Colombo Telegraph

රනිල් පරාජය කළහැක්කේ කෙසේද?

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාව වැනි ඉහල දේශපාලන සාක්ෂරතාවයක් හා උනන්දුවක් ඇති රටක ආණ්ඩුවක පැවැත්ම තීරණය කරනුයේ එම රටේ වාසය කරන ජනතාවගේ ඕනෑ එපාකම්වලට අනුවය. එබැවින් එවැනි සමාජයක් සහිත රටක දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් හා මතහසුරුවන්නන්හට ඉහල වටිනාකමක් ලැබේ. එසේම එවැනි සමාජයක් සහිත රටක ජනමාධ්‍ය සුවිශේෂී තත්ත්වයක් උසුලනු ලබයි.

මේ නිසාම ශ්‍රී ලංකාවේ වර්ථමාන දේශපාලන තත්ත්වය හා අනාගතය ගැන විමසා බැලීමේදී අපට පෙනීයන්නේ පවතින ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාකාරිත්වයයි. එම ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එක්අතකින් පක්ෂ අභ්‍යන්තරයේ නොඉවසිලිමත් බවක් වර්ධනයවී ඇති බවද පෙනීයයි. ඒ පක්ෂයේ කේඩරයෙන් පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ නායකයින්ගේ සිට ජාතික මට්ටමේ නායකයින් දක්වා එල්ලවෙමින් පවතින අභ්‍යන්තර පීඩනය එහි අවසාන නැවතුම්පල වන රනිල් වික්‍රමසිංහ දක්වා එල්ලවීමයි.

රජයේ රැකියා පාක්ෂිකයින්ට ලබාදීම, රජයේ කොන්ත්‍රාත් පක්ෂයට හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් පලවාහැරීම වැනි යෝජනාවන් පදනම්කොටගෙන පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන මෙම උණුසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බරපතල ලෙස ගෙනඇති බව මාගේ විශ්වාසයයි. නමුත් ජනවාරි 08 වනදාත්, අගෝස්තු 17 වනදාත් මේ රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදුන්නේ පාක්ෂිකයින්ට අවිධිමත් ලෙස රැකියා ලබාදීමට හෝ රජයේ කොන්ත්‍රාත් නුසුදුස්සන්ට ලබාදී රජයට පාඩු සිදුකිරීමට නොව වඩාත් සාධාරණ ක්‍රමවේදයන් මත ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටය. එහිදී අගමැතිවරයා ජනවරමට අනුව කටයුතු කිරීමට උත්සහ කරන අතරම පක්ෂයේ පීඩනය කලමනාකරණය කිරීමටද උත්සහ කරයි. මන්ද පාක්ෂීකයා ඡන්දපොලට ගෙනයෑම ඕනෑම මැතිවරණයකදී පක්ෂයක් මුහුණදෙන ප්‍රධානතම අභියෝගයකි. එම අභියෝගයට එක්සත් ජාතික පක්ෂය මුහුණදෙමින් සිටින අතර එහි සාර්ථකත්වය මත රනිල් වික්‍රමසිංහගේ පැවැත්ම තීරණය වනු ඇත.

එය එසේ වුවද අසාධාරණ ලෙස රැකියා ලබාදෙමින් පක්ෂ අභ්‍යන්තරයේ කේඩරවරුන් කොන්ත්‍රාත්වලින් මුදල් ගසාකමින් අපකීර්තියට පත්වුවහොත් එමගින් විශාල හානියක් පක්ෂ යාන්ත්‍රණයට සිදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය මට්ටමේ නායකයින්ගේ හොර ලේබලය අදත් සෝදා පිරිසිදුකල නොහැකි පාරාවළල්ලක් බවට එම පක්ෂය තුළ පත්වී තිබේ. පසුගිය ආණ්ඩුව කාලයේ බැසිල් රාජපක්ෂ විසින් ග්‍රාමීය මට්ටමේ නායකයින් වෙත බෙදාදෙන ලද ඊනියා සංවර්ධන ප්‍රතිපාදන ගසාකෑම් නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය මට්ටමේ යාන්ත්‍රණය හොරුන්, දූෂකයින් හා රස්තියාදුකාරයින්ගෙන් පිරීගිය එකක් බවට පත්ව තිබේ. එම නිසාම කවුරුන් කෙසේ කීවත් මැතිවරණයකදී මධ්‍යම පාන්තික හා මධ්‍යස්ථ ඡන්ද දිනාගැනීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතී. රනිල් වික්‍රමසිංහට අවශ්‍යවන්නේ එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණයෙන් පිරිසිදු, විශ්වාස කළහැකි, මධ්‍යම පන්තිය හා ගණුදෙණු කළ හැකි, මධ්‍යස්ථ ඡන්දවලට කතාකළහැකි යාන්ත්‍රණයක් ලෙස පවත්වාගැනීමයි. එමනිසා පක්ෂ අභ්‍යන්තරයේ උණුසුමට මැති ඇමතිවරු විසදුම් සෙවිය යුතු අතර අපේක්ෂාකරන පරිදිම පක්ෂ යාන්ත්‍රණය ජනතාවට විශ්වාස කළහැකි, පිරිසිදු, වැදගත් මට්ටමින් පවත්වාගත යුතුයැයි රනිල් වික්‍රමසිංහ සිතයි. රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට කවුරුන්හෝ සිතන්නේනම් කළයුතු එක් ව්‍යාපෘතියක් වන්නේ එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය බිම්මට්ටමේ සිට ඉහලට අන්ත දූෂිත, රස්තියාදුකාර, විනාශකාරී එකක් බවට පත්කිරීමයි. එසේ නොවනතාක්කල් ඉදිරි දශකය තුළ එක්සත් ජාතික පක්ෂයට බලය හෙබවිය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල ආණ්ඩුව සමග කටයුතු කිරීම අවාසිසහගත ලෙස පෙනුනේ පක්ෂයේ කේඩරවරුන්ට ආණ්ඩුවේ ලාභ ප්‍රයෝජන ලබාගැනීමට ඇති සීමාකම්වල ඇති අර්ථයෙනි. එසේ නොමැතිනම් ආසන 105ක් ගත් එක්සත් ජාතික පක්ෂයට ආසන 150ක් සහිත තුනෙන් දෙකක බහුතරයක් සහිත බලවත් ආණ්ඩුවක් ලැබී තිබේ. රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය පරාජයකිරීමට කවුරුන් හෝ සිතන්නේනම් කළයුතු අනෙක් කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට තල්ලුකිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග කටයුතුකිරීම මගින් දුර්වල වන්නේ එක්සත් ජාතික පක්ෂය නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම යතාර්ථය එක්සත් ජාතික පක්ෂයේ කේඩරවරුන් විසින් හදුනාගත යුතුය.

දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද පදනම මුලුමනින්මපාහේ ගණුදෙණු කරනුයේ එක්සත් ජාතික පක්ෂය සමගය. මහින්ද රාජපක්ෂ රජයේ ජාතිකවාදී ප්‍රතිපත්ති නිසාවෙන් සිංහල බෞද්ධ ඡන්ද 70% යි 30% ට බෙදුනු අවස්ථාවේ ඉතාම අපහසු අඩියකට පක්ෂය වැටී තිබූ එම මොහොතේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සියළුම ජාතීන්ට, සියළුම ආගම්වලට ගණුදෙණු කළහැකි, එම පක්ෂයේ මූලික හරයන්ට අදාලව පවත්වාගෙන ගියේය. පක්ෂ අභ්‍යන්තරයෙන් විශාල පීඩනයක් එල්ලවද්දී කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය බහුවාර්ගික හා බහුආගමික පීල්ලෙන් පිටතට ගෙනඒමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 08 වනදා නැවත බලය ලබාගත්තේය. කාටහෝ රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරාජය කිරීමට අවශ්‍යනම් කළයුත්තේ හැකිතාක් ඉක්මනින් පක්ෂයේ මූලික පදනමෙන් මිදී රටේ ජාතික සංහිදියාවට හානිවන දේශපාලන ව්‍යාපෘතිවල නිරතවීමයි. එසේ නොවනතාක්කල් ඉදිරි දශකය තුළ කවුරු මොනවා කිවුවත්, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන කුමන ආකාරයකට කටයුතු කළත්, එක්සත් ජාතික පක්ෂයත්, රනිල් වික්‍රමසිංහත් බලයේ සිටිනු ඇත.

විද්‍යුත් මාධ්‍ය හා රටේ සාම්ප්‍රධායික මාධ්‍යට රටේ ජනමතයට කළහැකි බලපෑම සීඝ්‍රයෙන් අහෝසිවෙමින් යන අතර සාම්ප්‍රධායික මාධ්‍ය ආයතනද එම ආයතන පවත්වාගෙනයාමේ විශාල අරගලයක නිරතවසිටී. ඔවුන්ට ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටළු රාශියකට මුහුණදීමට සිදුවීතිබේ. එයට ප්‍රධානතම හේතුව සමාජ ජාලා වෙබ්අඩවිවල නැගීසිටීමයි. ඉතිහාසයේ කවරදාකටත් වඩා අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීඝ්‍රයෙන් වර්ධනයවී, සරලවී ඇති මොහොතක සමාජ මාධ්‍ය රටේ ජනගහනයෙන් මිලියන 4ක් භාවිතකිරීමට ආරම්භකර ඇති අතර 2020 වෙද්දී එය මිලියන 8ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කරඇත. මිලියන 22ක් ජීවත්වන රටක මිලියන 8ක් යනු විශාල සංඛ්‍යාවක් වන අතර රටේ දැනුම් තේරුම් ඇති සියළුමදෙනා මෙම මිලියන 8ට ඇතුලත්වේ. එබැවින් කාටහෝ රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරාජය කිරීමට අවශ්‍යනම් කළයුත්තේ සමාජ ජාලා හා වෙබ්අඩවිවල දේශපාලන සහභාගීත්වය පිළිබද අඩු තක්සේරුවකින් කටයුතු කිරීමයි.

Back to Home page