Colombo Telegraph

අපට නිර්වාණය දුරයි

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ සමාජය වසර දහස් ගනනක් තිස්සේ අතීත කාමය තුලම ඇලී ගැලී විනාශය කරා ගිය සමාජයකි. අතීත කාමය හා අනම්‍ය බව පැරණි වැඩවසම් සමාජයෙන් එවකට තිබු සුරා කෑම තව දුරටත් පවත්වා ගැනීම උදෙසා පවත්වා ගෙන පැමිණි ආකල්පයකි .

ලාංකික අපි වෙනස් වීමට අකමැතිය. කැමති වුවත් වෙනස් වීමට හැකියාවක්වත්, දිරියක් වත්, ලාංකික සමාජයට නැත. එය දෙමළද, මුස්ලිම්ද, සිංහලද කියා වෙනස් නැතිව සැමටම පොදුය. මේ වෙනුවෙන් ගත හැකි හොදම උදාහරණය ගත හැක්කේ දෙමළ සමාජයෙනි. ප්‍රභාකරන් තිස් වසරක් තිස්සේ යුද්ධ කරමින් දෙමළ මිනිසුන් ලක්ෂයක් පමණ මියයාමටද තවත් ලක්ෂ හයක් පමණ රට හැර යාමටද සලස්වා කුල වාදය පිටු දකින දරුණු පාලනය දසක තුනක එනම් සම්පුර්ණ ජන යුගයක් පවත්වාගෙන ගොසිනුත් අදත් දෙමළ සමාජයේ කුලය බරපතල ප්‍රතිගාමී සමාජ ප්‍රපංචයක් ලෙස පවතී. එය එම සමාජය පවත්වාගෙන යන්නේ සමාජ ප්‍රගමනයට නොව අනෙකා පිඩනයට ලක් කොට පාගා දැමීමටය.

අප සමාජයක් ලෙස කෙතරම් පසු ගාමිද යත් අනෙකා පාගා දැමීමට විනාශ කිරීමට උපකරණයක් ලෙස ලෝකයේ අවිහින්සාව තම ධර්මය කර ගත් බුදු දහම පවා උපකරණයක් කර ගනී. ලංකාවේ බුදුදහම එහි මුලික වටිනා කම් වලින් මිදී බුද්ධ, ධම්ම සහ සඟ යන අංශ තුනෙන් සඟ යන අංශය ප්‍රමුඛ කර ගත සිවුරු දර එම ආයතනයේ සාමාජිකයන්ගේ සමාජීය ආර්ථික හා දේශපාලන ව්‍යාපෘතියක් ලෙස බුදු දහම ලංකාවේ පවත්වාගෙන යයි. එම තත්වයෙන් හොදින්ම ප්‍රයෝජන ගෙන රට අන්තිම බින්දුව දක්වා සුරා කන ලද්දේ රාජපක්ෂ වරුය, එහි කූඨ ප්‍රාප්තිය වන්නේ සංඝයා වහන්සේලා මෙරට සමාජ තුල රස්තියාදු කාර කල්ලියක් ලෙස හැසිරීමට පටන් ගැනීමය. දැනට වසර පහලොවකට විස්සකට පෙර සංඝයා වහන්සේ නමක් පන්සලෙන් එළියට වැඩම කලේනම් එය අහල ගම් හතක දන්නා හැමදෙනාගේම අවධානයට ලක් වන කාරනයක්ය. අද කඩ පිලේ, බස් පොලේ සුදු පිටියේ පිට්ටනියේ පමණක් නොව මේ ලියුම් කරුට රටේ නම ගිය හාමුදුරුවරු බාර් එකේදී සිවුර පිටින්ම හමු වී තිබේ. එක අතකින් සමාජ මාධ්‍ය විසින් අප සමාජය මත මෙම ආගමික සංස්ථාවේ කියුම් කෙරුම් වේගයෙන් හෙළි වෙමින් තිබේ. මෙම තත්වය මත රටේ දේශපාලන බලවේග පිළිබදව නැවත සලකා බලන තත්වයක් ඇති වී තිබේ.  

එසේම  පසුගියදා සිර දඩුවම් ලැබූ ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ දේශපාලන හා ශාසනික අනාගතය අවුලෙන් අවුලට පත්වී ඇති බව කිව යුතුය. පන්සල්වල බෝ ගස් වලට හා බණ මඩු වලට මුවා වී අවාස ගෙවල්වල රහසේ සිදුවූ අකටයුතුකම් හා මගෝඩිකම් ජනතාව අතරට ගෙනවිත් මාධ්‍ය සංදර්ශන පවත්වා එම සංදර්ශන වලම උගුලක් බවට පත්වෙමින් උන්වහන්සේ වසර 6 කට සිරගත විය. සාමාන්‍යයෙන් ලංකාවේ සංඝ ශාසනය තුල දැකිය හැකි නිකාය භේදයට මෙන්ම පන්සල් අභ්‍යන්තරයේ ඇති අධිකාරී බලයට ප්‍රසිද්ධියේ අභියෝග කල ඥාණසාර හාමුදුරුවෝ එයින් උපයාගත් බලය දේශපාලන ආයෝජනයක් ලෙස ගොඩනගා ගැනීමට තැත්කිරීමේදී මෙන්ම ඒ සදහා උන්වහන්සේ භාවිතා කරන ලද කෙටි මාර්ග වල ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ සිරගත විය. උන්වහන්සේගෙන් හිස් වූ ජාතික අරගලයට කුමන පාර්ශවයක් ඉදිරිපත් වෙත්දැයි තවම කිව නොහැකි වුවත්  එම හිස් තැන පිරවීමට ලංකාවේ වැඩිම සුදුසුකම ඇත්තේ මහින්ද රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂටය.

ඉදිරි ජනාධිපතිවරණයක හෝ මහ මැතිවරණයකදී ඔවුන්ගේ නැගීසිටීම අපට බලාගත හැකි වනු ඇත. විශේෂයෙන් රාජපක්ෂ පරපුරෙන් කිසිවෙකුත් තම පුද්ගලික ධනයෙන් අබ ඇටක් තරම් දෙයක් බුදු සසුනට පුජා නොකලද බුදු දහම දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කිරීමේ රුසියෝ වෙති. පසුගිය කාලයේ ලංකාවේ සමාජය තුල සංඝ සමාජයට එරෙහි එක්තරා ආකාරයක විරෝධයක් එල්ල වුවද ඉතිහාසයේ කවරදාවකවත් නොවූ තරම් සංඝ සමාජය රාජපක්ෂවරු යටතේ ශක්තිමත් විය. එය කෙතරම් ශක්තිමත් වීද යත් ග්‍රාමීය මට්ටමේ ජනතාවට බලහත්කාරයෙන් පිරිත් ඇස්සවීම, ලවුඩ්ස් පීකර් බණ කීම, ගිහි ජීවිතයේ සිට ලිංගික කටයුතු කරන ආකාරය දක්වා සියල්ලම සංඝයා වහන්සේලා විසින් ගැමියන්ට බලෙන්ම ලවුඩ්ස් පීකර් මගින් ඉගැන්නුවේය.

පකිස්ථානය දැනට වසර විස්සකට තිහකට පමණ පෙර සිට ජාති වාදයේ ගොදුරව තිබී දේශපාලකයින් සුරා ගත් රටකි. එහි දේශපාලකයින්ගේ ප්‍රධානතම වැඩ පිළිවෙල වුයේ මුස්ලිම් ආගම නගා සිටු වීමයි. අද එය ලෝකයේ අර්බුධ වලින් ගහන දිළඳු රටක් බවට පත්ව තිබේ. එහි පසුගිය සතියේ සිදු වූ විශේෂ සිදු වීම වන්නේ හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට අගමැති ධූරයට පත් වීමයි. ඔහුගේ ජිවිතයෙන් අපට බොහෝ පාඩම් ඉගෙන ගත හැක. දැනට වසර විස්සකට පමණ පෙරදී දේශපාලනය ප්‍රවිෂ්ඨ වන ඔහු එරට අගමැති ධූරයට පත්වන විට ඔහුගේ පක්ෂය වන Pakistan Movement for Justice පක්ෂයට වසර විසි දෙකක් ගෙවී තිබිණි. 1996 ආරම්බ වන එම පක්ෂයේ මුලික පදනම වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඉම්රාන්ගේ ජනප්‍රියත්වයේ ඉහලම අවදියේදී අරඹන ලද එම පක්ෂයට මුල් යුගයේදී ලබාගත හැකි සාර්ථකත්වය ඉතා අල්ප වේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ ආගමික හා ජාතිකවාදී දේශපාලන හැගීම් වලින් රෝගී වී තිබු පාකිස්ථානයට ඔහු විසින් ඉදිරිපත් කරන ලද දියුණු ශිලාචාර බටහිර ආභාශය ලත් පාලන ක්‍රමය තේරුම් ගැනීමට තරම් ඒකාග්‍රතාවයක් එරට සමාජයට නොතිබුන බැවිනි. මුලදී එම පක්ෂය ඉදිරිපත් වන සියලුම මැතිවරණ වලින් පරාජයට පත්වන නමුත් 2002 වසරේදී ප්‍රථම වරට ඉම්රාන් විසින් පාර්ලිමේන්තු ආසනයක් දිනාගනී. එසේම අඛණ්ඩව දේශපාලන ක්‍රියාවලියේ යෙදෙන ඉම්රාන්ගේ පක්ෂය 2008 මැතිවරණය වර්ජනය කරනු ලබන අතර නැවත ඔවුන් 2013 දී ජාතික මැතිවරණයට ඉදිරිපත්ව එරට තුන්වැනියට විශාල පක්ෂය ලෙස ආසන දිනාගනී. නැවතත් 2018 දී මැතිවරණයට ඉදිරිපත් වන එම පක්ෂය එරට තනි පක්ෂයක් ලෙස ලබාගත් ඉහලම ආසන සංඛ්‍යාව දිනාගනිමින් එරට පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගනිමින් අගමැති ධූරයට පත්වේ.

ඔහුගේ වචන වලින්ම පවසන පරිදි පකිස්ථානය පසුගිය වසර ගනනාව තුල විශාල අර්බුදයකට මෙන්ම එ අනාරක්ෂිත තැනක් බවට පත් වී තිබේ. එහිදී ඔහු එහි වරද ලෙස දකිනුයේ පකිස්තානු ජන සමාජය නීතියේ ආධිපත්‍ය වෙනුවට ආගම මුල් කරගත් දේශපාලන සමාජ හා ආර්ථික වැඩ  පිළිවලකට යොමු වීමය. අද ලෝකයේ සාමකාමී දියුණු රටවල් සියල්ලම පහේ ආගමික නැඹුරුව අඩු රටවල්ය. ආගමික දැනුමටත් වඩා ලොකුම හානිය ඇත්තේ ආගමික සංස්ථාවේ නැතහොත් පුජක පන්තියේ ඇති ඔවුන්ගේ පැවැත්ම උදෙසා වු තක්කඩි කම් නිසාය.

Back to Home page