19 August, 2019

Blog

කඩාකප්පල්කාරීන්ගේ සැලසුම් ප‍්‍රකාරව කෙරෙන විදුලිබල ජනනය – II

ආචාර්ය තිලක් සියඹලාපිටිය

අපි ඇත්තෙන්ම ගෑස් බලාගාරයක් ගොඩනගන්නෙමු ද?

ස්වාභාවික ගෑස් මිල ගණන් 2013 සිට අඩු විය. 2014 දී මේ ගැන සාධ්‍යතා අධ්‍යයනයක් කරන ලදි. ඒ අනුව. බලශක්ති පිළිබඳ සැලසුම් චක‍්‍රය තුළටත්, අනතුරුව 2017 දීර්ඝ කාලීන ජාතික බලශක්ති ජනනය පිළිබඳ සැලසුමටත් එය ඇතුළත් විය. ඒ අනුව, ගෑස් පර්යන්ත සහ ගෑස් බලාගාර ගොඩනැගීමට ආණ්ඩුව විවිධ පාර්ශ්ව සමග ‘සාකච්ඡා’ පටන්ගත්තේය. විදුලිබල පනත තුළ කියැවෙන්නේ, බලශක්ති ජනනය සපයා ගත යුතුව ඇත්තේ තරගකාරී පදනමක් යටතේ බවයි. 2015-2018 කාලයේ පහත සඳහන් ආකාරයේ විවිධ පුවත්පත් වාර්තා පළවිය:

ආයෝජන මණ්ඩලයේ සභාපති: ‘‘ගෑස් පර්යන්ත සඳහා යෝජනා හයක් අපට ලැබිලා තියෙනවා. ඒ හැමෝම එක්ක අපි සාකච්ඡුා කරමින් ඉන්නවා.’’

ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව: ‘‘ඉන්දියාව, ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ඇති කිරීමට අපි සාකච්ඡා කරමින් ඉන්නවා.’’

ජනාධිපතිවරයා: ‘‘මට කොරියාවෙන් ලැබිලා තියෙනවා ගෑස් පර්යන්තයක් හදන්න යෝජනාවක්. ඒක ‘ගන්න, නැත්නම් ගෙවන්න’ පදනම යටතේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවක්. (කොරියානු සමාගම නිපදවන ගෑස් එක්තරා ප‍්‍රමාණයක් දක්වා මිල දී ගැනීමට ශ‍්‍රී ලංකාව මෙහිදි බැඳී සිටී. එසේ නොකරන්නේ නම්, ඒ මිලදී නොගන්නා ප‍්‍රමාණය වෙනුවෙන් එක්තරා වන්දියක් නිෂ්පාදන සමාගමට ගෙවීමට ලංකාවට සිදුවෙයි- පරිවර්තක)

චීනය: අපි ගෑස් පර්යන්තයක් හම්බන්තොට හදනවා.

ඉතිං, මේ ආකාරයට ආණ්ඩුවේ විවිධ අංශ සහ පුද්ගලයන් විසින් ගෑස් පර්යන්ත ගොඩනැගීම පිළිබඳ සිදුකොට ඇති සලකා බැලීම් ප‍්‍රමාණය නවයකි. එහෙත් ඒ කිසි සාකච්ඡාවක් අවසාන ගොඩනැගීම් අදියරට පැමිණ නැත. මේ පිළිබඳව ඉදිරිපත්ව ඇති සියලූ ව්‍යාපාරික යෝජනා අස්සේ ආණ්ඩුවේ විවිධ කමිටු තුළ සිටින රහස් අනුග‍්‍රාහකයන් කරන්නේ තරගකාරීව ලංසු තැබීමේ නිසි පරිපාටිය මගහැර යාමයි. ඒ තරමට, තරගකාරී නොවන ව්‍යාපාරික කොන්ත‍්‍රාත්වලට යාමෙන් ලැබෙන ‘ජරාව’ අති විශාල ය. තත්වය මෙසේ නම් කිරීමට ඇත්තේ, ‘ජාතික ප‍්‍රසම්පාදන කොමිසම’, ප‍්‍රසම්පාදන ප‍්‍රතිපත්ති සහ විදුලිබල පනත අවලංගු කොට දැමීමයි.

ඉන්දියාව විශාල වෙළඳපොලකි. එහෙත් එරටේ ඇත්තේ ගෑස් පර්යන්ත හතරකි. එයින් තුනක් මේ වන විට ක‍්‍රියාත්මක වන්නේ නැති තරම් ය. හේතුව, ගල්අඟුරු සහ වෙනත් පුනර්ජනනීය බලවේග සමග සසඳන විට ගෑස් මිල ඉතා අධික වන බැවිනි. එසේ තිබියදී, ශ‍්‍රී ලංකාවේ දේශපාලඥයෝ ගෑස් පර්යන්ත නවයක් සමග සෙල්ලම් කරමින් සිටිති. මේ සෙල්ලම, මැතිවරණ ළංවන විට තවත් ලස්සණට කෙරෙනු ඇත.

මේ හැම සෙල්ලමක්ම දාන්නේ, අපේ බලාගාර සඳහා ඉන්ධනවලට විශාල මුදලක් වැය කරමින් සිටියදී ය. ඉන්ධන බලයෙන් නිෂ්පාදනය කරන විදුලිය, සමස්ත විදුලිය නිෂ්පාදිතයේ පංගුවක් වශයෙන්, සියයට 18 දක්වා පහළ වැටුණේය. එය, අවුරුදු 20 ක කාලයක් තුළ එතරම් පහළ වැටුණු ප‍්‍රථම අවස්ථාව විය. එහෙත් 2017 වන විට එය සියයට 34 දක්වා ඉහළ ගොස් තිබේ. නිත්‍ය වශයෙන්ම, 2020 වෙද්දී එය සියයට 50 සීමාව ද ඉක්මවනු ඇත.

ඒ අනුව 2020 දී අපේ මහ බැංකුව සිය වාර්ෂික වාර්තාව තුළ මෙසේ සඳහන් කරනු ඇත: ‘‘අයහපත් කාලගුණය නිසා අපේ බලශක්ති නිෂ්පාදනය සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිත කිරීමට සිදුව ඇත.’’ එහෙත් ඊට හේතුකාරකව ඇති ඇත්ත හේතුව, ‘සාම්පූර් අවලංගු කිරීම’ සහ ‘ගෑස් පර්යන්තයක් ගොඩනොනැගීම’ යැයි ඔවුන් කිසි සේත් සඳහන් කරාවි ද?

කෙරෙමින් පවතින ව්‍යාපෘතියක් මරා දමන්න. ඉන් පසු යහළුවන්ට කතා කොට, ගෑස් පර්යන්ත ගොඩනැගීම පිළිබඳ ව්‍යාපාරික යෝජනා ගෙන්වා ගන්න. සැක කටයුතු යෝජනා නවයම භාර ගැනීමෙන් පසු සියල්ල අවුලක් බවට පත්කරන්න. අපට අවශ්‍ය කරන්නේ එක ගෑස් පර්යන්තයක් පමණක් බවත්, මේ අතර, අමතක කරන්න. මේ හැම තොවිලයක්ම මොවුන් නටන්නේ, ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය සිදුවිය යුත්තේ තරගකාරී ලංසු තැබීමේ පරිපාටියක් හරහා බවට අපේ නීතියේ සඳහන් වන බවත් හොඳාකාරව දැනගෙන ය.

ඊළඟ හොඳම විසඳුම වන ගෑස් ආනයන පර්යන්තයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් අස්සේ, එතෙක් සැලසුම් කළ බලශක්ති බලාගාර ගොඩනැගීමට ඉඩ නොදෙන තත්වයක තුළ, 2020 වන විට, විදුලි බලශක්ති ජනනය සඳහා අවශ්‍ය කරන අමතර ඉන්ධන පරිභෝජනය, අඩු වශයෙන්, ඉන්ධන ලීටර මිලියන 400 ක්වත් වනු ඇත. වර්තමාන මිල ගණන් අනුව, ඒ සඳහා රුපියල් මිලියන 32,000 ක් වැය වනු ඇත. මේ වියදම, 2020 වසරේදී පමණක් නොව, ඉන් පසුවත් වසරක් පාසා දැරීමට සිදුවනු ඇත්තේ විදුලි පරිභෝජකයන් වන සාමාන්‍ය ජනතාවට ය.

මෙරට ඉතිහාසයේ සිදුව ඇති ලොකුම මූල්‍ය අක‍්‍රමිකතාව වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව යැයි බොහෝ දෙනා කියනු ඇසේ. ඒ බැඳුම්කර වංචාව නිසා රටට අහිමිව ඇති බව කියන්නේ, රුපියල් මිලියන 11,000 කි. එහෙත් එය, වසරක් පාසා, රටට අහිමි වන රුපියල් මිලියන 32,000 වටිනාකමට වැඩි පාඩුවක් ද? විදුලි බලාගාර පිහිටුවීමට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කර ඇති ඒ ක‍්‍රියාවලිය ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කරන්නේ කවදාද? ‘ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ 2016 මැයි 15 වැනි දා ගත් තීන්දුව සිය ප‍්‍රථම සාක්ෂිය වශයෙන් ගනිමින්, එවැනි කොමිසමකට මේ පිළිබඳ තමන්ගේ විමර්ශන ආරම්භ කළ හැකිය.

ස්විස් අභියෝගය

පසුගිය කාලයේ පුවත්පතවල පළවූ විවිධ ලිපිවලින් කියා සිටි එක් කාරණයක් තිබුණි. එනම්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පසුගිය ඔක්තෝබර් 26 වැනි දා ආරාවුල ඇති වන්නේ, ගෑස් පර්යන්තය ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ඇතුළේ සිදුවන දේවල් ගැන අපට අවබෝධයක් නැති නිසා එය ඇත්ත ද නැත්ත ද යන්න අපට කිව නොහැක.

කෙසේ වෙතත්, ඔක්තෝබර් 26 වැනි දා කලබැගෑනියෙන් දින කිහිපයකට පසු රජයේ නිල ප‍්‍රචාරක දැන්වීමක් පුවත්පත්වල පළ විය. එයින් කියා සිටියේ, ගෑස් පර්යන්තය පිළිබඳ වෙනත් ව්‍යාපාරික යෝජනා ඇතොත් ඒවා සති පහක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසයි. ඒ වන විට (ඔක්තෝබර් 26 සිට) බලයේ සිටි රජයෙන් පළ කළ මේ දැන්වීම් හරහා ඒ පසුපස තිබිණැයි සිතිය හැකි සමස්ත කතාව අපට සිතාගත හැකිය.

මේ ප‍්‍රචාරක දැන්වීම් මාර්ගයෙන් වාච්‍යාර්ථයෙන්ම කියා සිටියේ, අපට (එනම්, ඔක්තෝබර් 26 වැනි දා බලය පැහැර ගත් ආණ්ඩුවට) එල්.එන්.ජී. ගෑස් පර්යන්තයක් සඳහා ව්‍යාපෘති යෝජනාවක් ලැබී ඇති බවත්, ඊට විරුද්ධ ප‍්‍රතියෝජනා තිබේ නම් ඒවා සති පහක කාලයක් තුළ ඉදිරිපත් කළ යුතු බවත් ය. මේ පර්යන්තය සඳහා වන අවම ආයෝජනය ඩොලර් මිලියන 300 ක්වත් විය යුතුය. එපමණක් ද නොවේ. බලශක්ති කර්මාන්ත අංශය ගැන දැනුම් තේරුම් ඇති සියලූ දෙනාගේ උපදෙස් සහ විරෝධතා නොතකා ජනාධිපතිවරයා තමන්ට ලැබුණු අර කී කොරියානු සමාගමේ ව්‍යාපෘති යෝජනාවට ප‍්‍රතිපක්ෂ වෙනත් ප‍්‍රතියෝජනා ඇතොත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීම හරි අපූරු ය. මේ සමස්ත කොන්ත‍්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 5000 ක තරම් මුදලකි. ඒ සා අති විශාල ව්‍යාපෘතියක් දියත් කිරීමට ජනාධිපතිවරයා ගියේ, ආණ්ඩුවක් නොවන ආණ්ඩුවක් බලයේ සිටීම සිය ප‍්‍රයෝජනයට ගනිමිනි.

කිසි කීර්තිමත් සමාගමක් ඩොලර් මිලියන 300 ක් වැය වන ව්‍යාපෘතියක් සඳහා ප‍්‍රතියෝජනා සති පහකින් ඉදිරිපත් කිරීමට තබා ඒ සඳහා තැත් කිරීමටවත් ඉදිරිපත් නොවනු ඇත. මිලියන 10 ක වටිනාකමකින් යුත් නිවෙසක් තැනීමට භාර ගන්නා කොන්ත‍්‍රාත්කරුවකු පවා තමාගේ මිල ගණන් දන්වා එවීමට සති දෙකක් ගත කරන්නේය. මෙතැන තිබෙන්නේ, උනන්දුවක් දක්වන එක පාර්ශ්වයකින් ටෙන්ඩර් පරිපාටියක් නොමැති ආකාරයකින් ව්‍යාපෘති යෝජනාවක් ලබාගන්නා ආණ්ඩුවක්, සති පහක් වැනි කෙටි කාලයක් තුළ ප‍්‍රතියෝජනා ඉදිරිපත් කරන්නැයි ඇඟ බේරා ගැනීම සඳහා දැනුම් දීමෙන් අනතුරුව, ගනුදෙනුව අනවශ්‍ය ආකාරයකින් වේගවත් කිරීමයි. එහිදී සිදුවන්නේ කිසිවෙකුගේ ප‍්‍රතියෝජනාවක් රහිතවම මේ යෝජනාව පිළිගැනීම සඳහා පාර සකස් කර ගැනීම ය. ඩොලර් මිලියන් ගණන් වටිනා ව්‍යාපෘති ගැන ආණ්ඩුවක් කටයුතු කරන්නේ මේ ආකාරයටදැයි සිතා මෙවැනි ගෑස් පර්යන්ත ගොඩනැගීමේ පෘථුල අත්දැකීම් ඇති වැදගත් ජාත්‍යන්තර සමාගම අපට සිනාසෙනු ඇත.

ඉතිං, අවසාන ප‍්‍රතිඵලය වනු ඇත්තේ කුමක්ද? කිසි ගෑස් පර්යන්තයක් නොලැබී යාමයි. අදාළ පරිපාටි අනුගමනය කොට නැති නිසා කැබිනට් මණ්ඩලයේ කිසිවෙකු විසින් මේ යෝජනාව සම්මත කිරීම ප‍්‍රතික්ෂේප කරනු ඇත.

ඉතිං, අපේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සාම්පූර් විදුලි බලාගාරය අවලංගු කිරීමට එකඟ වුණේත්, ගැස් පර්යන්තය ගැන ගොඩනැගීමට එකඟ නොවුණේත් ඒ ආකාරයෙනි. මේ ආණ්ඩුව ඉතිහාසගත වනු ඇත්තේ, හැම විදුලි බලාගාරයක් පිළිබඳ යෝජනාවක්ම අවලංගු කළ සහ අලූතින් කිසි බලාගාරයක් ගොඩනොනැගූ ආණ්ඩුවක් වශයෙනි.

ඇත්ත වශයෙන්ම, මොන විදුලි බලාගාරයක් මොන ප‍්‍රදේශයේ ගොඩනැගිය යුතු ද යන්න වෙනත් රටවල්වල තීරණය කරනුයේ තාක්ෂණවේදීන් මිස ආණ්ඩු නොවේ. ආණ්ඩුව කරන්නේ ඒ සඳහා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීමත්, ඒවාට අනුගතව කටයුතු කිරීමත් ය. එහෙත් අපේ රටේ ඒ සියලූ තීරණ ගන්නේ, සියල්ල-දත් දේශපාලඥයන් ය. ඉතිං, මෙවැනි තැනකට රට පත්වීම පුදුමයට කාරණයක් ද?

දැනට සිදුවන විටින් විට විදුලි බලය විසන්ධි වීම ආරම්භයක් පමණි. ජල බලාගාරවල වතුර මට්ටම් පහළ තිබියදී පවා, විශාල බලාගාරයක ජෙනරේටරයක් ක‍්‍රියා විරහිත වූ අවස්ථාවකදී පවා, පාරිභෝගිකයන්ගේ ඉල්ලූමට සරිලන ආකාරයේ සැපයුම් ක‍්‍රියාවලියක් පවත්වාගෙන යාමට හැකි වීම, සැලසුම් සහගත බලශක්ති ජනනීය පද්ධතියක ලක්ෂණයකි. එහෙත් අලූත් බලාගාර ගොඩනැගීමට දේශපාලඥයන් ඉඩ නොදෙන විට සහ විවිධ ව්‍යාපෘති සහ සැලසුම් පිළිබඳව ඔවුන් සෙල්ලම් කරමින් සිටින විට, වැස්සක් නාවොත් හෝ එක් බලාගාරයක් ක‍්‍රියා විරහිත වුවහොත්, අර්බුද හටගන්නා බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ.

ඉතිං, එවිට අප කරනුයේ කාලගුණයට දොස් කීම හෝ ක‍්‍රියා විරහිත වන බලාගාරය මත වරද පැටවීම ය.

විදුලිබල යෝජනා ක‍්‍රම අවුල් කිරීමේ සෙල්ලම එකම අයුරකින් සිදුව ඇත. මෙවර ඊට සහභාගීව සිටින පිරිස, 1992, 1997 සහ 2002 දී මේ සෙල්ලමේ සිටි පිරිසම ය. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, විදුලිය විසන්ධි කෙරෙන අවස්ථා තව තවත් වැඩි වීම, වැඩි වැඩියෙන් වියදම් දැරීමට සිදුවීම සහ ජාතිය සදාතනිකවම විදුලි අර්බුදයක සිරවීම ය.

2019 මාර්තු 24 වැනි දා ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ  “Electricity Generation Moving as Planned by Saboteurs” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස) යහපාලනය ලංකා

පළමු කොටස – කඩාකප්පල්කාරීන්ගේ සැලසුම් ප‍්‍රකාරව කෙරෙන විදුලිබල ජනනය

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Hold an inquiry into the Kerawalapitiya LNG tender and all will be revealed. Why is the government avoiding this inquiry when the scam is even bigger than the bond scam? Is the government trying to safe guard the crooks behind this tender.?

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.