Colombo Telegraph

ජනතාව හිඟන්නන් කිරීම සහ ජාතිය වහලූන් කිරීම

තිසරණී ගුණසේකර

‘‘අපි හිටියේ, ආරුබොක්කේ කජු වගාවේ. මුලින්ම වරායෙන් ඇවිල්ලා අපේ ඉඩම් මැන්නා.. ඊට පස්සේ ලියුම් එව්වා. අපේ ඉඩම් හුඟාක් අඩු ගානකටයි තක්සේරු කරලා තිබුණේ.. ලක්ෂ 3 ක්, 4ක්… අපි පවුල් 70 ක් විතර හිටියා.. අපි හැමෝටම තිබුණා, අක්කර 2.5 ක විතර ඉඩම් කට්ටි.. අපි විරුද්ධ වෙනකොට, ගාන වැඩි කළා, ලක්ෂ 5ක්, 6ක් වගේ ගානකට. එහෙම ඉඳලා තමයි අපි මේ පර්චස් 20 ඉඩම් කෑලිවලට ආවේ. අවුරුද්දේ මේ කාලේ වෙනකොට අපේ කජු වගාවෙන් හුඟාක් ආදායම් ලැබෙන්න තිබුණා.. ජලාශ පිරිලා.. එහේ අපිට තිබුණා, ගඩොල් පුච්චන පෝරණු. ඒ කිසි දේකට අපිට වන්දියක් ලැබුණේ නැහැ.. ඉඩම් අතඇරලා එන්න කලින් අපිට පොරොන්දු වුණා, අපේ හැම පවුලකම එක දරුවෙකුට රස්සාවක් දෙනවා කියලා.. ඒක අපිට ලැබුණෙත් නැහැ. කිසි දරුවෙකුට රස්සාවක් දුන්නේ නැහැ.. දැන් අපි ඉන්නේ අන්ත අසරණ තත්වෙට පත්වෙලා.’’ – ගාල්ලේ වරාය නිසා අවතැන් වූ ගැමියෙක් -(‘‘හම්බන්තොට මහා සංවර්ධන ව්‍යාපෘතිය: කාගේ උවමනාවට ද?’’ – නීතිය හා සමාජය භාරකාරත්වය)

නියෝජ්‍ය ඇමතිවරුන් 9 දෙනෙක් 10 වැනි දා දිව්රුම් දුන්හ. බස් සහ දුම්රිය ගාස්තු 12 වැනි දා ඉහළ ගියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගණන 161 කි. ඒ අතරින් 105 දෙනෙකු, එනම් තුනෙන් දෙකක්ම, ඇමතිවරුන් ය. ව්‍යාපෘති ඇමතිවරුන් ය. නියෝජ්‍ය ඇමතිවරුන් ය. මෙලෝ බලයක් නැති එවන් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීම, රාජපක්ෂ පවුල් පාලනය වෙව්ලවන රුදුරු තර්ජනයක් ගැන ඇති ඔවුන්ගේ බිය පහ කර ගැනීම සඳහා සපයන විෂනාශක ඖෂධයකි: එනම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙන්ම මතුවිය හැකි විරෝධයක්/කැරැල්ලක් ගැන පවතින භීතියයි.

අළුතෙන් නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීම යනු, වැටුප්, යානවාහන, කාර්යාල සහ වෙනත් පාරිතෝෂික ඇතුළු නිෂ්ඵල වියදම් මාලාවක් අළුතෙන් පටවා ගැනීමකි. එම වැඩි වන වියදම්, බොහෝ විට රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මතට පැටවෙන බදු බරක් වශයෙන්, වක‍්‍රාකාරයෙන් අය කර ගැනෙන්නේ ජනතාවගෙනි.

තමන්ගේ බලය සහ උජාරුව වැඩි කර ගැනීම සඳහා රාජපක්ෂලා වැඩියෙන් වියදම් කරන තරමට, සිංහලයන් සහ බෞද්ධයන් ද ඇතුළු සකල ජනතාවගේ කර මතට පැටවෙන බර ද වැඩි වන්නේය.

හම්බන්තොට වරායට වියදම් කෙරුණේ, චීනයේ ‘එක්සිම් බැංකුවෙන්’ ලබාගත් යෝධ ණය මුදලකි. එම මුදල සඳහා ගෙවිය යුතුව තිබූ පොලිය සියයට 1.3 සිට සියයට 1.6 දක්වා, එනම් සියයට 5 කින් මෑතක දී වැඩි කෙරුණි. වරාය සහ මහාමාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට අනුව: ‘‘වරාය ව්‍යාපෘතියට අපි චීනෙන් අරං තියෙනවා ඩොලර් මිලියන 306.7 ක්. කලින් අපි තීරණය කරලා තිබුණේ, මේ මුදලට සියයට 1.3 ක පොලියක් ගෙවන්න. ඒත්, දෙපාර්ශ්වය අතර පැවතුණු සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් විදිහට, වාර්ෂිකව සියයට 6.3 ක පොලියක් ගෙවන්න ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැන් පොරොන්දු වෙලා තියෙනවා.’’

මෙහි අරුත වන්නේ, අවුරුද්දකට රුපියල් මිලියන 2528 ක් හෙවත් මසකට රුපියල් මිලියන 210 ක්, පොලිය වශයෙන් පමණක් ගෙවීමට ලංකාවට සිදුවන බවයි.

මේ වනාහී, රාජපක්ෂ වරාය නිසා ජාතිය මත පැටවුණු බරෙන් අංශු මාත‍්‍රයක් පමණි. එතකොට එයින් ලැබෙන් වාසි කවරේ ද?

‘‘හම්බන්තොට වරාය ඉදි කිරීමෙන් දකුණු පළාතේ රැුකියා අවස්ථා 56,000 කට ආසන්න ප‍්‍රමාණයක් නිර්මාණය කෙරෙනු ඇතැ’’ යි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2009 දී කීවේය. එයින් අවුරුදු තුනක් ගිය පසුත් එක රැුකියාවක්වත් මේ වරායෙන් සපයා තිබුණේ නැත. ‘‘හම්බන්තොට වරායේ සේවයට ගත් සියලූ සේවකයන්, කොළඹ වරායෙන් හම්බන්තොට වරායට අනුයුක්ත කළ සේවකයන් ය. මාගම්පුර රාජපක්ෂ වරාය සඳහා වෙනම සේවකයන් බඳවා ගැනීමක් කර නැති බව අද පාර්ලිමේන්තුවට අනාවරණය කෙරුණි.’’ (ඔක්තෝබර් 8 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් පුවත්පත)

සතේක වාසියක් නැත. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට යොදාගන්නේත්, කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන්වයි. මේ ව්‍යාපෘති දෙකෙන්ම මේ දක්වා සපයා ඇති නව රැුකියා අවස්ථා ගණන, බිංදුවක්ම ය.

යටිතල සංවර්ධනය සහ රැුකියා සම්පාදනය සාමාන්‍යයෙන් ගමන් කරන්නේ අත්වැල් බැඳගෙනයි. උදාහරණයක් වශයෙන්, ඇමරිකාවේ ෆ‍්‍රෑන්ක්ලින් ඞී. රූස්වෙල්ට් දියත් කළ ‘නිව් ඞීල්’ (‘නව ගනුදෙනුව’) ව්‍යාපෘතියේ එක් ප‍්‍රධාන අංගයක් වුණේ, ආණ්ඩුවේ වියදමින් කෙරෙන යටිතල සංවර්ධන ව්‍යාපෘති හරහා රටේ රැකියා සම්පාදනය කිරීමයි. එහෙත් රාජපක්ෂ පාලනය යටතේ, මේ සම්මත ආර්ථික සම්ප‍්‍රදාය ඔලූවෙන් සිටවනු ලැබේ. රාජපක්ෂලාගේ ක‍්‍රමය යටතේ දියත් වන ව්‍යාපෘති අතරතුරේ හෝ ඉන්පසුව හෝ කිසි රැුකියාවක් ප‍්‍රදේශයේ තරුණයෙකුට සැපයෙන්නේ නැත. ඒ අනුව, රාජපක්ෂලා බිහිකොට ඇත්තේ අළුත් ආර්ථික ප‍්‍රවර්ගයකි: රැුකියා විරහිත යටිතල සංවර්ධනය.

මේ කියන පවුල්වාදී ආර්ථික විද්‍යාව, පවුල්වාදී දේශපාලනයේ නොවැළැක්විය හැකි ප‍්‍රතිවිපාකයකි. රාජපක්ෂලාගේ යටිතල සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රධාන අරමුණ වන්නේ, පවුල්/පුද්ගල අධි=මමංකාරය පෝෂණය කර ගැනීම මිස වෙනකක් නොවේ. හම්බන්තොට යනු, රාජපක්ෂ නින්දගමකි. ඉතිං එය, කොළඹ අභිබවා යා යුතුව තිබේ. ඒ, රටේ ජනතා සුභසිද්ධිය ඇති කිරීමෙන් නොව, සරුවපිත්තල අගයකින් යුත්, ලෝකෙට පරකාසේ ව්‍යාපෘති ඇති කිරීම මගිනි. ඒ අනුව, සෑම වැදගත් ජාතික සංස්ථාපනයක්ම, රාජපක්ෂ නමින් නම් කළ යුතුය. ලංකාවේ ප‍්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ප‍්‍රධාන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව නම් කොට ඇත්තේ එදිරිවාදී රාජවංශ නාමයකින් නිසා, රාජපක්ෂ පවුල්වාදී ආර්ථික නියාමයට අනුව, ඊට වඩා ගුණයෙන් සහ ප‍්‍රමාණයෙන් මහාර්ඝ ගුවන් තොටුපොළක් සහ සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිකරවා, ඒවා රාජපක්ෂ නාමයෙන් භෞතීස්ම කළ යුතුව තිබේ.

හම්බන්තොට සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානය, දකුණු ආසියාවේ විශාලතම ගොඩනැගිල්ල යැයි කියනු ලැබේ. ඒ වෙත දිවෙන යෝධ මහා මාර්ගයක් ද ගොඩනැගේ. මූලික වශයෙන් ගත් විට, හම්බන්තොට යනු, තවමත් ආර්ථිකමය වශයෙන් සහ යටිතලමය වශයෙන්, පිටිසරකි. පොදුරාජ්‍ය මණ්ඩලය වැනි දැවැන්ත ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයකට තබා, දේශීය පරිමාණයේ කුඩා සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම සඳහා වුව අවශ්‍ය කරන අවම පහසුකම් ඊට නොමැත්තේය. විදේශීය නියෝජිතයන් සඳහා වන හෝටල්, ආපන ශාලා එහි නැත. විවේක ස්ථාන හෝ ප‍්‍රමාණවත් වැසිකිලි පහසුකම් පවා එහි විරල ය. ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය හම්බන්තොට පැවැත්වීමට නම්, ජාත්‍යන්තර නියෝජිතයන්ව ඔවුන්ගේ කොළඹ හෝටල්වල සිට දිනපතා උදේ හවා හම්බන්තොටටත්, ආපසු කොළඹටත් ප‍්‍රවාහණය කිරීමට සිදුවනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව හම්බන්තොට පැවැත්වීමට නොහැකි වීම, රාජපක්ෂලාගේ මොළේ පෑදීමට හේතු වී ඇති බවක් ද නොපෙනේ. තමන්ගේ නින්දගම, පෞර රාජ්‍යයක් කිරීමට ඔවුන් තුළ ඇති අභිලාෂය තවත් තිරිහන් වී ඇති සෙයක් පෙනේ. මේ උමතු සිහිනය, රටේ අභ්‍යන්තරිත මුදල් ප‍්‍රතිපාදනයක් හරහා සාක්ෂාත් කරගත හැක්කක් නොවේ. (ආණ්ඩුවේ ආදායම් පහළ වැටමින් ඇත. ලංකාවේ බැංකු අංශය තිබෙන්නේ, ‘ඉහළම අවදානම්’ කාණ්ඩයේ ය). බාහිර වශයෙන් වුව, කිසි තනි රටක් හෝ ආයතනයක්, රාජපක්ෂලාගේ මනදොළ සැපිරිය හැකි ඒ සා ධනස්කන්ධයක් නොදෙනු ඇත.

එහෙත් චීනය එසේ නොවේ.

රාජපක්ෂ වරායට සහ ගුවන් තොටුපොළට ණය දුන් චීනය, හම්බන්තොට ඉදි කිරීමට නියමිත කෘත‍්‍රීම ¥පත සහ කොළඹ ගොඩනැගීමට නියමිත ආසියාවේ උසම කුළුණ සඳහා ණය සැපයීමටත් සූදානම් ය. ඊට අදාළ ණය කන්දරාවේ කොන්දේසිවලට අනුව, (චීනයේ කොන්ත‍්‍රාත්කරුවන් සහ චීන කම්කරුවන් සහභාගී කර ගැනීමත් අනිවාර්ය කෙරෙන බැවින්) වැඩිමනත් සෙතක් රටට සැළසේ යැයි විශ්වාස කළ නොහැක. එහි අවසාන ප‍්‍රතිඵලය වනු ඇත්තේ, රටේ සමස්ථ ආර්ථිකයට හෝ රටේ ජනතාවගේ ජීවිතවලට සම්බන්ධයක් නැති හුදෙකලා බොරු සෝබනයකට ඒවා සීමා වීමයි.

21 වැනි සියවස ආරම්භයේ අද චීනය සිටින තත්වය, 20 වැනි සියවසේ මුල ඇමරිකාව සිටි තත්වයට සමානයි: ඒ වූ කලී, මහ බලවතෙකු වීමේ පොරොත්තුවෙන් සිටීමයි. රාජපක්ෂ පාලනයට ස්තුතිවන්ත වන්නට, එසේ බිහිවෙමින් සිටින චීන මහ බලවතාට යටත්, පරිවාර රාජ්‍යයක් බවට ශ‍්‍රී ලංකාව යම් දවසක පත්වීමට ඉඩ තිබේ. ඇමරිකාව ඉදිරියේ මධ්‍යම සහ දකුණු ඇමරිකානු රාජ්‍යයන් ලද කටුක අත්දැකීම් දෙස බලන විට, චීනය ඉදිරියේ අපේ ඉරණම වාසනාවන්ත එකක් වීමට ඉඩක් නැත.

ස්වෛරීත්වය නැති කර ගැනීම

‘‘…. ස්වෛරීත්වය, එනම්, අභ්‍යන්තර ආර්ථික සංවර්ධනය මෙහෙයවීමේ හැකියාවත්, තමන්ගේම වන කොන්දේසි යටතේ ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුළුවීමට හැකියාව තිබීමත්, රටක ආර්ථික සංවර්ධනයක් සඳහා නැතුවම බැරි දෙයකැ’’ යි නෝම් චොම්ස්කි තර්ක කරයි. ආර්ථික වශයෙන් දුර්වල රටක්, එහි මූල්‍යමය පැවැත්ම සඳහා බලගතු රටක්/ආයතනයක් මත යැපෙන්නේ නම්, එම රට නැති කරගන්නේ තමන්ගේ ස්වෛරීත්වයයි.

වොෂින්ටනය එදා ත්‍රෛයි=මහද්වීපික ලෝකයා සමග ගොඩනැගූ සම්බන්ධතාවට වඩා, කොළඹ සමග චීනය අටවන ගනුදෙනුව පරහිතකාමී වන්නට ඉඩක් නැත. චීනයට වාසියත්, ලංකාවට හානියත් ගෙන දෙමින්, හම්බන්තොට වරාය සඳහා ගත් ණය මුදලේ පොලිය ඉහළ දමා ගැනීමෙන් චීනය ඒ බව පෙන්නුම් කෙළේය. ලාභයක් නැති නිෂ්ඵල යෝධ ව්‍යාපෘති සඳහා චීනයේ ණය මත ලංකාව වැඩි වැඩියෙන් යැපෙන තරමට, දේශපාලනික, සමාජාර්ථික සහ මූල්‍යමය වශයෙන් ලංකාව කෙරෙහි හානිකර කොන්දේසි පැනවීමට චීනයට ඇති ශක්තිය තව තවත් තර වන්නේය. එවැනි මාවතක් ගැනීමේ ඇති වියදම, චීනය සහ ඉන්දියාව අතර (සමහරවිට චීනය සහ ඇමරිකාව අතරත්) වන දේශපාලනික සහ ආර්ථික තරගයේ පෙරකලාසි සටන් බිමක් බවට ලංකාව පත්වීමේ සිට, ඉතා අවාසිදායක කොන්දේසි යටතේ අපේ ස්වාභාවික සම්පත් චීනයට කුණු කොල්ලයට විකිණීම දක්වා විහිදෙන්නට පිළිවන.

මේ ක‍්‍රියාවලියේ අවසාන ප‍්‍රතිවිපාකය වන්නේ, අපේ දේශපාලනික සහ ආර්ථික ස්වෛරීත්වය නැති කර ගැනීමයි. දෙමළ සහ මුස්ලිම් ජනතාවට රාජපක්ෂලා කරන වින්නැහිය පැත්තකින් තියන්න. ඔවුන්ගේ පාලනය විසින් සිංහලයන්වත් තව පරම්පරා ගණනාවකට හිඟන්නන් බවට පත්කොට, අළුත් ලෝක බලවතෙකුගේ නව ආර්ථික යටත්විජිතයක් සහ දේශපාලනික ඉත්තෙක් බවටත් ශ‍්‍රී ලංකාව පත්කෙරෙනු ඇත.

*2013 ඔක්තෝබර් 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Beggaring The People; Enslaving The Nation ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page