Colombo Telegraph

තවම​ අපි කුවේණි භීතියෙන් පෙලෙන්නෙමු

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගිය දාක මා හට ශ්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමයේ 60 වෙනි සංවත්සර සාදයට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණි. කිංස්බරි හෝටලයට ශ්‍රී ලාංකික ගෘහණියන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබුණි. මෙම සංගමය ආරම්භය වී තිබුනේ දැනට හැට වසරකට පෙරය. එනම් පනහේ දශකයේ දී ය. මා මෙතෙක් සහභාගී වී ඇති සියලුම සංගම් වල උත්සවවලට වඩා මෙහි ඇති විශේෂත්වය නම් මෙම සංගමයේ නියෝජනය කරන බොහෝ දෙනා තම දරු මල්ලන් හා සැමියන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ කාන්තාවන් වීමයි. ඔවුන් බොහෝ දෙනෙකු තම ජීවිතයේ එකම අරමුණ තම පවුලේ සුභසිද්ධිය කරගත් කාන්තාවෝ වෙති. ඔවුන් අතර ද්‍රවිඩ මුස්ලිම් හා සිංහල කාන්තාවන් විශාල ප්‍රතිශතයක නියෝජනයක් තිබුනේය. මෙම සංගමය තුල ජාතිය, ආගම, කුලය පිළිබඳ කිසි වෙනසක් නොමැතිව නියෝජනයක් දැකිය හැකි විය.

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය වසර හැත්තෑ වෙහි අප විසින් සිදුකරන ලද, කරන ලද විශාලතම වරදක් වන්නේ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ඉතා ම පහළ අඩියක පවත්වාගෙන යෑමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ දේශපාලනය ඉතාම නරක ප්‍රතිරූපයක් අත්කර ගත් අතර මේ රටේ මුළු ජනගහනයෙන් සියයට පනහකටත් වඩා වැඩි කොටසක් වු කාන්තාවන්ගේ නියෝජනය උදෙසා කාන්තාවන් පත්කර නොගනී. එසේම පිරිමි මූලික සමාජය විශ්වාස කරන පිරිමින් විසින් කාන්තාවන් නියෝජනය කිරීම නිසා රටට සිදුවු හානියේ තරම කියා නිම කල නොහැකිය. 

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ වැනි සූක්ෂම නායකයෙකු කාන්තාවන්ගේ ඡන්දය කිසිම දේශපාලන පදනමකින් තොරව රවටා ලබාගන්නා තත්වයකට පත්වුයේ මෙම කාන්තා දේශපාලන නියෝජනයේ තිබු දීර්ඝකාලීන දුර්වලතා නිසාය.

එක්සත් ජාතික පක්ෂය විටින් විට කාන්තා නියෝජනය ඉහළ දැමීමට උත්සාහ කළ ද එය එක්තරා ආකාරයක බලවේගයන් මගින් හැම අවස්ථාවකම පාහේ පහළට ඇද දමනු ලැබීය.

ආගම, කුලය හා ජාතිය තරන්ම ස්ත්‍රී පුරුෂ භාවය ද බෙදා වෙන් වුණු ප්‍රතිගාමී අදහසක් බවට අද වන විට පත්වී තිබේ. මුළු ලෝකයම ස්ත්‍රී පුරුෂභාවය අතාරින රටවල් බවට පත්වෙද්දී ලංකාව වැනි පසුගාමී සමාජ වල ස්ත්‍රී පුරුෂ භාවය තදින් සලකනු ලබන තත්වයක් බවට පත්ව තිබේ. ලාංකික සමාජයේ උසස් අධ්‍යාපන අවස්ථාව වැඩි වැඩියෙන් කාන්තා පාර්ශවය ලබා ගන්නා අතර රටේ රාජ්‍ය පරිපාලන ඉහළ තනතුරු බොහොමයක අද වන විට නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන් ය. නමුත් දේශපාලනයේදී කාන්තා සහභාගිත්වය ඉතා අඩු ප්‍රතිශතයකින් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් සම්බන්ධ කරගැනීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ දක්වන අඩු උනන්දුව නිසාය. එය කෙතරම් බරපතළ තත්ත්වයක් බවට පත්වී ඇත්ද යතොත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණයේදී හා පලාත් පාලන හා පලාත් සභා මැතිවරණයේ දී ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව සියයට තිහක් වනතුරු කාන්තාවන් ඉදිරිපත් කළ යුතු බවට ව්‍යවස්ථාව මගින් යෝජනා කර තිබේ. එය එක්තරා ආකාරයකට ලංකාවේ කාන්තා දේශපාලන සහභාගිත්වය ඉහළ යාමට උපයෝගී වුවද. මේ රටේ පිරිමි හා දේශපාලන ක්ෂේත්‍රයෙන් නිරතවන්නන්ගේ අවංක උනන්දුවක් ඒ වෙනුවෙන් තිබේද යන්න තවමත් සැක සහිතය.

විශේෂයෙන් කාන්තාවන් තුළ ද ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීමේ හෝ දේශපාලන ක්‍රියාවලියේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අඩු උනන්දුවක් පවතී. විශේෂයෙන්ම එවැනි කාන්තාවන්ට අපහාස කිරීමට දේශපාලනයේ නිරත වන පිරිමි දේශපාලනඥයින් දිග දිගටම කටයුතු කිරීම ද එක් හේතුවකි. මෙහිදී මට මතක් වන්නේ රෝසි සේනානායක මැතිණිය දේශපාලනයට පිවිසි මුල් යුගයේදී එතුමියට විමල් වීරවංශ වැනි ග්‍රාම්‍ය දේශපාලකයින් විසින් ලන්සි පැපොල් කියමින් සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව තුලදී අපහාස කිරීමයි. සැබවින්ම රෝසි සේනානායක වැනි ධෛර්යවන්ත කාන්තාවක් එම තත්ත්වය ඉවසාගෙන සිටියා මිස සාමාන්‍ය කාන්තාවක් නම් දේශපාලනය අතහැර යනු ඇත. විමල් වීරවංශ වැනි ග්‍රාම්‍ය දේශපාලන නායකයින් දිගින් දිගටම රෝසි සේනානායක හා වෙනත් කාන්තාවන් වෙනුවෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමට එරෙහිව රට තුළ විශාල මතයක් ගොඩනැගීමද විශේෂයෙන් ප්‍රසිද්ධ රැස්වීම්වලදී කාන්තාවන්ගේ ස්ත්‍රී භාවය ට අභියෝග කිරීම පොදු ජන එක්සත් පෙරමුණ හා විමල් වීරවංශ වැනි අශිලාචාර දේශපාලනඥයින්ගේ ප්‍රධාන වැඩපිළිවෙළක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය මත කාන්තාවන් දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අඩු උනන්දුවක් දක්වයි. එමගින් රටට කාන්තා සහභාගීත්වය ප්‍රතිපත්ති සම්පාදනයට අහිමි වීමෙන් විශාල හානියක් සිදු ව ඇති බව මාගේ පෞද්ගලික අදහසයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ලෝකයේ ශීලාචාර සමාජයේ ඇති කතිකාවට අනුව කාන්තාවක් වූ පලියට වෙනස් කොට සැලකීමට ඇති අයිතිය සම්පූර්ණයෙන් අහෝසි කොට තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ ගෘහණියන්ගේ සිට සියලුම වෘත්තිකයන් දක්වා සෑම ස්ථානයකම සෑම අවස්ථාවකම කාන්තාවක් වීම නිසා වෙනස් කොට සලකනු ලැබේ .එය කිසිම අවස්ථාවක කාන්තාවට වාසි සහගත සතුටුදායක ආකාරයෙන් සිදු නොවන අතර ඒ සෑම අවස්ථාවකම කාන්තාවක් වීම නිසාම සමාජය තුළ පීඩනයට හා අසාධාරණයට ලක්වන අවස්ථාවන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි වේ .

මා පෞද්ගලිකව විශ්වාස කරනු ලබන්නේ කාන්තාවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට මීට වඩා ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ නම් රටේ අනාගතය මීට වඩා බොහෝ සුබදායි වීමට ඉඩ තිබේ. ඊට ප්‍රධාන හේතුව නම් කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය මේ රටේ දේශපාලනය මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය සුබදායී තලයකට පැමිණීමට ඉඩ තිබේ. උදාහරණයක් හැටියට රාජ්‍ය සේවයට කාන්තාවන්ගේ සහභාගීත්වය විශාල වශයෙන් ඉහල ගොස් තිබෙන  අතර එමගින් රාජ්‍ය සේවයේ අල්ලස, දූෂණය අකාර්යක්ෂමතාවය දුරු වී තිබෙන බව මාගේ පෞද්ගලික මතයයි. කාන්තාවන් අද රාජ්‍ය සේවයේ සෑම මට්ටමකම තනතුරු දරයි. රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන ප්‍රධාන බලවේගය අද කාන්තාවන්ය. එම නිසා ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගී කරගත යුතු බව යථාර්තවාදී අදහසකි.

අපේ සමාජයේ අරුම පුදුම තත්වය නම් දරුවන් හැදීම හා මේ රටේ සමාජය අද තිබෙන තත්ත්වයට පත්කිරීමට කාන්තාවන්ට වගකීම පවරන පිරිමින් හා එම දරුවන් ද වැඩිහිටියන් වූ පසුව කාන්තාවන් මේ රට මේ රටේ දේශපාලනයට සම්බන්ධ වීමට සුදුසු නොවන පිරිසක් බවට විශ්වාස කිරීමයි. එම නිසා මෙම තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු වේ.

එසේ නොවුනහොත් වසර 2500ක් තිස්සේ කුවේණියට තිබු භීතිය අප සමාජය විනාශ කර දමනු ඇත. 

Back to Home page