Colombo Telegraph

පාලකයාගේ කෝදුවෙන් ජාතිය යළි සැකසීම

තිසරණී ගුණසේකර

‘‘රදල පාලක කල්ලියක උප්පරවැට්ටි මාලාවක් හරහා දාස භාවයට ආලය කරන ජනතාවක් බිහි කිරීිමට හැකි වීම..
මට පෙනෙන හැටියට, අනර්ථකාමී විප්ලවවල ඉෂ්ට සිද්ධියයි.’’- ඇල්ඩස් හක්ස්ලි (අවසාන විප්ලවය)

ජනාධිපතිවරයා මෑතක උගන්ඩාවට ගිය සංචාරයේ දී එරට වැසියන්ගේ බයාදු කල්ක‍්‍රියාව ගැන බෙහෙවින් පැහැදුණු බව වාර්තා විය. ගිය ඉරිදා ‘රිවිර’ පුවත්පතේ දේශපාලන තීරු ලිපියේ සඳහන් පරිදි ලංකාවේ ජනාධිපතිවරයා එරට නායකයාගෙන් මෙසේ අසා ඇත: ‘‘ඔබේ රටේ ජනතාව හරිම කීකරු බව පේනවා. කොහොමද ඒ කීකරුකම හදාගත්තේ?’’ එය, යටත්විජිත ඌරුවකින් ඉතිරිව ඇති ශේෂයක් බව ජනාධිපති මුසේවීනිගේ පිළිතුර වී ඇත. එදා එරටේ සිටි සුදු පාලකයන් උගන්ඩාවේ ස්වදේශීය වැසියන්ව පාලනය කෙළේ, දීනත්වය පුරුෂාර්ථයක් වශයෙන් සමාජගත කිරීමෙනි.

අවිචාරවත් කීකරු භාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට නොගැළපෙන, භයානක දුෂ්චරිතයකි. සමාජයක් එසේ හැසිරීම, අත්තනෝමතික පාලනයක පැවැත්මට අත්‍යාවශ්‍ය කෙරේ. යටත්විජිත පාලකයන් එම රටවල වැසියන්ව සැළකුවේ, නිදහස නිසියාකාරයෙන් පාවිච්චි කිරීමට නොදන්නා දේශපාලනික අතදරුවන් පිරිසක් වශයෙනි. ස්වදේශීය ප‍්‍රජාපීඩක පාලකයන්ට ද, යටත්වැසියන් වූ කලී, නිදහස භුක්ති විඳීමට නොසුදුසු, සදාතන දේශපාලනික අඳබාලයන් ය.

වර්තමාන හයිකාර පාලකයන් මෙන්ම, එම තත්වයට පත්වීමට තතනන අනාගත ප‍්‍රජාපීඩකයන් ද භයානක යැයි සිතන ජනතා අයිතීන් සහ නිදහස් සමුදායක් තිබේ. එයින් වඩාත් වැදගත් වන්නේ, තොරතුරු දැන ගැනීමට ජනතාවකට ඇති අයිතියයි. තමන්ගේ රටේ සිදුවන්නේ කුමක් දැ යි ජනතාව දැන ගැනීම, එවැනි පාලකයන්ගේ තක්සේරුව අනුව, භයානක නිදහසකි. මුද්‍රිත මාධ්‍යයෙන් විශාල පදාසයක් රාජපක්ෂවරුන් විසින් යටපත් කරනු ලැබ දැන් වසර ගණනාවක් වෙයි. දැන් වෙබ් අඩවි ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී ඇත. මේ මාසයේ දී පමණක්, ‘ගොසිප් ලංකා’ සහ ‘ලංකා ඊගල්’ යන වෙබ් අඩවි දෙක, නොනිල වශයෙන් තහනමට ලක්කොට තිබේ.

නිදහස් සහ විවේචනාත්මක මාධ්‍යයක් කෙරෙහි රාජපක්ෂවරුන් දක්වන භීතිකාව තේරුම් ගැනීමට අසීරු නැත. ඒ තරමට, ඔවුන්ට සැඟවීමට දේවල් ඇති බැවිනි.

ඉඩම් කොල්ලය උදාහරණයක් වශයෙන් ගන්න. අද මේ ප‍්‍රශ්නයට, උතුරේ දෙමළ ජනතාව පමණක් නොව, දකුණේ සිංහලයෝ ද මුහුණදෙති. දැන් කාලයක් තිස්සේ උතුරේ වාර්ගික ජන ව්‍යාප්තිය සූක්ෂම ලෙසින් වෙනස් කරමින් සිටින රාජපක්ෂලා, දැන් ඊටත් වඩා රහසිගත ආකාරයකින් දකුණේ පංතිමය සහ පක්ෂ දේශපාලනික සංයුතිය ද තමන්ට වාසිදායීව වෙනස් කරමින් සිටිති. ඔවුන්ගේ අවසාන ඉලක්කය වන්නේ, පවුල් පාලනයට එරෙහිව යම් දවසක සිදුවිය හැකි නැගී සිටීමක් හැකි තාක් බෙලහීන කරවන මාදිලියේ නව ජනවිකාශ රටාවක් නිර්මාණය කිරීමයි.

උතුරේ හමුදා කඳවුරු සහ සේනාවාස පිහිටුවීම සඳහා දෙමළ වැසියන්ගේ පුද්ගලික ඉඩකඩම් මේ වන විට අත්පත් කර ගනිමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්, ‘ඉඩම් අත්පත් කරගැනීමේ පනත’ යටතේ යාපනේ ඉඩම් අක්කර 6400 ක් හමුදා සේනාවාස සඳහා දැන් උදුරා ගැනෙමින් තිබීම මෙසේ විස්තර කරයි: ‘‘මීට අදාළව නිකුත් කළ නිවේදනය පරිදි, මේ ඉඩම්වල හිමිකරුවන් ඉන්නා තැනක් සොයා ගැනීමට නැති ලූ ෟ ඇත්තෙන්ම, ආණ්ඩුවෙන්ම පවත්වාගෙන යන නීති විරෝධී ඊනියා අධි=ආරක්ෂිත කලාපයට යාබදව ඇති කඳවුරුවල ඔවුහූ වෙසෙති. අවුරුදු 25 කට වැඩි කාලයක් ඔවුන් එහි ජීවත්ව ඇත. 2006 දී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පත්කරන ලද කමිටුවකින් ඔවුන්ගේ ඔප්පු පරීක්ෂා කොට, නිරවුල් කොට තිබේ. එහෙත්, බිම් බෝම්බ ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය තවම අවසන්ව නැතැ යි යන ව්‍යාජ හේතුව මත, මේ දක්වා එම ඉඩම්වලට ආපසු යාමට ඔවුන්ට අවසර ලැබී නැත. ආණ්ඩුවේ මේ ප‍්‍රකාශය මොන තරම් බොරුවක් ද යන්න, සොල්දාදුවන් විසින් එම ඉඩම් වගා කරනු දුටු ඕනෑම කෙනෙකුට පෙනී ගිය දෙයකි… කෙසේ වෙතත්, හිටිහැටියේම ආණ්ඩුවේ සැබෑ මුහුණුවර නිරාවරණය වන්නට දැන් පටන්ගෙන තිබේ: මෙසේ පවරාගත් ඉඩම් වෙනත් අයවළුන්ට යථා කාලයේ දී පවරා දීමට යයි: ඒ අනුව, ඔවුහූ උතුරේ අනාගත ඡුන්දාදායකයෝ වන්නාහ. මෙවැනිම දැන්වීම් කිලිනොච්චි ප‍්‍රදේශයේත් ප‍්‍රකාශයට පත්කොට තිබේ. එසේම, නැගෙනහිර පළාතේ ඉඩම් ද, හමුදාවට අත්‍යාවශ්‍ය යැයි හැෙඟන කාරණා වෙනුවෙන් අත්පත් කරගන්නා බව, එම පළාතේ ජනතාවට දැනුම්දී තිබේ.

මේ හමුදා කඳවුරු සහ සේනාවාස දෙමළ ප‍්‍රදේශ මත පටවන්නේ, ඔවුන්ගේ වාර්ගික ජන සංයුතිය තුළ පවතින ඒකීයත්වය බිඳලීමටයි. එවිට, බලය විමධ්‍යගත කිරීම දුෂ්කර වන අතර, දෙමළ ජනතාව යටත් වැසියන් වශයෙන් එක දිගට නඩත්තු කර ගැනීම පහසු වනු ඇත. එසේම, එම පළාතේ අනාගතේ පැවැත්වෙන මැතිවරණ, හිංසනය සහ අක‍්‍රමිකතාව අවමයෙන් පාවිච්චි කොට ජය ගැනීමට රාජපක්ෂලාට හැකි වෙතැ යි ඔවුන් තුළ ඇති විශ්වාසය, ඒ හා සමානම, තවත් වැදගත් කාරණයකි.

ඉඩම් ඩැහැගැනීමේ ප‍්‍රශ්නයට බොහෝ සිංහලයන් අසංවේදී ය. එය දෙමළ ප‍්‍රශ්නයක් වශයෙන් සළකනු ලැබීම ඊට හේතුවයි. මේ ප‍්‍රශ්නය ගැන සිංහලයන් දක්වන ඒ නොසැලකිල්ල සහ උදාසීනත්වය හැකි තාක් කල් පවත්වා ගැනීම රාජපක්ෂලාගේ අභිමතයයි. දහස් සංඛ්‍යාත කොළඹ දිළිඳු ජනයා ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කරනු ලැබීමේ අවදානම කෙරෙහි යම් අවධානයක් ඇතත්, අම්පාර දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව ඔවුන්ගේ සම්ප‍්‍රදායික බිම්වලින් පලවා හල ව්‍යසනය ගැන කතාබහක් ඇත්තේම නැති තරමි. 2011 දී නාවික හමුදාව, මේ පළාතේ සංචාරක ආකර්ශනයක් සහිත පානම ග‍්‍රාමයට ආසන්නයේ පිහිටි අක්කර 1200 කට අධික ප‍්‍රමාණයක් අල්ලා ගත්තේය. එහි ප‍්‍රතිඵලය වුණේ, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, උල්පස්සාවෙල, හොරොව්කන්ද සහ ඇල්ල වැනි ගම්වල සිංහල ගැමියන් දහස් ගණනකට උන්හිටි තැන් සහ ජීවිකාව අහිමි වීමයි. කල්පිටියේ ධීවර ජනතාව ද එවැනිම කරුමයකට ගොදුරු වූහ.

රජය මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික ඉඩම් අත්පත් කරගන්නා විට, ඒවාට වන්දි ගෙවීමට හෝ ඊට සමාන වාසස්ථාන එම ජනතාවට සැපයීමට හෝ ආණ්ඩුව බැඳී සිටී. පොදුවේ ගත් විට, මීට පෙර පැවති ආණ්ඩු ක‍්‍රියා කෙළේ එලෙසිනි. එහෙත් රාජපක්ෂවරු ඊට වෙනස් ක‍්‍රමයක් අනුයති: නීතියට පිටින්, හමුදා බලයෙන් ඉඩම් ඩැහැ ගැනීම. එවිට එම ප‍්‍රශ්නය, ‘හමුදාකරණය’ කෙරේ. ‘ජාතික ආරක්ෂාව’ නැමැති රැුකවරණකාරී ආයිත්තමෙන් දවටනු ලැබේ. ඒ ආකාරයෙන් ඉඩම් හිමියන්ව පහසුවෙන්ම බිය ගැන්විය හැකිය. ඒවා වාර්තා කරන සිංහල මාධ්‍ය නිහඩ කළ හැකිය. පරිසර නීති සහ පුරාවිද්‍යා රෙගුලාසි නොතකා හැරිය හැකිය. උදාහරණයක් වශයෙන්, අම්පාරේ කැලෑ ඉඩම්වල සංවර්ධන කටයුතු කිරීම, වනජීවී දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මගින් තහනම් කොට ඇතත්, අදාළ ව්‍යාපෘති සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඇතොත්, එවැනි තහනම් නියෝග නොතකා හැරිය හැකි බව නාවික හමුදාව කියයි. අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ඉදි කළ ගොඩනැගිලි සම්බන්ධයෙන් අදහස් දක්වන නාවික හමුදා ප‍්‍රකාශක කෝසල වර්ණකුලසූරියට අනුව, ගොඩනැගීම් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය සතු ඉඩම්වල නිසා, ඉහත කී දෙපාර්තමේන්තු නියෝග පිළිපැදීමට ඔවුන් බැඳී නැත.

අද රටේ පවතින නීතිය වන්නේ, ආරක්ෂක අමාත්‍යාංශය සහ හමුදාවයි. උතුරු- නැගෙනහිරට පමණක් නොව, සිංහල දකුණටත් එම නියාමයම අදාළ වෙයි. රාජපක්ෂලාගේ පෙට්ටගම් පුරවාගෙන, රාජවංශික රාජපක්ෂ ව්‍යාපෘතිය ශක්තිමත් කොට, රාජපක්ෂ පාලනයට එරෙහි ඕනෑම ජාතික විරෝධයක් අකර්මණ්‍ය කෙරෙන තැනට වගබලා ගැනීම, සාමාන්‍ය ජනයාව දේපළවලින් මෙසේ අස්වාමී කිරීමේ අවසාන අරමුණ වන්නේය.

කැබලිකරණය

ඉඩම් ඩැහැගැනීම නිසා, සිංහල, දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව පොදුවේ විපතට පත්වෙති. ඊට අදාළව ඔවුන්ට පොදු එදිරිවාදියෙකු ද සිටී. එබැවින් ඔවුන්ගේ විවිධ විරෝධතා තනි අරගලයකට කේන්ද්‍ර කර ගැනීම, හැම අතකින්ම මනෝඥ ය. එහෙත්, එවැනි අත්‍යාවශ්‍ය ජාතික ව්‍යාපාරයක්, විරුද්ධ පක්ෂවල ද සහභාගීත්වයෙන් යුතුව, පෙළගස්වා ගත යුතු වෙතත්, අවාසනාවකට මෙන්, එම විරෝධය අද පවතින්නේ, කලාප වශයෙන්, වාර්ගික වශයෙන් සහ පංති වශයෙන් වෙන් වෙන්ව ය.

රාජපක්ෂලාගේ අයුක්තිය තමන්ටත් වලංගු වන බව සිංහලයා දැනගන්නවාට රාජපක්ෂලා කැමති නැත. හමුදාව යනු රාජපක්ෂලාගේ මෙවලමක් මිස, කොහෙත්ම ‘අපේ කොල්ලන්’ නොවන බව (හරියට, කොටි සාමාජිකයන් සේවය කෙළේ ප‍්‍රභාකරන්ට මිස දෙමළ ජනතාවට නොවුණා සේ* සිංහලයා දැනගන්නවාට රාජපක්ෂලා කැමති නැත. සිංහල, දෙමළ සහ මුස්ලිම් වින්දිතයන් පොදු වේදිකාවක් ඔස්සේ එක්සත් විරෝධයක් පෑම, රාජපක්ෂලට වහකදුරු මෙනි. මේ නිසා පවුල් පාලනයට එරෙහි එක්සත් විරෝධයක් දියත් වීම වළක්වනු වස්, වාර්ගික ආගමික සහ පංතිමය වශයෙන් ඔවුන්ව කැබලි කිරීම රාජපක්ෂවරුන්ගේ අභිලාෂයයි. ඒ හැරුණු විට, සිංහල-දෙමළ-මුස්ලිම් යන සෑම ජන කොටසක්ම එක දෙයක් සම්බන්ධයෙන් එක්සත් විය යුතු යැයි රාජපක්ෂලා අපේක්ෂා කරති: ඒ, මන්දෝත්සාහීව අහක බලාගෙන සිටීමෙනි.

ලාංකීය ජනතාව රාජපක්ෂලාට ගැළපෙන පරිදි මානසිකව යළි ආකෘතිගත කිරීම රාජපක්ෂ ව්‍යාපෘතියේ අරමුණයි. වෙනස් මතයක් දැරීම අවදානමක් දැරීමකැ යි සිතන නියාලූ ජාතියක් ඔවුන්ට අවශ්‍ය කෙරේ. ඉඩම් කොල්ලය හෝ ළමා අපචාරය ගැන සිතන ජාතියක් වෙනුවට, කෑම පුරුදු හෝ විලාසිතා ගැන වැඩියෙන් උනන්දු වන ජාතියක් ඔවුන්ගේ අපේක්ෂාවයි. ඔවුන්ට ගැලපෙන්නේ, අන්‍යොන්‍ය සැකයේ ගිලූණු, යටහත් අවනත භාවයට පුරුදු ජාතියකි.

තමන්වම විනාශ කෙරෙන සහ යටපත් කෙරෙන ව්‍යාපෘතියකට අවිඥානකව සහයෝගය දෙන ජාතියක් ඔවුන්ට අවශ්‍ය කෙරේ.

*2013 මැයි 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Reengineering The Nationලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Home page