Colombo Telegraph

‘පන්සලට ගිනි තිබ්බ බෞද්ධයෝ’: පන්සල් ගිනි තැබීම හා ශාසනයේ දේශපාලනීකරණය

තිලක් ගමගේ

පසුගිය සැප්තැම්බර් 22 රාවය පුවත්පතේ ” පන්සලට ගිනි තිබ්බ බෞද්ධයෝ” යන හිසින් ටිරන් කුමාර බංගම ආරච්චි විසින් ලියන ලද ලිපිය මගින් බුලත්සිංහල පන්සල් ගැටළුව පිළිබඳ මෙතෙක් දුටු මාධ්‍ය වාර්තාකරණවලට වඩා විචාරශීලී ප්‍රවේශයකින් විග්‍රහ කිරීමට උත්සාහ දරා තිබුණි. කෙසේ නමුත්, එම ලිපියේ යම් යම් තොරතුරු මෙතෙක් පළ වූ මාධ්‍ය වාර්තාකරණයන් මත පදනම් වන අතර මෙම ගැටළුවේ සංකීර්ණතාවය වටහා ගැනීම සඳහා අදාළ ගමේ නිරීක්ෂකයෙකු වශයෙන් මාධ්‍ය වාර්තාකරණයෙන් සහ ප්‍රචාරණයෙන් වාරණය වූ තොරතුරු ඔස්සේ බුද්ධ ශාසනය හා බැඳි නව සමාජ දේශපාලන පෙළගැසීම් ගණනාවක් හඳුනා ගනිමින් බූදුන් මග යන භික්ෂූන් සහ ජාතිවාදී මග යන භික්ෂුන් යන ටිරන්ගේ මූලික සංකල්පීයකරණය තව දුරටත් පුළුල් කිරීමට උත්සාහ කිරීම මෙම ලිපියේ අරමුණයි.

File photo

මෙම සිද්ධියට සම්බන්ධ පැරණි විහාරස්ථානය ඈගල්ඔය සුනන්දාරාමය වන අතර අවුරුදු  89 ක් පැරණි එය මල්වතු පාර්ශවයට අයත්ය. එහි විහාරාධිපතිවරයා පස්යොදුන් කෝරළයේ ප්‍රධාන සංඝ නායකවරයායි. එමෙන්ම මෙම ප්‍රදේශයේ බොහෝ විහාරස්ථාන මල්වතු හෝ කෝට්ටේ පාර්ශවයට අයත්ය.මේ භික්ෂූන් වහන්සේලා තම සාම්ප්‍රදායික ආගමික කටයුතු වලට මුල්තැන දුන් අය වෙති. මෙම නව පන්සලට සම්බන්ධ සීලරතන නම් තරුණ භික්ෂුන් වහන්සේ පැරණි විහාරස්ථානයේ අවුරුදු 4 ක් පමණ වැඩ විසූ අයෙකි. උන්වහන්සේ රට පුරා මාපිය වන්දනා නම් වැඩ සටහනක් මෙහෙයමින් පිරිසක් ගොඩනගාගෙන ඇති අතර මෙම වැඩ සටහන් සඳහා බොහෝ විට පොලිස් නිලධාරීන් ද අනුග්‍රහ දක්වති. නව පන්සලේ සහයට ඉදිරිපත් වූ පාහියන්ගල ආනන්ද හිමියෝ ජාතික දේශපාලන කටයුතු තම මූලික කාර්යය සේ ගත් හිමි නමක් වන අතර පාහියන්ගල විහාරස්ථානයෙන් වෙන්ව පෞද්ගලික කුටියක් ඉදි කරගෙන වාසය කරයි. එමෙන්ම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හිමියෝ දේශපාලන කටයුතු වල සක්‍රීයව නියැලුන ආන්දෝලනාත්මක භික්ෂුවක් වන අතර තම විවෘත කිරීමකට ජනාධිපතිවරයා නොපැමිණියැයි මුට්ට කර ගසන්නෙකුට සාටකයක් පලඳවා එය කරවීමට තරම් එඩිතර විය.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා පැරණි පන්සල ඇති ගමේ පදිංච්කරුවෙකු වන අතර ඔහු හා ආසනයේ විහාරස්ථාන අතර සම්බන්ධය ප්‍රකටය. නව පන්සලේ අධාරකරුවෙකු වන ඇමතිවරයා ආසනයෙන් පිට පදිංචිකරුවෙකු වන අතර ඔහු හා සභාපතිවරයා අතර කාලයක් තිස්සේ දේශපාලන කඹ ඇදීමක් තිබේ. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඇමතිවරයා සභාපතිවරයාට එරෙහිව උප සභාපතිවරයාට සහය දුන් අතර ඔහු මනාප ඡන්ද 5000 ක් ලබා ගනිද්දී සභාපති වරයා 23000 ක් ලබා ගත්තේය. මේ නිසා මෙම ජනප්‍රිය සභාපතිවරයා හා අනෙක් පසින් ඇමතිවරයා මුල් කරගෙන ප්‍රදේශයේ දේශපාලන කේන්ද්‍ර දෙකක් නිර්මාණය වෙමින් තිබූ බව පැහැදිළිය. මෙම පන්සල් ගැටළුව ඇති වන්නේ මෙම පසුබිම තුළය.

මෙහිදී තීරණාත්මක සිද්ධිය වන්නේ මෙතෙක් අප්‍රකාශිතව සංඝයා අතර පමණක් පැවති අභ්‍යන්තර ගැටළුවක් ක්‍රම ක්‍රමයෙන් ගිහියන් සහ මහජනයාට ද සම්බන්ද ගැටළුවක් බවට පත් කිරීමට දරණ ලද උත්සාහයයි. ඇසල පෝය දිනයේ ඈගල් ඔය ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වූ අය සහ තවත් අය මහ පාරට පැමිණ සීලරතන හිමියන්ට විහාරස්ථානය ලියා දෙන්නැයි උද්ඝෝෂණයක් පැවැත්වීමත් සමග මෙය දේශපාලනීකරණයේ ආරම්භක අවස්ථාව උදාවිය. මේ පිළිබඳ විහාරධිපති නායක හිමියන්ගේ අදහස වූයේ ඇසල පෝය දිනයේ සිල් ඇත්තන් පාරට දමා උද්ඝෝෂණ පැවැත්වීම බරපතල ශාසන විරෝධී ක්‍රියාවක් බවත් ශාසනික සම්ප්‍රදායන් හා වත් පිළිවෙත් දේශපාලන ලෝකයේ ජනප්‍රිය උපක්‍රම මගින් හෑල්ලු කල නොහැකි බවත්ය. විහාරස්ථාන ලියා දීමේ හෝ පවරා දීමේ ක්‍රමයක් නොපවතින අතර සිදුවන්නේ විහාරාධිපතිවරයාගේ හෝ ගුරු හිමියන්ගේ ඇවෑමෙන් වැඩිමහල් ශිෂ්‍යයාට හිමිවීම බව පවසන උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන්නේ  මේ හිමිනම 2009 වර්ෂයේ හමුවී ඉන්නට තැනක් නැතැයි කී නිසා විහාරස්ථානය බලා තියා ගැනීමට අවස්ථාව ලබා දුන් බවයි. තවද නිකායෙන්, පාර්ශවයෙන් හා සඟ පරපුරෙන් පිට කෙනෙක් ශිෂ්‍යභාවයට බඳවාගැනීමට ද නොහැකි බවද දැක්වීය. මහජන උද්ඝෝෂණ මගින් සංඝ නීති වෙනස් කිරීමට උත්සාහ කිරීම නැගී එන දේශපාලන බුද්ධාගමේ ප්‍රවණතාවයක් විය හැක.

කෙසේ නමුත් මෙම සීලරතන ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ රැස්වීමක්  කැඳවා තමා විහාරස්ථානය හැර යන බවත් ඇමතිතුමා තමාට අසල වතුයායෙන් අක්කර දෙකක් ලබා දෙන බවත් එහි විහාරස්ථානයක් ඉදි කිරීමට තමාට උදව් කරන ලෙස ඉල්ලීය. නමුත්, අසල්වාසී සියළු විහාරස්ථාන මෙයට විරෝධය දැක්වූ අතර බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛනානුකූලව එහි අවසරයකින් හෝ ආසන්න විහාරස්ථාන වල අනුමැතියකින් තොරව එවැනි ඉදි කිරීමක් නීති විරෝධී බව දක්වමින් මේ පිළිබඳ ක්‍රියා කිරීමේ බලය ඇති ප්‍රාදේශීය ලේකම් හා ප්‍රාදේශීය සභාව වෙත පැමිණිළි කර තිබුණි. තවද, අදාළ වතුයායේ කළමනාකාරීත්වයද අයුතු ඇතුල්වීමක් පිළිබඳව පොලීසියට පැමිණිළි කර තිබුණි. සභාපතිවරයා පැවසුයේ තමා මෙම තත්වය තුළ චක්‍රලේඛනානුකූලව පොලීසියේ සහය ඇතුව මෙම අනවසර ඉදිකීරීම අත්හිටුවීමට උත්සාහ කලත් ඕ.අයි.සී.වරයා මෙම චක්‍ර ලේඛනය අදාළ වන්නේ අන්‍ය ආගම් සම්බන්ධයෙන් බව පවසමින් නිසි ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කල බවයි. නමුත් හාත්පසින්ම වෙනස් ලෙස ඉදි කිරීම් සඳහා පොලිස් ආරක්ෂාව ද සපයා තිබුණි.

කෙසේ නමුත්, මෙම සිද්ධිය දේශපාලනීකරණය වීම සහ ජාතිකකරණයවීම පරිපූර්ණ වූයේ මෙම නව ආගමික ස්ථානය එනම් එහි වූ ලී කුටි දෙක බැකෝ යන්ත්‍ර යොදා කඩා දැමීමට සභාපතිවරයා උත්සාහ කලේ යැයි මාධ්‍ය පිරිවරා ගත් උද්ඝෝෂණයක් ජාතික සංඝ සභාව, සිංහල රාවය ආදී සංවිධාන මැති ඇමතිවරුන් ප්‍රමුඛ කරගෙන ප්‍රාදේශීය සභා සභාපතිවරයාට එරෙහිව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පැවැත්වීමෙනි. මෙතෙක් අවිද්‍යමානව තිබූ සියළු බලවේග මේ මොහොතේ තම ප්‍රසිද්ධ දේශපාලන ක්‍රීඩාවට මුල පුරා සිටි අතර අදාළ ඇමතිවරයා ඔහුගේ හිතවතුන්ද තම පක්ෂයේම සභාපතිවරයාට එරෙහිව ප්‍රථම වතාවට මෙම ප්‍රසිද්ධ රංගනයට එක්වී තිබුණි. නමුත් සභාපතිවරයා පසුව තැබූ මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබුණේ එවැනි බැකෝ යන්ත්‍ර යැවීමක් කිසිවිටකත් සිදු නොවූ බවයි.

කෙසේ නමුත්,සත්‍ය වශයෙන්ම සංඝ ශාසනයේ අභ්‍යන්තර මෙන්ම සංකීර්ණ ගැටළුවක් දේශපාලනීකරණය කිරීමට නොහැකි තත්වයක් තුළ පන්සල් කඩන සභාපතිවරයෙක් පිළිබඳ ප්‍රබන්ධය තුළින් මේ බලවේග වල දේශපාලන අභිලාශ ප්‍රමාණවත් හා ඵලදායි ලෙස සන්ධානය කරවන සහ සක්‍රීය කරවන බාහිර සතුරෙක් නිර්මාණය කෙරුණි. හුදෙක් එක් විහාරස්ථානයක ශාසනික ගැටළුවක් වීරයා / දුෂ්ටයා ඇතුලත් ජාතික දේශපාලන ගැටළුවක් බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් එක රැයකින් ප්‍රබන්ධකරණය කෙරුණි. පන්සල් කඩන සභාපති දුෂ්ටයාට එරෙහිව සිංහල රාවයේ සහ මැති ඇමති වීරයෝ පෙළ ගැසුණු  ජවනිකාව සඳහා සියළු මාධ්‍යන්ට ආරාධනා කර තිබුණේ ඇමතිවරයාගේම මාධ්‍ය අංශය බව වාර්තාකරුවෝම පැවසූහ.

මේ ගැන කරුණු පැහැදිළි කිරීමට පසු දිනෙක සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර මේ සඳහා බොහෝ මාධ්‍ය සහභාගි වී සිටියත් මාධ්‍යන් තුළ ඒ සඳහා ප්‍රසිද්ධියක් ලබා දී නොතිබුණි. එමෙන්ම පිටස්තර සංඝයා ප්‍රදේශයේ ගැටළු වලට මැදිහත් වීම ගැනත් ප්‍රදේශයේ සංඝයාට අපහාස කිරීම ගැනත් පළාතේ සංඝනායක හිමිවරු, අධිකරණ සංඝනායක හිමිවරු, , ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමි, විහාරාධිපතිවරු දායක දායිකාවන් එක්ව ඈගල් ඔය සුනන්දාරාමයේදී මහා සංඝ සම්මේලනයක් පැවැත්වූ අතර එය මාධ්‍ය ආවරණය කලත් විකාශය කිරීම හෝ පල කිරීම කර නොතිබුණි. භික්ෂූන් වහන්සේලා මේ ගැන විමසූ විට වාර්තාකරුවන් ප්‍රකාශ කර තිබුණේ අදාළ ඇමතිවරයා කෝටිපති ව්‍යාපාරිකයෙකු හෙයින් මිලියන ගණනක දැන්වීම් ඔහුගේ ව්‍යාපාර වලින් ලැබෙන අතර එම නිසා  මේ පැරණි පන්සලේ ප්‍රවෘත්ති වාරණය වන බවයි.

කෙසේ නමුත්, නව ආගමික ස්ථානයක් ඉදි කරගෙන ගිය භික්ෂුන් වහන්සේ මුල් කරගෙන ඇතිවී තිබු සංකීර්ණ ශාසනික ගැටළු ගණනාවක් මෙහිදී නායක හිමිවරුන් හෙළිදරව් කළ අතර මේ බොහෝ තොරතුරු දේශපාලන භික්ෂුන්ගේ ජාතිවාදී බුද්ධාගමේ මඩ කිරීම තුළ ගිලී ගොස් තිබුණි. මේ භික්ෂූන් වහන්සේ උපසම්පදාව ලබා තිබුණේ බැල්ලන්තුඩාව විහාරාධිපති හිමියන් උපාධ්‍යයාය හෝ ආචාර්යවරයා වශයෙන් තබාගෙන වන අතර උපසම්පදාවෙන් පසු  අවුරුදු 5 ක් ආචාර්යවරයා යටතේ සිටිය යුතු වුවත් ගැටුමක් ඇති කරගෙන ආචාර්යවරයාගෙන් වෙන්වී ඇත්තේ නීතිඥයෙක් ලඟ දිවුරුම් ප්‍රකාශයක් පවා අත්සන් කරමිනි. එසේම මෙහි ඇති බරපතලම ශාසනික ගැටළුව වශයෙන් නායක හිමිවරුන් පෙන්වා දුන්නේ භික්ෂුන් වහන්සේ නමක් තම උපාධ්‍යාය ස්ථවිරයන්ගෙන් වෙන් වූ කල තමා අයත් වන සඟ පරපුරට, පාර්ශවයට, නිකායට සහ සංඝ ශාසනයට ඇති පෙළ හෝ සම්බන්ධය බිඳ වැටෙන බවත්ය. එවැනි භික්ෂූන් වහන්සේ නමකට නව පරපුරක් ඇති කිරීම හෝ මහන කර ගැනීම, පිරිවෙන් වලට සාමනේරවරුන් ඇතුල් කිරීම මෙන්ම එම භික්ෂූන් උපසම්පදා කිරීම කල නොහැකි අතර එය නීතිය මෙන්ම සම්ප්‍රදාය බව පෙන්වා දුන්හ. නීතිය මෙසේ තිබියදී මෙම තරුණ භික්ෂූන් වහන්සේ තමාගේ උපසම්පදාවෙන් අවුරුදු 5 ක් ගතවීමටත් පෙර කුඩා සාමනේරවරු 8 නමක් මහන කරගෙන ඇත්තේ විහාරාධිපතිගේ අනුමැතියකින් පවා තොරව බව හෙළිදරව් වූ අතර මෙම නායක හිමිවරුන් පෙන්වා දුන්නේ  මෙම තත්වය තුළ නෛතිකව ඔවුන් සාමනේරවරු නොවන බවත් සිවුරු දමාගත් ලමයින් පමණක් බවත් මෙය පරිවාසයට හෝ ලමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පවා මැදිහත් විය හැකි ගැටළුවක් බවයි.

එමෙන්ම, රයිගම් සහ හේවාගම් කෝරළවල ප්‍රධාන සංඝනායක, මල්වතු මහා විහාරයේ කර්මවාගාචාර්ය, පොකුණුවිට රජමහා විහාරාධිපති වනරතන නායක හිමියෝ මෙහිදී පෙන්වා දුන්නේ වත් පිළිවෙත් පිරීමකින් තොරව සිල් පිරීමක් නොවන බවත්, මහන කරන්නේ සහ උපසම්පදා කරන්නේ සම්ප්‍රදාය අනුව සහ ගුරුවරු ඇතුව බවත්  මෙමගින් පෙන්නුම් කරන්නේ භිකෂූන් වහන්සේගේ පරිහානිය බවත්ය. උන්වහන්සේ තවදුරටත් පෙන්වා දුන්නේ මෙය බුද්ධාගම තුළ ඇතිවී තිබෙන මූලධර්මවාදයක් බවයි. මෙවැනි භික්ෂූන් වහන්සේලා මෙවැනි විවිධ සමාගම් ආරම්භ කර ගුරුවරුන්ගෙන් වෙන්වී තමන්ට ඕනෑ අදහස් උදහස් ඇතිව බොහෝ දෙනා වසඟයට පත් කරගෙන නිසි අධ්‍යාපනයක් හැසිරීමක් නැතිව කටයුතු කිරීම නිසා බෞද්ධ ජනතාවත්, තමන්ගේ ආචාර්ය ප්‍රාචාර්යවරයන් ඔස්සේ ශාසනය රැකගත්  හාමුදුරුවරුත් අසරණ  වී ඇති බවයි. මෙම ගැටළුව පිළිබඳ මේ සියළු සංකීර්ණතා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයන්ගෙන් වසන් කෙරුණ අතර නව ආගමික  ස්ථානයේ එදිනම රැස්වීමක් කැඳවා පාහියන්ගල ආනන්ද හිමියෝ පැවසූයේ පැරණි පන්සලට පැමිණි භික්ෂූන් වහන්සේ ලා බඩගෝස්තරවාදී ගණින්නාන්සේලා බවත් ගිහියන්ගේ දානේ ටිකට සහ අටපිරිකරේට ගැති කම් කරන බවත්ය. මෙමගින් පැහැදිලි වනුයේ බුදුන් වහන්සේ නිවන කරා යන ගමනේ දී දෙසූ මූලික ධර්මයක් වන දාන, ශීල, භාවනා වැනි ත්‍රිවිඩ පුණ්‍ය ක්‍රියා පවා මෙම නව බුද්ධාගමේ තරුණ භික්ෂූන් පහත් දේ ලෙස සළකන බවයි.

මෙම නව බුද්ධාගමේ භික්ෂූන්ගේ මීලඟ දේශපාලන ඉසව්ව කරලියට නැගෙන්නේ පන්සල් ගිනි තැබීමේ සිද්ධියෙනි. මෙහි ලා සඳහන් කල යුතු විශේෂ දෙය නම් මෙම ගිනි තැබීම සිදුවූයේ මෙම භූමිය අයත් වතුයාය මගින් පැවරූ නඩුව අධිකරණයේ දී අසා ඉදි කිරීම් සහ ශබ්ද විකාශන භාවිතය තහනම් කිරීම දිර්ඝ කල දිනයේම රාත්‍රියේ වීමය. මේ සම්බන්ධයෙන් මේ ස්ථානයට පැමිණ සිටි ඇමතිවරයාගේ අනෙකුත් අයගේ  ඇඟිල්ල දික්වූයේ සභාපතිවරයාට සහ පැරණි පන්සලේ පාර්ශවයට වූ අතර ගමේ ජනයා දැන ගැනීමටත් පෙර මාධ්‍ය පැමිණ සිටි බවක් පෙනෙන්නට තිබුණි.  බොහෝ මාධ්‍ය වල ප්‍රධාන ප්‍රවෘත්තිය පන්සල්  ගිනි තැබීම වූ අතර මෙම ප්‍රවෘත්ති බැලූ බැල්මට කුපිත කරවන සුළු විය. මක්නිසාද ගිනි තබා තිබුනේ කුඩා ලෑලි කුටියක් නිසාය. එමෙන්ම, එක් ප්‍රධාන රූපවාහිනී නාලිකාවක මෙම පන්සල් ගිනි තැබීමේ ප්‍රවෘත්තිය විකාශය වුයේ පසුබිමින් පැරණි පන්සල වූ සුනන්දාරාමයේ රූප රාමු ප්‍රදර්ශනය කරමින් වූ අතර එමනිසා පිට ප්‍රදේශ වල අය සුනන්දාරාමයට ගිනි තබා ඇත්දැයි දුරකථනයෙන්  විමසන තත්වයක් ඇතිවී තිබුණි.

මෙයට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ ඈගල්ඔය ඇත්තේ එක පන්සලක් පමණක් බවත් අනවසර ඉදි කීරීම තුළ හටගත් ගින්න සහාපතිවරයාගේ චරිත ඝාතනය සඳහා රඟ දක්වන නාටකයක් බවත්ය. පැරණි විහාරථානයේ විහාරාධිපති නායක හිමියෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙය ඔවුන්ගේම අභ්‍යන්තර ක්‍රියා මාර්ගයක් බවත් අධිකරණය මගින් තහනම් කර ඇති තත්වයක් තුළ ගිනි තැබීමට මුවා වී පෞද්ගලික ඉඩමක යළි මෙම අනවසර ආගමික ස්ථානය ඉදි කිරීමට කරන උත්සාහයක් බවත්ය. කෙසේ නමුත්, ඇමතිවරයාගේ සහ අනෙකුත් අයගේ ආධාර මත අසල පෞද්ගලික ඉඩමක යළි ඉදි කිරීම් සිදු වූ අතර ඇමතිවරයා විසින් මෙම භික්ෂූන් වහන්සේට වායු සමනය කරන ලද කන්ටේනර් බහාලුමක් ලබා දුන්නේ  බුද්ධ ශාසනයට නව සම්ප්‍රදායක් හඳුන්වා දෙමිනි.

සියල්ල මෙසේ පෙළ ගැසෙද්දී තවදුරටත් මහපාරට නොබැස මේ දේශපාලන සෙල්ලමට මුහුණ දිය නොහැකි බව පවසමින් අසල්වාසී පැරණි විහාරස්ථාන වාසී සංඝරත්නය පළාතේ විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලා ද ,විශාල ජනකායක් ද සමගින් මේ ශාසනික ව්‍යවසනයට වගකිව යුතු නිළ බලධරයන්ට එරෙහිව ඈගල් ඔය නගරයේ  උද්ඝෝෂණයක් පවත්වා පැරණි පන්සලේ උපවාසයකට වාඩි වූහ. ආවරණිත කිසිදු විද්‍යුත් මාධ්‍යකින් මෙය ද ප්‍රචාරය නොවුණි. මෙයට ක්ෂණිකවම ප්‍රතිචාර දැක්වූ නව පන්සලේ අය සිංහල රාවයේ භික්ෂූන් ද, බස් රථයකින් පැමිණි එහි මැර හමුදාවද සමගින් පැරණි විහාරස්ථානය දෙසට පෙළපාලියකින් මාධ්‍ය ද  පිරිවරාගෙන පැමිණියේ මෙය ගමේ ප්‍රශ්නයක් නොව රටේ හා ජාතියේ ප්‍රශ්නයක් බව කෑගසමිනි. මෙම  මාධ්‍ය-දේශපාලන සෙල්ලමෙන් ඇති තරම් පීඩාවට පත් වී සිටි පැරණි පන්සලේ ගැමි බෞද්ධයෝ අතට හසුවු දේ රැගෙන, මුල් පදයෙන් පටන් ගෙන තම පන්සල වැටලීමට පැමිණි මෙම නාගරික ජාති වීරයන්ට පමණක් නොව මාධ්‍යට ප්‍රතිචාර දැක්වීමට සැරසුණි. සුළු ජාතීන් හා අන්‍ය ආගමිකයන් හමුවේ වීරයෝ වූ අය ගැන එතරම් තක්සේරුවක් ගැමි බෞද්ධයන්ට නොතිබුණු අතර පොලීසිය නොසිටින්නට චම්පිකගේ දේශපාලන කුසින් උපන් සිංහල රාවය ඔහු උපන් ගම තුළදීම අවසන් වන්නට තිබුණි.

කෙසේ, නමුත් තීරණාත්මක ලෙස, සම්ප්‍රදායික බෞද්ධාගමික පිළිවෙතින් බැහැරව ඊට අභියෝග කරමින්, මාධ්‍යන්ගෙන් පෝෂිතව මතුවන නව දේශපාලන බුද්ධාගමේ අභියෝගයට ග්‍රාමීය ජනතාව සහ භික්ෂූන් මුහුණ දුන් ආකාරය පිළිබඳ එක් දෘෂ්ටාන්තයක් බුලත්සිංහල පන්සල් සිද්ධියෙන් පෙන්නුම් කෙරේ. මෙය සාක්ෂි දරන්නේ නව දේශපාලන බුද්ධාගම ගම් තුළට ප්‍රවේශ වීමත් සාම්ප්‍රදායික සංරචකවලට අභියෝග කිරීමේ අවස්ථාවත්ය. බුලත්සිංහල ඈගල්ඔය නව පන්සල වටා ගොනුවූ සමාජ බලවේග මෙය වඩාත් සාක්ෂි දරයි. පැරණි ගම්වාසීන් පැරණි පන්සල වෙනුවෙන් පෙනී සිටින විට නව පන්සල වටා ගොනුවූයේ මෑත කාලයේ ප්‍රදේශයේ පදිංචි වූවන් සහ විවිධ අනියම් ආදායම් මාර්ගයන්ගෙන් පොහොසතුන් වූ අය ඒවායේ නියැලුන ව්‍යාපාරිකයන්ය. ලී ව්‍යාපාරිකයන් සහ ප්‍රවාහනය කරන්නන්, වැලි ප්‍රවාහනය කරන්නන්  සහ නීති විරෝධී සූදු කරවන්නන් මෙහි ප්‍රමුඛයෝ වූහ. මෙම භික්ෂූන් වහන්සේ පොලීස් නිළධාරීන් හා පැවැත්වූ සම්බන්ධය මෙම ආකර්ෂණයට හේතූ වී තිබුණි. කෙසේ නමුත් මෙම නව පන්සලේ දායක පෙළන්තිය ආගමික හෝ අධ්‍යාත්මික දෙයකට වඩා වෙනස් හෝ වැඩි යමක් මෙතැනින් බළාපොරොත්තු වූ බව පැහැදිළිය. එය සම්ප්‍රදායික විහාරස්ථාන වලින් ඉටු නොවන්නකි. සභාපතිවරයා සාම්ප්‍රදායික විහාරථාන වටා වූ තම ජන පදනම තහවුරු කර ගැනීමට අරගල කරන විට ඇමතිවරයා එක ගලෙන් දඩයම් දෙකක් කිරීමට තැනූ සේය. එක් අතකින් දේශපාලන භික්ෂුන් වෙනුවෙන් තනන පන්සලක් තමාට අනාගත අයෝජනයක් සේ සළකා කටයුතු බවක්  පෙනුන අතර අනෙක් අතින් සාම්ප්‍රදායික පන්සල් සමග ස්ථාවර සම්බන්ධයක් ඇති සභාපතිවරයාට එරෙහිව ඔහුගේම බල ප්‍රදේශය තුළ භික්ෂූන් තුළින්ම දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට තැනූ බවක් පෙනුණි.

සියල්ල අවසන් විසඳුමකට පැමිණියේ මෙම භික්ෂූන් වහන්සේ වෙනත් විහාරස්ථානයකට යොමු කිරීමෙන් වන අතර මෙහිදී ශේෂ වන ගැටළුව වන්නේ මෙම සමාජ දේශපාලන ප්‍රවනතාවයන් හීලෑ කර ගැනීමට සම්ප්‍රදායික බෞද්ධ සංස්ථාව කොතෙක් දුරට සමත් වන්නේ ද යන්නයි. දේශපාලන න්‍යාය පත්‍ර සක්‍රීය වන තැන් වල මෙය වඩාත් සංකීර්ණ වනු ඇත.

 

Back to Home page