ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙන් හරි අඩක් විවෙචනාත්මකව සහයෝගය දැක්වීම හෝ කකුළෙන් ඇදීම් තිබියදී තම පක්ෂය තුළත්, ක්‍රියාකාරීන්ගේත්, නායකයින්ගේත්, පාක්ෂිකයින්ගේත් දැඩි පීඩනයක් අගමැතිතුමන්ට එල්ල වෙමින් තිඛෙන අතර ආණ්ඩුවේ අවධානය පක්ෂය දෙසට යොමු කරන ලෙස අගමැතිවරයාට බලපෑම් එල්ල වෙමින්ද තිබේ. එසේ තිබියදීත් මේ රට ‘ගොඩ ගත හැකි යැයි‘ හා ගොඩගත යුතු යැයි අවංකව විශ්වාස කරන දේශපාලන නායකත්වයක් ලබා දීම අගමැතිවරයාගේද දේශපාලනික දිවිනසා ගැනීමක් වීමට බොහෝ ඉඩකඩ තිබේ යැයි මත පල වෙමින් තිබේ.

නමුත්, එම පීඩනය හමුවේද අගමැතිවරයාගේ ස්ථාවරය වන්නේ, රටේ ආර්ථීක, සමාජ ප්‍රතිසංස්කරණ වලින් තොරව ආණ්ඩුවටවත් රටටවත් පැවැත්මක් නොමැති බවයි. තවත් ගැඹුරට විග්‍රහ කරතොත් ඔහුගේ මතය වන්නේ රටේ ආර්ථීක ප්‍රතිසංස්කරණ සිදුකොට රට ගෝලීය නව ලිබරල් ආර්ථීකයකට තල්ලූ කිරීමකින් මෙපිට පක්ෂයටද අනාගතයක් නැති බවයි. එහිදී අගමැතිවරයාගේ කේන්ද්‍රීය මූලෝපායයන් දෙකක් පවතී. එකක් වන්නේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ආයෝජන තුළින් ඉදිරි සිව්වසර තුළ ඵලදායී හා කාර්යක්ෂම ශ්‍රම බලකායක් බිහි කරගැනීම සහ තරුණ ව්‍යවසායකයින් ගොඩනැගීම තුළින් ආර්ථීකයට ජවයක් ලබා ගැනීමයි. අනෙක් කරුණ නම් ඵලදායී නොවන ආයෝජන, ආයතන සම්පත් මතවාද හා පුද්ගලයින් ඵලදායී ආර්ථීකයකට දායකත්වයක් දක්වන ප්‍රපංචයන් බවට පත් කර ගැනීමයි. 2017 මුලු අයවැය පුරාම දැකිය හැකි මුහුණත වන්නේ එයයි.

ආන්දෝලනයට ලක් වී ඇති රථවාහන දඩ මුදල් වලින්ද නියෝජනය වන්නේ එම අධිපතිවාදී කේන්ද්‍රීය අදහසයි. විධිමත් මාර්ග පද්ධතියක් හා ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාම මගින් එක අතකින් ශ්‍රම බලකායේ කාලය, ධනය හා ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යොදවන්නා සේම අතර අනවශ්‍ය බලශක්ති දහනයන් හේතුවෙන් රටින් එළියට යන මුදල් පවා ඉතිරි කිරීම වැනි සියුම් ආර්ථීක කාරණා වලට අවධානය යොමු කර තිබේ.

අධ්‍යාපනය හා සමාජ ප්‍රශ්න විසදීම මගින් රටක ආර්ථීකයට විශාල බලපෑමක් කළ හැකි බව විශ්වාස කිරීම යූරෝපීය පන්නයේ චින්තනයකි. 2015 ජනවාරි 8 න් පසු ඉදිරිපත් කළ අන්තර්කාලීන අයවැය මගින් එම මොහොතේ සමාජය මුහුණ දෙමින් තිබු අධික ජීවන බර අඩු කිරීමට විධිමත් විසදුම් ලබා දුන්නද මෙම අයවැය මගින් න්‍යායාත්මකව ආර්ථීක ප්‍රතිසංස්කරණ මගින් ලැබෙන පුනර්ජීවය ජනතාව මත පැටවී ඇති ජීවන බර අඩුවෙතැයි අපේක්ෂා කරයි. එම උපකල්පනය කෙතරම් සාර්ථකද යනු දැනගැනීමට තව වසරක් හෝ දෙකක් ගතවන අතර එය අසාර්ථක වුවහොත් එහි වන්දිය ගෙවීමට අගමැතිවරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් ආණ්ඩුවේ සියලුම පාර්ශවකරුවන්ටත් සිදුවනු ඇත.

අගැමතිවරයාගේ චින්තනය තුළ අපට බැලූ බැල්මටම පෙනී යන්නේ ආණ්ඩුවේ කටයුතු පක්ෂයේ දේශපාලන ක්‍රියාදාමයන්ගෙන් වියුක්තව පවත්වාගෙන යාම තුළින් ආණ්ඩුවේ ද්වීපාර්ශවික සම්බන්ධය ස්ථාවර වීම ඔහුගේ විශ්වාසය බවයි. එසේම පක්ෂයට හෝ මන්ත්‍රීවරුන්ට අල්ලස් හා වරප්‍රසාද දීම මගින් දේශපාලන බලය පවත්වාගෙන යාම සිදුකළ යුතුයැයි විශ්වාස නොකලත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් රටටත් පාර්ලිමේන්තුවටත් ඔහුගේ මතය ප්‍රකාශකොට තිබේ.

එක අතකින් රටේ ජනතාවට බදු පනවමින් පටි තදකර ගන්නා ලෙස බලකරමින් ආර්ථීක ප්‍රතිසංස්කරණ සිදුකරන අතරම මන්ත්‍රීවරුන්ගේ බදු සහන, වැටුප් වැඩිවීම් වැනි විපරිත තත්ත්වයන්ද මේ අයවැය තුළ දැකිය හැකිය.

ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික නිරීක්ෂණය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගැනීම සදහා (විශේෂයෙන් ශ්‍රී. ල. නි. පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ) ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබද ජනාධිපතිතුමා පසුගිය සති කිහිපය තුළ පලකරන ලද කේන්ද්‍රීය අදහසයි. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ගොනු කර තබා ගැනීමට යම් ප්‍රතිගාමී ක්‍රියාවලියක නිරත විය යුතු බවයි.

ඒ අනුව පෙනී යන්නේ අගමැතිවරයා මෙම අයවැය තුළින් රටේ අධ්‍යාපනය හා ආර්ථීක ප්‍රතිසංස්කරණ කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින් ක්‍රියාත්මක වී ඇති අතර, ජනාධිපතිවරයා ආණ්ඩුවේ පැවැත්ම පිළිබද පරිස්සම් වී ඇති බවකි.

Back to Home page