25 April, 2024

Blog

ඉගිලෙනකොට පේන සුද

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ දේශපාලනය තුළ පසු පසුගිය දෙසතිය තුල සිදු වූ විශේෂිතම සිදුවීම වූයේ පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කිරීමයි. පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේ දී කිසිදු විශේෂ සිදුවීමකින් තොරව පාර්ලිමේන්තු කටයුතු පැවති අතර අය වැය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුල සම්මත විය. එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුවේ විශ්වාසය තවදුරටත් පවතින බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු සුනු විසුනු කරමින්, පෝයෙන් පෝය ගෙවී යමින් ඔවුන්ගේ ආණ්ඩු පෙරලීම සිහිනයක්ම පමණක් වෙමින් තිබේ.

ඒ කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ඉදිරි මැතිවරණය සඳහා බලමුළු සූදානම් කරමින් සිටී. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නව මැතිවරණ යෝජනා ක්‍රමය පරිදි සියලුම ලැයිස්තු සඳහා ක්‍රියාකාරී දක්ෂ තරුණ කාන්තා පිරිසක් තෝරා ගැනීමේ කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කොට තිබේ. මෙම මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල කාන්තා නියෝජනය විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ආණ්ඩුවේ තක්සේරුවයි. එසේම ලංකාව පුරා විසිරී සිටින කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරීන් හා සංවිධාන වල නව බලාපොරොත්තු ඇති වී තිබේ.

තත්වය මෙසේ තිබිය දී ලංකාවේ ආණ්ඩුව විසින් පසුගිය කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිදු කරනු ලැබීය. විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ නිර්මාණශීලී කාර්යක්ෂම හා එඩිතර ක්‍රියාකාරිත්වය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉමහත් පිටුවහලක් වෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව පිහිටවනු ලැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට හා සංස්කෘතික ක්ෂේත්‍රයට ද විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබේ. විශේෂයෙන් පුරාවිද්‍යා ක්ෂේත්‍රය හා ඒ හා බැඳුනු ආගමික ස්ථාන, සංරක්ෂණය කළ යුතු ස්ථාන හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාළ විෂයන් රාජ්‍ය පාලනයේදී නොවැදගත් දුතීය විෂයයන් ලෙස සැලකුවද අකිල විරාඡ් කාරියවසම් ඇමතිවරයා එම විෂය භාර ගත් පසු එය ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත්, කතාබහට ලක්වන විෂයක් බවට පත්වී තිබේ.

විශේෂයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් තිබූ විශාල දූෂණ අක්‍රමිකතා වළක්වා, එම අරමුදල කාර්යක්ෂම අරමුදලක් බවට පත් කරනු ලැබීය. එම අරමුදලේ ආදායම පෙර වර්ෂයට වඩා පස් ගුණයකින් පමණ වර්ධනය කොට මෙම වර්ෂයේ දී ලබාගැනීමට හැකි වූ අතර රට පුරා තිබෙන පුරාවිද්‍යා ස්ථාන හා විහාරස්ථාන දහසකට ඒවා සංවර්ධන කටයුතු සඳහා එක් ස්ථානයකට රුපියල් ලක්ෂ පහ බැගින් ආධාර අරමුදල් ලබා දුනි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දී පුරාවිද්‍යා ස්ථාන විශාල වැදගත්කමකින් යුක්ත වේ. නමුත් පසුගිය ආණ්ඩුව විසින් සංචාරකයින්ගෙන් උපයා ගන්නා ලද මුදල් දේශපාලන ව්‍යාපෘතිවලට යෙදෙව්වා විනා අඩුම තරමේ එම පුරාවිද්‍යා ස්ථාන තුල වැසිකිළි කැසිකිළි ඉදිකිරීමටවත් උනන්දුවක් නොදැක්වීය. විශේෂයෙන්ම මෙයින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සිදුවූ පාඩුව මිල කළ නොහැකිය. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ හෝර්ටන් පෙදෙසේ සංචාරකයින් සඳහා ඩොලර් විසිපහක මුදලක් ගෙන ලෝකාන්තය නැරඹීමට අවස්ථාව ලබා දුන්නද ඔවුන් වෙනුවෙන් එකදු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි විය.

එසේම සීගිරියේදී අයකරනු ලබන ඩොලර් විසිපහේ මුදල ඊජිප්තුවේ පිරමීඩ නැරඹීමේදී අයකරන මුදලටත් වඩා ඩොලර් පහක හෝ දහයක වැඩිවීමක් තිබේ. එය එසේ තිබුණද සීගිරිය නැරඹීමට එන සංචාරකයන් උදෙසා වැසිකිළි පද්ධතියක් පසුගිය වසර වන තුරුත් ඉදි කර නොතිබිණි. අකිල ඇමතිවරයා සංස්කෘතික අමාත්‍යාංශය බාරගත් පසුව නවීන වැසිකිළි පද්ධතියක් ගොඩ නංවනු ලැබීය. එසේම සීගිරිය තුල සිදු වූ අති විශාල වංචාවන් හා දූෂණයන් වලට තිත තැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ප්‍රවේශපත් විකිණීම Online ක්‍රමයකට මාරු කරනු ලැබීය. එම නිසා රජයට විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබේ. සීගිරිය පරිශ්‍රය තුල වංචා දූෂණ හා අක්‍රමිකතා අවම වී තිබේ. එසේම සීගිරිය තුලින් මධ්‍යම සංස්කෘතිය අරමුදල ලැබූ ආදායම පස් ගුණයකින් වැඩි වී තිබේ. මෙසේ වැඩි වූ සහ දූෂණය වංචාව අවම කිරීමෙන් ඉතුරු කර ගන්නා ලද අතිවිශාල මුදල විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මෙම වසරේ දී පිරි නැමීය. ලබන වසරේදී තවත් විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යෙදවීමට සංස්කෘතික අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙතුවක් කල් රටේ ජාතික සම්පත් සංචාරකයින්ට පෙන්වා උපයා ගන්නා ලද මුදල් පටු දේශපාලන ව්‍යාපෘතිවලට යෙදවීම අවසන් කොට, සැබෑ ලෙසම එම මුදල් රටේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයටත්, විහාරස්ථාන නඩත්තුවටත් එම මුදල් ආයෝජනය කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ. එසේම ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කරමින් තිබේ. සංස්කෘතික අමාත්‍යාංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සිදු කරමින් පවතින වැඩ පිළිවෙළෙහි සම්පුර්ණ ගෞරවය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට හිමිවිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. මෙතුවක් කාලයක් හුදකලා වී කොන් වී තිබූ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ද එම විෂය පද්ධතිය ද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා විසින් ඉහලට ඔසවා තබා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය වැදගත් විෂයක් බවට පත්කර තිබේ. එම විෂයට ලංකාවේ ජනතාව තුළත් ආයතන පද්ධතිය තුළත් දේශපාලඥයෝ තුලත් අවධානයට ලක්වීම නිසාවෙන් එම අංශය සීඝ්‍ර දියුණුවකට ලක්වෙමින් තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ අකිල විරාජ් ඇමතිවරයා කිසිවෙකුත් නොසිතූ පරිදි සාර්ථක ඇමතිවරයෙක් බවට මෙම ආණ්ඩුවේ පත්වී තිබේ. ඔහු අත තබන තබන ව්‍යාපෘතිය සාර්ථක වේ. ඔහුගේ විචක්ෂණ භාවයත්, ඉදිරි දැක්මත්, සංවිධාන හැකියාවත්, ප්‍රසන්න හදවතත්, පාක්ෂිකත්වයත්, අනාගතයක් ඇති ඇමතිවරයෙකු බවට පත්කර තිබේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    Thushara: govt employees acting as cheer leaders or doing propaganda to politicians, is it corruption ? In countries where the govt is decent, this minister would have to step down. That would be definite.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.