Colombo Telegraph

‘‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’’ ප‍්‍රකාශනය: නව ආණ්ඩුව සඳහා වන න්‍යාය පත්‍රයක්

ආණ්ඩුව, යහපත සලසන බලවේගයක් විය යුතුය. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ, සමාජයක් වශයෙන් එන්න එන්නම ආරාවුල්කාරී වෙමින් තිබියදී පවා, ඉන්දියානු ආණ්ඩුව, දූෂණය සහ බියගැන්වීම සමග එකට යන ආයතනයක් බවට පත්ව තිබීමයි. ඉන්දියාවට අද අවශ්‍ය කරන්නේ, පිරිසුදු සහ දයාන්විත, කාර්යක්ෂම සහ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ආණ්ඩුවකි. ජනතාවට හිරිහැර කරන ආණ්ඩුවක් වෙනුවට, ජනතාවට සේවය කරන ආණ්ඩුවකි. බාධාකාරී ආණ්ඩුවක් වෙනුවට, කටයුතු පහසු කරවන ආණ්ඩුවකි. තෝරාගත් සුළු පිරිසකට වරප‍්‍රසාද සලසන ආණ්ඩුවක් වෙනුවට, වැඩිම ජනතාවකට අවස්ථා සලසන ආණ්ඩුවකි. අණක්ගුණක් නැති, කෝන්තරකාරී ආණ්ඩුවක් වෙනුවට, සාධාරණ සහ සමබර ආණ්ඩුවකි. බිය පතුරුවන ආණ්ඩුවක් වෙනුවට, අපේක්ෂා දල්වන ආණ්ඩුවකි. පුරෝගාමී ජවය සහ ව්‍යවසායකත්වය නසන ආණ්ඩුවක් වෙනුවට ඒවා දිරිමත් කරන ආණ්ඩුවකි.

මීට අවුරුදු පහකට පෙර ඉන්දියාව ගැන ලෝකයා කතා කළහ. අප, නොවැළැක්විය හැකි සේ, ජගත් බලවේගයක් බවට පත්වෙන ලකුණු එදා පෙනෙන්ට තිබුණි. චීනය සහ ඉන්දියාව යන රටවල් දෙක ගැනම ලෝක අවධානය එදා එක සේ යොමු විය. අද වන විට පැහැදිළිවම ඒ බලාපොරොත්තුව මායාවක් වී ඇත. රටේ වර්ධන වේගය සියයට 10 ආසන්නයක සිට සියයට 5 ආසන්නයකට අද පහත වැටී තිබේ. දූෂණය, අස්සක් මුල්ලක් නෑර විහිදී ඇත. දැන් එය, ජාතියේ ආත්මයම උලාකමින් සිටී. මීළඟ ආණ්ඩුවේ ප‍්‍රමුඛත්වය විය යුත්තේ, රටේ ආර්ථික වර්ධන වේගය ඉලක්කම් දෙකේ උපරිම වටිනාකමකට ඔසවා තැබීම බවට සැකයක් නැත. එහෙත් එය පමණක්, ඉන්දියාව ජගත් බලවේගයක් බවට පත්වීමේ ඔට්ටුවකට ප‍්‍රමාණවත් වේද? මුලික සෞඛ්‍ය සේවා හෝ නිවාස පහසුකම් හෝ අධ්‍යාපනය රටේ ජනගහනයෙන් විශාල පදාසයකට සැපයිය නොහැකි ජාතියකට, දවසට හරිහමන් කෑම වේලක් නැතිව ජීවත් වන දසලක්ෂ ගණන් ජනතාවක් වෙසෙන ජාතියකට, ‘සංවර්ධිත’ රටක් වශයෙන් උදම් ඇනීමට පුලූවන් කමක් නැත. අපේ සමාජ-ආර්ථික දර්ශක පවතින්නේ ඉතා දුර්වල මට්ටමක ය. ඒවායින් සමහරක්, බංග්ලාදේශය සහ නේපාලය වැනි අපේ අසල්වාසීන්ටත් පසුපසිනි. (ක‍්‍රිකට් හැරුණු කොට) ක‍්‍රීඩාව, බරසාරව ගැනීමට අපේ නැමියාවක් ඇති බවක් නොපෙනේ. ඔලිම්පික්වලදී අප ලද නින්දාසහගත වාර්තාව, වඩාත් ගැඹුරු ව්‍යාධියක බාහිර ලක්ෂණයකි.

බාගෙවිට, අප කළ යුතුව ඇත්තේ, පුවරු ඵලක ගැන නොතකා, නිවැරදි ආකාරයෙන් නිවැරදි දේ කිරීමට උගෙනීම විය හැකිය.

‘‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’’ පුවත්පත, ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කොට තිබේ. දේශපාලන පක්ෂ විසින් එය බරසාරව අධ්‍යයනය කිරීමත්, සමහර විට, ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන් තුළට එය උකහා ගැනීම සඳහා සැලකිලිමත් වීමත් අගනේය. එසේම, අළුතෙන් පත්වෙන ආණ්ඩුව, විවෘත මනසකින් යුතුව සහ ද්වි=පාර්ශ්වික ජීව ගුණයකින් යුතුව එය සංවාදයට ගනු ඇතැ යි ද අපි උදක්ම අපේක්ෂා කරමු.

පුළුල්ව ගත් විට ‘‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’’ ප‍්‍රකාශනය මගින් කියා සිටින්නේ, මූල්‍යමය වශයෙන් වගවන ප‍්‍රතිපත්තිවල සහ සමාජයීය වශයෙන් ප‍්‍රගතිගාමී නීතිරීතිවල ඇති වැදගත්කමයි. ව්‍යාපාර ක්ෂේත‍්‍රය – ගජමිතුරු ධනවාදයෙන් නොව – අවංකව වර්ධනය කැරැුවීම සඳහා යෝග්‍ය පරිසරයක් නිර්මාණය කළ යුතු බව අපේ අදහසයි. එසේම, බහුත්වවාදී සමාජයක් ගැන විශ්වාසය තබන අපි, ඕනෑම මිලක් ගෙවා, පුද්ගල නිදහස ආරක්ෂා කළ යුතු යැයි අදහමු. යටත්විජිත අතීතයකට බොහෝ විට උරුම කියන යල්පැනගිය නීති ඉවත් කළ යුතුව තිබේ. මන්ද යත්, ඒවායින් කළ හැකි එකම සේවය වන්නේ, දූෂිත ආණ්ඩුවේ නිලධාරීන්ට තව තවත් කඩාවඩා ගැනීමට අවකාශ සැලසීම පමණක් වන බැවිනි. නූතන ඉන්දියාවේ සමාජ අසමානත්වය දුරලන සහ එයින් ජනතා කොටස් ගොඩගන්නා ශ්‍රේෂ්ඨතම මෙවලම වන්නේ, අධ්‍යාපනයයි. පැල්පතේ සිට සම්භාව්‍ය මේසයට වැටී ඇති පාර එයයි. අප සියල්ලන්ම ජන්මයෙන් සිරකරුවන් විය හැකි මුත්, එකී ආර්ථික සහ සමාජ වහල් භාවයේ තුච්ඡුතම බැම්ම ඉරා දැමීමේ හයිය ඇති බලවේගය වන්නේ, අධ්‍යාපනයයි. අපේ තරුණ පරම්පරාව සහ අපේ අනාගතය සඳහා වන ලොකුම ආයෝජනය එයයි.

භාණ්ඩ මිළ ඉහළ යාම් සහ රැුකියා අගහිඟකම් හැරුණු විට, අද අපේ ජනතාව වඩාත් පෙළන දෙය වන්නේ දූෂණයයි. ඒ කෙතෙක් ද යත්, එයින් අත්මිදීම සඳහාම අළුත් පක්ෂයකට විශාල ජයග‍්‍රහණයක් ලබා දීමට ද ජනතාව වගබලා ගත්හ. ඉතිං, ඒ ගැන අප කළ යුත්තේ කුමක් ද? ඊට අදාළ බොහොමයක් කෙටුම්පත් තවමත් පාර්ලිමේන්තුවේ රස්තියාදු වෙමින් තිබේ. ඒවා වහා සම්මත කරගත යුතුය. එහෙත්, එපමණක් නොසෑහේ. එම නීතිවලින් බොහොමයක් අරමුණු කෙරෙන්නේ, දූෂිතයන්ව අල්ලා දඬුවම් කිරීමටයි. ඊට අමතරව, දූෂණයේ මූලයන් උගුල්ලන, නිවාරක පියවරයන් ද අවශ්‍ය කරන්නේය. සෑම සියලූ දෙයක්ම දැනට සිදුවෙන ආකාරය දෙස අවධානය යොමු කිරීම ඒ සඳහා අවශ්‍ය කෙරේ: ආර්ථිකය, නිලධාරී තන්ත‍්‍රය, පොලීසිය සහ අධිකරණය වැනි ක්ෂේත‍්‍ර ඊට අයත් ය. අපේ ප‍්‍රකාශනය මෙහෙයැවෙන්නේ, ‘ප‍්‍රශ්නයක්’ හෝ ‘මාතෘකාවක්’ වශයෙන් වෙනම ගෙන එය සළකා බැලීමට නොව, සමාජ ක‍්‍රමයේ සෑම අංශයක්ම වඩාත් පාරදෘෂ්‍ය සහ වගවීමෙන් බැඳී සිටින සමස්තයක් බවට පත්කිරීමේ ව්‍යායාමයක් වෙතටයි. ඉන්දියාවේ ව්‍යාධියෙන් විශාල කොටසක සංකේතය බවට, අද වන විට ආණ්ඩුවත්, ව්‍යවස්ථාදායකයත් පත්ව ඇත. සමාජයේ හැම ස්ථරයකින්ම ආණ්ඩුව අද කඩා වැටී ඇත. සෑම තැනකම දකින්ට ඇත්තේ නරුමවාදයකි. ජනතාවගේ විශ්වාසය සහ ගෞරවය ආපසු දිනා ගැනීම කෙරෙහි අපේ දේශපාලඥයන් සිය අවධානය යොමු කොට තිබේ ද? 16 වැනි පාර්ලිමේන්තුව, 15 වැනි පාර්ලිමේන්තුවේ අවාසනාවන්ත මතකය වළලා, ව්‍යවස්ථාදායකයකින් අපේක්ෂිත සැබෑ අරමුණට ලඟාවනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු: එනම්, නීති සම්පාදනය සහ නිවැරදි නීති සම්පාදනය කිරීමයි.

ප‍්‍රඥාවේ පරම කෝෂ්ටාගාරය අපි වෙමු යි අපි නොකියමු. විශිෂ්ට අවංකත්වයෙන්, දැනුම් සහ අත්දැකීම් සම්භාරයෙන් සම්ප‍්‍රයුක්ත ඉන්දියානුවෝ බොහෝ වෙත්. ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනයට මත්තෙන් ඔවුන්ගේ අදහස් ද විමසිය යුතුය. එහෙත් ජාතියේ අවශ්‍යතා පෙරදැරිව – පටු, පක්ෂවාදී අවශ්‍යතා නොව – පෙරටුවේ සහ කේන්ද්‍රයේ දියත් වන ගැඹුරු සංවාදයක් උදෙසා අපගේ ප‍්‍රකාශනය ආරම්භක ලක්ෂ්‍යයක් වෙතොත්, එය අපේ අරමුණ මස්තකප‍්‍රාප්ත කළා වන්නේය.

*2014 මාර්තු 14 වැනි දා ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත ප‍්‍රකාශයට පත්කළ An Agenda for the New Government නැමැති විශේෂ ප‍්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page