Colombo Telegraph

ප‍්‍රතිගාමී ගමනක අවසාන ප‍්‍රත්‍යන්තය

තිසරණී ගුණසේකර

‘‘භීතියේ වහලූන් වෙන මිනිස්සු, සිතන්නට බිය වෙති’’  – ටොම් පේන් (මිනිස් අයිතිවාසිකම්)

අගමැති රාජපක්ෂව 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ අවස්ථාවේ ඔහු තමාගේ නමින් ‘මහින්ද චින්තනය’ එළිදැක්වූයේය. අවුරුදු හතක් ඇතුළත රාජපක්ෂලා ආණ්ඩුව අල්ලාගත්හ. ශ‍්‍රී ලාංකීය රාජ්‍යය සිය සන්තකයට ගත්හ. සමාජය යටපත් කරගත්හ.

ජාතික සංවිධායක වශයෙන් බැසිල් රාජපක්ෂව පත්කිරීමත් සමග දැන් සහෝදරවරුන් බිඳ දැමීමට සැරසෙන්නේ අවසාන ප‍්‍රත්‍යන්තයයි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය.

රනිල් වික‍්‍රමසිංහ කෙනෙකු නොසිටියේ නම්, රාජපක්ෂලා එවැන්නෙකු නිර්මාණය කරනු ඇත. එහෙත් රනිල් වික‍්‍රමසිංහ දැනටමත් සිටින නිසාත්, සක‍්‍රීයත්වයෙන් ඔහුට වඩා සජිත් පේ‍්‍රමදාස සමතෙකු නොවන නිසාත්, එක්සත් ජාතික පක්ෂය ගැන ඕනෑවට වඩා කලබල වීමට හේතුවක් රාජපක්ෂලාට දැනට නැත. අවශ්‍ය ජවයෙන් යුතුව පවතින සමාජ-ආර්ථික ප‍්‍රශ්න ග‍්‍රහණය කර ගැනීමට, ජනතා විමුක්ති පෙරමුණ, ඔවුන්ගේ ‘ගොඩෝ එනකල්’ (තවත් ඉන්දු=ලංකා ගිවිසුමක් එනකල්) බලා සිටී.

නොමිළේ සැපයෙන නිල වාසස්ථානයේ විදුලිය සඳහා මසකට රුපියල් 2000 ක් පමණක් ගෙවන, සුභසාධන රජුන්ගේ සහ රැුජිනියන්ගේ කැබිනට්ටුවක ප‍්‍රකාශකයා වන කෙහෙලිය රඹුක්වැල්ලට පහත සඳහන් ප‍්‍රකාශය කිරීමට හැකි වන්නේ, විපක්ෂයේ එකී පොන්න කම නිසා ය:

‘‘මිනිස්සු බලාගෙන ඉන්නේ, ගෙවන්නේ නැතුව කන්න.. හැම දේම නොමිලේ දෙන්න ඕනේ කියලයි හිතන්නේ. හැම දේටම ආණ්ඩුව සහනාධාර දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ හිතනවා. රට ඉදිරියට අරගෙන යනකොට ඒ වගේ මිනිස්සුන්ගේ පදේට නටන්න අපිට පුළුවන් කමක් නැහැ.’’

තවමත් ඔහු නිරුපද්‍රිතයි.

කෙසේ වෙතත්, තාර්කිකව ගත් කල, විපක්ෂයට වඩා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන සෙවිල්ලෙන් සිටීමට රාජපක්ෂලාට හේතු තිබේ. රාජපක්ෂලාගේ රාජවංශ ව්‍යාපෘතිය සඳහා අත්‍යාවශ්‍ය වාහකය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාපකයෝ රාජපක්ෂවරු නොව, බණ්ඩාරනායකවරු ය. මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වුවත්, බැසිල්, ගෝඨාභය සහ නාමල් වැන්නෝ, සාපේක්ෂ වශයෙන් නවකයෝ ය. මහින්ද රාජපක්ෂ, උත්සාහයෙන් උඩට ආවේය. සෙස්සෝ, ඇමරිකාවේ කැලිෆෝර්නියාවෙන් සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් කෙලින්ම උඩින් පාත්වූවෝය. බල මර්මස්ථානයේ හරි මැද්දට රාජපක්ෂ පවුල මෙසේ තොග වශයෙන් කඩාපාත්වීම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරමින් සහ ප‍්‍රවර්ධනය කරමින් දශක ගණනාවක් තිස්සේ ඒ සඳහා දරදිය ඇද්ද පක්ෂ නායකයන් අතරේ ඇති කළ හැක්කේ, අමනාපය, අසන්තෝසය සහ අවඥාවම පමණි.

මේ ප‍්‍රශ්නයට මුහුණදීම සඳහා සහෝදරයෝ විවිධ උප්පරවැට්ටි භාවිත කළහ. මුඛ්‍යතම අභියෝගයක් විය හැකි කරදරකාරයාව= මංගල සමරවීරව= ඔවුහූ මුලින්ම කැපූහ. පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පලාත්පාලන ආයතන තුළ රාජපක්ෂවාදීන්ගේ ප‍්‍රමාණය, උඩින් මෙහෙයවෙන මැතිවරණ හරහා වැඩි කරගත්හ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය නැවත ලියන්නට පටන්ගත්හ. අළුත් සාමූහික ස්මරණයක් ප‍්‍රබන්ධ කිරීම එහි පරමාර්ථය විය. ඒ කතාන්තරයට අනුව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කෙළේ, ආරක්ෂා කෙළේ සහ පෝෂණය කෙළේ වෙන කවුරුවත් නොව, රාජපක්ෂවරු ය. තාත්තා, පුතාලා, මාමලා, බෑනලා සහ සහෝදර සහෝදරියන් ය.

උදාහරණයක් වශයෙන්, 1989 පාර්ලිමේන්තු මැතිවරණය අළලා ‘ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී’ ධර්මන් වික‍්‍රමරත්න අද ලියන පහත සඳහන් ෙඡ්දය සළකන්න:

‘‘මගේ පරණ දිනපොත කියවද්දී 1988 මාර්තු 4 මගේ ඇස ගැසුණි. ස්ථානය= අයි.ආර්.ඞී. ආයතනය, හෝර්ටන් පෙදෙස, කොළඹ 7…. වර්තමාන ජනාධිපතිවරයාගේ සෑම ජයග‍්‍රහණයකම බිජුවට වැපිරුණේ එදා කළ ඒ සාකච්ඡුා තුළදී බවට කිසි සැකයක් නැත… 1989 මහ මැතිවරණය සඳහා සියලූ සැලසුම් සූදානම් කෙරුණි. යම් දවසක දකුණෙන් ජනාධිපතිවරයෙකු බිහිවන බව එදා ප‍්‍රකාශ කෙළේ බැසිල් රාජපක්ෂ ය. සියලූ මූලෝපායයන් පසුපස තිබූ මොළය වුණේ බැසිල් රාජපක්ෂ ය.. ගෝඨාභය රාජපක්ෂ පිටරට සිට නිරතුරුව උපදෙස් දුන්නේය…’’ (සන්ඬේ ඔබ්සර්වර්= 21.11.2010: අවධාරණය මගේ)

පවුලේ පක්ෂයක් තුළ, ඥාති සම්බන්ධතා යනු නොබිඳිය හැකි වීදුරු සීලිමකි. ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කළ සේවාව, මහින්ද රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කරනු ඇතැ යි, 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි බොහෝ නායකයන් සිතන්නට ඇති: එනම්, රාජවංශික විලංගුවෙන් ගලවා, එය නූතන දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීම. ඒ වෙනුවට ජනාධිපති රාජපක්ෂ කෙළේ, තමාගේ රාජවංශික ව්‍යාපෘතිය ආරම්භ කිරීමයි. ජනාධිපති ධුරයේ වාර දෙකේ සීමාව 1978 ව්‍යවස්ථාව තුළට ජේ. ආර්. ජයවර්ධන ඇතුළත් නොකෙළේ නම් හෝ චන්ද්‍රිකා කුමාරණතුංගට තුනෙන් දෙකක බලයක් තිබුණේ නම්, තවමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක නින්දගමක් වනු ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට බණ්ඩාරනායකලා නොවන්නෙකු එන්නේ ඒ වාර දෙකේ සීමාව නිසා ය. 2010 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂලාගේ මුල්ම කර්තව්‍යය වුණේ ඒ ප‍්‍රජාතන්ත‍්‍රීය කපොල්ල 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වසා දැමීම යි.

රාජපක්ෂ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ජාතික තලයේ තිබෙන බරපතලම බාධකය වන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කම සහ රටේ අගමැති කම රාජපක්ෂ නොවන අයවළුන් අතේ තිබීම විය හැකිය. ‘විශ්වාස නොකළැකි පක්ෂ ලේකම්වරයෙකු’ සිටීමේ ප‍්‍රශ්නයට මැදිහත් වීමක් වශයෙන් ජාතික සංවිධායක කම බැසිල් රාජපක්ෂට පැවරූ බව පැහැදිළි ය. ඔහුගේ රාජකාරිය වන්නේ, ගෝඨාභය රාජපක්ෂ හමුදාවට කළ දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කිරීමයි: රාජපක්ෂ රක්ෂිතයක් සහ මෙවලමක් වශයෙන් පක්ෂය හැඩතල ගැන්වීම. රාජපක්ෂ බලයට අභියෝග කිරීමට තබා, අඩු වශයෙන් රාජපක්ෂ බලය ආම්බාන් කර ගැනීමටවත් ශක්තියක් නැති මට්ටමට පශ්චාත්-දෝෂාභියෝගී සමයේ අධිකරණය පහළට හෙලූවේ යම් සේ ද, සමස්ත රාජ්‍ය බලයේ සෑම අංශුවක්ම පාවිච්චියට ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකී තත්වයට පත්කිරීම අළුත් ජාතික සංවිධායකයාගේ වගකීම වනු ඇත.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජපක්ෂ පක්ෂයක් බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරිවර්තනය කර ගැනීමෙන් පසුව, තමාගේ ඇවෑමෙන් පවුල් පාලනයේ අනාගතය සහතික කරනු වස්, සහෝදරයෙකු අගමැති ධුරයට පත්කිරීමට එවිට ජනාධිපතිවරයා පියවර ගනු ඇත.

දේශපාලන-දෘෂ්ටිවාදාත්මක මැලියම

පාලක පවුලේ බිඳීමකින් පාලන තන්ත‍්‍රයේ වෙනසක් ඇති වෙතැ යි විපක්ෂය කට ඇරගෙන සිටින සෙයක් පෙනේ. එහෙත්, පවුලේ සාමාජිකයන් අතරේ නිසැකවම පුද්ගල වෙනස්කම් සහ තරගකාරී උන්නතිකාමයන් තිබියදීත්, පවුල එකට බැඳ තබන නිෂේධනීය බලගතු බැම්මක් දැනට ඇති බව අමතක නොකළ යුතුය. එනම්, යම් කඩාවැටීමක් වෙතොත්, එය පවුලේ සියල්ලන්වම අනතුරට හෙලන කඩාවැටීමක් බවට පත්වෙති ය යන ඔවුන් සතු දැනුමයි.
එසේම, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටින තාක් කල්, පවුලේ අසමගිකම් සාර්ථකව පාලනය කර ගැනීමට ඔහු සමත් වන බවත් අමතක නොකළ යුතුය.

රාජපක්ෂ ව්‍යාපෘතියේ සැබෑ දුර්වලතාව වන්නේ, බලය එකට බැඳ තැබීමකට අවශ්‍ය කරන අනුකූල දෘෂ්ටිවාදයක් ඊට නැති කමයි. මහින්ද චින්තනය ඊට ගැලපෙන්නක් නොවේ. ස්වකීය නිරන්තර බයිලාව වශයෙන් සිංහල=බෞද්ධ මහෝත්තමවාදය රාජපක්ෂවරු කරට ගන්නේ එබැවිනි.

1956 සැබෑ උරුමකරුවන් වන්නේ තමන් බවට රාජපක්ෂවරු දැන් දකුණට පෙන්නති. 1956 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්මත්තට ආවේ දිළින්දාගේ නායකයෙකු වශයෙන් නොව, සිංහල බෞද්ධයාගේ නියාමක පක්ෂයක් වශයෙන් ය. එය ආමන්ත‍්‍රණය කෙළේ, පංතියකට නොව, භාෂාව/ජාතිය සහ ආගමට ය. එදා පංච මහා බලවේගය වුණේ, සුළුජාතීන් පිටමං කළ, සිංහල=බෞද්ධ කුලකයකි. දුප්පත් කම ප‍්‍රශ්නයක් විණි නම් එසේ වුණේ, ධනපතියන්ගේ සහ තණ්හාධික සුළුතර ජාතීන්ගේ සිංහල=විරෝධී සූරාකෑමේ ප‍්‍රවණතාවක් වශයෙන් එය හුවාදැක්විය හැකි නම් පමණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදය පසුගාමී දැක්මක් සහිත, ප‍්‍රතිගාමී මිශ‍්‍රණයකි. එහි කොටසක්, බහුතර=ස්වෝත්තමවාදී ය. කොටසක්, නූතන විරෝධී, බහුත්ව විරෝධී, යල්පීනූ සමාජවාදයක් ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, එතෙක් සමාජයෙන් කොන්වූ කොටස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ගෙන ඒමට 56 විප්ලවයට නොහැකි විය. එයින් කෙරුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රධාන ධාරාවේ මූලික ස්වභාවය, බහුත්වවාදයෙන් ඒක වාර්ගික ස්වභාවයකට පරිවර්තනය කිරීමයි. එම ‘විප්ලයෙන්’ වසර දහයක් ගිය තැන, දකුණේ සියළු දේශපාලන පක්ෂ  වාමාංශික පක්ෂ ද ඇතුළත්ව ‘සිංහල පමණයි’ ප‍්‍රතිපත්තියේ කසකරුවන් බවට පත්වීමෙන් ඒ බව ඔප්පු කෙරුණි.

නග්න සහ නොදැමුණු සිංහල=බෞද්ධ මහජාතිවාදයට ඉඩදෙමින් ඉවසා සිටියා පමණක් නොව, එය යුක්ති සහගත ද කළ 1956=87 කාලයේ පැවති පොදු චින්තනය, රාජපක්ෂ පාලනය යටතේ ජයග‍්‍රාහීව ආපසු ඇවිත් සිටී. අද වන විට, ජාතිවාදී සහ ආගම්වාදී කිලූට, නැවත වතාවක් සාමාන්‍ය දෛනික තත්වයට පත්ව තිබේ. තවත් කළු ජුලියක් පිළිබඳ කල්පනාව පවා, සිංහල දකුණට තවදුරටත් බිය ගෙන දෙන්නක් නොවේ. මන්ද යත්, ඔවුන් තව යුද්ධයකට බිය නොවන බැවිනි. හේතුව, වරක් එක යුද්ධය දිනූ රාජපක්ෂට තවත් යුද්ධයක් දිනීමටත් හැකි යැයි ඔවුන් විශ්වාස කිරීමයි.

මේ රාජපක්ෂවාදී සාමාන්‍ය බුද්ධිය, හුදෙක් බහුතර ස්වෝත්තමවාදී වෙනවා පමණක් නොවේ. එය, ජයග‍්‍රාහීවාදී සහ හමුදාවාදී ද වෙයි. පංච මහා බලවේගය පිළිබඳ තමන්ගේම අර්ථකථනයක් රාජපක්ෂලාට අද තිබේ. එහි දී රණවිරුවා දෙවැනි වන්නේ, බෞද්ධ භික්ෂුවට පමණි.

සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදයේ මැලියමෙන් හොඳ ප‍්‍රතිඵල ලැබීමට හතුරන් සහ තර්ජන අවශ්‍ය කරන බැවින්, කුඩා පරිමාණයේ වාර්ගික සහ ආගමික ගිනි ඇවිලවීමට රාජපක්ෂ සහෝදරවරු සිය ඇබිත්තයන්ට ඉඩ හරිති. ඊළඟට ඔවුන් කරන්නේ, ඒවා සංසිඳුවීමයි. ඒ මගින්, ජාතියේ ආරක්ෂකයන් වශයෙන් සහ රටේ ස්ථාවරත්වය සහ සාමය රකින ගැටුම් කළමනාකරුවන් වශයෙන් පෙනී සිටීමට ද ඔවුන්ට පිළිවන.

වැලේ වැල් නැති රටේ බහුතරයක් සහ දේශපාලනික හිංසනයට යටත් සුළුතරයක් දාස භාවයෙන් තබා ගැනීමට ඔවුන් සමත් වන්නේ එලෙස ය.

*2013 අපේ‍්‍රල් 25 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Final Frontier Of A Retrogressive Journey ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page