Colombo Telegraph

අනේ කාලේ, වනේ වාසේ

තිසරණී ගුණසේකර

‘‘පලදීම වැනි යමක් මානව ඉතිහාසයේ ඇත: පලදීමේ මෙවලම සරි කරන්නේ, වරදෙන් පීඩාවට පත් පුද්ගලයා නොව, වැරැුද්ද කළ පුද්ගලයාම වීම, ඓතිහාසික පලදීමේ එක් නියාමයකි.’’ – කාල් මාක්ස් (ද ඉන්ඩියන් රිවොල්ට්)

ප‍්‍රථම මහින්ද චින්තන ප‍්‍රකාශනය 2005 දී අඩබෙර ගසා දියත් කෙරුණි. එම අවස්ථාවේ ගැයුණු තේමා ගීයෙන් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂව වැණුවේ, ‘සමානාත්මතාව ගැන විශ්වාසය තැබූ රජෙක්’ වශයෙනි.

ඉන් අට වසක් ඉක්ම යාමෙන් පසු, වේදනාකාරී ආපසු හැරී බැලීමක දී පහසුවෙන් වැටහෙන දෙයක් වන්නේ, එකී රාජකීය සඳහන තුළ, ලංකාව දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයක සිට පීතෘ ප‍්‍රවේණිගත රදළ ආණ්ඩුවකට පල්ලම් බැසීමේ ප‍්‍රථම යාවත්කාල පියවර අඩංගුව පැවති බවයි. එදා ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ නාමය ද ඊට දෙස් දෙයි. (තමාගේ මැතිවරණ ප‍්‍රකාශනයක් තමාගේ නමින්ම ඉදිරිපත් කළ ප‍්‍රථම ලාංකීය නායකයා ඔහු ය). කෙසේ වෙතත්, ඒ මොහොතේ එකී ගේය රචනාව සහ මැතිවරණ ප‍්‍රකාශනයේ නාමය, බොහෝ ලාංකීය දේශපාලඥයන් ශෝචනිය ලෙසින් වහල් වෙන, එහෙත් බරපතල හානියක් නොවන, තමන් පුම්බා ගැනීමේ ළදරු ආශාවක නිදර්ශනයකට වැඩි දෙයක් වශයෙන් පෙනුණේ නැත.

සාමාන්‍ය ජරමානුවන් හිට්ලර්ට ප‍්‍රතික‍්‍රියා දැක්වූයේ -හෝ නොදැක්වූයේ-කෙසේදැ යි විග‍්‍රහ කරන, නට්සි පාලන සමයේ කුසීත ආරක්ෂාවක කල්මැරූ වාග් විද්‍යාඥයෙකු වන මිල්ටන් මේයර්, මෙසේ තර්ක කරයි: ‘‘විරෝධය පෑමට පමණක් නොව, ආරම්භය දැකීමට පවා, කෙනෙකු අවසානය පෙරදැකිය යුතුය’’. ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී බොහෝ පාලන තන්ත‍්‍ර, වරකට කුඩා මාත‍්‍රාවෙන් දෙන මර්දනකාරී පියවර හරහා මහජනතාව ඒකාධිපතිවාදයට කෙමෙන් හුරු කරවන හෙවත් ‘මිත‍්‍රිඬේට්ස් ක‍්‍රමය’ අනුගමනය කරන බව සැබෑව. එහෙත් ඒ සෑම විටකම ඒ ගැන සංඥා නිකුත් වෙයි. එවැනි මාර්ගයක ආරම්භයේ දී පවා, අපේක්ෂිත අවසානය පිළිබඳ අනතුරු ඇඟවීම් පළවෙයි. යම් ජාතියකට එම අනතුරු ඇඟවීම් මගහැරෙයි නම්, එසේ වන්නේ, ‘හෘද සාක්ෂියේ ශාපය’ වෙනුවට, කුසීත කමේ ශාන්තියට කෙනෙකු තුළ ඇති කැමැත්ත නිසා ය.

රාජපක්ෂගේ ගමනාන්තයත්, ගමන් පථයේ ස්වභාවයත් ඉඟි කෙරෙන මුල් කාලීන අනතුරු ඇඟවීම් ගණනාවක් තිබුණි. ඒ අතරින් වඩාත් ප‍්‍රකට සිදුවීම් වන්නේ, ව්‍යවස්ථානුකූලව සහ ව්‍යවස්ථා විරෝධීව රාජපක්ෂ සහෝදරයන්ව බලගැන්වීම, විරුද්ධවාදීන්ට සහ විවේචකයන්ට පහර දීම, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කණපිට හැරවීම, ආණ්ඩුවේම ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමත්’, ස්වාධීන ජාත්‍යන්තර විද්වත් කණ්ඩායමත් අඩාල කිරීම, ‘සිවිල් වැසියන් කිසිවෙකු මියනොගිය මානුෂික මෙහෙයුම’ සහ ‘සුභසාධන ගම්මාන’ ගැන ද්විත්ව මිථ්‍යාව ජනනය කිරීම, ජෙනරාල් ෆොන්සේකාගෙන් පන්න පන්නා පළිගැනීම, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සිංහාසනාරූඪ කැරැුවීම සහ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇටවීම ආදියයි.

හතරවැනි ඊලාම් යුද්ධය ජයග‍්‍රාහීව අවසන් වී මාසයක් ගතවුණා පමණි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අමුතු විදිහේ යෝජනාවක් ගෙනාවේය. එනම්,දූෂණය මැඩලීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකම ‘ඔත්තු ඒකක’ පිහිටුවීමයි/ ‘දූෂණයට එරෙහි කාලෝචිත පියවරක්’ මැයෙන් ඒ ගැන ලියන ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ කතුවැකියක, මේ කියන ඔත්තු සේවාව හඳුන්වා තිබුණේ, ‘.. සෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් තුළම වෙස්වළාගෙන සේවයේ යෙදෙන ඉත්තෙකු පැලපදියම් කිරීමයි.’

ඒ වනාහී, අද තරමට බයාදු නැති, විසම්මුතික අදහස් පළ කළ කාලයකි. ඒ නිසා, ඉහත පියවරට එරෙහිව වාචිකව මතුවෙමින් පැවති ප‍්‍රහාරය ඉදිරියේ, මේ ‘ ඕර්වෙල්ලියානු’ යෝජනාව අතහැර දැමීමට ආණ්ඩුවට සිදුවිය.

ආණ්ඩුවේ බදු සහ අපනයන ආදායම් පිළිබඳ සංඛ්‍යා ලේඛන රැුවටිලිකාරී ස්වභාවයක් ගන්නා බව, 2006 දී රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එවැනි වැරදි බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇතත් ඉන් ඵලක් වී නැති බව කී විගණකාධිපතිවරයා, ඒ හේතුවෙන් අනාගතේ අයවැය ඇස්තමේන්තු සහ සංවර්ධන සැලසුම් අයාලේ යාමට ඉඩ ඇතැ යි කීවේය.

ඉලක්කම් සමග කළ ඒ සෙල්ලම, හුදු අහම්බයක්වත්, නිලධාරී අක‍්‍රමිකතාවක්වත් නොවේ. රාජපක්ෂ අයවැය සම්පාදනයේ ප‍්‍රධාන කුළුණක් වන්නේම, වියදම අවතක්සේරු කිරීමත් ආදායම අධිතක්සේරු කිරීමත් ය. ඒ මගින් වැසැංගෙන හිඩැස පසුව පියවා ගන්නේ, අවුරුදු පතා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙනි.

විගණකාධිපතිවරයා කළ ප‍්‍රසිද්ධ අනතුරු ඇඟවීම රාජපක්ෂලාට වහකදුරු මෙන් විය. එහිදී ඔවුන් තැත් කෙළේ, මහබැංකුවට කළ දේ විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් කිරීමට ය: එනම්, ආණ්ඩුවේ ගැත්තෙක්ව විගණකාධිපති තනතුරට පත්කිරීමටයි. එහෙත්, රජයේ මූල්‍ය කළමණාකරණයේ ප‍්‍රධාන මුරපල්ලා වන මේ වැදගත් තනතුර එසේ දේශපාලනීකරණයට යටත් කිරීමට එරෙහිව එම දෙපාර්තමේන්තුවේ සේවකයන් (වෘත්තීය සමිති සහ විපක්ෂයේ ද සහයෝගය සහිතව) පෙරට ආහ. එයින් ඇති විය හැකි දේශපාලනික සහ සමාජයීය විරෝධය දුටු රාජපක්ෂ සහෝදරයෝ සැලැස්ම යටගසා ගත්හ.

සාපරාධී අපහාස නීතිය යළි හඳුන්වා දීමට, (පළාත් සභා පමණක් නොව, ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ පවා බල කප්පාදු කෙරෙන) ‘ජනසභා’ පත්කිරීමට සහ (ජාතිවාදී හෝ ආගම්වාදී පක්ෂ තහනම් විය යුතුය යන ව්‍යාජ කඩතුරාව යටතේ) සුළුජාතික දේශපාලනික පක්ෂ නීති විරෝධී කිරීමට ගත් ප‍්‍රයත්නයන් ද, ජාතික (සහ අන්තර්ජාතික) විරෝධතා මධ්‍යයේ අසාර්ථක විය.

එහෙත් මෙහි ප‍්‍රතිපක්ෂය ද සාර්ථක වී තිබේ. බිය නිසා හෝ යමක් බරසාරව ගණන් නොගැනීම නිසා සමාජය පැත්තෙන් මන්දෝත්සාහයක් පෙන්නුම් කෙරෙන සෑම අවස්ථාවකම, විසම්මුතිය අඩපණ කොට, අපරාධකරුවන් ආරක්ෂා කිරීමාදියෙන් පවුල් බලය තර කර ගැනීමටත් රාජපක්ෂලා සමත් වූහ.

‘තාරුණ්‍යයට හෙටක්’ නැමැති සංවිධානය සමග, නාමල් රාජපක්ෂ ස්වකීය දේශපාලන ගමන ඇරැුඹීය. රැුකියා විරහිත උපාධි අපේක්ෂකයෙකු (මේ, නීති විද්‍යාලයේ විවාදාපන්න සාර්ථකත්වයන් ලැබීමට පෙර ය) විසින් ගොඩනගන ලද, දැනුවත් ආදායම් මාර්ගයක් නැති එවැනි ආධුනික සංවිධානයක් ප‍්‍රකෝටි ගණන් වන ව්‍යාපෘති ආරම්භ කරන්නේ කෙසේදැ යි සමාජය ප‍්‍රශ්න නොකෙළේ ඇයි? රටේ ප‍්‍රථම පුතාගේ මේ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ආධාර කළෝ කවරහු ද, ඒ කොපමණ ප‍්‍රමාණයකින් ද ආදී වශයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න නොකෙළේ ඇයි? ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘතහස්ත ඇමතිවරුන් සහ දේශපාලඥයන්, නීති ශිෂ්‍ය නාමල් රාජපක්ෂ ඉදිරියේ දෙකට නැමුණේ ඇයි?

අපරාධකරුවන්ට අභයදානය සැලසීම පාලකයන්ගේ සහ උන්ගේ ගැත්තන්ගේ පරමාධිකාරය බවට පත්වන විට රටකට තිබිය හැක්කේ චණ්ඩාල ආණ්ඩුකරණයක්ම පමණි. 2010 කෝප් වාර්තා මූලාශ‍්‍රවලට අනුව, ‘මග නැගුමට’ සේවා සැපයූ කොන්ත‍්‍රාත්කරුවන්ට ආණ්ඩුව රුපියල් බිලියන 1.2 කින් පොලූ තියා ඇත. ඉන් වැඩි හරියක්, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කළ සේවාවන් වෙනුවෙනි. මේ කොන්ත‍්‍රාත්කරුවන් තමන්ට හිමි විය යුතු මුදල් ඉල්ලා කටක් ඇරියේ නැත. ඒ, රාජපක්ෂලා තරහ කර ගැනීමෙන් ඇති විය හැකි ප‍්‍රතිවිපාක කෙරෙහි පවතින මාරාන්තික බිය හේතුවෙනි. ‘මග නැගුම’ නිලධාරීන් තමන්ගේ ගිණුම් විගණකාධිපතිවරයාට ඉදිරිපත් කරන්නේ නැත. ‘ඔවුන් පිළිබඳ පරීක්ෂා කිරීමට කෝප් කමිටුවට බලයක් නැති බවට, නීතිපතිවරයාගෙන් පවා ඔවුන් සහතික ඉදිරිපත් කළ’ බව, එක් කෝප් කමිටු සාමාජිකයෙක් කියයි.

මේයර් කියන පරිදි, ‘රටවල් හැදෙන්නේ සින්දූර ලීයෙන් හෝ ගල්වලින් නොව, මිනිසුන්ගෙනි. ඉතිං රටවල් ද, ඒ ඒ මිනිස්සුන්ගේ හැටි හැටියට ය’.

ස්වයං-විනාශකාරීව

සනාථන සාර්ථකතා සහ සාමාන්‍යකෘත යහපැවැත්ම පිළිබඳ කල්පිත ලෝකයක රාජපක්ෂලා පාලනය හොබවන විට සැබවින් දිග හැරෙන්නේ, ඒ කයිවාරුවට ප‍්‍රතිපක්ෂව යන දුර්දම යථාර්ථයකි. එය භේද වපුරයි. ධනවතා සහ දිළින්දා අතර, බලවතා සහ අසරණයා අතර, වෙනස් වාර්ගිකයන් සහ වෙනස් ආගමිකයන් අතර, විකාරරූපී හිතළු සහ නග්න යථාර්ථය අතර පැල්ම තව තවත් තීව‍්‍ර කෙරේ. බඩජහරි සියයට 20 ක් සමග එදා වේල ගැටගහගන්නා සියයට 80 ක් වෙසෙත්. එය, 80-20 බුරුලක් නැති සමාජයක් වෙත යන ගමනකි. ඉහළ බදු බර, අධික මිළ අනුපාතික සහ බාල සේවාවන් විසින් මධ්‍යම පංතියේ පවා ගෙල හිර කරයි.

සිංහල-බෞද්ධ න්‍යාය පත‍්‍රයකට ගැටගැසුණු පාලනයකට, බහුවිධ ජන කොටස් වෙසෙන සමාජයක යහපැවැත්ම සහතික කළ නොහැක. පවුල් පාලනයට ආවඩන පාලන තන්ත‍්‍රයක් තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩක් නැත. දිළින්දාගේ සහ අසරණයාගේ දුකට අසංවේදි පාලනයකට, අර්ථවත් සංවර්ධනයක් ඇති කළ නොහැක. රාජපක්ෂ සංවර්ධන දැක්ම වශයෙන් පවතින බව අද පෙනෙන්ට තිබෙන්නේ, ධනපතියාට සහ දුර්ජනයාට ක්ෂේමස්ථානයක් වන සැණකෙලි ලංකාවකි.

එහෙත් මේ කර්කශ යථාර්ථය ගැන දැන ගැනීමට ජනතාවට ඉඩ නොතැබිය යුතුය. රාජපක්ෂලාගේ ප‍්‍රතිවාදීන් සහ කලකිරුණු ඡන්දදායකයන්ව ‘විකල්පයක් නැති ආඥාදායකත්වයක’ බැඳ තබා ගත යුතුය. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ පනත ඔවුන් යට ගැසුවේ එබැවිනි. විවේචකයන්ව නිහඩ කිරීමට ‘කැරට් අලය සහ මුගුර’ පාවිච්චි කරන්නේ එබැවිනි. දේශපාලනික වශයෙන් අවාසියට හිටින සාස්තරයක් කී ජ්‍යොතිෂඥයෙකු අත්අඩංගුවට ගැනීමට පවා පෙළඹුණේ එබැවිනි. එම තත්වය තුළ, සිංහලයන්ගේ සේසත ගිල ගැනීමට මානබලන සුළුජාතික ධනපතීන් පිළිබඳ පරණ මිථ්‍යාවන් සහ වැඩි වැඩියෙන් දරුවන් බෝ කරන සුළුජාතීන් විසින් සිංහලයන්ගේ දේශය ආක‍්‍රමණය කරනු ලැබීම පිළිබඳ මිථ්‍යාවන්, දේශපේ‍්‍රමී නිද්‍රාවක දකුණ සතපවා ගැනීම සඳහා නැවත නැවතත් පාවිච්චි කෙරේ.

පවුලේ ඕනෑ එපාකම් විසින් වට කෙරුණු දැක්මක්, අවසානයේ එහි නියුක්තිකයන්ගේ (පවුලේ) ස්වාර්ථයන්ටත් හතුරුව සිටී. මන්ද යත්, තමන්ගේ සමීපතම පරිධියේ පවා ගොඩගැසෙන අසන්තෝසය සහ අරතියට ඔවුන් අන්ධ වන බැවිනි. පවුල් දේශපාලනයේ දී සිදුවන්නේ, පවුලේ අවශ්‍යතාවන්, ජනතා/ජාතික අවශ්‍යතා වශයෙන් වෙස්ගැන්වීමයි. පවුලේ පම්පෝරිය, බලයේ මුඛ්‍යතම කෘත්‍යය බවට පත්කර ගැනීමයි. ඊටත් උඩින්, රාජවංශික අපේක්ෂා ඈඳෙන විට, ආණ්ඩුකරණය තව තවත් අසමබර වෙයි. ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධි වෙයි.

මේ චක‍්‍රවර්ති පුස්ස, මහ බක්කක් සේ කාලයක දී පෙනෙන්ට පිළිවන. එහෙත් එය, තාවකාලික, විනාශකාරී සහ ස්වයං-විනාශකාරී මායාවක් පමණි.

එම සත්‍යය, රාජපක්ෂලා දත යුතුය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ව පරාජය කිරීමට ඔවුන්ට හැකි වුණේ එබැවිනි.

*2013 නොවැම්බර් 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  The Chutzpah Years නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page