Colombo Telegraph

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම

තිසරණී ගුණසේකර

‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’)

රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු නොවන්නෙකුගෙනි. ඒ, ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්ගෙනි. රාජපක්ෂ සහෝදරවරු කටයුතු කරන ආකාරය පිළිබඳ බ්ලේක් මහතාගේ නිරීක්ෂණ, රාජපක්ෂලාගේ බල ග‍්‍රහණයට එරෙහිව දැනට ඉතිරිව ඇති අවසාන බාධකය වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අකර්මණ්‍ය කිරීමේ ඔවුන්ගේ වර්තමාන සැලැස්ම කෙරෙහි විශේෂ එළියක් විහිදුවයි. ඔහු වරක් කියා ඇත්තේ මෙසේය:

‘‘ජනාධිපතිවරයා, බොහෝ විට, තීරණ ගැනීමට අදිමදි කරයි. විශේෂයෙන්, වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔහු කල් මරයි. සමහර විට, තීරණ ගැනීම මුළුමණින්ම මගහරින ඔහු, බොහෝ වගකීම් ගෝඨාභයට සහ බැසිල්ට පැවරීම හරහා ජනතා අප‍්‍රසාදයෙන් වැළකී සිටීමට බලයි. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රතිපත්ති සහ දේශපාලන ප‍්‍රතිපත්ති හැඩගැස්වීමෙහි ලා ඔහුගේ සහෝදරයන් රඟපාන්නේ වැදගත් සහ බලපුලූවන්කාර භූමිකාවකි. ඊටත් වඩා, ඔවුන්ගේ ලොකුම රාජකාරියක් වන්නේ, ජනාධිපතිවරයා සඳහා අවශ්‍ය කරන දේශපාලනික ආවරණය සැපයීමයි. ඇතැම් තීරණ ගෝඨාභයට සහ බැසිල්ට බැර වීමට ඉඩ හැරීම මගින්, දේශීය තලයේ සහ ජාත්‍යන්තර තලයේ විවේචනයට ලක්විය හැකි ප‍්‍රශ්නවලට තමන්ගේ සම්බන්ධයක් නැතැ යි ලෝකයාට ඇඟවීමේ හැකියාව ඔහුට ලැබේ.’’

මහින්ද රාජපක්ෂ මිත‍්‍රශීලී ය. බොහෝ දෙනා කියන පරිදි, ප‍්‍රසන්න ය. ගෝඨාභය රාජපක්ෂ, අශිෂ්ටයෙකු වන තරමට, දඩබ්බර ය. බැසිල් රාජපක්ෂ, තෙල් බේරෙන ජේත්තුකාරී ය. දේශපාලනික සූක්ෂම ශ‍්‍රම විභජනයකට කියාපු, එකිනෙකට වෙනස් එවැනි බාහිර චරිත විලාසයන් නිසා, ඔවුන්ගේ පරමාර්ථ අතර ඒකමිතියක් නැතැ යි යන අදහසක් කෙනෙකු තුළ ඇති කෙරෙන අතර, බොහෝ විට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති, යම්තාක් අපසාරී (සමහර විට එකිනෙකාට පරස්පර) දිසානතීන් කෙරෙහි යොමු වෙතැ යි ද කෙනෙකුට සිතෙයි. එවැනි වෙනස් පුද්ගල චරිත ස්වභාවයන් නිසා, විටින් විට, මිථ්‍යාවන් සහ විවිධ කටකතා ද පැතිරෙයි: ‘‘මහින්ද මධ්‍යස්ථයි. ගෝඨාභය තමයි, නපුරා’’ ‘‘මහින්ද දැන් බැසිල්/ගෝඨාභය එක්ක එච්චර හොඳ නැහැ.’’ ‘‘මහින්ද, දැන් ගෝඨාභය/බැසිල්ගේ හිරකාරයෙක් වෙලා’’ වැනි කටකතා එමටයි.

ඕනෑම පවුලක සහෝදරයන් අතර සිදුවන්නාක් මෙන්, රාජපක්ෂලාටත් පෞද්ගලිකව වෙනස් මතිමතාන්තර ඇති. ඒ සමගම, ඔවුන්ට පොදු දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ද තිබේ. බලයේ සෑම දශමයක්ම තමන්ගේ සාමූහික අත්වලට ගොනු කර ගැනීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. බලයට සහ බලපෑමට අදාළ තමන්ගෙන් පිටස්තර වෙනත් ඕනෑම ස්ථානයක් වෙතොත් එය සුනුවිසුණු කර දැමීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. (අධිකරණයට එරෙහි ප‍්‍රහාරයේ දී ඔවුන් තිදෙනාම එකාවන්ව කඳවුරු ගැසුණු අවස්ථාව ඊට මනා නිදසුනකි). පවුලේ පාලනය ආරක්ෂා කර ගැනීමටත්, පවුල් වංශයේ පාරම්පරික උරුමය රැුක ගැනීමටත් ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවුණි නම්, මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපති පදවියට උරුම කියන්නේ කවුරුන් ද යන ප‍්‍රශ්නය ගැන මතභේද ඇති වන්නට ඉඩ තිබුණි. එවැනි මතභේද විශාල ගැටුම්වලට පාර කපන්නට තිබුණි. ඒ මගින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලාගෙන් ගැලවෙන්නට අවස්ථාවක් ද පෑදෙන්නට තිබුණි. එහෙත් ජනාධිපති ධුර සීමාව ඉවත් කිරීමත් සමග (18) ඒ සාධනීය විභවය අහෝසි විය. දැන් සහෝදරයන්ට තමන්ව බලවත් කර ගැනීමටත් අනිත් සෑම කෙනෙකුවම බලරහිත කිරීමටත්, එකාවන්ව වැඩ කළ හැකිය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හීලෑ කිරීම, ඒ බල පේ‍්‍රරණයේ මූලික අංගයකි. ඒ සංශෝධනය මේ දක්වාවත් නොනැසී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව, එය අවලංගු කළහොත් ඇති විය හැකි ඉන්දියානු/බටහිර ප‍්‍රතිචාරය ගැන රාජපක්ෂලා තුළ තිබෙන විචිකිච්ඡුාවන් නිසාම පමණි.

රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය, නිසගයෙන්ම කේන්ද්‍රාභිසාරී ය. (බලය තනි අතකට ගොනු කර ගැනීමේ ප‍්‍රවණතාව). බලය බෙදාහදා ගැනීම කෙරෙහි සහෝදරයන් තුළ ඇති අප්පිරියාව ඔවුන්ගේ බොක්කෙන්ම එන්නකි. පැහැදිළිවම ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළ විට, අධිකරණයට එරෙහිව ඔවුන් එතරම් විසප්පු වුණේ එබැවිනි. තමන්ගේ බලයෙන් පරිබාහිර පළාත් සභාවකට ඔවුන් විරුද්ධ වන්නේත් ඒ අර්ථයෙනි. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් මගහැර යන්නට සහෝදරයන්ට හැකි වුණු තාක් කල්, එය ගැටළුවක් නොවුණි. එහෙත් ඉන්දියාවෙන් දෙන අල්ලසට ගිජු වීමට සිද්ධ වීම නිසා එම තත්වය වෙනස් වුණි: ඒ අල්ලස වූ කලී වෙන කිසිවක් නොව, රාජපක්ෂලා ලවා සැප්තැම්බරයේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හුවමාරුවක් වශයෙන්, නොවැම්බරයේ හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට රාජපක්ෂලා වෙනුවෙන් ඉන්දියානු සහයෝගය සැපයීමයි.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ බලය බෙදා හැරීමට එරෙහි රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ, ඔවුන්ට තේරීම් දෙකක් තිබේ: සකී‍්‍රය බලයක් රහිත උතුරු පළාත් සභාවක් සඳහා නියමිත කාලයේ මැතිවරණය පැවැත්වීම ඉන් එකකි. නැතහොත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කප්පාදු කිරීමේ හදිසි අවදානමක් පෙන්වමින් බිය ගන්වා, පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ඉන්දියානු අනුමැතිය ලබා ගැනීම තවත් එකකි. (මේ අතර, 13 වැනි සංශෝධනය හෑල්ලූ කිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණය වර්ජනය කළහොත්, රාජපක්ෂලාට එම මැතිවරණය ජයගත හැකි වන්නට ද පිළිවන).

රාජපක්ෂලාගේ මේ අළුත්ම උප්පරවැට්ටියට, මීට පෙර දී සේම, මෙවරත් ඉන්දියාව හසු වේ ද? එසේ නැතිව, මුලින් ඇති කරගත් එකඟතාවට ගරු කරන්නැ යි උදක්ම ඉල්ලා සිටී ද? හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ප‍්‍රාණ ඇපකරුවෙකු වශයෙන් ගන්නට තරම් කොන්දක් ඉන්දියාවට තිබෙයි ද?

ප‍්‍රතිගාමී ව්‍යාපෘතියක්

2007 ජුනි 06 වැනි දා පාන්දර පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹ නවාතැන් පොලවල් වැටලූහ. ඒවායේ ලැගුම්ගෙන සිටි දෙමළ ජාතිකයන් (ඉතා මහළු සහ රෝගී අයවළුන් පවා) උතුරු-නැගෙනහිර ගම්වලට යැවීම සඳහා බස්වලට පැටවුණි. මේ පලවා හැරීම නතර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වන විටත්, පළමු බස් රථ සිය ගමන් අරඹා තිබුණි.

කොළඹ නවාතැන් ගෙන සිටි දෙමළ වැසියන්ව (කළු කොටි සාමාජිකයන් ඔවුන් අතර සිටිති ය යන සැකය මත) මෙසේ කොළඹින් පිටමං කිරීමට තීරණය කෙළේ ආණ්ඩුවේ ඉහළම තැන්වලිනි. මේ ව්‍යවස්ථා-විරෝධී සහ ජාතිවාදී පියවර, ගෝඨාභය රාජපක්ෂ ඉතා රළු ආකාරයෙන් යුක්ති සහගත කළ අතර මහින්ද රාජපක්ෂ ද, ඊට වඩා තරමක් සුමටව, ඊට අනුමැතිය පෑවේය.

ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු මෙවැනි වාර්ගික දාමරිකත්වයක් ගැන සිතා ගැනීමට පවා පුලූවන් කමක් තිබුණේ නැත. එහෙත් ඒ, රාජපක්ෂලා බලයට පැමිණෙන තෙක් පමණි.

මහින්ද රාජපක්ෂ (එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලහත්කාරී වර්ජනයට ස්තුතිවන්ත වන්නට) පළමු ජනාධිපතිවරණය ජයගන්නා අවස්ථාව වන විට, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකගේ ආකල්පය, ජාතිවාදී නොවන හෝ පශ්චාත්-ජාතිවාදී එකකැ යි කිව හැකිය. ජාතික ප‍්‍රශ්නය සඳහා නොමසුරු දේශපාලනික විසඳුමක අවශ්‍යතාව එදා රටේ බහුතරයකගේ පිළිගැනීම විය. උදාහරණයක් වශයෙන්, 2006 ජුනි/ජුලි මාසයේ ‘මාර්ග ආයතනය’ මගින් පවත්වන ලද මත විමසුමකට අනුව, සියයට 66 ක්, ඒකීය රාජ්‍ය රාමුවෙන් එහා යන දේශපාලන විසඳුමකට එකඟතාව පළකළහ. ඒ පොදු මනෝ භාවය, එදා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ස්ථාවරයන් සමග සමපාත වුණි: ඒ පක්ෂ දෙකම, අර්ධ-ෆෙඩරල් හෝ ෆෙඩරල් විසඳුමකට එදා සහාය පෑහ.

එසේ පැවති දකුණේ සිංහලයන්ගේ චින්තනය, අනතුරුව පසුගාමී වෙනසකට ලක්වුණේ, රාජපක්ෂ පාලනයේ විපාකයක් වශයෙන් මිස, නිරායාසයෙන් නොවේ. ජාතික ප‍්‍රශ්නයක් ඇතැ යි තමන් විශ්වාස නොකරන බව සහෝදරවරු මුලදීම වාගේ පෙන්නුම් කළහ. ඒ සමගම, හතරවැනි ඊලාම් යුද්ධය වනාහී, බාහිර රටක මැදිහත් වීමක් හරහා 1987 දී සිංහල-බෞද්ධයාට අහිමි කරන ලද, 1956 සිට ඔහු භුක්ති විඳිමින් සිටි ප‍්‍රමුඛස්ථානය නැවත ඔහුට අත්පත් කර දීමේ ව්‍යාපෘතියක ප‍්‍රධාන අක්ෂය වශයෙන්, ඔවුහූ අර්ථගැන්වූහ.

ස්වකීය දේශපාලන ව්‍යාපෘතිය සඳහා අවැසි සහයෝගීතා පදනම ගොඩනගනු වස්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය හරහා තමන් සහ බහුතර ජනතාවක් අතරේ සෙද්ධාන්ති බැම්මක් සකසා ගැනීමට සහෝදරවරුන්ට අවශ්‍ය කෙළේය. ඒ සමගම, පොදු ආර්ථික අඳෝනා මත, අනාගත සිංහල-දෙමළ-මුස්ලිම් එක්සත් බවක් ඇති නොවන සේ ජාතිවාදී විරසකයක් නඩත්තු කෙරෙන තැනට වගබලා ගැනීමත්, ඔවුන්ගේ තවත් අවශ්‍යතාවක් විය. සකල බලය ඩැහැගැනීමේ ඔවුන්ගේ අභිලාෂයට එරෙහි වන 13 වැනි සංශෝධනය යථා කාලයේ නිෂේධ කිරීමේ දේශපේ‍්‍රමී ආවරණයක් ඊට අවශ්‍ය කෙරේ.

මේ අභිමතාර්ථ සාධනය සඳහා ආමන්ත‍්‍රණය කළ යුත්තේ, සිංහල ආත්මයේ වඩා විචාරවත් සහ මානුෂික පාර්ශ්වයට නොව, ‘සිංහල පමණයි’ පනත සහ 83 කළු ජුලිය බිහි කළ, දුර්ජන, මුග්ධ සහ නිර්දය පාර්ශ්වයටයි. ඒ සිදුවීම් දෙකම, අපේ අත්වැරැුද්දක් වශයෙන් මේ සහෝදරවරු නොදුටහ.

උතුරු-නැගෙනහිර ප‍්‍රශ්නය, හුදෙක් ත‍්‍රස්තවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ මොහොතේ එම ප‍්‍රශ්නයත් ඉබේ දුරු වන්නේය. ජාතික ප‍්‍රශ්නය කියා දෙයක් ඇත්තෙන්ම නැත්නම්, ජාතීන් අතර බලය බෙදා හැරීම මත පදනම් වන දේශපාලන විසඳුමක් අනවශ්‍ය වෙනවා පමණක් නොව, හානිකර ද වන්නේය. හරියට, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු රසායන චිකිත්සාවකට (කිමෝතෙරපි) ලක්කරන්නා සේ ය. මේ සන්දර්භය තුළ, සාමය ගොඩනැගීම යනු, තලූ මැරීමට ඇති යම් ආර්ථික සංවර්ධනයකට ගැටගැසූ, නීතිය හා සාමය රැක ගැනීමේ වැඩපිළිවෙලකට එහා දෙයක් නොවේ. තවත් විදිහකින් කිවහොත්, සාමය සහතික කළ හැක්කේ, තව තවත් හමුදා කඳවුරු ගොඩනැගීම, තව තවත් හමුදා ආම්පන්න මිළදී ගැනීම සහ තද නීති රෙගුලාසි පැනවීම සමග මුහුන් කෙරෙන යටිතල ව්‍යාපෘති සහ ඉඳහිට සැපයෙන දීමනාවන් මගින් මිස, බලය බෙදාහැරීමෙන් නොවන බවයි.

රාජපක්ෂලාගේ එම චින්තනය තුළ, 13 වැනි සංශෝධනයට අද එල්ල කෙරෙන ප‍්‍රහාරය, අනිවාර්ය කෙරෙන්නේය.

13 වැනි සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම, එක්තරා ආකාරයකින් නවතම ‘සිංහල පමණයි’ ව්‍යාපෘතියකි. සාමය සහ සංහිඳියාව ඒ මගින් උවදුරට පත්වෙනු නියති. මධ්‍යස්ථ දෙමළ ජාතිකයන් පවා පරාරෝපිත නෂ්ටාපේක්ෂාවට පත්වෙනු නියති. අවසානයේ, බෙදුම්වාදී සටන්පාඨය යළි තිරිහන්ව, වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අසාර්ථක නායකයෙකුගේ සිට, අප විසින් වරදවා වටහාගනු ලැබූ අනාගත වක්තෘවරයෙකුගේ තත්වයට නංවාලනු ඇත.

*2013 ජුනි 06 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Disembowelling The 13th Amendment? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page