Colombo Telegraph

රනිල්ට එදිරිව මහින්ද

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

සියලුම දේ අනිත්‍ය නිසාම ජිවිතයද නිත්‍ය නොවේ. සියල්ලන්ටම අමතක වන සත්‍ය නම් ජීවිතය අනිත්‍ය බවයි. දේශපාලන ව්‍යාපාරයක් අනියත පුද්ගල ජිවිතයක් මත පදනම් වන්නේනම් එහි අනාගතය ශෝකාන්තයක් වනු නියතය. එම දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්න මෙන්ම එම සමාජය ජනතාවද විශාල අර්බුදයකට යාම වැලැක්විය නොහැක්කේය. ගඩාපි ගෙන් පසු ලිබියාව, සදාම්ගෙන් පසු ඉරාකය, චාවේස්ගෙන් පසු වෙනිසියුලාවද සිදු වූවාක් මෙන් පුටින්ගෙන් පසු රුසියාවටද සිදුවීමට නියමිත වන්නේ මෙම දුක්මුසු අවාසනාවන්ත ඉරණමයි. නමුත් මීට පරස්පර දේශපාලන ව්‍යාපාරයනම් පුද්ගල කේන්ද්‍රීය නොවුණු නමුත් තමන් ගොඩනැගු දේශපාලන ව්‍යාපාරය නිසා තමනුත් බැබලුනු තිරසාර රටවල් ගොඩනැගු බුද්ධිමත් නායකයින් විසු සමාජයන්ය. ගාන්ධි විසූ ඉන්දියාව, මැන්ඩෙලා විසු දකුණු අප්‍රිකාව හා බටහිර සංවර්ධිත රටවල් සියල්ල අනියත ජීවිතයක් හිමි මිනිසුන් වෙනුවට ආයතන හා ක්‍රමවේදයන් පදනම් කරගත් දේශපාලන සමාජයන්ය. ඒවා සාමකාමිය, තිරසාරය. ඒවායෙහි වෙසෙන මිනිසුන් වාසනා වන්තයෝය. අවස්ථාවක් ලැබුනොත් ප්‍රථමයෙන් පෙන්වාදුන් සමාජයන්ගේ මිනිසුන් දෙවන සමාජ වලට පලා යනු ඇත.

ලංකාව මෙම ක්‍රම වේදයන් දෙක තුල දෝලනය වෙමින් තිබේ. ලංකික සමාජය හරි මැදින් දෙකට වෙන් වී තිබේ. සිංහල බහුතරයක් සහිත සිංහල-බුදුදහම අදහන බහුතරයක් සහිත පිරිසක් අනියත ජීවිතයක් හිමි 70 වියැති මහින්ද පදනම් කරගත් පාලන ක්‍රමයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වා සිටි. (බුදු දහමේ මුලික ඉගැන්වීම අනියත් බවයි) අනික් පිරිස බහු ආගමික, බහු සංස්කෘතික, දේශපාලන, සමාජයීය, ආයතන හා ක්‍රම වේදයන්ගෙන් යුත් පාලනයක් පතයි. රනිල් නායකත්වය දෙනුයේ එම පිරිසටය, එම ක්‍රමයටය.

ලංකාවේ මේ මොහොතේ ප්‍රධාන බල කේන්ද්‍රයන් දෙක එයයි. මෙම බල කේන්ද්‍රයන් දෙක මත දෝලනය වන දේශපාලනයේ අනිකුත් සියලුම බලවේග හා කුඩුකේඩුකම් කරන්නෝ හාල් කෑලිය. දේශපාලනය මත තම පැවැත්ම උදෙසා ටෙලිවිෂන් මුදලාලිලාගේ කොන්ත්‍රාත් කාරයෝය. ටෙලිවිෂන් මුදලාලිලා යනු ලංකාවේ අන්ත ග්‍රෝත්‍රික පන්තියකි. ලොව පවතින සියල්ල තමන්ගේ ඉනෙන් පහලින් පාලනය වන්නක් යැයි සිතන්නෝය.

එබැවින් ඉදිරි වසර දෙක තුල ලංකාවේ දේශපාලනය දෝලනය වන ගතිකයන් වන්නේ මෙම පිල් දෙකෙහි ක්‍රියාකාරිත්වයයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ගාමක බල කේන්ද්‍රය තවදුරටත් රනිල් වන අතර සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගොඩනැගිය හැක්කේ රනිල්ට පමණක් බව සමාජයේ එම මතවාදය වෙනුවෙන් පෙනීසිටින පිලෙහි ඒකායන අබිලාසයයි. පක්ෂයේ අභ්‍යන්තර බල කේන්ද්‍රයේ අනික් පිල වන සජිත් ප්‍රේමදාස නියෝජනය කරනුයේ මහින්ද අසහාය නායකයා ලෙස පිළිගන්නා දේශපාලන බලවේගයයි. ඔහුගේ පරම විශ්වාසයද එයයි. නමුත් අවාසනාව වන්නේ මහින්දට සමකල හැකි නායකයෙකු මේ මොහොතේ එම පිලට ලංකාව තුල නොමැති අතර සජිත් නියෝජනය කරනුයේ වැරදි බලවේගයයි. තවදුරටත් සරලව පැහැදිලි කරන්නේනම් ඔහු අල්ලපු ගෙදර නියෝජිතයායි. තීරණාත්මක මැතිවරණයකදී පස මිතුරු පිලෙන් 3% වැඩිපුර දිනාගැනීමට සජිත් යොදාගත හැකි අතර එය තීරනාත්මකද විය හැක. සිරිසේන ජනාධිපතිවරයා සම්බන්දයෙන් 2015 දී තිබු තක්සේරුව එයයි. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරනු ලබන දේශපාලන බලවේග හා සමාජ තීරුව ඔහුට නියෝජන කල නොහැක්කේය. සමහර විට විශාල වෙනස්කම් සහිතව අනාගතයේදී හැකිය. නමුත් අකිල, නවීන්, හරීන්, අජිත් හා රුවන් වැනි නැගී එන නායකයින් සමග ඔහුට සටනක් දිය යුතු වේ. මෙහිදී සජිත් හැර අනික් සියල්ලෝම එක්සත් ජාතික පක්ෂ සමාජ තීරුව හා මතවාදය නියෝජනය කරන්නෝය. එබැවින් රනිල් මෙම කදවුරෙන් ලංකාවේ දේශපාලන නියෝජනය කරද්දී අනිත් කදවුර මහින්දගේය. මෙම නායකයින් දෙදෙනාගේ බල අරගලය ලංකාවේ අනාගතය තීන්දු කරනු ඇත.

මා මුලදීත් පෙන්වාදුන් පරිදි මෙම ක්‍රමවේදයන් දෙකෙහි පැවැත්ම තීරණය වන්නේ මනුෂ්‍ය ජීවිතයේ අනියත බව මතයි. රනිල් නැති එක්සත් ජාතික පක්ෂයක් පිළිබද හැම කෙනාටම අදහසක් තිබේ. රනිල් නැතිව එක්සත් ජාතික පක්ෂය හා එහි වැඩ පිළිවෙල පවතිනු ඇත. නමුත් මහින්ද නැති කලෙක එම බලවේගයට කුමක් සිදු වනු ඇතිද? මහින්ද රාජපක්ෂ යෝජනා කරනු ලබන දේශපාලනයට ලාංකික සිංහල ජනතාව අතර පිළිගැනීමක් ඇත. ඒ අනුව ඔහු විසින් යෝජනා කරනු ලබන පොල් ලෙල්ලක් වුව සිංහල ජනතාවගේ ඡන්ද වලින් 39% ගනු ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම හා අනිකුත් පළාත්වල මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන ලද්දේ එයයි. නමුත් ජාතික මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ජයගැනීමට සිංහල ජනතාවගේ ඡන්ද වලින් 39% ප්‍රමාණවත් නොවනු ඇත. අඩුම තරමින් සිංහල ඡන්ද 55% ගත්තද එයද ප්‍රමාණවත් නොවේ. මේ අනුව කිව හැක්කේ ජනාධිපතිවරණයක් ජයගැනීමට මහින්ද පිලට සිංහල ඡන්ද වලින් 70% ට වඩා ගත යුතුය. එනම් අපිට මගතොටේ හමුවන සිංහල ගැහැණු හා පිරිමින්ගෙන් දස දෙනෙකුගෙන් හත්දෙනෙකු මහින්ද මත දේශපාලන තීන්දුව ගත යුතුය. එය සිදු නොවන්නේය.

මන්ද මහින්ද නියෝජන කරනුයේ අන්ත ජාතිවාදී, ආගමවාදී ජාතික ලයින් එකය. ඔහුට දෙමල හා මුස්ලිම් ඡන්දද, කතෝලික ඡන්දද දිනා ගත හැකි හැකියාව අවමය. නමුත් අනිත් පසින් රනිල් නියෝජන කරනුයේ බහු ආගමික, බහු ජාතික සමාජයක් සහිත දියුණු ලෝකයේ පිළිගත් සමාජ දේශපාලන වටිනාකම් සහිත සමාජ බලවේගයයි. එම බලවේගය වේගයෙන් වර්ධනය වන අතර එම සමාජ මතයන් වර්ධනය වූ මොහොතේ ලෝක දේශපාලනයේද ගාමක බලයි.

මේ අනුව 2020 දී රනිල්ට අනිවාර්ය ජයක් අත් වනු ඇති අතර රනිල්ගෙන් පසු තවත් දශක ගණනාවක් එක්සත් ජාතික පක්ෂය මේ රටේ දේශපාලන බලය හොබවනු ඇත. නමුත් මහින්ද මත පදනම් වූ දේශපාලන බලවේගය ගඩාබිගෙන් පසු ලිබියාව මෙන් මහින්දගෙන් පසු අවසන් වනු ඇත. නැතහොත් එම බලවේගයට නායකත්වය දීමට රටේ ඊලග එවැනි පන්නයේ නායකයා වන සජිත් ප්‍රේමදාස සුදුසු කම් ලබනු ඇත. ඒ අනුව අනාගතයේදී මේ රටේ පිල් දෙකම නියෝජන කරන නායකයින් ඉන්නා පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

Back to Home page