Colombo Telegraph

පවුලේ සාපය

තිසරණී ගුණසේකර

‘‘… මේ ඔක්කොම ප‍්‍රශ්නවලට විසඳුම් තියෙන්නේ ජනාධිපතිතුමා ළඟ. ඔහු ත‍්‍රස්තවාදය නැති කළා. මේ වගේ ප‍්‍රශ්න ඔහුට විසඳන්න පුලූවන්. හැමෝම තමන්ගේ ප‍්‍රශ්න ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ජනාධිපතිතුමා ඒවා විසඳයි. වෙන කාටවත් බැහැ ඒවා විසඳන්න.’’ – ගෝඨාභය රාජපක්ෂ

‘‘මහා පවුල්, මම නුඹලාව පිළිකුල් කරමි’’ යනුවෙන් ආන්ද්‍රේ ජීද් කළ තියුණු ප‍්‍රකාශය ‘‘තුන්වැනි ලෝකයේ සෑම ජනාධිපති මැදුරකම රාමු කර එල්ලා තැබිය යුතු උද්‍යෝග පාඨයකි’’ යි ජොන් ලකුතූර් කීවේය.

ජනාධිපති රාජපක්ෂ ඊළඟ මැතිවරණ වටයකුත් ජයග‍්‍රහණය කළොත්, රාජපක්ෂ වංශ පෙළපත ආපසු හැරවිය නොහැකි සංසිද්ධියක් බවට පත්වෙනු නිසැකයි. ඔහුගේ සොහොයුරු ගෝඨාභය, මීට පෙර දෙවතාවට වඩා, ඒ පාලනය තුළ වඩාත් බරපතල උපාය මාර්ගික භූමිකාවක් රඟපානු ඇත.

සහෝදර මහින්දගේ ආරාධනයක් ලැබුණොත් තමා මැතිවරණ දේශපාලනයට පැමිණීමට සූදානම් බව, ‘ඬේලි මිරර්’ පුවත්පතට මෑතක දී දුන් සම්මුඛ සාකච්ඡුාවක දී ගෝඨාභය රාජපක්ෂ කියා තිබුණි. ‘‘දැනට බලය හොබවන බොහෝ දේශපාලඥයන්ට වඩා හොඳින් මට දේශපාලනය කළ හැකි’’ යැයි, තමාට ආවේණික ඒ උඬඟුවෙන් යුතුව එහි දී ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහුගේ පවුල ජයගත් 2010 පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණවලින් පසුවත් ගෝඨාභය රාජපක්ෂ ‘දි අයිලන්ඞ්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් දුනි. ‘‘එල්.ටී.ටී.ඊ. සංවිධානයට පණ දීමට පිටරට සිට වෙර දරන බෙදුම්වාදීන්ගේ නව ප‍්‍රයත්නයන් ව්‍යර්ථ කිරීමට’’ නව ආණ්ඩුව සූදානම් විය යුතු බව එහි දී ඔහු කීය. එසේම, ‘‘ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රයත්නයන්ට සහාය දිය හැකි අධිකරණයක, විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවක තීරණාත්මක වැදගත්කමත්’’ එහි දී ඔහු අවධාරණය කෙළේය.

එතැන් සිට මාසයක් ගත වුණා පමණි. මහින්ද අයියා නීතිපති දෙපාර්තමේන්තුව තමන් අතට ගත්තේය. අවුරුදු තුනක් ගතවුණේ නැත. බැසිල් මල්ලීගේ ‘දිවි නැගුම’ පනතට ඉඩ හැරීම ප‍්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන්, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව ව්‍යවස්ථා විරෝධීව නෙරපා හැරුණේය. ඇගේ තැනට පත්කෙරුණේ, සහෝදර ගෝඨාභයගේ අන්තේවාසික නීති හෙංචයියෙකි. ඉන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට කළ පත්වීම් අතරේ, දෝෂාභියෝගී දඩයම තුළ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවේ යැයි කියන, සහෝදර බැසිල්ගේ තවත් නීති අතවැස්සෙකු ද ඇතුළත් විය.

අධිකරණයේ උත්තරීතර තලයත් ඒ ආකාරයෙන් දණගැස්වුණි.

ඒ අතර, දෙවැනි රාජපක්ෂ ආණ්ඩුවේ සාර්වත‍්‍රික අසිපත සහ පලිහ බවට පත්වුණේ, නැවත පණ එමින් සිටිතියි කියන කොටි අවතාරයයි.

ගෝඨාභයගේ දිවැස් දෙවොල සහ ඉවරයක් නැති හතුරෝ

රාජපක්ෂ පාලනය එක දිගටම පවත්වා ගැනීම සඳහා වන ප‍්‍රධාන සාධාරණීකරණය කුමක් ද? එල්.ටී.ටී.ඊ, ය පරාජය කොට ලංකාවට සාමය ගෙනාවේ රාජපක්ෂ සහෝදරයන් බව ය. (ජෙනරාල් ෆොන්සේකාව යක්ෂයෙකු සේ වෙස් ගැන්වීමෙන් ජයග‍්‍රහණයේ තනි අයිතිය තමන්ට ලබා ගැනීමට රාජපක්ෂට අවශ්‍ය කෙරේ).

එහෙත් ජයග‍්‍රහණයේ මහජන මතකය කෙමෙන් වෑරෙද්දී, පවුල් පාලනයේ සහ පරම්පරා අනුප‍්‍රාප්තිය සඳහා වන හේතුකාරකයේ සුජාත භාවය සහ කාන්තියත් වෑරෙන්ට පටන් ගන්නේය. ජනතාවගේ පැත්තෙන් වන ජයග‍්‍රහණයේ සැමරුමක් පස්වැනි වතාවේ නොතිබීම මෙවර කැපී පෙනුණි. ආගමික උත්සව නොපැවැත්වුණි. ලේ දන්දීමේ ව්‍යාපාර නොතිබුණි. මහජන උත්කර්ෂයක දක්නට ලැබෙන සුපරුදු බැනර් සහ වෙනත් සංඥා දකින්ට නොවුණි. ආණ්ඩුවේ නිල උත්සවය නොවන්නට, ජයග‍්‍රහණයේ පස්වැනි සමරුව, බොහෝ සිංලයන්ට පවා, තවත් එක් සාමාන්‍ය දවසක් පමණක් වන්නට තිබුණි.

මතකය කෙමෙන් වියැකෙද්දී, මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන්ගේ පාලනය එක දිගටම පවත්වා ගැනීම යුක්ති සහගත කර ගැනීම සඳහා අළුත් හේතු සොයා ගැනීමට සිදුවෙයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැති තත්වයක් තුළ පවා රට පවතින්නේ අනතුරක බව සිංහල මහජනතාවට ඒත්තු ගැන්විය යුතුව තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ලද අත්දැකීමටත් වඩා නපුරු ඉරණමකින් මාතෘ භූමිය ආරක්ෂා කරගත හැක්කේ රාජපක්ෂලාට පමණක් බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුව තිබේ. වැඩිමහල් සහෝදරයාගේ ආරක්ෂක සාර් රාජයා සේ ගෝඨාභය රාජපක්ෂගේ වගකීම වන්නේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණක් විසඳිය හැකි ආකාරයට ගැළපෙන අළුත් තර්ජන ගර්ජන සොයා ගැනීමයි.

ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ව සොයා ගැනෙන්නේ එලෙසිනි. ශ‍්‍රී ලංකාවේ සීක් ජාතික සුළුතරයක් සිටියේ නම් සීක් ත‍්‍රස්තවාදීන්වත් මේ වන විට සොයා ගැනෙනවා සිකුරුයි.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ත‍්‍රස්තවාදීන් නැති බව මෑතකදී ඉන්දියාවට සපථ කොට කියා සිටියේ ද ගෝඨාභය රාජපක්ෂම ය. එහෙත් ඒ බිල්ලාව දේශීය පරිභෝජනය සඳහා රාජපක්ෂලාට අවශ්‍ය කෙරේ. ඒ, මුස්ලිම් ජාතිකයන්ව අතපල්ලෙන් තබා ගැනීමට සහ කුරහන් සාටකය අතහැර යාමෙන් සිංහලයන්ව වැළැක්වීමට ය.

අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය තුළ බොදුබල සේනා භූමිකාව ගැන අසන ලදුව ගෝඨාභය රාජපක්ෂ හැංගෙන්නේ මුස්ලිම් ත‍්‍රස්තවාදී බිල්ලා පසුපසයි. ‘‘කොතලාවල ආරක්ෂක පීඨයේ දී මෑතක දී මං කරපු කතාව ඇහැව්වා නං, ඔබට පෙනේවි මං ත‍්‍රස්තවාදී තර්ජන කිහිපයක් ගැන කතා කරපු විත්තිය. ඒකෙන් එකක් තමයි මුස්ලිම් ත‍්‍රස්තවාදී තර්ජනය. මං කතා කළේ එවැන්නක් වීමට ඇති ඉඩකඩ ගැනයි. එදාත් හුඟාක් මුස්ලිම් දේශපාලඥයෝ උත්සාහ කළා, මං කියපු දේ අවබෝධ කරගන්නේ නැතුව, මට වරද පටවන්න.’’

බොදුබල සේනාව කියන්නා සේ, අළුත්ගම සිදුවීම් ඇති වුණෙත් මුස්ලිම් ත‍්‍රස්තවාදයක් නිසා යැයි කීමට ද, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තතනන්නේ?

කොතලාවල ආරක්ෂක පීඨයේදී, ගෝඨාභය රාජපක්ෂ ලංකාව හැඳින්නුවේ, විවිධ තර්ජන සහ විවිධ හතුරන්ට මුහුණදෙන රටක් වශයෙනි. විශේෂයෙන්, දෙමළ අන්තවාදීන් (දේශීය සහ විදේශීය), වාමාංශික අන්තවාදීන්, අපරාධකාරී අන්තවාදීන්, මාධ්‍ය අන්තවාදීන්, බටහිර අන්තවාදීන්, ප‍්‍රජාතන්ත‍්‍ර=විරෝධී අන්තවාදීන් සහ ඉවක්බවක් නැති අන්තවාදීන් ගැන එහි දී ඔහු කතා කෙළේය.

ගෝඨාභය රාජපක්ෂ මේ කතාව කිරීමෙන් මාස කිහිපයකට පසු ඔහුගේ සහෝදරයාගේ ආණ්ඩුව දෙමළ ඩයස්පෝරා සංවිධාන සහ ක‍්‍රියාධරයන්ව තොග වශයෙන් තහනම් කරමින් ‘දෙමළ අන්තවාදීන්ට’ එරෙහිව ක‍්‍රියාත්මක විය. අළුත්ගම එහි දෙවැනි පියවරක් ද? මුස්ලිම්=විරෝධී ප‍්‍රචණ්ඩත්වය, ‘මුස්ලිම් ත‍්‍රස්තවාදීන්’ මැඩලීමට ගන්නා ප‍්‍රයත්නයක් ද?

තමා වරක් බොදුබල සේනාවේ උත්සවයකට සහභාගී වීම නිසාම තමාව එම සංවිධානයට ගාවා කතා කිරීම ගැන ගෝඨාභය රාජපක්ෂ මැසිවිලි කියයි. එහෙත් එහි දී ඔහු කළ කතාව ඔහුට අමතක ද? එය බොදුබල සේනාවේ වැඩකිඩ ගැන කළ අනුමැතියකට අඩු දෙයක් නොවේ. එම උත්සවයට තමන් සහභාගී වීමට තීරණය කෙළේ එහි ‘කාලීන වැදගත්කම අවබෝධ කර ගැනීමෙන් පසුව’ බවත්, ‘ජාතික වශයෙන් වැදගත් කර්තව්‍යයක නියැලී සිටින මේ භික්ෂූන් වහන්සේලා ගැන කිසිවෙකු බිය විය යුතු හෝ සැක කළ යුතු නැති බවත්’ එහි දී ඔහු කීවේය.

ඉතිං, බොදුබල සේනාව නියැලී සිටින ‘ජාතික වශයෙන් වැදගත් කර්තව්‍යය’ කුමක් ද? ඉස්ලාම් ත‍්‍රස්තවාදයට වැඩක් දීම ද? අළුත්ගම සිදුවීම එවැන්නක් ද? කෙසේ වෙතත්, දැන් අළුත්ගම, හමුදාව වාඩිලා ගත් තවත් ප‍්‍රදේශයක සිරිය ගෙන තිබේ. නිල ඇඳුම් හැඳ ගත් සහ නොගත් ආරක්ෂක නිලධාරීන් පාරතොටේ සිටින බව වාර්තා වෙයි. එයින් සමහරෙක් තමන්ගේ ජංගම දුරකථනවලින් ඒ පෙදෙසට එන පුද්ගලයන්ව කැමරාගත කරන බවත්, මිනිසුන්ගේ කතාබහට සවන්දෙන බවත් කියැවේ. එයින් එම සමාජය තුළ ජනිත කෙරෙන්නේ ‘භීතියේ මානසිකත්වයකි’.

ඊළඟ මැතිවරණ වටය ජයග‍්‍රහණය කිරීමෙන් පසු ‘ඉස්ලාමීය ත‍්‍රස්තවාදී’ බිල්ලාගේ ආනුභාවය පරල වන විට, ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළ අනිත් ‘අන්තවාදීන්’ දඩයම් කිරීමට රාජපක්ෂලා හැරෙයි ද? දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ගෙන් පසුව ඔවුන්ගේ ඉලක්කය වනු ඇත්තේ කවුද? එය ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් කැඞී ගිය ‘වාමවාදී අන්තවාදීන්’ විය හැකිද? එම පිරිස් ඔහු හඳුන්වා තිබුණේ, ‘වාම අන්තවාදය සඳහා ජනතාව පෙළගැස්වීමටත්, ශ‍්‍රී ලංකාව තුළ නැවත සංවිධානය වීමටත් තැත් කරන, ඉස්සර කැරලිගැසූවන්’ වශයෙනි. නැතහොත්, ‘සමාජයේ ඇතැම් කොටස් කරන ඉල්ලීම්, රටට නරක නාමයක් ගෙන දීම සඳහා, තමන්ගේ රහස් අභිලාෂයන් පෙරදැරිව පාවිච්චි කරන’ මාධ්‍යය විය නොහැකි ද? නැතහොත්, ‘තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ගානට පාවිච්චි නොකරන’ ඕනෑම විරුද්ධවාදියෙකු විය නොහැකි ද?

2010 ජනාධිපතිවරණය දා ?, ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහ වෙනත් විපක්ෂ නායකයන් සිටි හෝටලය සන්නද්ධ හමුදා මගින් වට කෙරුණි. එතැන් සිට දෙසතියක් යද්දී ජෙනරාල් ෆොන්සේකාව හමුදා නීතිය යටතේ අත්අඩංගුවට ගැනුණි. ඉන් පසු, සකල විකල්ප බලවේග විනාශ කිරීමට හා දිය කර හැරීමට රාජපක්ෂලා එක එල්ලේම පියවර ගත්හ. ඊළඟ මැතිවරණ වටයත් රාජපක්ෂලා දින්නොත් (විපක්ෂය එක්සත් නොවුණොත් එය ද සිදුවෙනු ඇත), ලබන වසර කිහිපයේ දී මීටත් වඩා බලයක් (දේශපාලනික පමණක් නොව, ආර්ථික ආගමික සහ සමාජ-සංස්කෘතික බලයක්) රාජපක්ෂලාගේ අතේ ඒකරාශී වනු ඇත.

එවිට රට පත්වනු ඇත්තේ තවත් අනර්ථකට ය.

ජනාධිපති මහින්ද සහ අමාත්‍ය බැසිල් ඕනෑවටත් වඩා නරකයි.

එසේ තිබියදී අගමැති ගෝඨාභය කෙනෙකුත් ලැබුණොත් කොහොමට හිටීවි ද?

*2014 ජුලි 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Family Curse නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page