Colombo Telegraph

ජනවරම තාර්කික අවසානයකට ළඟාවීම​

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින කාරණා පිළිබඳවය. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයෝ ජනාධිපතිවරයා කෙරෙහි තදින් උරණව සිටී. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම හා ඔහු විසින් මැතිවරණ වේදිකාවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබන ප්‍රකාශයන් නිසාවෙන් උකටලීව සිටි එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නැවතත් ක්‍රියාත්මක තත්වයට පත්වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ ප්‍රකාශ කරති. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ මෙම හැසිරීමට හේතු මොනවාදැයි එක්සත් ජාතික පාක්ෂිකයින් තදින් අවධාරණය කරගත යුතු බව මාගේ හැඟීමයි. ජනවාරි 8 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන් ජයග්‍රහණය ලැබූ ජනාධිපතිවරයා සැබවින්ම හදවතින් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගයි. මන්දයත් ජනාධිපතිවරයාගේ දසක ගණනාවක දේශපාලනය තුළ ඔහු ගනුදෙනු කොට ඇත්තේ, ඇසුරු කර ඇත්තේ හා ක්‍රියාත්මකව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්තන් සමගය. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සමඟ ඇතිවූ සංවේදී කාරණා හා ගැටුම් කීපයක් නිසාවෙන් සිත්තැවුලට හා වේදනාවට පත්වූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වූවද ඔහුට එතරම් තදින් එකල පැවති දේශපාලන තත්ත්වයේ ගැඹුර හෝ දිග පළල පිළිබඳ අවබෝධයක් නොතිබූ බව මාගේ තක්සේරුවයි. සැබවින්ම 2015 ජනවාරි 08 වනදාට පෙර රට මුහුණදී තිබූ දුර්දාන්ත පාලනය තුළ ජනාධිපතිවරයා එහි පාර්ශවකරුවකු වූවා සේම 2014 නොවැම්බර් 21 වනදා දක්වාම එය ආරක්ෂා කරන්නෙකුද විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා වන තුරුම ඔහු එම දුර්දාන්ත පාලනය ආරක්ෂා කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාද විය.

ජනාධිපතිවරයා හා රාජපක්ෂ රෙජීමය අතර තීරණාත්මක අර්බුදය ඇතිවීමට බලපෑ ආසන්නතම සිදුවීම වන්නේ ලංකා දුම්කොළ සමාගම සමග ඇතිකරගත් ආරවුලයි. එය පිළිබඳව තවදුරටත් ජනාධිපතිවරයාගේ වචනයෙන්ම කියන්නේ නම් ලංකා දුම්කොළ සමාගම, එහි අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන් හා වාඩිවී සිටියදී හිටපු ජනාධිපතිවරයා විසින් එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපතිවරයාට වාඩිවීමට ආසනයක් පවා නොදී සිටවාම ප්‍රශ්න කළ බවයි. මෙම අකාරුණික සැලකීම තමන්ට සිදුකළ බරපතල සතුරුකමක් ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපතිවරයා සංවේදීව සලකනු ලැබුවේය. එම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යසාර හා දුම්වැටි නිවාරණ ක්ෂේත්‍රයේ කටයුතු කළ ශක්තිමත් සංවිධානවල ශක්තිය හා සහයෝගය ජනාධිපතිවරයාට ලැබුණි. එය පදනම් කරගෙන ලංකා දුම්කොල සමාගමට එරෙහිව හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා තදින් ක්‍රියාකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා දුම්කොල සමාගම එවකට සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව නීති මගින් ක්‍රියාකරමින් ඔහු උසාවි ගානේ රස්තියාදු කළේය. මෙම ගැටුම රාජපක්ෂවරයා හා වත්මන් ජනාධිපතිතුමන් අතර තීරණාත්මක බෙදීමක් සනිටුහන් කළේය. මෙම බෙදීම හොදින් හදුනාගත් හිටපු ජනාධිපතිනියත්, එක්සත් ජාතික පක්ෂයත්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස කරළියට ගෙන ආවේය. පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමට ප්‍රථම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකගවී සිටියේ රාජපක්ෂවරු පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට සහයදීමටයි. නමුත් මැතිඇමතිවරුන් විසිදෙදෙනෙකු සමග පැමිණෙනවායැයි තිබූ පොරොන්දුවත්, එම මොහොතේ රටේ දේශපාලනයේ තිබූ තත්ත්වයත්, සිවිල් සමාජවලට රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයකිරීමට තිබූ දැඩි උවමනාවත් නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කොන්දේසිය මත පොදු අපේක්ෂකත්වය ඔහුට ලබාදුනි. එය නිර්පාක්ෂික අපේක්ෂකත්වයයි. එහි අවසාන තීන්දුව ගනු ලැබූවේ 2014 නොවැම්බර් 20 වනදා එක්සත් ජාතික පක්ෂය පත්කළ විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව විසිනුයි. නමුත් 2014 නොවැම්බර් 21 වනදා ඔහු නොසිතූ පරිදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හා එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක, මංගල සමරවීර මෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි ඔහුට පොදු අපේක්ෂකයා වීමට අවස්ථාව හිමිවෙයි. විශේෂයෙන්ම නොවැම්බර් 21 වනදා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට එන විට ඔහු සමග පැමිණියේ රාජිත සේනාරත්න, රජීව් විජේසිංහ, එම්. ඩී. කේ. එස්. ගුණවර්ධන හා දුමින්ද දිසානායක යන ඇමැතිවරු පමණි. වසන්ත සේනානායක, නවීන් දිසානායක යන මැතිඇමැතිවරු සහ අතුරලියේ රතන හිමි, එක්සත් ජාතික පක්ෂ හා පැවති වෙනත් සම්බන්ධතාවයක් නිසා පැමිණි අය වෙති

මෙහිදී ප්‍රධානතම කොන්දේසිය වූයේ ප්‍රථම දින සීයයේදී විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි. එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා එවකට මැතිවරණ මෙහෙයුම් කමිටුවත්, සිවිල් සංවිධානවල සියළුම දෙනා සමගත් එකඟ වූ බව පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළ විය. එකල ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ තත්ත්වයේ සිටි හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ජාතික තලයේ ආකර්ෂණීය නායකයකු බවට පත්වීමේ ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කළ අතර සඳහා අවශ්‍ය ධනය, හැකියාව හා පිරිස් බලය එක්සත් ජාතික පක්ෂය සතුව තිබුණු බව මාගේ හැගීමයි. ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා විසින් ඔහුට මේ රටේ ඉරණම හා දෛවය විසින් ඔහු වෙත පටවන ලද තීරණයට පිටු පාමින් ඔහු කිසිදු න්‍යාය පත්‍රයක් හෝ වැඩ පිළිවෙළක් නැති තමන්ට ලැබුණු හා ගිවිසුම්ගත ජනමතය පිළිබඳවද අවබෝධයක්ද නැති, එදිනෙදා තම කුඩා මනසට කවුරුන් හෝ ප්‍රකාශ කරන කරුණු කාරණා වලට අදාලව කටයුතු කරන ජන නායකයා බවට පත් විය. මාගේ පෞද්ගලික තක්සේරුව නම් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්වීම මේ රටේ අනාගතයට ඉතාම හොද තත්ත්වයකි. නමුත් ජනාධිපතිවරයා එම වාසිය රටට දිනා දීමට හැකියාවක් දැක්වූවාද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ට කයිරාටික ඇමතිවරු හා පාක්ෂිකයින් විසින් ජනාධිපතිතුමා අසරණ තත්ත්වයට පත්කර ඇති බව සත්‍ය කතාවයි. ජනාධිපතිතුමා විසින් පසුගිය කාලයේ ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කරන ලද කරුණු උඩ බලාගෙන කෙල ගසනවා වැනි තත්ත්වයකි. තමන් නායකත්වය දුන් ආණ්ඩුව මගින් සිදුවූවායැයි කියන අකටයුතුකම් පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රකාශ කරද්දී එය එක්සත් ජාතික පක්ෂයට හානීදායක වනවා සේම ජනාධිපතිතුමාගේ පෞද්ගලික ප්‍රතිරූපයටද විශාල හානියක් සිදු කරයි. සැබැවින්ම රාජපක්ෂවරුන්ටත්, එක්සත් ජාතික පක්ෂයටත් හොරා හොරා කියා ප්‍රකාශ කරද්දී එම වේදිකාවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් බොහෝ දෙනෙකුටද දුෂණ චෝදනා තිබේ. ඒවා සුසිල් ප්‍රේමජයන්තගේ සිට දයාසිරි ජයසේකර දක්වා සියලුම දෙනාට අදාළය.

ජනාධිපතිතුමා රාජ්‍යතාන්ත්‍රිකයකුගේ සිට විහිළුකාරයෙකු බවට මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පත්කොට තිබේ. එතුමාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය අපිරිසිදු, අණක් ගුණක් නැති, කිසිවෙකුටත් පාලනයක් නැති තත්ත්වයකට පත්කොට තිබේ. පෙබරවාරි 10 වනදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ජනාධිපති තුමාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හා එතුමා පසුගිය වසර තුන තුළ ජනවරමට අදාලව කටයුතු කළ ආකාරය පිළිබඳව තාර්කික අවසානයකට පැමිණෙනු ඇත. දැනට ලැබෙමින් පවතින ආරංචි අනුව ජනාධිපතිතුමාගේ ඉදිරි වසර දෙකක කාලය අර්බුද වලින් ගහන කාලයක් වන අතර එතුමාට එතුමා දිනාගන්නා ලද ජනවරමෙන් ව්‍යුක්ත පුද්ගලයකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. මේ අනුව අවසාන වශයෙන් කිවයුත්තේ ජනාධිපතිතුමා වපුරා ගත් දේ නෙළා ගනිමින් තිබෙන බවයි. එයට කිසිවෙකුත් වගකිව යුතු නොවේ.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Back to Home page