Colombo Telegraph

මිථ්‍යා විශ්වාස, ප‍්‍රචණ්ඩත්වය සහ බලය

තිසරණී ගුණසේකර

‘‘ස්වාධීනව සිතීමේ ශක්තියක් අපට නැත්නම්, බලාධිකාරය ප‍්‍රශ්න කිරීමේ වුවමනාවක් අපට නැත්නම්, අපට සිදුවන්නේ බලයේ සිටින අයවළුන්ගේ අතේ හැඩවෙන මැටි ගුලියක් බවට පත්වීමටයි’’ -කාල් සගාන් (‘‘යක්ෂාවතාරයට යට වූ ලෝකය’’)

2011 දී අවුරුදු පහක් වයසැති ලාමා ගම්දි නැමැති දැරිය සෞදි අරාබියේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගියාය. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඇගේ පිට කොන්ද කැඞී තිබුණි. හිස් කබල කුඩුපට්ටම් වී තිබුණි. පිළිස්සුම් තුවාල කිහිපයක් සිරුරේ තැන් තැන්වල තිබුණි. කිහිප වරක් ඇයව දූෂණය කොට තිබුණි. ඇගේ පියා වන ෆයිහාන් අල් ගම්දි, දුරාචාරයේ ආදීනව ගැන සෞදි අරාබි රූපවාහිනියේ නිතර පෙනී සිටිමින් දේශන පැවැත්වූ ජනප‍්‍රිය චරිතයකි. දියණියගේ මරණය ගැන ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පාපොච්චාරණයක් කෙළේය. එයින් කියැවුණේ, සිය දියණියගේ කන්‍යා භාවය පිළිබඳ සැකයක් තිබූ හෙයින් තමා ඇයව කිහිප වරක් දූෂණය කළ බවයි. සෞදි රාජ විශ්ව විද්‍යාලයේ පරිඝණක විද්‍යා කථිකාචාර්යවරයෙකු වන අසීසා අල් යූසුෆ්ට අනුව, ‘‘ළමා අපහරණය තහනම් කෙරෙන සහ ළමා අපහරණයෙන් ළමුන් බේරා ගැනීම සඳහා වන විශේෂිත නීතියක් සෞදි අරාබියේ නැත.’’ එසේම ඔහු කියන පරිදි, මිනීමැරුමට වැරදිකරුවන් වන පිරිමින්, ඔවුන් අතින් මියගොස් ඇත්තේ ඔවුන්ගේ බිරියන් හෝ දරුවන් නම්, අධිකරණයෙන් ලබන්නේ ලිහිල් දඬුවමකි. මේ නිසා, ඉතා ප‍්‍රශ්නකාරී අධිකරණ ක‍්‍රියාවලියක් හරහා මිනීමැරුමට වැරදිකාරිය කොට 2013 වසරේ මේ මධ්‍යතන පාරාදීසයේදී හිස ගසා දැමුණු අපේ රිසානා නෆික්ට අත් වූ ඉරණමට අල් ගම්දි මහතා මුහුණදුන්නේ නැත. ඔහුට අත්වුණේ 8 වසරක හිර දඬුවමක් පමණි. එසේ තිබියදීත් 2013 දී ඔහු නිදහස ලද බව, පසුව වාර්තා විය.

මුග්ධ භාවය, ආගමික අන්ධ විශ්වාසය සහ බලය එකට වෙලූනු විට, සාමාන්‍ය බුද්ධියත්, දයා කරුණාව සහ අවම විනීත භාවයත් පිටමං වන්නේය. නීතියෙන් පළවා හැරෙන්නේය. එය, ශ‍්‍රී ලංකාවේ වෙසන අපටත් වැළඳී ඇති රෝගයකි.

මේ මාසයේ මාවනැල්ලේ එක් තරුණයෙකු ඔහුගේ දෙමාපියන් විසින්, යකැදුරෙකුගේ උපදෙස් පරිදි නිරාහාරව තබා මරණයට පත්කරන ලදි. නිවසේ තොවිලයක් කෙරෙමින් තිබුණු අවස්ථාවක නිවසට ඇතුළු වූ ප‍්‍රසන්න ප‍්‍රියලාල් සිහි නැතිව ඇද වැටුණි. එය, හරක් මස් කෑම නිසා ඇති වූ දේව කෝපයක පල දීමකැ යි කට්ටඩියා කීය. ප‍්‍රියලාල්, හෘද සැත්කමකට භාජනය වී සිටි සහ ඒ සඳහා බෙහෙත් ගනිමින් සිටි තරුණයෙකි. මොළේ කළඳක් හෝ තිබුණු කිසිවෙකු එහි සිටියේ නම් මුලින්ම කරනු ඇත්තේ මේ තරුණයාව වහාම වෛද්‍යවරයෙකු වෙත ගෙන යාමයි. එහෙත් පවුලේ අය කට්ටඩියාගේ බස පිළිගත්හ. කට්ටඩියාද දහසය වියැති බාල වයස්කාරයෙකි. ඔහුගේ උපදෙස් පරිදි ප‍්‍රියලාල්ව කාමරයක දමා වසා, කෑමක් බීමක් හෝ ප‍්‍රතිකාරයක් නොමැතිව තියා ගැනීමට දෙමාපියෝ වගබලාගත්හ. දින 21 ක් ගිය තැන තරුණයා මළේය. ඔහුව මෙසේ කාමරයක දමා නිරාහාරව වසා තිබෙන බව කවුරුත් දැන සිටියද, ඒ කිසිවෙක් පොලීසියටවත්, ග‍්‍රාම නිලධාරී හෝ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වැනි වෙනත් බලධාරී පුද්ගලයෙකුටවත් ඒ ගැන පැමිණිලි කෙළේ නැත. සමහර විට ගම්මුන්ද, දේව උදහසට ලක්වීමට බිය වූවා විය හැකිය.

බොහෝ විට ඇතැම් ආගමික අන්ධ විශ්වාසයන් මගින් ශක්තිමත් කෙරෙන යල්පැනපු අදහස් 21 වැනි සියවසේද තවමත් රැුව් දෙයි. 2009 දී නයිජීරියාවේ වයස අවුරුදු 9 ක් වූ පිරිමි ළමයෙකුට යකා වැහී ඇතැයි ගමේ පාදිලි උන්නාන්සේ කී නිසා ඔහුගේ පියා මේ දරුවාට ඇසිඞ් පෙවීමට තැත් කෙළේය. 2012 දී ලංකාවේ දෙහිඅත්තකණ්ඩියේ පුංචි ගැහැනු දරුවෙකුගේ යම් රෝගයකට ‘ප‍්‍රතිකාරයක්’ වශයෙන් කට්ටඩියෙක් ඇයට මුවහත් පිහියක් ගිල්ලවීමට ගොස් ඇයව මරණයට පත්කෙළේය. මේ කට්ටඩියා සහ ඔහුගේ බිරිඳ තවත් ‘රෝගී’ ගැහැනු දරුවන් දෙන්නෙකු යාතු කර්මයක් වශයෙන් ගින්නකට තල්ලූ කොට බරපතල පිළිස්සුම් තුවාල සිදු කළහ. මේ අශෝභන අපරාධ තුනම සිදුවුණේ විශාල සෙනගක් මධ්‍යයේ ය.

වර්තමාන අප‍්‍රිකාවේ ඇතැම් ප‍්‍රදේශ, මායිනී දඩයමින් (යක්ෂ මායම වැසී ඇතැයි සිතන ගැහැනු දඩයම් කිරීමේ යාතුකර්මවලින්) වල්වැදී තිබේ. යක්ෂයා වැසී ඇතැයි සිතන ඉතා ළාබල දරුවන් ‘සාහසික ප‍්‍රතිකාරවලට’ ගොදුරු කරන බවට ‘ශුභාරංචි පල්ලි’ ගණනාවක් මේ වන විට චෝදනා ලැබ සිටී. යක්ෂ දෝස පලවා හැරීමේ යාතුකර්ම බොහෝ විට සිදුවන්නේ, සාපරාදී වධබන්ධන තුළිනි. ඇතැම් විට ඒවායින් ජීවිත නැති වෙයි. අකුරු ලිවීමේ සහ කියැවීමේ ඉහළ හැකියාවක් ඇති ලංකාව සිටිය යුත්තේ ඊට වඩා ඉදිරියෙනි. එහෙත් එවැන්නක් පෙනෙන්ට නැත. ඉහත කී යකැදුරුකම්වලින් ඇති වූ මරණ දෙක විසින් කියාපාන්නේ, සමහර ශ‍්‍රී ලාංකිකයන් දේව සහ අවිද්‍යාත්මක භීතිය කරණකොටගෙන, තමන්ගේ මෙන්ම අනුන්ගේද ජීවිත පවා විනාශ කෙරෙන සීමාන්තික ප‍්‍රතිකාර කෙරෙහි පවා යොමුවන බවකි. ඒ විශ්වාස ඉතා මුග්ධ ආකාරයන් වැළඳ ගන්නා බවකි. මේ ව්‍යාධිය තවදුරටත් පැතිරෙන්ට ඉඩ ඇරියොත්, ශ‍්‍රී ලංකාව සාහසික මිථ්‍යා විශ්වාසයේ සහ මිථ්‍යාමය සාහසිකත්වයේ අඳුරු යුගයකට පල්ලම් බැසිය හැකිය.

ජනයා මංමුළා කරවන හූනියම්

ලංකා දේශපාලනය තුළ මිථ්‍යා විශ්වාසවලට කවදත් තැනක් තිබී ඇත. එහෙත් රාජපක්ෂ පාලන සමයේ තරම් එය කිසි දවසක පිස්සුවක් වුණේ නැත. එදා රාජකීය නක්ෂත‍්‍රකරුවෙක් සිටියේය. රාජ්‍යකරණය තුළ තමන් සතු බලපෑම ගැන ඔහු ප‍්‍රසිද්ධියේ කයිවාරු ගැසුවේය. ජනාධිපතිවරයා රන් පැහැති සුරයක් ප‍්‍රසිද්ධියේ එල්ලාගෙන ගියේය. රාජ්‍ය මාධ්‍ය ආයතන මේ නක්ෂස්ත‍්‍රකරුවන්ව තම දේශපාලන විචාරකයන් වශයෙන් යොදාගත්තේය. පසුව පෞද්ගලික මාධ්‍යත් එයම අනුකරණය කෙළේය.

බුදුන්ගේ ධර්මය අදේවවාදී වුවත්, සිංහල-බුද්ධාගම තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් ගැන විශ්වාස කරයි. සාමාන්‍ය බෞද්ධයා, යම් ප‍්‍රශ්නයකදී ආරක්ෂාව සහ සැනසීම පතා හැරෙන්නේ මේ දෙවිදේවතාවුන් වෙතටයි. ජීවිතවලට ඇඟිලි ගහන එවැනි දෙවියෙකුගේ අනුග‍්‍රහය ලබතැයි පෙනෙන ඕනෑම නායකයෙකු, ඉබේම බොහෝ සිංහල-බෞද්ධයන්ටද පිළිගත හැකි නායකයෙකු බවට පත්වෙයි.

රාජපක්ෂලා මේ මිථ්‍යා විශ්වාස කරපින්නා ගත්හ. ඒවා, දේශපාලන බලය අභ්‍යාස කිරීමේ මෙවලම් වශයෙන් පාවිච්චියට ගත්හ. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ දවසේම උපන්නා යැයි කියන අලි පැටවකුගේ සිද්ධිය ඊට අගනා නිදසුනකි. මහාවංශයට අනුව, අලි පැටවෙකු බිහි වීම සුභ නිමිත්තකි. අනාගත දුටුගැමුණු රජුගේ උත්පත්තිය දවසේද එවැනි අලි පැටවෙකු බිහි වූ බව මහාවංශය කියයි. ඊලාම් යුද්ධය අවසන් වූ දවසේ බිහි වූ අලි පැටවා සැළකුණේද එවැනි ශුභ නිමිත්තක් වශයෙනි. ඌට, ජයග‍්‍රාහී දිනය යන අරුතින්, ‘දිනුදා’ යැයි නම් තැබුණි. මේ අලි පැටවා ඉපදී ඇත්තේ ‘දිනූ දා’ තියා, දිනූ වසරේවත් නොවන බව පසුව හෙළි විය. ඇත්තෙන්ම ඌ ඉපදී ඇත්තේ ඊට මාස අටකට කලිනි. එසේ තිබියදී, කොටි පරාජය සඳහා දේව බැල්මත් තිබිණැයි පෙන්වීමට සිතූ යමෙක්, සැබෑව වසං කොට දේශපාලනික-දෘෂ්ටිවාදී මිථ්‍යාවක් නිර්මාණය කිරීමට තීරණය කරන ලදි.

‘‘යම් සමාජ ක‍්‍රමයක් සුජාත කොට නඩත්තු කිරීම සඳහා’’ පුරාණෝක්ති උපකාරී වෙතැයි ජෝසප් කැම්බල් තර්ක කරයි. රාජපක්ෂ කාලයේ මේ පුරාණෝක්ති (සහ ඒවාට සම්බන්ධ මිථ්‍යා විශ්වාස), පාලක පවුල සහ බහුතර ප‍්‍රජාව අතර එක්තරා අනන්‍යතාවක් නිර්මාණය කොට පවත්වාගෙන යාම සඳහා පාච්චියට ගැනුණි. මහින්ද රාජපක්ෂව මූර්තිමත් කෙරුණේ, දේව වරමක් සහිත නිමල වීර-රජෙකු වශයෙනි. ඒ සඳහා අභූත පැටිකිරියක් ගොඩනගා, ඔහුව දුටුගැමුණුටත් බුදුරදුන්ටත් නෑකමකින් ගැටගැසුවේය. එවැනි ගොබ්බ කතා ජනතාව ලවා පිළිගැන්වීම සහ එවැනි තකතිරු ප්‍රෝඩාවන් ගැන විශ්වාස කැරැුවීම රඳාපැවතුණේ, ජනතාවගේ විචාර චින්තනය, අප‍්‍රසන්න සහ භයානක දෙයක් වශයෙන් සළකා යටපත් කිරීමෙනි.

රටක නායකයෙකු ඒ සා විලිලැජ්ජා නැතිව ජ්‍යොතිෂයට වහල් වන විට, ඊටත් වඩා අන්ධානුකරණයෙන් මිථ්‍යාව වැළඳ ගැනීමට ජනතාව පෙළඹීම පුදුම නැත. ජ්‍යොතිෂයට වහල් වීම, එක්තරා දුරකට මහින්ද රාජපක්ෂගේ කඩා වැඞීමට ඉවහල් වූ බව පෙනේ. ඔහු සිදුකර ගත් දේශපාලනික-මැතිවරණමය සියදිවි නසා ගැනීම සහ දෙහිඅත්කණ්ඩියේත් මාවනැල්ලේත් මරණ අතර දළ සමානත්වයක් එහිදී අපට හඳුනාගත හැකිය.

එම මැතිවරණයෙන් පසුවත් රාජපක්ෂ කඳවුර දේශපාලනික අවියක් වශයෙන් මිථ්‍යාව එක දිගටම පාවිච්චි කරයි. රාජපක්ෂවාදී ප‍්‍රචාරණය තුළ, විශේෂයෙන් අන්තර්ජාලය තුළ, ජ්‍යොතිෂ අනාවැකි දෙකක් මේ දිනවල සංසරණය වෙයි. ඉන් එකකට අනුව, මේ වසරේ දෙවැනි භාගයේදී මහින්ද රාජපක්ෂ දේශපාලනිකව නැගිටිනු ඇත. අනිත් අනාවැකියට අනුව, 2017 ජනවාරි මාසයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඝාතනය වනු ඇත.

ෆ‍්‍රාන්ස් මෙස්මර් සහ ඔහුගේ අනුගාමිකයෝ අඥාන මනෝගතියක් වගා කරගන්නා ලෙස මිනිසුන්ට උපදෙස් දුන්හ. ‘‘පුලූවන් තරම් විශ්වාසවන්ත වන්න… විචාර බුද්ධියට සවන්දෙන්න එපා.’’ යන්න ඔවුන්ගේ ඔවදන විය. රාජපක්ෂලාට ඉස්සර අවශ්‍ය කෙළේත්, දැන් අවශ්‍ය කරන්නේත්, අප එසේ වනු දැකීමටයි. ආගමික වේවා, ලෞකික වේවා, ඕනෑම ආකාරයක ඒකාධිපති පාලනයක පරම හතුරා වන්නේ විචාර බුද්ධියයි. සැක කිරීමට හැකියාව ඇති විචාරවත් ජනතාවක්, භීතිකාවන් හෝ උන්මාදයන් හරහා, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී වල් වැදීමක් වෙත දැක්කීමට ඇති ඉඩකඩ අඩු ය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කොට ශක්තිමත් කරගත යුත්තේ නම්, ජනතාවක් වශයෙන් සහ රටක් වශයෙන් බුද්ධිමත් විපරමින් සිටීම අත්‍යාවශ්‍ය වන්නේය.

පොදු ව්‍යසනය

ජෝර්ජ් ඕවල් ඔහුගේ ‘‘1984’’ නැමැති නවකතාවේදී ‘මිනිත්තු දෙකේ ද්වේෂය’ ගැන ලියයි. එය, ‘අමන රාජ්‍යයේ’ පැවැත්වෙන ප‍්‍රධාන දේශපාලනික යාතුකර්මයකි. මෙහිදී කෙරෙන්නේ, මුළු රටේම ජනතාව ස්වකීය පරම හතුරු එම්මානුවෙල් ගෝල්ඞ්ස්ටයින් කෙරෙහි වන ක්‍රෝධය යළි සිහිපත් කර ගැනීම් වස්, හැම දවසකම උදේ එකොළහට රූපවාහිනී තිරය ඉදිරියේ වාඩි වීමයි. මෙසේ වඩවා ගන්නා වෛරී හැඟීම, දෘෂ්‍යමානයේ පවතින සහ වඩාත් ආසන්න වස්තුවක් වෙත ඉලක්ක කිරීමට ඇති හැකියාව පිළිබඳ කිලිපොලා යන චිත‍්‍රයක් ඕවල් සිය කෘතිය තුළ නිර්මාණය කරයි. ‘‘විටෙක, යම් ස්වේච්ඡුා ක‍්‍රියාවක් මගින් මේ වෛරය ඒ අතට හෝ මේ අතට හැරවීමේ හැකියාව තිබුණි… තම වෛරය, ගෝල්ඞ්ස්ටයින් වෙතින්, දැන් තමා පසුපස සිටින කළු පැහැති හිසකේ ඇති කෙල්ල දෙසට හැරවීමට වින්සන්ට් සමත් විය. ඉතා නිරවුල්, සුරම්‍ය ඔල්මාද කල්පනා, ක්ෂණික දීප්තියකින් ඔහුගේ සිත අරක් ගති. රබර් පොල්ලකින් ගසා ඔහු ඇයව නසනු ඇත. ඉන්නක තබා නිරුවතින් බැඳ, ශාන්ත සෙබස්තියන් සේ, හී පහරින් ඇයව සිදුරු කරනු ඇත. ඇයව කුල්මත් කොට පරමෝත්කර්ෂයට පත්වන මොහොතේ ඇගේ ගෙල සිඳලනු ඇත.’’

මේ තාවකාලික උන්මාදය, ඕවල්ගේ වින්සන්ට් මැඩ ගත්තේය. එහෙත් සැබෑ ජීවිතයේදී, විශේෂයෙන්, තථ්‍ය වූ හිංසනයට දීර්ඝ කාලයක් තිස්සේ යට වු දේශයක, ලේ පිපාසයට ඇති ආශක්ත භාවය මැඩගන්ට බොහෝ දෙනා අසමත් විය හැක. එහිදී වඩාත් පහසු ගොදුරු බවට පත්විය හැක්කේ දරුවන් මිස අන් කවරෙක්ද?

ශ‍්‍රී ලංකාවේ බාල වයස්කාර ගැහැනු දරුවන්ගෙන් සියයට 10-14 අතර ප‍්‍රමාණයක් වාර්ෂිකව ලිංගික අපහරණයට ලක්වන බවත්, සියයට 7 ක පමණ ප‍්‍රමාණයක් ඉතා ලාබාල වියේදී ගැබ්බර වන බවත්, 2011 දී පවුල් සෞඛ්‍ය කාර්යාංශය අනතුරු ඇඟවීය. දූෂණයට ලක්ව සිටින, වාර්තා වී ඇති ලාබලම දැරියගේ වයස මාස හතරක් පමණි. ‘වාර්ෂිකව ළමා අපහරණ සිදුවීම් 600 ක් පමණ’ යාපන දිස්ත‍්‍රික්කයේ වාර්තා වන බවට 2012 දී අනතුරු අඟවා සිටි යාපනේ දිසාපතිවරයා, මේ ‘දුරාචාර සංස්කෘතිය යුද්ධයට කලින් හෝ යුද්ධ කාලයේ හෝ නොපැවති බවත්, එය ඇරැුඹුණේ යුද්ධයෙන් පසුව බවත්’’ ප‍්‍රකාශ කොට සිටියේය. ඒ අනතුරු ඇඟවීම් දෙකම සැලකිල්ලට නොගැනුණි. රාජපක්ෂලා කෙළේ, දූෂණ-විවාහ නීතියක් ( දූෂකයාටම වින්දිතයාව විවාහ කර දෙන නීතියක්) හඳුන්වා දීමට බැලීම පමණි. එකී අනතුරු ඇඟවීම්, එදා ආණ්ඩුවේ, දේශපාලඥයන්ගේ සහ සමාජයේ නිසි අවධානයට ලක්වුණි නම්, විද්‍යා සිවලෝගනාදන්ව තිරිසන් ආකාරයෙන් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කරනු ලැබීම වැළැක්විය හැකිව තිබුණි.

පාසල් ඇරී විද්‍යා ගෙදර නොපැමිණි විට පවුලේ අය පොලීසි ගියහ. කෙල්ල කොල්ලෙකු සමග පැනයන්ට ඇතැයි කියා පොලීසිය එම පැමිණිල්ල ගණන් ගත්තේ නැත. පසුව පැමිණිල්ල භාර ගත්තත් හරිහමන් සොයා බැලීමක් කෙළේ නැත. විද්‍යාගේ දැදුරු වූ සිරුර ඇගේ සහෝදරයා විසින් සොයා ගන්නා ලදි. ශෝකයටත්, කම්පාවටත් පත් ගම්වැස්සන් මැද්දේ ඇගේ ඝාතකයෝද අවමංගල්‍යයට සහභාගී වූහ.

විද්‍යාගේ ඉරණම සම්බන්ධයෙන් පොලීසිය දැක්වූ පිළිකුල් කටයුතු නොසැලකිල්ල සහ එක සැකකරුවෙකු අසාමාන්‍ය ලෙස පොලිස් අත්අඩංගුවෙන් නිදහස් වී යාම හේතුවෙන් මේ සිද්ධියට සම්බන්ධ යැයි කියන අපරාධකරුවන් නීතියෙන් රැුහැනින් ගැලවී යතැයි මිනිසුන් තුළ ඇති වූ සැකය නිසා යාපනේ යම් කැරලිකාරී තත්වයක් ඇති විය. කලහකාරීත්වයට අවසර දිය යුතු නැත. එසේම එවැන්නක් ඉවසිය යුතුද නැත: එහෙත් එවැනි කලහකාරීත්වයක් ඇති වීම වැළැක්වීමට ඇති හොඳම ක‍්‍රමය වන්නේ, යුක්තිය පසිඳලීමේ ක‍්‍රමය නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමත්, සෑම අපරාධයකටම දඬුවමක් ඇති බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති කිරීමත් ය.

යාපනේ ඇති වූ හදිසි කැරලිකාරීත්වය තම දේශපාලනික වාසි තකා පාවිච්චි කිරීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හෙංචයියන් කටයුතු කළත්, කොටින්ගේ යළි හිස එසවීමක් ගැන කෙරුණු එම උඩුබුරුලෑම මෙවර දකුණේ ජනතාව අතර පිළිගැනුණේ නැත. සමහර විට විද්‍යාගේ ජීවිතේ අවසාන පැය කිහිපය පිළිබඳ අනුවේදනීය පුවත සැළවූ දකුණේ බහුතරයක් ජනයා, ජාතිය/ආගම අමතක කොට, ඒ හද කම්පා කරවන සිද්ධිය දෙස දෙමාපියන් වශයෙන්, දරුවන් වශයෙන් සහ මනුෂ්‍යයන් වශයෙන් බලන්ට පෙළඹුණා විය හැකිය. ජනාධිපතිවරයා විද්‍යාගේ මව හමුවීමට යාමෙන් ඒ මානව දයාව සහ සහෝදරත්වය පිළිබඳ පණිවිඩයක් සන්නිවේදනය කෙරුණි. එය (කලින් සිටි නායකයා නම් කිසි දවසක නොකරන) ප‍්‍රශංසනීය ගමනකි. එහෙත් ලංකාව, එහි වෙසෙන දරුවන් සඳහාත්, අළුතින් ඇති කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත් සුරක්ෂිත ස්ථානයක් වීමට නම්, තව කළ යුතු බොහෝ දේ තිබේ.

සෑම ජාතියකටම අයත් වන, සෑම ආගමකටම අයත් වන හෝ නොවන අප කවුරුත්, තිස් අවුරුදු යුද්ධයකින් සහ සන්නද්ධ නැගිටීම් දෙකකින් දිවි ගලවා ගත් ජනතාවකි. මරණය සහ විනාශය, වෛරය සහ භීතිය, බොහෝ කාලයක් තිස්සේ අපේ ජීවන පැවැත්මේ ඓන්ද්‍රීය අංගයක් වී තිබේ. ඒ තත්වය වෙනස් කිරීමට රාජපක්ෂලා කිසිවක් කෙළේ නැත. මන්ද යත්, එසේ පැවතීම ඔවුන්ට වාසිදායක වූ බැවිනි. ජනාධිපති සිරිසේනට සහ ඔහුගේ ආණ්ඩුවට කිරීමට බොහොමයක් දේ තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, සමාජය වෙලාගෙන තිබෙන මානසික හමුදාකරණය ආපසු හැරවීමයි. එහෙත් ඒ කාර්යය සාර්ථක කර ගැනීමට නම්, සිංහල දෙමළ මුස්ලිම් වන අප කවුරුත් අපේ සාමූහික විඥානය ගොදුරු වී තිබෙන ඒ රෝගකාරී තත්වය අවබෝධ කරගත යුතුව තිබේ. විචාරශීලී බුද්ධිය සහ තාර්කිකත්වය අප තුළ නැත්නම්, එසේම පොදු මනුෂ්‍යත්වය අප වටහා නොගන්නේ නම්, ප‍්‍රචණ්ඩකාරී සහ මිථ්‍යාමතික විසඳුම් වැළඳ ගැනීමට අපට ඇති ඉඩකඩ වැඩි වන්නේය. එය, සමාජය තුළ සේම අප එකිනෙකා තුළත් මුළුගැන්වී පවතින නපුරු භීතිකාවන් සහ උන්මාදයන් ඇවිළවීමෙන් බලයට පත්වීමට වළිකන දේශපාලඥයන්ගේ ගොදුරු බවට අප පත්වීමට ඇති ඉඩකඩ ද වැඩි කරන්නේය.

*2015 ජුනි 14 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Superstition, Violence & Power නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page