Colombo Telegraph

සාමයේ රුදුරු සන්තාපය

තිසරණී ගුණසේකර

පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි.

ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ පින්තූරය හරහා හෙළිදරව් කෙරේ. රාජපක්ෂ පාලනය යටතේ පුරවැසියෙකුට සමෘද්ධිය කරා යා යුතු නම් කෙසේ හැසිරිය යුතු ද යන්න ඉන් එකකි. මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුට ඉහළට යා යුතු නම් කෙසේ සිටිය යුතු ද යන්න තවත් එකකි. ඊළඟට, සුළුජාතික ප‍්‍රජාවේ කෙනෙකුට තම අභිවෘද්ධිය සඳහා කෙසේ කටයුතු කළ යුතු ද යන්න තවත් එකකි.

කොටි සංවිධානය පරාජය කිරීම මාර්ගයෙන්, ශ‍්‍රී ලංකා වාසී ජනතාවට සහ ජනතාව සමග තමන්ට රිස්සක් කිරීමේ අයිතිය තමන්ට පැවරී ඇතැ යි රාජපක්ෂලා විශ්වාස කරති.

යුද්ධයේ ස්වභාවය, යුද්ධයෙන් පසු එළැඹෙන සාමය කෙරෙහි බලපෑම, අනිවාර්ය කොන්දේසියකි. වැඩියත්ම, සාමයේ කළමනාකරුවන් වන්නේත් යුද්ධයේ ජයග‍්‍රාහකයන්ම නම්, එය තවදුරටත් තහවුරු වන්නේය.

යුද්ධයෙන් පසු ලංකාව අත්කරගත් සාමය, නොපවතින දේවල්වල හෙවත් අහිමිවීම්වල සාමයකි.

උතුරු=නැගෙනහිර දෙමළ ජනතාවට එය, සාමාන්‍ය ජීවිතයකින් තොර සාමයකි: හමුදාව ප‍්‍රායෝගිකව කඳවුරු බැඳ ගත් දේශයක ඔවුන් ගැටගසා ගන්නා ජීවිතය ගර්හිත ය. අයිතිවාසිකම් රහිත ය.

මුස්ලිම් ප‍්‍රජාවට එය, ආරක්ෂාවක් නැති සාමයකි. තම ප‍්‍රජාවට එරෙහිව ඊළඟ ප‍්‍රහාරය එල්ල වන්නේ කවදා ද සහ එසේ වන්නේ මන්ද යන්න නොදැන ඔවුන් ජීවත් වන්නේ අනියම් බියෙනි.

සිංහලයාට එය, අස්වැන්නක්/ප‍්‍රතිලාභයක් නැති සාමයකි. ඔවුන්ගේ ආර්ථික අඳෝනා දිනෙන් දින උග‍්‍ර වෙයි. දේශපාලන අයිතීන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ඔවුන්ට අහිමි කොට තිබේ. නීතියේ ආධිපත්‍යය වෙනුවට පාලකයාගේ නීතියකින් මෙහෙයවෙන රටක ජීවත් වීමට ඔවුන්ට බල කෙරී තිබේ. ප‍්‍රධාන වෙනසකට ඇත්තේ, බොහෝ සිංහලයන් තුළ තවමත් යහපත් අනාගතයක් ගැන නීවී යාමට ආසන්න තුනී ගිනි දැල්ලක් වන් යම් අපේක්ෂාවක් තිබීමත්, බොහෝ දෙමළ ජනයාට සමහර විට එවන් අපේක්ෂාවක් කිසි දවසක නොතිබීමත්, මුස්ලිම් ජනයාට බලාපොරොත්තු අතහැර ගැනීමට බල කෙරෙන වාතාවරණයක් සකස් වෙමින් තිබීමත් ය.

යුද්ධය වෙනත් මාර්ගවලින් ඉදිරියට ගෙන යාමේ දේශපාලනයක් රාජපක්ෂලා මේ වන විට කරලියට ගෙන ඇත. ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇතැ යි ඔවුන් තවදුරටත් විශ්වාස නොකිරීම තුළ, දේශපාලන විසඳුමක් ගැන උනන්දුව ඔවුන් තුළින් වියැකි ගොස් ඇත. ‘උතුරේ ප‍්‍රශ්නය’ ඔවුන්ට, හුදෙක් ‘ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයකි’: ත‍්‍රස්තවාදීන් අතුගෑවී ගොසිනි. ඒ මදි ද? වෙන ප‍්‍රශ්නයක් නැත. සාමය ගොඩනැගීම කෙරෙහි වන ඔවුන්ගේ ආකල්පය, සම්මුතිකාමී නොවන, ප‍්‍රජාතාන්ත‍්‍රීය නොවන, ප‍්‍රවේශයකි. සුළුතර ජනවර්ග, සිංහල=බෞද්ධ දේශයක අමුත්තන් වශයෙන්, තමන්ගේ ද්වීතීයික ස්ථානය, ස්තුති පූර්වකව පිළිගත යුතුය. එසේ නොමැතිව, සාමකාමීව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, ඊට විරෝධය පාන්නන් ජාතිවාදීන් සහ දේශද්‍රෝහීන් වශයෙන් සැළකෙනු ලැබේ.

අනිත් අතට, සිංහල-බෞද්ධයන් සුළුතර ජනතාවට ඉහළින් තමන්ට ආරෝපණය කෙරී ඇති මහේශාක්‍ය මායාවෙන් සන්තෘප්ත විය යුතු යැයි රාජපක්ෂවරු අපේක්ෂා කරති. රුදුරු ආර්ථික කස පහරින් තැලූම් කන්නට ඔවුන්ට සිදු වීම, එකී අපරාජිත සිංහල කම වෙනුවෙන් තමන් දැරිය යුතු මිලක් බව ජනතාව පිළිගත යුතුය. ස්පර්ශ කළ හැකි සාමයේ ප‍්‍රතිලාභයක අඩුව සහ වෙනත් අසන්තෘප්තීන් වෙතින් සිංහල-බෞද්ධයාගේ අවධානය ඉවතට හරවනු වස්, නිරන්තර සතුරන් සහ ඔවුන්ගෙන් එල්ල විය හැකි තර්ජන ගර්ජන පිළිබඳ දෛනික පෝෂණයක් ඔවුන්ට කවනු ලැබේ. මේ වර්ගවාදී/විදේශභීතිකා කතාන්දරයට අනුව, ඊලාම් යුද්ධය ජයග‍්‍රහණය කොට ඇතත්, කොටියා නැසී නැති බව දත යුතුය. අපේ සතුරෝ මහා සේනාවකි. විජාතික අශිෂ්ටයෝ අපේ දොරකඩම සිටිති. ‘මානව හිමිකම්’ සහ ‘මාධ්‍ය නිදහස’ නමින් වෙස්වළාගෙන එන එවැනි මළපුඩු ගැන අප සුපරීක්ෂාකාරී විය යුතුය.

විජයග‍්‍රහණයේ සැමරුම් දේශනය කරමින්, ‘මානව හිමිකම්’, ‘මාධ්‍ය නිදහස’ සහ ‘අධිකරණයේ ස්වාධීනත්වය’ යනු, ‘අපේ මාතෘ භූමිය ගිල ගැනීමට එකී (විදේශ) බලවේග යොදාගත්’ සංකල්ප වශයෙන් ජනාධිපතිවරයාම හඳුන්වන විට, ඔහුම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂාව සහ මානව හිමිකම්, බෙදුම්වාදයට සම කරන විට සහ එසේ කරන විට ඔහුගේ මුහුණේ ඇඳෙන කෝපයේ දාහය දකින විට, ලංකාවේ අනාගතය ලියැවිය හැකි ආකාරය, සයනයිඞ් කරලක් තරමට ප‍්‍රත්‍යක්ෂ වන්නේය.

මේ ශ‍්‍රී ලංකාව තුළ, වෛරයසහ භීතිය නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත.

සාමය සඳහා සුළු ජාතීන්ගේ ස්වේඡුාව අවශ්‍ය යැයි නොසළකන තාක් කල්, ඊට මුක්කුවක් වශයෙන් සර්වව්‍යාපී හමුදාවක් අවශ්‍ය වන්නේය. රටේ බහුතරය මෙල්ල කොට තබා ගැනීමටත් එය අවශ්‍ය කෙරේ. එබැවින්, පිම්මේ යන හමුදාකරණය, මේ අසමාන, අසාධාරණ සහ නපුරු සාමයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වෙයි. ලංකාවේ හමුදාකරණය නියාමක=හමුදාකරණයකි. පාලක සහෝදරයන්ට යටත්පහත් වන එය, පවුල් පාලනයේ මෙවලමක් වශයෙන් ක‍්‍රියා කරයි. ප‍්‍රත්‍යුපකාරයක් වශයෙන්, හමුදාවට තමන්ටම අයත් ආර්ථික/ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීමට ඉඩ හැරේ. ‘හමුදා ගොවීන්’ නිර්මාණය කිරීම එහි මෑතම පියවරයි: ‘‘හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, ශ‍්‍රී ලංකා හමුදාවට ගොවීන් වශයෙන් බඳවා ගත් පිරිස් මැයි 12 වැනි දා සිය රාජකාරි පටන් ගත්හ’’ (ශී‍්‍ර ලංකා මිරර්/16.05.2013). මෙසේ හමුදාකරණයට ලක්කළ සිවිල් වැසියන්, කොටි සංවිධානයෙන් අත්පත් කරගත් කන්ඩාකඩු ගොවිපොළේ සේවයේ යොදවා ඇත. ඊළඟට, නාවික හමුදා=ධීවරයනුත් නිර්මාණය කෙරේවි ද?

මේ හමුදාකරණය, සුළු ජාතීන්ට මෙන්ම මහ ජාතියට ද එක සේ අනර්ථකාරී ය. ඒ, ආර්ථික හේතු නිසා පමණක්ම නොවේ. හමුදා සේනාවාස ගොඩනැගීම සඳහා උතුරු වලිකාමම් පෙදෙසේ වෙසෙන දෙමළ ජනයාට අයත් ඉඩම් අක්කර 6400 ක් හමුදාවට පවරාගන්නා අතරේ, අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප‍්‍රදේශයේ සිංහලයන්ගේ ඉඩම් අක්කර 200 ක් ද, හමුදා කඳවුරු සහ හෝටල් ගොඩනැගීම සඳහා පවරා ගැනේ. මේ අසාධාරණ ද්විත්ව ක‍්‍රියාවල සංකලනය තුළ, අයිතින් අහිමි ශ‍්‍රී ලංකාවේ අතිබහුතරයේ අනාගතය පෙරදැකීමට අපහසු නැත.
වෛරය සහ අවනම්බුව සිංහාසනාරූඪ කැරැවීම

අත්කර ගත්තා යැයි කියන සාමයේ අති වැදගත් එක අංගයක්, වන්නි දිස්ත‍්‍රික්කයේ හමුදා ආඥාපතිවරයා විසින් ඒ පළාතේ දෙමළ වැසියන්ට ගිය සතියේ මතක් කර දුනි. එනම්, මළගිය ඇත්තන් වෙනුවෙන් වැළපීම සාපරාධී ක‍්‍රියාවක් වන බවයි: ‘‘ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ මියගිය හිතෛශීන් සැමරීමට පුලූවන්. ඒත්, ආණ්ඩුවට ද්‍රෝහී වූ ත‍්‍රස්තවාදීන් සැමරීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිපත් කරන්නට යම් කෙනෙක් සැරසෙනවා නං, ඒක රාජද්‍රෝහී ක‍්‍රියාවක්. ඒ වගේ දේකට සම්බන්ධ වෙන ඕනෑම කෙනෙක්ව අපි අත්අඩංගුවට ගන්නවා.’’ (නිව්ස්.එල්කේ/18.05.2013).

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සහ වෙනත් නායකයන් සැමරීම වෙනම කාරණයකි. එහෙත් ලක්ෂ ගණනක් දෙමළ වැසියන් ඔවුන්ගේ නෑසියන් සැමරීමෙන් තහනම් කරනු ලැබීම ඊට හාත්පසින් වෙනස් ය. දකුණේ ඇති වු දෙවැනි කැරැුල්ලෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුණේ මියගියවුන් ගැන ළතවෙන සහ සමරණ ඔවුන්ගේ ඥාතීන්ට එවැනිම තහනමක් පනවා, එම ඥාතීන්ව අත්අඩංගුවට ගත්තේ නම් දකුණ ඊට කෙසේ ප‍්‍රතික‍්‍රියා දක්වනු ඇත් ද? එය පාර කපනු ඇත්තේ සංහිඳියාවකට ද, එසේ නැතහොත්, තව තවත් වෛරයකට ද?

තම දරුවා කොටියෙකු වූ පමණින් එම දරුවාට ආදරය කිරීමෙන් මවක් වැළැකිය යුතු යැයි අප අපේක්ෂා කළ යුතු ද? මවක් හෝ පියෙකු, බිරිඳක් හෝ සැමියෙකු, දරුදැරියක් හෝ සහෝදර සහෝදරියක්, මුත්තෙකු හෝ මිත්තනියක්, කොටි සංවිධානයේ සටන් කළ ස්වකීය හිතෛශියෙකු වෙනුවෙන් වැළපීම නිසා ද්‍රෝහියෙකු වන්නේ ද? එවැන්නෙකු වෙනුවෙන් වැළපීමට අවසරයක් නැති මනුෂ්‍යයෙකුට කෙසේ නම් සාමයක් දැනෙන්න ද? එවැනි වැළපීමකින් තොරව කෙසේ නම් නිමාවක් දකින්න ද? සිහිපත් කිරීමකින් තොරව කෙසේ නම් අමතක කිරීමක් කරන්න ද?

මෙය මොන විදිහේ සාමයක් ද? සමහර විට, කොටි සංවිධානය තමන්ගේ පරිභෝජනයට ගනිතැ යි ඇති සැකය මත, ඉහළ පෝෂ්‍යදායී විස්කෝතුවක් යුද කලාපයේ වෙසෙන දරු දැරියන්ට සැපයීමට විරුද්ධ වූ නායකයෙකුට බිහි කළ හැකි එකම සාමය එවැන්නක් විය හැක.

සොෆොක්ලීස්ගේ ‘අජැක්ස්’ නාට්‍යයේ නාමදායී ජෙනරල්වරයා ද්‍රෝහියෙකු වී අනිත් ග‍්‍රීක නායකයන් ඝාතනය කිරීමට සැලසුම් කොට අවසානයේ සියදිවි නසාගනී. ඔහු ගැන කෝපයෙන් දැවෙන ග‍්‍රීක හමුදා නායකයෝ, ‘ද්‍රෝහියාව’ ගෞරවාන්විතව මිහිදන් කිරීම තහනම් කරති. ඔඩිසියස් එම නියෝගයට විරුද්ධ වෙයි. එසේ විරුද්ධ වන්නේ මන්දැ යි අගමෙම්නොන් ප‍්‍රශ්න කළ අවස්ථාවේ ඔහුගේ පිළිතුර වන්නේ මෙවැන්නකි: ‘‘අභිමානයට කැලැල් විය හැකි ප‍්‍රතිලාභයෙන් කුල්මත් නොවන්න’’. සීමාවක් නැති වෛරය නිසා යුක්තිය පාගා දැමීම ඔහුගේ විරෝධයට හේතුවයි.

රාජපක්ෂ සාමය, වෛරයෙන් විස කැවුණු, අවනම්බුවෙන් කැලැල් කෙරුණු, තත්වයකි. ඒ නිසා, සාමාන්‍ය දෙමළ ජනයාට මළවුන් වෙනුවෙන් වැලපීම තහනම් කෙරේ. ඒ නිසාම, ජෙනරාල් ෆොන්සේකාට, විජයග‍්‍රහණය සැමරීමේ උළෙලේ කිසි තැනක් අහිමි වෙයි.

යුද්ධය තමන් ජයග‍්‍රහණය කෙළේ නම් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් දෙමළ ජනතාව මත පටවන සාමයේ ස්වභාවය හිතාගන්න. රාජපක්ෂලා එන්න එන්නම, ඔවුන් පරාජය කළ සතුරාගේ ස්වභාවයට සමාන වෙමින් සිටිති. ඔවුන් ගොඩනගමින් සිටින සාමය, කොටින්ගේ ජයග‍්‍රහණයක් තුළ ස්ථාපිත කළ හැකිව තිබු සාමයකට සම වෙමින් තිබේ: එය, යුක්තිය සහ දයාවෙන් තොර සාමයකි. නින්දනීය සහ නිර්දය සාමයකි. ප‍්‍රචණ්ඩ සාමයකි.

*2013 මැයි 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Agony Of Peace ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page