Colombo Telegraph

කළු ජුලිය සහ ‘ජන්ම-අපරාධය’

තිසරණී ගුණසේකර

තිස් එක් වසරකට පෙර සිංහල මැරයෝ, ලංකාවේ සියලූ තැන්හි වෙසෙන දෙමළ ජාතිකයන්ට පහර දුන්හ. හේතුව, දෙමළ කැරලිකාරීන් විසින් සිංහල සොල්දාදුවන් 13 දෙනෙකු යාපනේ දී ඝාතනය කර තිබීමයි. මීට මාසයකට කලින් සිංහල බෞද්ධ මැරයෝ අළුත්ගම, බේරුවල සහ ඒ අවට පෙදෙස්වල වෙසෙන මුස්ලිම් ජනයාට පහර දුන්හ. හේතුව, මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු විසින් බෞද්ධ භික්ෂුවකට සහ ඔහුගේ රියැදුරාට පහර දුන්නා යැයි කියන සිද්ධියක් නිසා ය.

කොටි සංවිධානය විසින් සිංහල සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීම ඇත්තෙන්ම සිදුවූවකි. එහෙත් මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු බෞද්ධ භික්ෂුවකට කළා යැයි කියන පහර දීම ගැන විවිධ අර්ථකථන තිබේ. එසේ වුවද, ‘භික්ෂුවකට පහර දුන්නා’ යන්න, අර මැරයන් ද, අළුත්ගම ප‍්‍රහාරය සාධාරණීකරණය සඳහා කැසකවන ගෝඨාභය රාජපක්ෂගේ සිට අනෙක් අයවළුන් විසින් ද පාවිච්චි කළ සටන් පාඨයයි. එනිසා, එවැනි පහර දීමක් ඇත්තෙන්ම සිදු විණැ යි අපි උපකල්පනය කරමු.

බුද්ධාගමට කොහෙත්ම නොගැළපෙන, ‘ඇසට ඇසක්’ ප‍්‍රතිපත්තිය අනුව වුවත්, මැරයන් පහර දිය යුතුව තිබුණේ අර කී මුස්ලිම් තරුණයන්ට ය. එවැන්නක් සිදු නොවුණි. ඒ වෙනුවට ඔවුන් කෙළේ, එම සිද්ධියට කිසි සම්බන්ධයක් නැති මිනිසුන්ගේ කඩ සාප්පුවලට ගල් ගැසීම සහ ඒවා ගිනි තැබීමයි. එවැනි ස්ථාන ඉලක්ක වුණේ, හුදෙක් ඒවායේ හිමිකරුවන් මුස්ලිම් ජාතිකයන් වීම නිසාම පමණි.

අළුත්ගම සිද්ධිය යුක්ති සහගත කිරීම සඳහා පාවිච්චි කරන දෙවැනි තර්කය වන්නේ, බෞද්ධ පෙරහැරකට/පෙළපාලියකට යම් පිරිසක් මුස්ලිම් පල්ලියක සිට ගල්මුල්වලින් පහර දුන් බවයි. එහිදීත් සිංහල මැරයන් පහර දුන්නේ අර කියන මුස්ලිම් පල්ලියේ සිට ගල් ගැසුවා යැයි කියන පිරිසට නම්, එය ද ‘ඇසට ඇසක්’ තර්කයට ගිනිය හැකිව තිබුණි. එහෙත් එවැන්නක් ද සිදු නොවුණි. ඔවුන් පහර දුන්නේ, ගල් ගැසුවා යැයි කියන අයට කිසි සම්බන්ධයක් නැති, වෙනත් නිවාස, කඩසාප්පු සහ මුස්ලිම් දේවස්ථානවලට ය. එහිදීත් එකම තර්කය වී ඇත්තේ, ඒවායේ හිමිකරුවන් මුස්ලිම් ජාතිකයන් වීම පමණි.

1983 දී සිංහල මැරයන් උතුරට ගොස් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ගනුදෙනු බේරාගත්තේ නම් එහි යම් තර්කයක් තිබෙන්නට තිබුණි. නැතහොත්, ඝාතනයට ලක්වූ සිංහල සොල්දාදුවන් 13 දෙනාගේ ජීවිතවල වන්දිය ගැනීමට හමුදාවට, පොලීසියට, නාවුක හෝ ගුවන් හමුදාවට බැඳී එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව සටන් කෙළේ නම් එය ද තර්කාන්විත වීමට ඉඩ තිබුණි. එවැන්නක් ඔවුන් කෙළේ නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානයට දඬුවම් කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවුණි. ඔවුන් කෙළේ දෙමළ මිනිසුන්ට පහර දී ඔවුන්ගේ දේපල කොල්ලකා ඔවුන්ව ඝාතනය කිරීමටයි.

ජෝර්ජ් ඕවල්ගේ ප‍්‍රති-යුතෝපියාව තුළ, ‘සිතිවිලි අපරාධය’ යනුවෙන් හැඳින්වුණු දෙයක් තිබුණි. කළු ජුලිය සහ අළුත්ගම ඊටත් වඩා අතාර්කික සහ සාහසික ක‍්‍රියාවකි. එය හැඳින්විය හැක්කේ ‘ජන්ම අපරාධය’ වශයෙනි. ඇතැම් දෙමළෙකු සොල්දාදුවන් ඝාතනය කළ නිසා සියලූ දෙමළුන් එම ඝාතනයේ වැරදිකරුවන් කෙරේ. ඇතැම් ඉස්ලාමිකයෙකු භික්ෂුවකට ‘පහර දුන්’ නිසා සියලූ ඉස්ලාමිකයෝ එම පාපයට වැරදිකරුවෝ වෙති.

කළු ජුලියට බිළි වූවන් කළ එකම ‘අපරාධය’ වුණේ, දෙමළ පවුලක උපත ලැබීමයි. අළුත්ගමදී බිළි වූවන් කළ එකම ‘අපරාධය’ වුණේ, මුස්ලිම් පවුලක උපත ලැබීමයි.

‘ජන්ම අපරාධය’ යන්න හුදෙක් සිංහල-බෞද්ධ මිථ්‍යාවක් පමණක්ම නොවේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය ද ඊට සම්මාදම් විය. අනුරාධපුරේ මිනිස් ඝාතනයටත්, මුස්ලිම් ජාතිකයන්ව උතුරෙන් නෙරපා හැරීමටත් හේතු වුණේ මේ කියන ‘ජන්ම අපරාධයයි’. එසේම, යුදෙව්-විරෝධී ක‍්‍රිස්තියානියේ මෙන්ම නට්සිවාදී චින්තනයේ මූලික ආස්ථානයක් වුණේ ද ඒ ‘ජන්ම අපරාධයයි.’ එවැන්නක් නොවුණි නම්, දෙවැනි ලෝක යුද්ධ කාලයේ හිට්ලර් දියත් කළ මහා මිනිස් සංහාරය ඇති නොවෙනු ඇත.

ගාසා තීරයේ දැන් දියත් වන ඊශ‍්‍රායල් ප‍්‍රහාරය තුළ මේ ‘ජන්ම අපරාධය’ පිළිබඳ චින්තනය කැපී පෙනෙයි. යුදෙව් තරුණයන් තුන් දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමුණි. එය සහගහන අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු කොට අපරාධකරුවන් අත්අඩංගුවට ගනු වෙනුවට ඊශ‍්‍රායල් ආණ්ඩුව කෙළේ එම අපරාධය නිදහසට කරුණක් වශයෙන් ගෙන, මුළු ගාසා තීරයේම වෙසෙන ජනතාව සාමූහික දණ්ඩනයකට ලක්කිරීමයි. දැනටමත් 700 කට අධික පලස්තීනුවන් සංඛ්‍යාවක් ඝාතනය කොට ඇති අතර ඊශ‍්‍රායලයේ එම ක‍්‍රියාව තුළ, ‘ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය වී තිබිය හැකි බවත්, එය යුද අපරාධ ගනයේ ලා සැලකිය හැකි තත්වයකට වර්ධනය වී තිබිය හැකි බවත්,’ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ ප‍්‍රකාශ කොට තිබේ. තරුණයන් තිදෙනා පැහැරගෙන ගොස් මරා දැමුවේ යැයි සැක කෙරෙන හමාස් සංවිධානයට සහාය දක්වන්නන් සහ විරෝධය දක්වන්නන් වෙන් කොට හඳුනා ගැනීමට, ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට හෙලනු ලබන බෝම්බවලට පුලූවන් කමක් නැත. එසේම එම බෝම්බවලට, තොටිල්ලේ නිදන සිඟිත්තා සහ සන්නද්ධ හමාස් සටන්කරුවා වෙන් කොට හඳුනා ගැනීමේ පුලූවන් කමක් ද නැත. ඒවායින් කෙරෙන්නේ, ගාසා තීරයේ පලස්තීනුවන් වශයෙන් ඉපැදීමේ වරදට සියලූ පලස්තීනුවන් සාමූහික දණ්ඩනයකට ලක්කිරීමයි.

ඇමරිකාවට එරෙහිව එල්ල කළ සැප්තැම්බර් 11 ප‍්‍රහාරය ඔසාමා බින් ලාඩෙන් යුක්ති සහගත කරගත්තේ එරටේ නායකයන්ගේ අපරාධවලට එම නායකයන්ව පත්කරගන්නා ජනතාව වශයෙන් සියලූ ඇමරිකානුවන් වගකිව යුතු බව කියමිනි. තමන්ගේ නායකයන් ලෝකය පුරා ගෙන යමින් සිටි අධිරාජ්‍යවාදී ක‍්‍රියාකලාපයට සහාය දැක්වූවන් සහ විරෝධය දැක්වූවන් අතර වෙනසක් දැකීමට බින් ලාඩන්ගේ ප‍්‍රහාරයට පුලූවන් කමක් නොවුණි. එම සාමූහික දණ්ඩනයේ ද තර්කය වුණේ, කෙනෙකුට ගැලවී යා නොහැකි, ඉහත කී, ‘ජන්ම අපරාධයයි.’

යටත්විජිත ආක‍්‍රමණිකයන්ගේ අපරාධවලට සෑම ලාංකීය කිතුණුවෙකුම වැරදිකරුවෙකු වශයෙන් ගන්නා, ජාතික හෙළ උරුම සහ බොදුබල සේනා චින්තනය තුළ ගම්‍ය වන්නේ ද ඒ ‘ජන්ම අපරාධයයි’. නැතහොත්, කාලිංග මාඝගේ අපරාධ, දෙමළ-විරෝධී භීතිකාව සඳහා හේතුවක් කර ගැනීම ගත හැකිය.

මුලින් කී ජෝර්ජ් ඕවල්ගේ ‘සිතිවිලි අපරාධයේ’ වරදට හසු නොවී සිටීමේ යම් අවසරයක් හෝ කෙනෙකුට සපයා ගැනීමට බැරි කමක් නැත. එහෙත්, ‘ජන්ම අපරාධයෙන්’ ගැලවෙන්ට ක‍්‍රමයක් නම් ඇත්තේම නැත. නුවාන්ස හෙවත් අරුත් සේයා (වෙනස් අර්ථ දැක්විය හැකි කම), සෑම ජාතියකම, සෑම ආගමකම අන්තවාදීන් නොඉවසන්නකි. තමන් උපන් ජන්මය නැතැ යි කීමට කිසිවෙකුට බැරි ය. හැම තැනකම සිටින අන්තවාදීන් එවැනි නිශ්චිත සාධකයකට බෙහෙවින් ඇලූම් කරන්නේ එබැවිනි. මේ ‘ජන්ම අපරාධය’ පාලක තර්කනය වන විට, ඊට කළ නොහැකි දාමරිකත්වයක් නොමැත. සමූල ඝාතන සහ ගෑස් කාමර ද ඊට අන්තර්ගත ය.

ලයිඩෙන්ස්වෙග් (විඳවිල්ල)

කළු ජුලිය තුළ පැවතුණේ මදාවියන්ගේ අණසකකි. සමාජය අවුල් ජාලයක් කළ තත්වයකි. ජාතියෙන් දෙමළ නොවන අයවළුන්ට ඒ අවුල් ජාලය, වැඩිම වුණොත්, හිතට හරි නැති දෙයක් වුණා පමණි. එහෙත් සෑම දෙමළ පිරිමියෙකුටම, ගැහැනියකටම, දරුවෙකුටම, සෑම දෙමළ පොහොසතෙකුට මෙන්ම දුප්පතෙකුටම, සෑම දෙමළ කම්කරුවෙකුට මෙන්ම ඉහළ නිලධාරියෙකුටම, එම අවුල මාරාන්තික එකක් විය. එම කාලය තුළ කිසි සිංහලයෙකුට (මුස්ලිම් ජාතිකයෙකුට) අනාරක්ෂාවක් නොදැනුණි. එසේම කිසි දෙමළ ජාතිකයෙකුට ආරක්ෂාවක් නොදැනුණි.

හිතමතා හෝ නොදැනුවත්ව සිංහල ස්වෝත්තමවාදීන් වන බොහෝ දෙනාට, සමහර විට, කළු ජුලිය තුළින් තමන්ට අවශ්‍ය කරන අනාගත ශ‍්‍රී ලංකාවක යම් ඡුායාවක් පෙනෙන්ට ඇති. එනම්, පොහොසත්ම දෙමළාට වඩා දුප්පත්ම සිංහලයා බලගතු වන රටක්. ඔවුන්ගේ යුතෝපියාව හෙවත් රාමරාජ්‍යය වනුයේ සදාතනිකව පවතින කළු ජුලියකි. (අළුත්ගමකි).

ගිය සතියේ යාපනේ දැරියන් දෙන්නෙකු නාවුක හමුදා භටයන් අතින් දූෂණයට ලක්විය. ඒ අපරාධයට මේ කියන නාවුක භටයන් අධිකරණයක් ඉදිරියේ අනාගතයේ වැරදිකරුවන් වුවත්, සියලූ නාවුක භටයන් ළමා දූෂකයන්ය යන්නක් එයින් ඔප්පු වන්නේ නැත. කලක් හෙළ උරුමයේ පතාක යෝධයෙකුව සිටි සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටි කොලොන්නාවේ සුමංගල හිමියන්ගේ භාරයේ සිටි සොරා ගත් ඇත් පැටවෙකු රාජ්‍ය භාරයට ගන්නැ යි වනජීවී නිලධාරීන්ට අධිකරණය නියෝග කෙළේය. මේ හේතුව නිසා, සෑම භික්ෂුවක්ම (හෝ සෑම හෙළ උරුම භික්ෂුවක්ම) ඇත් පැටව් හොරෙකියි ගම්‍ය වන්නේ නැත. තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා, ස්ත‍්‍රී දූෂණයට සහ මිනීමැරුමට ගිය සතියේ වැරදිකරු විය. ඒ හේතුවෙන්, සෑම පාලක පක්ෂ දේශපාලඥයෙකුම මිනීමරුවෙකු හෝ ස්ත‍්‍රී දූෂකයෙකු වන බවක් අදහස් වන්නේ නැත. එවැනි සාමාන්‍යකරණයකට පෙළඹෙන ඕනෑම කෙනෙකු පිස්සෙකු වශයෙන් හෝ ලෙඩකාරයෙකු වශයෙන් සැළකෙනු නොඅනුමානයි.

එහෙත් එම විචාර බුද්ධිය, යම් ප‍්‍රජාවක් සම්බන්ධයෙන් පෙන්නුම් නොකරන්නේ ඇයි? යම් ප‍්‍රජාවක සාමාජිකයන් කිහිප දෙනෙකු කළා යැයි කියන යම් වරදකට එම මුළු සමාජයටම දඬුවම් දීම නිවැරදි යැයි හඟින්නේ කෙසේද?

ලයිඩෙනස්වෙග් යන ජරමානු වචනයෙන් අදහස් වන්නේ, අතීතයේ කළ වැරදි සහ අපරාධ හේතුවෙන් අසීමිත විඳවිල්ලකට යම් කෙනෙකු පත්වන ඛේදවාචක තත්වයකි. ශ‍්‍රී ලංකාව තවමත් තමන් කළ පව්වලට ගෙවමින් සිටී. කළු ජුලිය එයින් එකකි. එහෙත් ඒවායින් පාඩම් නොගෙන, කුඩා කළු ජුලි ඇවිලවීමේ අළුත් උත්සාහයක් දැන් පෙනෙන්ට තිබේ. මෙවර ඊට ගොදුරු වන්නේ මුස්ලිම් ජාතිකයන් ය. අවසන් වූ යුද්ධයේ මූලයන් ගැන අවධානය යොමු කරනවා වෙනුවට, අප කරන්නේ ඊළඟ යුද්ධයට ලහිලහියේ සූදානම් වීමයි.

තවත් සුළුතරයක් සමග ඇති කරගන්නා අළුත් ගැටුමකට යමින් තිබෙන මේ මාරක පරිහානිය, ඉහත කී ‘ජන්ම අපරාධය’ සහ සාමූහික දඬුවමට සම්බන්ධ සංකල්ප ප‍්‍රතික්ෂේප නොකොට නතර කළ නොහැක. කළු ජුලිය, තමන් නැවත නොකළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ මතකයක් වශයෙන් තබාගන්නේ ද, නැතහොත් අනාගතයටත් ප‍්‍රයෝජනයට ගත හැකි ආදර්ශයක් වශයෙන් තබාගන්නේ ද යන්න රඳා පවතින්නේ, ‘ජන්ම අපරාධය’ පිළිබඳ නිර්-බෞද්ධ සංකල්පයෙන් නිදහස් වීමට ඇති හැකියාව හෝ නොහැකියාව මත ය.

*2014 ජුලි 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ Black July And Birth-Crime නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page