Colombo Telegraph

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි මිනිසෙකුගේ දේශපාලන ඉව හා ෆැන්ටසිය මත පදනම් වූවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සුදු අදිරාජ්‍යවාදීන්ගේ කීකරු සේවක පෙළපතකින් පැමිණි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් ආරම්භ කරනු ලැබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1952 වර්ෂයේ එවකට තිබූ දේශපාලන තත්ත්වය අනුව මෝරායමින් තිබූ සිංහල ජාතිකත්ව නවෝදයට රුකුල් දීමට බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසින් පවත්වාගෙන ආ මහා සිංහල සංගමයේ දේශපාලන ප්‍රකාශනයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක න්‍යාය වනුයේ සිංහල ජාතිකත්වය හා ධනපති විරෝධයයි. එසේම එම න්‍යායට පත අට එකට සිදුවා අවස්ථාවාදය හා කුහකත්වය එකතු කර ගොඩනගන ලද්දකි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත වෘක්ෂයක් ලෙස සිංහල සමාජය තුළ මුල් බැසගන්නේ එම පක්ෂයටම ආවේණික වූ ශ්‍රී ලාංකික නාඩි ඇල්ලීමේ කලාව නිසාවෙනි. 1956 දී බහුවාර්ගික සමාජයක් වූ ශ්‍රී ලාංකික සමාජයට බටහිර උගත් හැදි ගෑරප්පුවෙන් කෑම බීම කන, බොන, ඉංග්‍රීසී සහ ලතින් භාෂා හැර වෙනත් කිසිදු භාෂාවක් හොදින් කතා නොකරන, කොම්පද්‍රෝරු ධනපතියෙකු වන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඔහුත් නොදන්නා ඔහුගේ හත්මුතු පරම්පරාවේ කිසිවෙකුටත් අවබෝධයක් නැති සිංහල පමණක් ප්‍රතිපත්තිය තුළින් බලය ලබාගත්තේය. තම පන්තියේ ධනය ජනසතු කරමින් ආණ්ඩුවට පවරා ගැනීමට පොරොන්දු විය. එම අවස්ථාවාදයෙන් බලයට පත් බණ්ඩාරනායක ශ්‍රීමතානන් කුහකත්වයේ සිරකරුවෙකු බවට පත්ව ඉතාම අකමැත්තෙන් එමගින් ශ්‍රී ලාංකීය සමාජයට වන හානිය පිළිබදව අවබෝධයක් ඇතිව පොරොන්දුව ඉටුකර ඔහු ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවීය.

ඉන්පසු එළඹි දශක ගණනාව තුළ 56 විප්ලවයෙන් බිහිවූ විකෘතිය නිසාම ඇතිවූ සිවිල් යුද්ධ තුනකින් මිනිසුන් ලක්ෂ ගණනාවක් මිය ගියේය. සිංහල පමණක් උගත් දකුණේ තරුණයන් විරැකියාව හා කුල පීඩනය පදනම් කරගෙන 1971 දීත් 1989 දීත් දහස් ගණනින් මියගිය අතර, ජාතිකත්වය හා ආගම පදනම් වූ සමාජ අසාධාරණයට එරෙහිව සටන්කොට වසර 30 ක් දිග්ගැස්සුණු යුද්ධයකට මුහුණදී උතුරේත්, දකුණේත් මිනිසුන් දහස් ගණනක් මිය ගියේය. 1956 විප්ලවය යනු සිංහල සමාජය නිදහසින් පසු උන්මාදයට හා නොමගට යොමු කළ සමාජ විකෘතියයි. මේ විකෘතිය මත බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය ආරම්භයේ සිට අද දක්වා මෙම රටට සිදුකළ තිරසාර ප්‍රගතිශීලී කිසිවක් නැත. ඔවුන් පෙනී සිටි බොහෝ දේශපාලන ආර්ථික සහ සමාජ ව්‍යාපෘති මහ ව්‍යසනයන් බවට පත්වූ විට බලය අතහැර යන ඔවුන් එම අසීරු අවස්ථාවන් ජයගැනීමට එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කරයි. එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසට පුරාවටම සිදුවූයේ බලයට පත්වූ සෑම අවස්ථාවකදීම එම ධූර කාලයෙන් අඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුල් නිරවුල් කිරීමටත්, ඉතිරි අඩ සංවර්ධන කටයුතුවල යෙදීමටත්ය. ඒ සදහා උදාහරණ බොහෝය. 

1965 දී ඩඩ්ලි සේනානායක බලයට පත්වන විට දස අවුරුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජ්‍ය පාලනය තුළ බිහිකළ අවුල් වියවුල් රට ප්‍රපාතය කරා ගෙනයෑම ආරම්භ කර තිබුණි. එය කෙතෙක් දරුණු තත්ත්වයක් වීද යත් ඩඩ්ලි සේනානායකයන් එම පස් අවුරුදු කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් රටතුළ ගොඩනැගු එම අවුල් සහගත තත්ත්වය නිරවුල් කිරීමට ගොස් ඔහු සදාකාලීක රෝගියෙකු වූ අතර රටේ ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය නිවැරදි කිරීම කෙසේවත් කළ නොහැකි මහ ව්‍යසනයක් බවට පත්වී තිබුණි. 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළා නොව, එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් එම උරුම කර තිබූ අවුල් වියවුල් තුළින් රට ගොඩනැගීමට නොහැකි වීමෙන් ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එම ආණ්ඩුව දේශපාලන බලය අත්හැරියේය. 1970 මැතිවරණයෙන් පසු ඩඩ්ලි සේනානායක දේශපාලනයෙන් සමුගත් අතර, ඊට වසර තුනකට පසු ජීවිතයෙන්ද සමු ගත්තේය. ඉන්පසු බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හදා බැලූ හා ක්‍රියාත්මක කළ විකාර රූපී ආර්ථික හා සමාජ ක්‍රමය ශ්‍රී ලාංකීය සමාජයේ ඉතිරිව තිබූ ඉතිරි සාධනීය ලක්ෂණයන්ද විනාශ කර දැම්මේය. එම ක්‍රමයේ ඇති විකාරරූපි බව තේරුම් ගැනීමට හොදම උදාහරණය නම් සතියට දවස් තුනක් බත් කෑමට තහනම් කිරීම, ඇදුම් ඇදීම තහනම් කිරීම, සාද පැවැත්වීම සදහා රජයේ අවසරය ලබා ගැනීමය. මුළු ලෝකයම විශාල සංවර්ධන පිම්මක් ගත් හැත්තෑව දශකයේදී අප රිවස් ගියරය දමා වේගයෙන් පස්සට ගියේය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන ආණ්ඩුවයි. 

1977 ජේ. ආර්. ජයවර්ධන සමග එක්සත් ජාතික පක්ෂය බලයට පත්වෙද්දී හබරල අල කන, සීනී නැතිව තේ බොන, විලි වසා ගැනීමට රෙදි කඩ මල්ලක් ගැනීමට දවස් තුනක් පෝලිමේ සිටින, දොල දුකට පරිප්පු හොද්දක් කෑමට පරිප්පු රාත්තලක් සමූපකාරයෙන් මිලදී ගැනීමට ඉඩම් කැබැල්ලක් විකිණිය යුතු තත්ත්වයකට අප පත්ව තිබිණි. රටේ මහා පරිමාණ ව්‍යාපාර සියල්ල දේශපාලන හෙන්චයියන් අතට පත්වී තිබූ අතර වතු සමාගම් වසාදමා සමාගම් අයිතිකරුවන් ඇදි වත පමණක් අයිතිව පිටරට ගොස් තිබිණි. රටේ ආර්ථිකය කියා දෙයක් නොතිබුණි. සහල් ප්‍රවාහනය නීතී විරෝධී කටයුත්තක් වූ අතර දෙමාපියන් හා නෑදෑ හිතවතුන්ගේ කුස ගින්නට වැඩිපුර තිබූ සහල් සේරුවක් ගෙනගොස් දීම හිරේ විලංගුවේ වැ‍ටෙන තත්ත්වයක් බවට පත්ව තිබුණි. එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යුගයේදී සලාක ක්‍රමයකින් හෝ සීමා කිරීමකින් තොරව ශ්‍රී ලාංකික ජනතාවට සිදුකළ හැකිව තිබුණේ ලිංගික කටයුතු හා වැසිකිළි යාම පමණි. මනුෂ්‍ය ජීවිතයේ අනෙකුත් සියල්ල පාලනය කොට තිබුණි. 

1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂයට මෙම විශාල අවුල් සහගත තත්ත්වයෙන් රට ගොඩගෙන ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වසර කිහිපයක් ගතවිය. 1994 බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව 2001 එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීමේදී රටේ ආර්ථිකය සෘණ අගයක් ගත්තේය. දවසට පැය 8ක් පුරා විදුලි කප්පාදුවක් තිබුණි. උතුර ප්‍රභාකරන් යටතේ වෙනම රාජ්‍යයක් ලෙස ගොඩනැගී තිබුණි. අධ්‍යාපනය, ප්‍රවාහනය, නීති ක්ෂේත්‍රය හා රටේ ආරක්ෂාව අවුල් ජාලාවක් බවට පත්ව තිබූ අතර රාජ්‍ය නායිකාවගේ දෛනික චර්යාවේ ප්‍රමාදය පැය 08ක් තරම් විය. ආණ්ඩුකරනය විහිළුවක් බවට පත්ව තිබුණි. 2001 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට මුළු කාලයම ගතවූයේ එම අවුලින් රට ගලවා ගැනීමටය. එම පරිශ්‍රමයේදී රට තුළත්, පක්ෂ අභ්‍යන්තරයේත් අපකීර්තියට පත් එම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත්වී ගෙදර ගියේය. ඉන් පසු එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන් හා විශාල ගනුදෙනුවකින් බලයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව රටට සිදුකළ විශාල හානිය කොතරම්ද යත් වර්ථමාන ආණ්ඩුවේ නිල කාලයේ මුල් වසර කිහිපයම ගතවන්නේ පසුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් සිදුවූ විශාල අවුලෙන් රට ගලවා ගැනීමටය.

නමුත් මෙවර තත්ත්වය වෙනම හැඩයක් ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මැදින් දෙකට වෙන්වී ඇති අතර, එක් පාර්ශවයක් එක්සත් ජාතික පක්ෂය හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙර වැරදි පිළිබද ජනතාවගෙන් සමාව ඉල්ලමින් ඒවා නිවැරදි කිරීමට එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගෙන දිවීමයි. අනෙක් කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිල ලාංඡනයෙන් වෙන්වී නව පක්ෂයක් පිහිටුවාගෙන රටපුරා අවුල් වියවුල් ඇතිකරමින් මීට පෙර ඔවුන් විසින් ඇතිකරන ලද ක්‍රමවේදයන් නිවැරදි කිරීමට එරෙහි වෙමින්, ඔවුන්ද නිවැරදි නොවී බලය ලබාගැනීමේ ව්‍යාපෘතියක නිරත වේ. එක්සත් ජාතික පක්ෂය සමග එකතු වූ කොටස තදින්ම ප්‍රතිගාමිත්වය නියෝජනය කරයි. ඒ වෙනුවෙන් එම පක්ෂයට ජනාධිපති සිරිසෙන නායකත්වයට ලැබී තිබේ. මාගේ අදහස නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුගේ අවස්ථාවාදයේ හා ජාතික වාදයේ තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බවයි. ඔවුන් හරි මැදින් දෙකට වෙන් වී තිබේ. දෙපාර්ශවයේම දේශපාලනය හා පැවැත්ම තීන්දු කරනු ලබන ගාමක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත්ව තිබේ.

මේ අනුව පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තොරව අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එයින් කැඩීගිය බලවේගයකට පැවැත්මක් නොමැති බවය. අවසාන වශයෙන් කිව යුත්තේ රෝහණ විජේවීර කීවාක් මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාර්කික අවසානයකට ළගාවෙමින් පවතින බවයි. ඔවුන්ගේ අවස්ථාවාදයන්, දේශපාලන කුහකත්වයන්, අකාර්යක්ෂම පාලනයන්, අවිද්‍යාවන්, ඔවුන්ට හිමි තැන උරුමකර දෙමින් තිබේ. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රමය උල්ලංගනය කරද්දී එම පක්ෂයේ කණ්ඩායම් දෙකම ලංකාවේ කළු මාධ්‍ය, විශේෂයෙන් සිරස වැනි ප්‍රතිගාමීන් සමග එම කුමන්ත්‍රණයට සහයෝගය දක්වයි. අද එම බලවේගය ප්‍රතිගාමීත්වයේ ගිනි සිලුවයි. ඔවුන් ගමනක අවසානයට ලගාවී ඇත.

Back to Home page