Colombo Telegraph

සුළුතරයට එරෙහි භීතිකාව, අන් මත නොඉවසීම සහ සාමයේ නොහැකියාව

තිසරණී ගුණසේකර

කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබිය යුත්තේ ඇයි?

සිංහලයන්ටවත්, බෞද්ධයන්ටවත් නැගෙනහිර අප‍්‍රිකාවේ කිසි ඓතිහාසික පදනමක් නැත. එහෙත් නයිරෝබි නුවර බෞද්ධ පන්සලක් තිබේ. එය, සිංහල භික්ෂුවක් විහාරාධිපතිත්වය දරණ. ථෙරවාද පන්සලකි. සිංහල-බෞද්ධ සංක‍්‍රමණික සේවකයන් විසින් පිහිටුවන ලද එම පන්සලට, නොබෝදා කෙන්යාවේ නිල සංචාරයකට ගිය අවස්ථාවේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ගියේය.

කෙන්යානුවන් නොවන පිරිසක් විසින් අන්‍යාගමික ස්ථානයක් කෙන්යාවේ පිහිටුවීම ගැන කෙන්යානු ජනතාව භීතියට පත්ව ඇති බවක් පෙනෙන්ට නැත. එයට ගිනි තැබීමෙන් හෝ ගල් ගැසීමෙන් කෙන්යානුවන් සිය විරෝධය පෑ බවක් වාර්තා වන්නේ ද නැත.

කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබිය යුත්තේ ඇයි?

කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබීමෙන් පෙන්නුම් කරන්නේ, නූතන ලෝකයේ යථාර්ථයයි. සෞදි අරාබිය සහ බාගෙ විට ඇෆ්ගනිස්ථානයත් හැරුණු විට, අද ලෝකයේ ඒක=ආගමික රටවල් නැත. දැනුමේ සහ විද්‍යාවේ ප‍්‍රවර්ධනය මගින් මුළු මහත් ලෝකයම සියල්ලන්ට විවෘත කර තිබේ. ඒ තුළ, ඔවුන්ගේ ‘සර්වඥ’ නිර්මාතෘවරුන් දැන නොසිටි (සහ ඔවුන්ට සිතාගත නොහැකි වූ) දීපංකරවල පවා තම ආගමික විශ්වාසයන් ප‍්‍රචාරය කිරීමට ආගම් භක්තිකයන්ට අවස්ථාව ලැබී තිබේ. මිනිසුන් ලෝකය පුරා සැරිසරන විට සහ විදේශයන්හි පදිංචි වන විට, සිය ආගමික විශ්වාසයන් ද ඔවුහූ එහි රැුගෙන යති. මේ සංක‍්‍රමණිකයන් සිය ආගම් අදහන විට සහ ඒවා එම රටවල ප‍්‍රචාරය කරන විට එයින් තමන් තර්ජනයට ලක්වෙති යි එකී වැසියන් සිතන්නේ නැත. එවැනි ස්වාභාවික මානව චර්යාවක් තුළ පිටදේසක්කාර ආක‍්‍රමණික තර්ජනයක් ඇතැ යි සිතන මූලධර්මවාදී වාර්ගික=ආගමික සුළුතරයක් හැම රටකම සිටින බව ඇත්ත. එහෙත්, තෙවරක් බුදුන් වැඩිය මාතෘ භූමියෙන් තමන්ගේම කැමැත්තෙන් පිටමංව වෙසෙන සිංහල=බෞද්ධයන්ගේ වාසනාවට, එවැනි පිස්සන්ට යකා නටන්ට ඉඩ නොදෙන, බුද්ධිමත් ආණ්ඩු සහ සිවිල් සමාජ එම රටවල තිබේ.

කුහක වංචාව, අන්තවාදයට සහජයෙන් උරුම වන දෝෂයකි. ඒ පොදු නියාමය, සිංහල-බෞද්ධ අන්තවාදීන්ටත් වලංගුයි. ලෝකය පුරා බුද්ධාගම ප‍්‍රචාරය කිරීම, පන්සල් තැනීම හෝ විදේශිකයන්ව බුද්ධාගමට හරවා ගැනීම තුළ කිසි වරදක් නොදකින මේ සිංහල-බෞද්ධයෝ, ඒ මූලික අයිතියම ලංකාවේ වෙසෙන අන්‍යාගමිකයන්ට නොදීමට වළිකති.

තමන් වනාහී, තමන් ජීවත් වන අතරේ අනෙකාට ද ජීවත් වීමට ඉඩහරින නිර්මල ඉතිහාසයක් සහිත, වෙනස් මත ඉවසන ජාතියකැ යි, සිංහල-බෞද්ධයෝ සාමාන්‍යයෙන් විශ්වාස කරති. සාමාන්‍ය විනීත බහුතරය ඒ ගැන ආඩම්බර වන අතර අන්තවාදියා එය දුර්වලකමක් සේ සළකයි. ථෙරවාදී නොවන (මහායාන) බුද්ධාගමට අතීතයේ අත්ව ඇති ඉරණම ගැන සළකා බලද්දී ඓතිහාසික සත්‍යයත් එතරම් ලස්සණ නැත.

මහායාන බුද්ධාගම සියවස් තුනක් තිස්සේ අතීත ලංකාවේ මල්ඵල දරා තිබේ. ‘පුරාණ ලංකාවේ 8 වැනි සියවසේ සිට 11 වැනි සියවස දක්වා මහායාන බුද්ධාගම ප‍්‍රචලිතව පැවති බවට, මෙතෙක් සොයාගෙන ඇති ශිලාලිපි, කලාත්මක, සංකේතාත්මක සහ දේව ආකෘති ආදිය දෙස් දෙයි’. මහායාන බුද්ධාගමේ මූලස්ථානය වශයෙන් ගොඩනැගුණු අභයගිරිය, ආසියාවේ, සමහර විට එයිනුත් ඔබ්බේ, අති මහත් කීර්තියක් ඉසිලූ අධ්‍යාපනික කේන්ද්‍රයක් විය. පාහියන් භික්ෂුව වැඩම කරන කාලයේ දන්ත ධාතූන් වහන්සේගේ භාරය තිබුණේ ද මහා විහාරයට නොව, අභයගිරියට ය.

මහා විහාරවාසී ථෙරවාද භික්ෂූන්, අභයගිරිවාසී මහායාන/වජ‍්‍රයාන භික්ෂූන්ව සැළකුවේ, මිත්‍යාදෘෂ්ටිකයන් වශයෙනි. බෞද්ධ සමාජය තුළ අධිපතිත්වය සඳහා මේ දෙපාර්ශ්වය අතර කෙරුණු දීර්ඝ අරගලය තුළ, එක පාර්ශ්වයක් පාගා දමා තමන් වැජඹීමට දෙගොල්ලන්ම පාවිච්චි කෙළේ රාජ්‍ය අනුග‍්‍රහයයි. දැනට ඇති වාර්තා අනුව, එක භික්ෂු පාර්ශ්වයක් තලා පෙලීම මුලින්ම ආරම්භ කෙළේ, මහා විහාරයට අනුග‍්‍රහය දැක්වූ, වෝහාරික තිස්ස රජුන් ය. එහි දී මහායාන භික්ෂූන්ගේ පොතපත ගිනිලෑ අතර, ඔවුන්ව ‘පාපී භික්ෂූන්’ වශයෙන් අපවාදයට ලක්කෙරුණි. මේ ආගමික හිංසාව තවත් පියවරක් ඉදිරියට ගෙන ගිය ගෝඨාභය රජු, ‘වෛතුල්‍යවාදී අභයගිරි භික්ෂූන් 60 නමකගේ සිරුරුවල හංවඩු ගැසුවේය.’

අභයගිරිවාසී භික්ෂූහු, මහසෙන් රජුගේ කාලයේ එහි පළිය ගත්හ. එහදී තාඩනපීඩනයට ලක්වූ මහා විහාරය අවුරුදු 9 ක් වල්වැදුණි.

මේ දීර්ඝ අරගලය අවසන් වුණේ, මහායාන/වජ‍්‍රයාන භික්ෂූන්ට ඓතිහාසික පරාජයක් අත්කර දෙමින්, මහ පැරකුම්බා රජු විසින් ථෙරවාදී අධිකාරය යටතේ සියලූ කණ්ඩායම් ‘එක්සේසත්’ කිරීමෙනි. රාජාඥාවකින් කෙරුණු මේ එක්සේසත් කිරීම මගින්, ථෙරවාද නොවන ආගමික කණ්ඩායම්වලට ලංකාවේ දොරටුව සදහට වැසුණි. එය, එතෙක් පැවති අන්තර්=ආගමික සංවාද සංස්කෘතියට ද දොර වැසීමක් විය. මෙයින් වැඩි කාලයක් ඉක්ම යන්නට මත්තෙන් ලාංකීය ශිෂ්ටාචාරය පරිහානිදායී මාවතකට පිවිසීම, එම සිද්ධියට කෙලින්ම අදාළත්වයක් නැති තත්වයක් වන්නට හෝ නොවන්නට පිළිවන. කෙසේ වෙතත්, ලෝකයේ වෙනත් තැන්වල ශිෂ්ටාචාර සතුව පැවති ගතිකත්වයන්, මිසදිටු ඇදහීම් මර්දනය කිරීම සඳහා යොදවා සාර්ථක වූ අවස්ථාවල, එම ශිෂ්ටාචාර එක තැන පල් වුණි. පරිහානියට පත්වුණි. රෝම ශිෂ්ටාචාරයේ සිට ඉතිහාසයේ එය අත්දැක තිබේ. ඓතිහාසික වශයෙන් සළකන විට, අනිත් අතට, අන්‍යාගම් ඉවසීම සහ භෞතික සංවර්ධනය අතර සමීප සබඳතාවක් ඇති බව ඉතිහාසයේ දී දැකිය හැකිය.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් සහ රාජපක්ෂලා 21 වැනි සියවසේ දී ක‍්‍රියාත්මක කිරීමට මානන්නේ, මහ පැරකුම්බා රජුගේ ඒ අන් මත නොඉවසන, බහුත්වවාදය පිටුදකින, එක්සේසත් මොඩලයයි.

අතාර්කිකත්වය රජයන තැන

අන්තවාදය, කිසියම් ආගමක, ජාතියක හෝ කණ්ඩායමක තනි ජන්ම උරුමයක් වන්නේ නැත. මහාවංශ මානසිකත්වය සහ අනගාරික ධර්මපාලගේ ආර්ය මිථ්‍යාව මත ගොඩනැගුණු සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය වැජඹෙන අවදියේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් යනු, කැටපෝලයෙන් කුරුල්ලන් දඩයම් කරමින් සිටි පොඩි කොල්ලෙකි.

මහාවංශය හරහා ලංකාව බුද්ධාගමට පූජා කිරීමත්, ඒ මගින් නිර්මාණය කළ ජීවන අවකාශය සහ නිර්-පාපී යුද මිථ්‍යාවනුත් සමගින් එය සිංහල-බෞද්ධයාගේ බයිබලය/කුරානය බවට පත්විය. බෞද්ධ පොතපත ගිනිලද්දී, බෞද්ධ අධ්‍යාපනික කේන්ද්‍ර විනාශ කරද්දී සහ මිථ්‍යාදෘෂ්ටිය පරාජය කිරීමේ නාමයෙන් බෞද්ධ භික්ෂූන්ව පිටුවහල් කරද්දී, මහාවංශය ප‍්‍රහර්ශයෙන් පිනාගියේය. ඒ ආකාරයෙන්ම, අපේ කාලය වන විට, මේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයටම ඔබින ‘ශිෂ්ටාචාර අතර ගැටුමක්’, එනම්, ‘ක‍්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ලෝකයාට’ හතුරුව සිටින, ‘සිංහල-බෞද්ධ’ ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමට පාර කපා තිබේ.

මේ අර්ථකථනය තුළ ලංකා ඉතිහාසය ගොඩනැගෙන්නේ, පිරිසුදු බුද්ධාගමේ එකම රක්ෂාස්ථානය සහ සිංහලයන්ගේ එකම දේශය, පිටස්තර ජාති/ආගම්/සංස්කෘතීන්ගෙන් බේරා ගැනීම සඳහා දියත් කෙරෙන නිමාවක් නැති අරගලයක් වශයෙනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, සිංහල-බෞද්ධයන් වෙනත් බොහෝ රටවල දී කරන්නා සේ මේ රටේ සුළුතර ප‍්‍රජාවන් ඔවුන්ගේ ආගම ප‍්‍රචාරය කිරීමට යොමු වන විට ඔවුන්ව සැළකෙන්නේ පිටදේසක්කාර හතුරන් වශයෙනි. ශ‍්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ ගුණය කඩා ඉහිරවීමට කුරුමානම් අල්ලන මිථ්‍යාදෘෂ්ටිකයන් වශයෙනි. ජාතීන් ශුද්ධ කර දැමීමේ බරපතල චෝදනාවෙන් ගැලවී සුළුතර ප‍්‍රජාවන් භූගෝලීය වශයෙන් පළවා හැරීමක් මේ කාලයේ කළ නොහැකි නිසා, දේශපාලනික වශයෙන් ඔවුන්ට හිමි ‘නිසි තැන’ ඔවුන්ව තැබිය යුතුව ඇත. රටේ එක්සත් කම රැුඳෙන්නේ, අවශ්‍ය වෙතොත් හිංසනය ද සහිතව, ඒ මාර්ගයෙන් ස්ථාපිත කෙරෙන, ධූරාවලියක් මතයි.

පශ්චාත්-නිදහස් ලංකාවේ/ශ‍්‍රී ලංකාවේ අනර්ථයට හේතු වුණේ, ඒ ලෝක දැක්ම මත ගොඩනැගූ, අනිකා බැහැර කිරීමේ දේශපාලනයයි. ලාංකීය අනන්‍යතාවක් ගොඩනගා ගැනීම එයින් වැළැකුණි. දීර්ඝ කාලීන ඊලාම් යුද්ධයකට පාර කැපුණි. යුද්ධයෙන් පසුවත් ඒ මාර්ගය වැටී ඇත්තේ, සාමයට නොව, සුළු සහ මහ පරිමාණ ගැටුම්වලටයි.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සහ රාජපක්ෂ ස්වෝත්මවාදයේ තකට තක මංගල්‍යය මගින්, සීමාන්තික උමතු ඉමේ රඟන බුද්ධි හීනයන්ගේ අභිලාෂ ලැයිස්තුව මේ වන විට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවට අභිෂේක ලබා තිබේ. ඊලාම් යුද්ධය ඇති වුණේ, සදාතන අමුත්තන් වශයෙන් වන තමන්ගේ තත්වය දෙමළ ජාතිය විසින් අමතක කරනු ලැබීමත්, ඉතා ඉවසිලිවන්ත සහ අතිශය ත්‍යාගශීලී සිංහල ජාතියෙන් අසාධාරණ ඉල්ලීම් කිරීමත් නිසා යැයි බොහෝ දෙනා සිතත්. ඔවුන් සිතන පරිදි, දේශපාලන විසඳුමක් රටට යෝග්‍ය නැත. මන්ද යත්, ස්වභාවික ධූරාවලිය ඒ මගින් ඉහිරවා, රජ ජාතිය ආගම විනාශ මුඛයට ඇදහෙලීමට තුඩුදෙන බැවිනි.

අන්තවාදය යනු, දේශපාලනික දෝෂයකට වැඩි දෙයකි: එය, ඇලෙන ගැලෙන, මානසික ඇබ්බැහියකි. එහි නරක ප‍්‍රතිවිපාක ඇස්පනා පිට පෙනෙන්ට තිබියදී පවා, එයින් නිදහස් වීම පහසු නැත. කිසිම ජාතියක් හෝ ආගමක් මේ රෝගයෙන් විනිර්මුක්ත නැත. ආගමික අන්තවාදය සහ නොඉවසීම, ලෝකයේ වෙනත් තැන්වල සේම ලංකාවේ ද, ඓතිහාසික ශාපයකි. ඒ ඓතිහාසික යථාර්ථය ගැන අප ඇස්කන් පියාගෙන සිටියොත් විය හැක්කේ, රාජපක්ෂලාගේ පූර්ණ දැනුවත් භාවයෙන් සහ සහයෝගයෙන් යුතුව මේ වන විට සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් විසින් ප‍්‍රචාරය කොට විසුරුවා හරින විසකුරු අදහස් උදහස්වලට අප විසින් දැක්විය යුතු දේශපාලනික සහ මනෝමය ප‍්‍රතිරෝධය අඩාල වීමයි.

ජස්ටීනියානු දුර්ලබ්ධි නීතිරීති හරහා කුරුස යුද්ධවල සිට තලිබාන් දක්වා වන ඓතිහාසික සාක්ෂි මගින් ඔප්පු කෙරෙන පරිදි, අන්‍යාගමිකයන්ව නොඉවසීම විනාශකාරී ය. ස්වයං=විනාශකාරී ය. එයින් විචාර බුද්ධිය විකල් කෙරේ. සිත්සතන් භීතියෙන් ඔද්දල් කෙරේ. අසල්වැසියන්ව, යාළු හිතමිත‍්‍රාදීන්ව සහ පවුලේ සාමාජිකයන්ව පවා, එකිනෙකාට එරෙහිව කොටවයි. ඒ මාරක ආකර්ශණයට ඇලෙන ඕනෑම රටක්, මිනිස් වාසයකට නුසුදුසු දේශයක් බවට පත්වෙයි.

‘‘එකිනෙකා ගැන බියෙන් අප ජීවත් විය යුතු නැත. අවිචාර සමයකට අපව ඇද දමන භීතිකාවකට අපව මෙහෙයැවීමට ඉඩ දිය යුතු නැත.’’ 1950 දශකය ආරම්භයේ ඇමරිකානු සමාජය කොමියුනිස්ට් භීතිකාවකින් රෝගාතුර කිරීමට මූලිකත්වය ගත් සෙනෙට් සභික මැකාර්තිව ප‍්‍රසිද්ධියේ අභියෝගයට ලක්කරමින් එඞ්වඞ් ජේ. මුරෝ කළ ඉහත සඳහන් ප‍්‍රකාශය, අපේ පිස්සන් ආශ‍්‍රයෙනුත්, රාජවංශික පාලන ක‍්‍රමයක් ඇටවීම සඳහා සුළුජාතීන් පිළිබඳ භීතිකාවක් වැපිරීමට තතනන රාජපක්ෂ සැලසුම ආශ‍්‍රයෙනුත්, අප දැරිය යුතු, පුද්ගල සහ සාමූහික, ප‍්‍රතිචාරය විය යුත්තේය.

*2014 ජනවාරි 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Minority-Phobia, Intolerance And The Impossibility Of Peace නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page