Colombo Telegraph

රාජපක්ෂවරුන්ගේ බුද්ධාගමට වින කැටීම

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

බුදු දහම පවතින සියළුම සමාජයන්හි එම ධර්මයේ ස්ථාවරත්වය රඳා පවතිනුයේ කුළුණු තුනක් මතය. එනම් බුදුන්, සඟුන් හා ධර්මය යන නිශ්චිත ස්ථාවර කුළුණු තුන මතය. පාලියෙන් බුදුදහම අදහන සියළුම දෙනා පාහේ බුද්ධං සරණං ගච්ඡාමී, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් සරණ යනුයේ මෙම කුළුණු තුන කෙරෙහිය.

විශේෂයෙන් ථෙරවාදී බුද්ධාගම පවතින ශ්‍රී ලංකාව, මියන්මාරය, කම්බෝඡය හා තායිලන්තය යන රටවල බුද්ධාගමේ පදනම වසර 2500කට පෙර බිහිවු දර්ශනයේ පදනම වනුයේ බුද්ධ, ධම්ම, සංඝ යන ආයතනයන්ගේ නිශ්චිත ගෞරවය හා පැවැත්මය. නමුත් ජපානය වැනි රටවල පවතින මහායාන ආගම තුල එම ආගමේ පැවැත්ම තීරණය වන්නේ බුද්ධ හා ධර්මය මතයි. සංඝ සමාජය කෙරෙහි ජපානය වැනි සමාජයක විශේෂ ගෞරවයක් හිමි වී නැති අතර ඒ මත එම රටවල අදහන මහායාන බුද්ධාගමේ පැවැත්ම තීරණය වන්නේද නැත. එබැවින් ශ්‍රී ලංකාවේ සමාජය තුල බුදුන්ට ඇති ගෞරවය​ ධර්මයට ඇති ගෞරවය​ සංඝයාට ඇති ගෞරවය පවත්වා ගෙන යායුතු වෙයි. මන්ද යත් ථෙරවාදී බුද්ධාගම පවතින අප රටතුල මෙම කුළුණු තුනේම කාර්ය කොටස බුද්ධාගමේ පැවැත්මට විශාල වැදගත් කමකින් යුක්ත වෙයි.

ලංකාවේ බෞද්ධයින් සියළුම දෙනා පාහේ බුදුන්ට විශාල ගෞරවයක් භක්තියක් හා බියක් දක්වන අතර ධර්මය කෙරහිද එසේම වේ. එසේම සංඝයා කෙරෙහිද බෞද්ධයින් තුල විශාල ගෞරවයක් භක්තියක් හා බියක් තිබේ. මෙහිදී බුදුන් හා ධර්මය භෞතික ලෙස ශ්‍රී ලංකික බෞද්ධයාට හෝ කිසිවකුට මුණු නොගැසුණු නමුත් සංඝයා වහන්සේලා එදිනෙදා ජීවිතය තුල බෞද්ධයාට මුණ ගැසේ. එම මුණ ගැසීම හා අන්තර් සම්බන්ධය තුල ඇතිවන ගෞරවය​ සමාජය හා සංඝ සමාජය අතර පැවැත්ම සම්බන්ධයෙන් තීරණය වේ. වසර 2500ක් පැරණි බුද්ධ දර්ශනය තුල සංඝයා වහන්සේලාගේ පැවැත්ම පිළිබඳව හොඳීන් විග්‍රහ කර තිබේ. බුදු දහමේ ඇති සියළුම සුත්‍ර පිටක වල මුලික පරමාර්ථය සංඝ සමාජයේ විනය සකස් කිරීම හා කාර්ය කොටස සමාන්‍ය සමාජයෙන් වෙන්කර දැක්වීමයි. බුද්ධ දර්ශණ​යේ පැවැත්මට සංඝ සමාජයේ ස්ථාවර භාවය පිළිබඳව වැදගත් කම අවුරුදු 2500 කට පෙරත් අදත් හෙටත් බෞද්ධ වියතුන් හා බෞද්ධ නායකයින් විසින් සමාජයටත් රාජ්‍යයටත් සංඝයා වහන්සේලාටත් පෙන්වා දී තිබේ.

මෙවැනි තත්ත්වයක් තුල ලංකාවේ සංඝ සමාජය දැනට වසර දහයකට පහලොවකට තිබුණාට වඩා අද බොහෝ සේ පිරිහී තිබේ. මීට දශකයකට එපිට සංඝයා වහන්සේ නමක් යනු සාමාන්‍ය සමාජයට මහත් ආශ්වාදයක් ගෞරවයක් ගෙනත් දුන් සමාන්‍ය සමාජයට වඩා ඉහලින් වැජබුණු සමාජ කොටසක් විය. එවකට සිවුරුදර සංඝයා වහන්සේ නමක් ගිහි නිවසකට වැඩම කරන්නේ නම් ඒ පාංශු කූලයක් දාන මාන පිංකමක් හෝ පිරිත් පිංකමක් සඳහාමය. ස්වාමීන්වහන්සේ නමක් විහාරස්ථානයෙන් එළියට වැඩම කරන්නේ නම් මුළු දායක ගම්මානයම එය දැනගන්නා අතර එම නිශ්චිතවම ස්වාමීන්වහන්සේ ගමන් කරනා දිශාව ගැමියෝ අනුමානයෙන් නිශ්චය කරති. ස්වාමීන්වහන්සේ අදාළ ස්ථානයට වඩින විටත් එම ස්ථානයේ ප්‍රජාව සුදු රෙදි අතුරා ආසනයක් පනවා පා දෝවනය කොට අහළ පහල ගෙවල් හත අටකට පණිවුඩ යවා උපාසක උපාසිකාවන් ගෙන්වා සංඝයා වහන්සේ හා අදහස් හුවමාරුවට හා තෝල්ක කටයුතු වලට එම මොහොතේ සොයා ගත හැකි බුද්ධිමත්ම ගැමියා ගෙන්වා සුදානම්ව සිටී. ස්වාමීන්වහන්සේගේ වැඩම කිරීම එම පවුලේ හෝ එම පරම්පරාවේ වසර ගණනාවක නොමැකෙන මතකයක් ඉතිරි කර යයි. නමුත් පසුගිය දශකය තුල සංඝ සමාජය සම්පුර්ණයෙන් වෙනස් විය. අද නිවසක් ඉදිරිපිට ත්‍රීවිලරයක් නැවතුවහොත් නෑදෑයෙක්, චණ්ඩියෙක් සමහරවිට හාමුදුරුනමක් නිවසට පැමිණෙනු ඇත. එසේ පැමිණ දොරකඩ හිටගෙනම පැමිණි රාජකාරිය හෝ බිස්නස්එක කථා කර ත්‍රීවිලරයේම නැගී යනු ඇත. අද සංඝයා වහන්සේලාගේ කාර්ය කොටස ගෞරවය කෙතරම් විනාශ වී ඇත්ද යත් සංඝයා වහන්සේලා හාඩ්වෙයාර්වල, ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල, ටෙලිෂෝප්වල, ගරාජ් වල දේශපාලන රැස්වීම්වල ත්‍රීවිලර් රථගාල තුල බස්පොලේ දුම්රිය පොලේ දේශපාලන රුස්වීම් වල රණ්ඩු සරුවල් වන තැන්වල නිවාඩු නිකේතන වල නිතර දැකිය හැකිය. තවමත් සංඝයා වහන්සේ නමක් දැකගත නොහැක්කේ නීතියානුකූල නොවන ගණිකා නිවාසයක පමණි. පෞද්ගලිකව මා හට ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක් සවස තුනහමාරට බාර් එකකදී ගිලන් පස සඳහා පැමිණ හමුවී තිබේ.

මෙම සංඝ සමාජයේ පිරිහීමට මුලික වශයෙන්ම වගකිව යුත්තේ රාජපක්ෂ රෙජීමයයි. මන්ද යත් එම දස වසර තුල දේශපාලන උපකරණයක් ලෙස බුද්ධාගම භාවිතා කිරීම නිසාවෙන් බුද්ධාගම නියෝජනය කරනු ලබන ප්‍රධාන සාමාජ කණ්ඩායම්වල සංඝයා වහන්සේලාට අනවශ්‍ය දේශපාලන බලයක්ද ධනයක්ද ලබා දී දේශපාලන අතකොළු ලෙස භාවිතා කිරීමෙන් සංඝ සමාජය කෙරෙහි තිබු ගෞරවය සැලකිය යුතු ප්‍රමාණයකින් විනාශ කරන ලදී. නමුත් අප වර්තමාන ගම්වල සිටින දරුමල්ලන් අධ්‍යාපනය ලබන මධ්‍යම පාංතිකයින් සිඝ්‍රයෙන් පන්සලෙන් ඉවත්වී ඇති අතර බොහෝ දෙනෙක් මෙම පන්සල් වල සංඝයා වහන්සේලා සමග අර්බුද ඇතිකරගෙන තිබේ. එයට හේතු රාශියක් තිබුණද ප්‍රධානතම එක් හේතුවක් වන්නේ පංසලේ ලවුඩ්ස්පීකරයෙන් බලහත්කාරයෙන් බණ පිරිත් ප්‍රචාරය කිරිමයි. බොහෝ විහාරස්ථාන වල පාන්දර හතරට පටන් ගන්නා බණ, පිරිත්, කවි බණ අවසන් වන්නේ උදෑසන නමයටය. නැවතත් සවස පහට හයට පටන්ගන්නා එම ශබ්ද අවසන් වන්නේ රාත්‍රී නවයටය. රුකියාවල යෙදෙන මධ්‍යම පාංතිකයින් හට හා ඔවුන්ගේ දරුවන්ට පොතක් පතක් කියවීමට ටෙලි නාට්‍යයක් බැලීමට පවුලේ කටයුත්තක් කතා කර ගැනීමට හෝ අඩුම තරමේ රමණයේ යෙදීමට අවස්ථාවක් පන්සල විසින් අහිමි කොට තිබේ. මන්ද ශ්‍රී ලාංකික බෞද්ධ කුල කාන්තාවක් පසුබිමෙන් පිරිත් ඇසෙද්දි ස්වාමියා හා රමණය කරන්නේ කෙසේද? ගිහි සමාජයට හොඳීන් ජීවත්වීමට මග පෙන්වීමට සිටි සංඝ සමාජය අද ගිහි සමාජය මතට කඩා වැටී තිබේ. එකිනොකාගේ ගෞරවය භක්තිය සම්පුර්ණයෙන් විනාශ වී තිබේ. අද දේශාපාලඥයින් කල්පනා කරනුයේ සංඝ සමාජය යනු රුපියල් ලක්ෂයකට දෙකකට තම දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කල හැකි සමාජ උපකරණයක් ලෙසයි. මෙයට දශක දෙකකට පෙර එය බෙන්ස් කාර් රථයක් වු අතර අද එය රුපියල් ලක්ෂයක දෙකකට බැස තිබේ. හෙට එය රුපියල් පන්සියේ දහසේ ලංසුවට අඩුවන බව මාගේ තක්සේරුවයි.

එවිට අපිට බුරැමයේ කාම්බෝඡයේ වියට්නාමයේ මෙන් සිගරට් බොන අරක්කු බොන, රෑට ගෙවල්වලට එබිකම් කරන, එසේ කොට ගැමියන්ගෙන් ගුටිකන සංඝ සමාජයක් දැකිය හැකි වනු ඇත. එදාට මේ රටේ බෞද්ධයෝ රාජපක්ෂලාට හෙන ඉල්ලනු ඇත. ඒ බුද්ධාගමට සිදුකරන ලද විනාශයටයි.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Back to Home page