28 October, 2020

Blog

ඉන්දියානු සාගරයේ ග‍්‍රීක ශෝකාන්තයක්?

තිසරණී ගුණසේකර

‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන කිසිවක් වර්තමාන ඉතිහාසයෙන් සොයා ගැනීමට නැත.’’ – ඇල්බෙයා කැමූ (හෙලන්ස් එක්සයිල්)

පොදුරාජ්‍ය මණ්ඩලය යනු, බි‍්‍රතාන්‍ය මහා රාජත්වයේ අවසාන සුසුමයි. තමන් සතු ගෝලීය දේශපාලනික ග‍්‍රහණය අතහැරීමට බල කෙරුණු අවස්ථාවේ බි‍්‍රතාන්‍යයන් තමන් වෙත ඇද ගත් සැනසිලි තෑග්ගයි.

හෙවත්, වරක් ඉර නොබැස්ස යෝධ අධිරාජ්‍යයක, නිෂ්ඵල සිහිවටනයයි.

mahinda-rajapakse-23අධිරාජ්‍යවාදී අතීත කාමයේ මේ ප‍්‍රතිමූර්තිය කිසි දාක ජාත්‍යන්තර වේදිකාවේ වැඩිමනත් වැදගත්කමක් ඉසිලූ බක්කක් නොවේ. පොදුරාජ්‍ය මණ්ඩලය, දේශපාලනික සහ මනෝමය කාරණා පෙරදැරිව, බි‍්‍රතාන්‍යයට අවශ්‍ය කරන්නකි. එය, ඔවුන්ගේ ‘ඉසුරුමත් අතීතයේ’ වඩාත් ස්පර්ශනීය බූදලයයි: එසේම, වේගයෙන් වර්ධනය වන යුරෝපයක පර්යන්තයේ පිහිටි පුංචි කොදෙව්වක් වශයෙන් නොවැදගත් තැනකට ඇද වැටෙමින් තිබීම අමතක කිරීමට ඇති බාහිර කඩතුරාවකි.

කලක් බි‍්‍රතාන්‍යයේ යටත්විජිත වශයෙන් පැවති රාජ්‍යයන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සිටින්නේ ඒ මගින් කිසියම් භෞතික වාසියක් ලැබෙන නිසාවත්, එහි සිටීමෙන් ජාත්‍යන්තර නම්බුවක් අත්වන නිසාවත් නොව, එහි සාමාජිකත්වය දැරීම මොනයම්ම හෝ වගකීමකට යටත් නොවන නිසා ය. පොදුරාජ්‍ය මණ්ඩලීය නව සාරධර්ම සහ ‘ලැටිමර් හවුස්’ ප‍්‍රතිපත්ති ගැන බොහෝ සෙයින් කතා කෙරේ. ඒවා කෙතරම් ප‍්‍රශංසනීය විය හැකි වෙතත්, බලගැන්විය හැකි දේවල් නොවේ. එම රෙගුලාසි අනුව සාමාජික රටවල් කටයුතු කළ යුතු බවට වගබලා ගැනීමේ යාන්ත‍්‍රණයක් බි‍්‍රතාන්‍යයට නැත. සාමාජික සගයන්ට පුරාජේරුවට සැලකීමට තරම් ධනයක්වත්, ඔවුන්ට තරවටු කිරීමේ වේවැලක් ලෙළවීමට තරම් බලයක්වත් ඊට නැත.

ජාත්‍යන්තර වැදගැම්මකට නැති මේ අට්ටාලය කරට ගැනීමට ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂලා වලිකෑම, බි‍්‍රතාන්‍යයන්ට සෑහෙන සොමියකි. පොදුරාජ්‍ය මණ්ඩලයක් ගැන වෙන ලෝකයේ කිසිවෙකු මෙතරම් මැරෙන්නේ නැත. සාමාන්‍යයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය සහ එහි සැසිවාර ගෝලීය අවධානයට ලක්වන්නේ අල්ප වශයෙනි. වහා නස්නාසුළු වුව ද, කිසි දවසක නැති තරමේ කාලීනත්වයක් මේ දවස්වල පොදුරාජ්‍ය මණ්ඩලයට හිමිවන්නේ රාජපක්ෂලාගේ පිළිකුල් කටයුතු නොම්මරේට පින්සිදු වන්නටයි.

මධ්‍යතන යුගයේ වැඩවසම් ගැමියෙකු සිය රදළ හාම්පුතා පිළිගැනීමට මග බලා සිටින අවස්ථාවක් සිහිපත් කර ගන්න. පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ගැන රාජපක්ෂලාගේ ප‍්‍රමෝදයත් එවැන්නකි. මේ වන විට කොළඹ උඩු යටිකුරු කරමින් තිබේ. පදික වේදිකා ගැලැවේ. පාරවල් පිලිසකර කෙරේ. තාප්ප පාට කෙරේ. ගස් පැල කෙරේ. ගෙවල්දොරවල් නැති මිනිසුන් සහ බල්ලන් ඉවත් කෙරේ. වතුර මල් තැන තැන ඉදිවේ. ඒ සියල්ල, රටවැසියාගේ දෛනික යථාර්ථයට කිසි නෑකමක් නැති, බොරු සෝබනයක් පෙන්වීමට ය.

රාජපක්ෂලා යන මාවත, මුළු ලංකාවම චීන ගැති දේශයක් බවට පත්කිරීමේ මාවතක් විය හැකිය. එහෙත් ඔවුන්ගේ හෘදයාංගම සන්තානය තිබෙන්නේ, පොදුවේ සුදු-බටහිර ලෝකයා සමගත්, විශේෂයෙන් බි‍්‍රතාන්‍යයන් සමගත් ය. ( ඕගස්තෝ පිනෝෂේ වැනි) වෙනත් නොම්මර එකේ මානව හිමිකම් දූෂකයන් කෙරෙහි බි‍්‍රතාන්‍යයන් (සහ ඇමරිකානුවන්) දැක්වූ බුරුල රාජපක්ෂලා කෙරෙහි ද දක්වන්නේ නම්, බටහිර ඇකයේ තුරුලූ වීම රාජපක්ෂලාට ඉමහත් සොම්නසක්ම වනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලය කෙරෙහි රාජපක්ෂලා අද පෙන්වන අපුල දනවන ආශාව වූ කලී, ලන්ඩනයේ සහ වොෂින්ටනයේ අනුග‍්‍රහය ලබා ගැනීමට ඔවුන් තුළ ඇති දොළදුකේ නවතම ප‍්‍රකාශනයකි.

එසේ නොමැතිව, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවෙන් ලංකාවට අත්වන මෙලෝ කීර්තියක් නැත. එය, තමන් ද ජාත්‍යන්තර කෙරුමන් යැයි තුටුපහටු වීම සඳහා රාජපක්ෂලා යොදාගන්නා අවස්ථාවක් පමණි.

මේ සමස්ත කලබැගෑනිය, තමන් අධිරාජ්‍ය-විරෝධී යැයි කියාගන්නා කල්ලියකින්ම කලඑලි බැසීම, එක කාරණයක් නොවන්නට, බඩ පුරා හිනායන විහිළුවක්ම වන්නට තිබුණි. ඒ, දැනටත් කන්දක් උසට බර උහුලන් සිටින ජනතාවක් සහ මූල්‍ය ව්‍යසනයකට ගමන් කරමින් සිටින රටක් හෝ ජාතියක් නොවුණි නම් ය.

සීමාරහිත රාජපක්ෂලා

ගිය අගෝස්තුවේ දී, පිටරටින් ගෙන්වල අල කිලෝවකට රුපියල් 15 කින් ද, ලොකු ළුනු කිලෝවකට රුපියල් 5 කින් ද බදු වැඩි කෙරුණි. ශ‍්‍රී ලංකාවට ඇත්තේ, ඔලූවෙන් සිටවූ බදු ක‍්‍රමයකි. ඒ මගින්, තියෙන එකාට අනුග‍්‍රහ දැක්වෙන අතර, නැති එකාව සහ මැද පංතිකයාව එලව එලවා ගසාකයි. ලංකාවේ සෘජු සහ වක‍්‍ර බදු අනුපාතිකය 20:80 ක අතිශය විකෘතියකි. (ධනපතියන්ගෙන් අයකර ගන්නා ආදායම් බදු, සෘජු බදු ගනයට වැටෙන අතර, ඉහත කී අල-ළුනුවලින් අයකර ගන්නා බදු, වක‍්‍ර බදු වන්නේය). රටක බදු ආදායමෙන් සියයට 80 ක්ම වක‍්‍ර බදු මාර්ගයෙන් අයකර ගන්නා රටකට මූල්‍ය ස්ථාවරත්වයක් හෝ සෑම ජන කොටසක්ම පංගුකාරයන් කරගන්නා සංවර්ධනයක් හෝ අත්කරගත නොහැක. ‘එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල’ පෙන්වා දෙන පරිදි, මේ අස්වාභාවික බදු ක‍්‍රමයෙන් කෙරෙන්නේ, ‘නැති බැරි එකාගේ කර මතට බදු බර පැටවීමයි.’

‘බදු බර මීට වඩා සමානුපාතිකව අයකර ගනිමින්, රජයේ ආදායම් වැඩි කරගෙන, මීට වඩා ක‍්‍රමවත් පාලනයක් සහ වගවීමක් සාක්ෂාත් කරගෙන, සංවර්ධනයට ගැළපෙන මට්ටමකින් ආදායම පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකා රජය කටයුතු කරනු ඇතැ’ යි ‘එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල’ යෝජනා කෙළේය. එවැන්නක් ගැන රාජපක්ෂලා හිතන්නෙවත් නැත. සිදුවනු ඇත්තේ එහි ඉඳුරා ප‍්‍රතිපක්ෂයයි. මේ සමුළුව සඳහා වන නගරාලංකාරයත්, එහි සැසිවාරත් සඳහා වැය කළ ධනස්කන්ධයෙන් කොටසකුත් ලබාගත හැකි වන අන්දමින් තවත් වක‍්‍ර බදු මාලාවක්, පොදුරාජ්‍ය මංගල්‍යය අවසන් වු සැණින් දියත් කෙරෙනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය සැණකෙලිය මගින් සාමාන්‍ය ජනතාව මත පැටවෙන විනාශකාරී බර ගැන රාජපක්ෂ සහෝදරවරුන් නොදන්නවා නොවේ. 2014 මුලදීම ජනාධිපතිවරණය සහ සමහරවිට පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීමට ඔවුන් කටයුතු යොදන්නේ එබැවිනි. නියමිත කලට පෙර පැවැත්වෙන මැතිවරණවල නෛතික භාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව පුවත්පත් වාර්තා කරයි. තත්වාකාර (රාජපක්ෂලාගේ හිතුමතේට පත්කරගත්) අගවිනිසුරුවරයාගේ ස්වභාවය සැළකිල්ලට ගැනීමෙන් එම මතය කුමක් දැ යි සිතාගත හැකිය. සහෝදරයන්ට අවශ්‍ය වෙලාවක අවශ්‍ය මැතිවරණයක් පවත්වා ගැනීම නීත්‍යානුකූල වන බව එයින් කියැවෙනු ඇත.

ඒ කඩුල්ලත් පැනගත් පසු (මැතිවරණ ජය ගැනීමෙන් පසු) රාජපක්ෂලාව දිනවීම සඳහා ඡුන්දය පාවිච්චි කළ ඡුන්දදායකයන් ද ඇතුළත් සමස්ත රට මතටම බර දැමීම තවත් ජවසම්පන්නව ක‍්‍රියාත්මක කෙරෙනු නොඅනුමානයි. එයින් තැලෙන පොඩිවෙන යමෙකු සාමකාමීව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විරෝධය පෑවොත්, ‘වැලිවේරිය කෂායෙන්’ මාත‍්‍රාවක් දෙන්නට පිළිවන.

සරත් අමුණුගම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෙළි කළ පරිදි, ලංකාවේ පොහොසත්ම සියයට 20, ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 54.1 ක් භුක්ති විඳින අතර, පහළම අඩියේ සිටින සියයට 20 ක දිළිඳු ජනයාට හිමිවන්නේ රටේ ජාතික ආදායමෙන් සියයට 4.5 ක් පමණි. ලංකාවේ ආදායම් විෂමතාව ඉහළ යමින් පවතින බව, ලෝක කම්කරු සංවිධානය දැනටමත් අනතුරු අඟවා ඇත. තවත් බරපතල දර්ශකයක් වන්නේ තරුණ විරැුකියාවයි. ලෝක කම්කරු සංවිධානයේ 2013 ආසියා-ශාන්තිකර ශ‍්‍රම වෙළඳපොළ පිළිබඳ දත්තයන්ට අනුව, ‘ශ‍්‍රී ලංකාවේ තරුණ විරැුකියාවේ ප‍්‍රතිශතය, රටේ සමස්ත විරැුකියාවේ ප‍්‍රතිශතය මෙන් හතර ගුණයකටත් වැඩි ය.’

රාජපක්ෂලාගේ ළාමක ආශාවන් සන්තර්පණය කිරීම සඳහා අවශ්‍ය පිළිගැනීම සහ කීර්තිය, පොදුරාජ්‍ය මණ්ඩලීය මංගල්‍යයෙන් සැපයෙන්ට පිළිවන. එහෙත් ලංකාවේ වෙසෙන ජනතාවට මේ සාජ්ජය විපතක්ම වනු ඇත. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිළ තවත් ඉහළ නැගෙන අතර, ආර්ථිකමය වශයෙන් ඵල රහිත සහ දේශපාලනික අදාළත්වයක් නැති මෙවැනි ව්‍යාපෘතියක් සඳහා කෙරෙන සීමාරහිත නාස්තිය නිසා ඇති වන මුදල් හිඟකම හේතුවෙන් මහජන සේවාවන් කප්පාදු කෙරෙනු ඇත.

උඩඟුව සහ දුර්විපාකයේ අන්තර් සම්බන්ධතාව, ග‍්‍රීක ශෝකාන්ත නාට්‍ය කාව්‍යයේ අනවරත තේමාවකි. රාජපක්ෂලාට තරු අල්ලන්ට බැරි කමක් නැත. එහෙත්, ඒ සඳහා ගෙවීමට සිදුවිය හැකි මිළ, ඒ තරමටම, රටේ ජනතාවට මෙන්ම ඔවුන්ටත්, බරපතල වනු ඇත.

*2013 නොවැම්බර් 7 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ A Greek Tragedy In The Indian Ocean? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.