Colombo Telegraph

මුතූර් සිට ජිනීවා දක්වා

තිසරණී ගුණසේකර

‘‘අපේ ඇස් ඇරවීමට සෑම ආකාරයකම ගොරතර අත්දැකීම් පසු කළ යුතුම ද?’’ – ටිම් පාක්ස්

‘ස්ථාවර ජනතා විනිශ්චය සභාව’ යනු, ඇමරිකාව වියට්නාමයේ සිදු කළ යුද අපරාධ විමර්ෂණය කළ, (මහා දාර්ශනික බර්ට‍්‍රන්ඞ් රසල්ගේ පුරෝගාමීත්වයෙන් පිහිටැවූ) ‘රසල් විනිශ්චය සභාවේ’ අනුප‍්‍රාප්තික අධිකරණයයි. 1979 දී පිහිටුවන ලද එහි අරමුණ වුණේ, ‘යුක්තිය ධර්මය සාක්ෂාත් කර ගැනීමේ මෙවලම් වශයෙන් රාජ්‍යයන් පැත්තෙන් සිදුවන සදාචාරමය සහ දේශපාලනික අඩුලූහුඩුකම් ගැන අවදියෙන් සිටීමයි.’

ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධය ගැන විභාග කළ එම විනිශ්චය සභාව සිය දෙවැනි සැසිවාරයේ දී, ‘දෙමළ ජනතාවට එරෙහි ‘ජන සංහාරක අපරාධ’ සම්බන්ධයෙන් කොළඹ ආණ්ඩුව වැරදිකරු’ බවටත්, ‘ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එකී ජන සංහාරක අපරාධයේ සහායකයන් වී ඇති බවටත්’ නිගමනය කොට, ‘ඉන්දියාවේ කාර්යභාරය තවදුරටත් පරීක්ෂා කළ යුතුව ඇතැ’ යි ගිය සතියේ ප‍්‍රකාශයට පත්කෙළේය.

රාජපක්ෂ අර්ථකථනයට අනුව, හතරවැනි ඊලාම් යුද්ධය ගෙන ගියේ සහ ජයග‍්‍රහණය කෙරුණේ කිසි ඇදකුදක් නැතිවයි. එහි දී, ලංකාවට ආධාර කොට ඇත්තේ, රාජපක්ෂ අර්ථකථනය අනුව, බටහිර නොවන රාජ්‍යයන් අතලොස්සකි. එහෙත් සැබෑව වන්නේ, රාජපක්ෂ ආණ්ඩුවට යුද්ධය ජයගත හැකි වුණේ, එක පැත්තකින්, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින්ම නිර්මාණය කර දෙන ලද වාසිදායි ජාත්‍යන්තර පරිසරයක් නිසා බවයි.

මුලදී, තුන්වැනි සාම ක‍්‍රියාවලියේ ආරම්භක දුෂ්කර මාසවල දී ලෝකයේ බොහෝ රටවල් කොටි සංවිධානයේ මුතු බෙල්ලන් විය. ලෝකයේ බොහෝ අගනගරවලදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සාදරයෙන් පිළිගැනුණු අතර, නිල නොවන ආණ්ඩුවක තත්වය ද පිරිනැමුණි. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මස් රාත්තලම ඉල්ලා නොසිටියේ නම් සහ තරමක් බුද්ධිමත් විණි නම්, සමහර විට දෙමළ ජනතාව සඳහා ෆෙඩරල් (සන්ධීය) පාලන ක‍්‍රමයක් හෝ සහසන්ධීය සම්මුතියක් පවා ඔහුට දිනාගත හැකි වන්නට තිබුණි.

එහෙත් ‘මද පමණ’ යනු ප‍්‍රභාකරන් මහතාට වහකඳුරු මෙනි. ඔහුට, ඔහුගේම රාජ්‍යයක් අවශ්‍ය විය. එය සටන් බිමේ දී දිනාගත යුතු විය. ඒ නිසා, ඉහත කී සාම ක‍්‍රියාවලිය තුළ දී, සම්මත ජාත්‍යන්තර කල්ක‍්‍රියාවන්ට අනුගතව තමන්ගේ ක‍්‍රියාකලාපයන් සකස් කර ගැනීමට කොටි සංවිධානය අසමත් වුණි. ඔවුන් කෙළේ, තමන් වෙනස් වෙමින් සිටින බව බොරුවට මවා පෙන්වීමක් පමණි. මධ්‍යස්ථ භාවයේ කඩතුරාවක් පසුපස සැඟවී කොටි සංවිධානය කෙළේ, ළමුන් බලෙන් බඳවා ගනිමින්, දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කරමින්, (බටහිර අගනගරවල පවා) බලෙන් මුදල් එකතු කරමින්, ඊළඟ යුද්ධයට ලකලෑස්ති වීමයි.

ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මගින් (මානව හිමිකම් සඳහා වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් වැනි) කොටි සංවිධානයේ අපරාධ එක දිගටම හෙළදරව් කරද්දී පවා බටහිර රටවල් එම සිදුවීම්වල තිබූ සැකයේ වාසිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට දුන්නේය. ඒ අතර, ලෝකයා සතුටු කැරැුවීම සඳහා තමන් දෙන විවිධ පොරොන්දු, තමන්ගේ නා නා මවාපෑම් සහ ප‍්‍රතික්ෂේප කිරීම් එක දිගටම වැඩ කරති යි කොටි සංවිධානය මෝඩ ලෙසින් විශ්වාස කෙළේය.
අවසානයේ දී, කොටින්ව බේරා ගැනීමට 1987 දී ඉන්දියාව කළ දේ නැවත කිරීමට, රාජපක්ෂලා ගැන මොන ප‍්‍රශ්න තිබුණත්, කිසි රටක් මෙවර කැමැති වුණේ නැත. මුරණ්ඩු එල්.ටී.ටී.ඊ. සංවිධානය දේශපාලන තිරයෙන් ඉවත් කර ගැනීමේ ශක්‍යතාව ගැන ලෝකයේ කිසි ප‍්‍රධාන රටක් අසතුටට පත්වුණේ ද නැත. ඒ නිසා, සාමාන්‍යයෙන් බලගතු රටකට කළ හැකිව තිබූ පරිදි ලංකා රජයට කෙරෙන අවසාන අනතුරු ඇඟවීම් වෙත නොගොස්, හුදු විනීත ආයාචනයන්ගෙන් පමණක් එම රටවල් සෑහීමට පත්වුණි. එම දුර්වල ආයාචනයන් රාජපක්ෂලා නොතකා හරින විට අර රටවල් කෙළේ, ‘ ඕන දෙයක් වුණාවේ’ කියා අහක බලාගැනීමයි.

ජාත්‍යන්තර මතය හැම දාමත් නොමිලේ ගොනාට ඇන්දවිය නොහැකි බව කොටින් වටහාගත්තේ බොහෝ ප‍්‍රමාද වී ය.

ජාත්‍යන්තර ප‍්‍රතිවිපාක පාත්වන්නේ, සුනාමියක් මෙන් නොව. කෙමෙන් මෝරන ඛාදනයක් මෙනි: සෑම අපරාධයක්ම සහ සෑම බොරුවක්මත්, කඩ කළ සෑම පොරොන්දුවක්මත්, කෙනෙකු පය ගසා සිටින පොළොව, අඟලෙන් අඟල ගරා වට්ටවයි. එසේ ගොඩ ගැසෙන ප‍්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක වෙනසකට පෙරැුලෙන විට, තමන් වනාහී රුදුරු මහ සයුරක් මැද සරණක් නැතිව ගිලෙන පුංචි කොදෙව්වක් බව වැටහෙන විට, පෙරහැර ගොසිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සිදුවුණේ එයයි. රාජපක්ෂලාගේ ඉරණම විය හැක්කේ ද එයයි.

පරදින සංග‍්‍රාම

ජී. ඇල්. පීරිස් ඇමතිවරයාට අනුව, 2013 ජිනීවා නුවර දියත් වූ අසාර්ථක මෙහෙයුම සඳහා ලංකාව වැය කොට ඇති මුදල රුපියල් මිලියන 59 කි. සිදු වූ වැරදිවලින් පාඩම් නොගැනීම රාජපක්ෂලාගේ විශේෂ ගති ලක්ෂණයකි. 2014 දී ද ශ‍්‍රී ලංකාව යන්නට හදන්නේ එදා ගිය පාරේම ය. ඇමති පීරිස්, මෙවරත් ලෝකය පුරා සැරිසරණු ඇත. තවත් බොහෝ දෙනා ජිනීවා යනු ඇත. එකම චාටුකාර බොරු, ව්‍යාජ ප‍්‍රකාශ සහ පොරොන්දු, ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ නැවතත් දිග හැරෙනු ඇත.

2013 වන විට, තමන්ගේම ක‍්‍රියා කලාපයන් නිසා ශ‍්‍රී ලංකා රජය කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසය පළුදු වීම වර්ධනය වූ බවත්, ශ‍්‍රී ලංකාව කෙරෙහි ලෝකයා එදිරිවාදී වූ බවත් රාජපක්ෂලාට නොවැටහෙයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සහ වැලිවේරියේ ඝාතනවල සිට වාර්ගික/ආගමික සුළුතර ප‍්‍රජාවන්ට එරෙහි ප‍්‍රහාරයන් සහ සමාජයේ සිවිල් අවකාශය හමුදාකරණයට නතු කිරීම මගින් රාජපක්ෂලා තමන්ගේ වංක භාවය ලෝකයාට පෙන්නුම් කළහ. (සුළු ජාති-විරෝධී හිංසනයේ අළුත්ම නිදසුන වන්නේ, බදුල්ලේ කෝවිලක වසර 150 ක් පැරණි ප‍්‍රතිමාවකට හානි කිරීමයි).
බ්‍

රෙමන් විනිශ්චය සභාව, ස්වකීය නිගමන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාරයට ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ. ප‍්‍රංශ ආධාර සංවිධානයක් වන ‘සාගින්නට එරෙහි ක‍්‍රියාන්විතයේ’ සේවකයන් 17 දෙනෙකු මුතූර්හි දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජපක්ෂලාගෙන් යුක්තියක් බලාගෙන හත් වසක්ම ගත කිරීමෙන් පසුව, එම සංවිධානය විසින්ම සංගෘහිත කරන ලද පරීක්ෂණ වාර්තාවක් ද ඊළඟ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ.

මේ සමූහ ඝාතනය, ලෝකයේ මානවවාදී ආධාර සේවකයන් පිරිසකට එල්ල කළ වඩාත් බිහිසුණු සාපරාධී ක‍්‍රියාවන්ගෙන් එකකි. එම ඝාතන සිදුවුණේ, හතරවැනි ඊලාම් යුද්ධය ආරම්භයේ දී රාජපක්ෂලාගේ සිංහල ස්වෝත්තමවාදී හෙංචයියන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව ගෙන ගිය අශෝභන දේශපාලනික ප‍්‍රචාර ව්‍යාපාරයක් මධ්‍යයේ ය.
මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දුන් පරිදි, ‘‘සාගින්නට එරෙහි ක‍්‍රියාන්විතයේ ආධාර සේවකයන් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ එක දෙයක් නම් පැහැදිළි යි. එනම්, ඊට කලින් (2006) ත‍්‍රිකුණාමලේ දී ඝාතනය කළ දෙමළ ශිෂ්‍යයන් පස් දෙනා පිළිබඳ සිද්ධියට පොලිස් අධිකාරී කපිල ජයසේකර සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ අවස්ථාවේ ඔහුට එරෙහිව අවම මට්ටමකින් හෝ විනය ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නම්, මේ අපරාධය සිදු නොවන බවයි. එහෙත් සිදුවුණේ, ත‍්‍රිකුණාමලේ ඝාතන සිද්ධියෙන් පසු එම වසරේ ජුලි මාසය වන විට එකී පොලිස් අධිකාරීවරයාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තත්වයට ද උසස් කරනු ලැබීමයි.’’

ඇත්තෙන්ම, ත‍්‍රිකුණාමලේ ඝාතන ගැන අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වූයේ නම්, මුතූර් ඛේදවාචකය වළක්වාගත හැකිව තිබුණි. බලධාරීන් විසින් ප‍්‍රථම අපරාධය වසංගනු ලැබීම මගින් සිදුවුණේ ඊටත් වඩා ගොරතර තවත් දෙවැනි අපරාධයකට මග විවර කර දීමයි. ඕනෑම දෙමළෙකු ඝාතනය කිරීම ‘ශුද්ධවන්ත’ ක‍්‍රියාවක් විය හැකි ය යන්න, ත‍්‍රිකුණාමලේ ඝාතකයන්ට එරෙහිව කිසි ක‍්‍රියා මාර්ගයක් නොගැනීම හරහා නිකුත් කෙරුණු පණිවිඩය විය. මන්ද යත්, බොහෝ දෙමළ ජාතිකයන් මොන යම් ආකාරයකින් හෝ කොටින්ට වෙනස් නැතැ යි සැළකීමේ මනෝ භාවයක් ඒ වන විටමත් සකස් කොට තිබුණු බැවිනි.

මුතූර් ඝාතනය, ‘කණපිට නීතියේ ඝාතනයක්’ පිළිබඳ දැක්විය හැකි පැහැදිළි නිදර්ශනයකි. ඊට බිළි වූවෝ, සන්නද්ධ කොටින් නොව, අහිංසක, නිරායුධ ශ‍්‍රී ලාංකීය පුරවැසියෝ ය. තමන්ගේම වන අභ්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමේ කාලයත්, අවකාශයත් ඕනෑ තරම් ආණ්ඩුවට තිබුණි. එහෙත් එය එසේ නොකෙළේය. මුල් අපරාධයටත් වැඩි හානියක්, එකී අපරාධයේ වින්දියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය අහිමි කැරැුවීමෙන් සිදු කෙරෙන බව පාලකයෝ තේරුම් නොගත්හ.

පාලන තන්ත‍්‍රය විසින් පෙන්නුම් කිරීමට උත්සාහ කරන පරිදි, මුතූර් ඝාතනය සිදු කෙළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයම නම්, ඒ ගැන ජාතික හෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව බිය විය යුතු නැත. අනිත් අතට, අපරාධකරුවන් වන්නේ සොල්දාදුවන් නම්, ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවිය යුතුව තිබේ. එසේ නොකිරීම, රටේ කීර්තියට මෙන්ම සන්නද්ධ සේවාවන්ට ද අවනම්බුවකි.

රාජපක්ෂලා ඔවුන්ගේ අපරාධ සහ අවකල් කි‍්‍රයා මාර්ගයෙන් සිදු කරන්නේ තමන්ට එරෙහි ලෝක ජනමතයකට අතවැනීමයි. මේ වන විට බටහිර ලෝකයේ වාමාංශිකයන් හෝ දක්ෂිණාංශිකයන් අතරවත්, ප‍්‍රගතිශීලීන් හෝ ප‍්‍රතිගාමීන් අතරවත් මිතුරන් ඔවුන්ට නැත. වොෂින්ටන් සහ ඔටාවා සිට ලන්ඩන් සහ පැරිස් දක්වා මොන පක්ෂයක් බලයට පත්වුවත්, රාජපක්ෂලාගේ මල්ල කරට වැටෙන්නේ නැත. එසේම, ඉන්දියාව සම්බන්ධයෙන් තැබිය හැකි බලාපොරොත්තු ද ඊට වෙනස් නැත. ඉන්දියාවේ වර්තමානයේ බලය හොබවන කොන්ග‍්‍රස් පක්ෂය, කොළඹ ගැන ඕනෑවට වඩා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවට, භාරතීය ජනතා පක්ෂය මෑතක දී චෝදනා කෙළේය. ඒ නිසා, ඉන්දියාවේ මැතිවරණයකින් මොන පක්ෂය අනාගතයේ බලයට පත්වුවත්, රාජපක්ෂලාට එය මංගල්‍යයක් නම් නොවනු ඇත.

මීට වෙනස් ව්‍යතිරේකය වන්නේ ටෝනි ඇබොට් ය. කෙසේ වෙතත්, පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව අතරවාරයේ ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයාගෙන් ඇති පදමට ඔහුට තෑගි ලැබුණු බවට ඔස්ටේ‍්‍රලියානු අගමැතිවරයා මේ වන විට උපහාසයට ලක්වෙයි.

රාජපක්ෂ ශ‍්‍රී ලංකාව, වියට්නාමයක්වත් කියුබාවක්වත් නොවේ. මේ සහෝදරවරුන්, යම් ආකාරයක නූතන ඬේවිඞ්ලාට වඩා, ගම් මැද්දේ චන්ඩින් වැන්න. කොටි සංවිධානය තිබුණු කාලයේ, සංසන්දනාත්මක ඔවුන්ව පෙනුණේ, තරමක් ලස්සණටයි. එහෙත් කොටි පිළිබඳ මතකය කෙමෙන් වියැකි යද්දී, සහෝදර සමාගමේ අවලස්සණ, නොහොබිනා කැරැුට්ටුව දැන් මහ දවල්ම කළඑළි දකී.

එය, සිත්සතන් ආකර්ශනය කරගන්නා දර්ශනයක් නම් නොවේ.

*2013 දෙසැම්බර් 12 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ From Mutur To Geneva නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page