Colombo Telegraph

නරක දශාවට එන අන්තවාදය

තිසරණී ගුණසේකර

‘‘…. ආත්මාර්ථය සහ තෘෂ්ණාව මත මිස වෙන කිසිවක් මත පදනම්ව නැති සමාජයක්, දුර්වලයාට එරෙහිව ශක්තිවන්තයා යුද වදින සමාජයක් මිස වෙනකක් නොවේ.’’ – චාර්ල්ස් සිමික්

ශ‍්‍රී ලංකාව සාගිනි දේශයක් බවට පත්වෙමින් තිබේ. 2013 ජගත් සාගිනි දර්ශකයට අනුව ශ‍්‍රී ලංකාවට ලැබී ඇති සාගිනි ලකුණු ගණන 15.6 කි. මෙය, එම වාර්තාවම 2012 දී අපට පවරා තිබූ 14.4 න් තවදුරටත් පිරිහීමකි. එපමණක් නොව, 2007 න් පසු අප පත්ව ඇති අන්තම අඩියයි, මේ.

ජගත් සාගිනි දර්ශකය යනු, ජාතියක වර්තමාන සහ අනාගත යහපැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන අංග තුනක් සංයෝග කොට කෙරෙන ගණන් බැලීමකි: මන්දපෝෂණය, ළදරු අඩු බර සහ ළදරු මරණ අනුපාතිකය යනු ඒවාය. දැන් වසර ගණනක් තිස්සේ, ලංකාවේ සාමාන්‍ය මන්දපෝෂණයේ ඉහළ යාම ගැනත්, විශේෂයෙන් ළමා මන්දපෝෂණයේ උග‍්‍ර භාවය ගැනත් විශේෂඥයෝ අනතුරු ඇඟවූහ. අවාසනාවකට, රටේ පාලකයන් ඒ අනතුරු ඇඟවීම් ගණන් ගත්තේ නැත.

ලංකාවේ සාගිනි අනුපාතිකය මෙසේ ඉහළ ගොස් ඇත්තේ, ඒ අනතුරු ඇඟවීම් නොසළකා හැරීමේ සෘජු ප‍්‍රතිවිපාකයක් වශයෙනි. වඩාත් විපතට පත්විය හැකි සහ වඩාත් අසරණ කොටස්වල අවශ්‍යතා නොසළකා හැරෙන ආණ්ඩුවේ සංවර්ධන මූලෝපායක් ද ඒ පසුපස තිබේ.

වර්තමාන ආණ්ඩුවේ දුර්වලම නෙත්තිය වන්නේ සමාජ=ආර්ථික අංශයයි. එහෙත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික/දෘෂ්ටිවාදාත්මක ව්‍යාකූලතාත් නිසා, මේ අංශයෙන් ආණ්ඩුවට අභියෝග කිරීමේ බලය හීන කොටගෙන තිබේ. මෙසේ සාගිනි ලකුණ ඉහළ යාම, පොදුරාජ්‍ය මණ්ඩලය වැනි ඵල රහිත සෝබනයක් සඳහා රුපියල් බිලියන ගණන් වැය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුවකට එල්ල කළ හැකි ප‍්‍රබලම අවනඩුවකි. අවාසනාවකට, කිහිප දෙනෙකු හැරුණු විට, සමස්ත විපක්ෂයම, අඩු වශයෙන් තමන්ගේම වාසිය සඳහා වුව, ජනතාවගේ මේ ‘බත් පත’ පිළිබඳ ප‍්‍රශ්නය ඉස්මතු කිරීමට අපොහොසත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයට තම තමන් ගහමරා ගැනීම මිස වෙන කිසිවක් කරන්නට වෙලාවක් නැත. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ පට්ට ගැසුණු දේශපේ‍්‍රමී පොරෝනය බදාගෙන, තවත් 1987 ක් එන තෙක් අන්දමන්දව බලා හිඳී.

පාලක තන්ත‍්‍රය ස්වකීය සුපුරුදු විජ්ජාව පාමින්, මේ සාගිනි අනුපාතිකයේ පරිහානිය, ආර්ථික ප‍්‍රතිපත්ති/දේශපාලනික ආකල්පවල ප‍්‍රතිඵලයක් වශයෙන් නොව, ජනතාව තෝරාගෙන ඇති ජීවන මාදිලි පිළිබඳ ප‍්‍රශ්නයක් වශයෙන් හුවා දැක්වීමට තතනති: ‘‘මෑතක දී කළ පර්යේෂණයක දී සොයාගත් කරුණු අනුව, වැඩිම මන්දපෝෂණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ ප‍්‍රභූ පාසල්වලින්, විශේෂයෙන් බාළිකා පාසල්වලින් බව, කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ’’ යැයි ‘ඬේලි මිර්ර් පුවත්පත වාර්තා කෙළේය. පුදුමය වන්නේ, ළමා අඩු බර සූචිය ගණනය කෙරෙන්නේ, අවුරුදු 5 ට අඩු පාසල් නොයන ළමුන්ගෙන් බව මේ ඇමතිවරයා නොදැන සිටීමයි.

ශරීරාභ්‍යාස මංතීරු ගොඩනැගීමේ ගෝඨාභය-උන්මාදය සමග මේ කියන සාගිනි අනුපාතිකයේ ඉහළ යාම අභිමුඛ කරන්න. ලංකාවේ පවතින යථාර්ථය වටහා ගැනීමට රාජපක්ෂලා දක්වන අසමත් කම පිළිබඳ බියකරු චිත‍්‍රය එයින්ම නිමැවෙනු ඇත.

ආණ්ඩුවේ නොසැළකිල්ල සහ විපක්ෂයේ උදාසීනත්වය මේ ප‍්‍රශ්නයේ එක කොටසක් පමණි. සමාජයක් වශයෙන් අපට ද වරදකාරීත්වයේ බරක් පැටවෙයි. ළමා මන්දපෝෂණය ගැන ශී‍්‍ර ලංකාවේ ජාතික මට්ටමකින් කැළඹීමක් ඇති වී නැත්තේ, ඒ ගැන ජාතියක් වශයෙන් සහ සමාජයක් වශයෙන් අප උනන්දු නොවීම නිසා ය.

තමන්ගේ පුරවැසි සගයන්ගේ දුර්දසාවක් දෙස සමාජයක් අහක බලාගෙන සිටීම, මිනිසුන් ඇති කරගත් පුරුද්දක් මිස සහජ පුරුද්දක් නොවන බවට, ඉතිහාසඥ ටෝනි ජුඞ් තර්ක කරයි: ‘‘සදාචාරමය කරුණු ගැන කල්පනා නොකොට, ලාභ අලාභ ගැන පමණක් අපේ මනස යොමු කිරීම, ආවේණික මිනිස් ස්වභාවයක් නොවේ. එය, පිටස්තරින් ඇති කරගත් අභිරුචියකි.’’ මේ පිළිකුල් කටයුතු ආත්මවාසියේ ඇබ්බැහියට ලාංකිකයන් ගැලී ඇති තරම, ළමා මන්දපෝෂණය ගැන සමාජයක් වශයෙන් අසංවේදීව සිටීමෙන් පමණක් නොව, එවැනිම තවත් මාරක ප‍්‍රශ්න ගැන-ළමා දූෂණ සහ ලිංගික අපචාරයේ සිට පරිසර විනාශය දක්වා වන තවත් මාරක අනතුරු ගැන-අසංවේදීව සිටීමෙන් ද පෙන්්නුම් කෙරේ.

වැලිවේරියේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන මහා ජනතා කම්පනයක් සිංහල දකුණේ ඇති නොවුණේ ඇයි? ඒ ගැන සිංහල කෝපයක් ජනිත නොවීම, භීතිය නැමැති සාධකය මත පමණක් විස්තර කළ හැක්කක් නොවේ. එසේ වන්නේ, නිරායුධ වැසියන්ව ‘අපේ’ සොල්දාදුවන් විසින් හතරවැනි ඊලාම් යුද්ධය තුළ දී ඝාතනය කරනු ලැබීම තුළින් අපව ඊට හුරු කොට ඇති නිසාවත් ද?

දඩුවම් නොවිඳ වැරදි කිරීමේ හැකියාව ඇති පරිසරයක තවත් වැරදි මාලාවක් බිහි විය හැකි බව ජරමානු දේවගැති නිමොලර් පියතුමා හිට්ලර්ගේ සමය සිහිපත් කරමින් අපූරුවට විස්තර කොට තිබේ. අනෙකා පිළිබඳ අනුකම්පාව අපේ සිත්වලින් ඝාතනය වීමත් ඒ වැරදි මාලාවේ තවත් එකක් ද? දෙමළ ළමුන් ගැන නොතැකීමෙන් පටන්ගන්නා අප අවසන් වන්නේ, සිංහල ළමුන් ගැන පවා තැකීමට ඇති හැකියාව නැති කර ගැනීමෙන් ද?

අවසාන ඊලාම් යුද්ධයේ දී අනෙකාගේ විඳවීම ගැන අසංවේදීව සිටීම, පිළිපැදිය යුතු සදාචාරමය ගුණයක තත්වයට සහ දේශපේ‍්‍රමයට නැතිවම බැරි ලාංඡුනයක් බවට රූපාන්තරණය කෙරුණි. (දරුවන් ද ඇතුළත්) දෙමළ සිවිල් වැසියන් ගැන දුක් වීම, ද්‍රෝහීත්වයක් හෝ කොටි හිතවාදයක් සේ අරුත්ගැන්වූ නව දේශපාලනික-සදාචාරමය පොදු ඥානයක්, දක්ෂිණ ලංකාවේ හෘද සාක්ෂිය තුළට එදා එන්නත් කෙරුණි. ඒ අනුව, අනුකම්පා කිරීම සාපරාධී ක‍්‍රියාවක් විය. විනීත කම, දුර්වලකමක් විය. හෘද සාක්ෂිය, නොදැරිය හැකි මිලක් සේ පිටමං කළ යුතු දෙයක් විය.

ඒ අකාරුණික සහ අසභ්‍ය අසංවේදිතාව, අද වන විට භූගෝලීය සහ වාර්ගික සීමාවන් පැනගෙන විත්, සිංහල බෞද්ධයාවම ගිලගනිමින් සිටී.

ආර්ථික කටයුතු ද, රාජපක්ෂලාට හමුදාමය අරුතක් දෙන්නකි. ඔවුන් සංවර්ධනය දකින්නේ, දේශපේ‍්‍රමී ආණ්ඩුවක් ජාතියේ ආර්ථික හතුරන්ට එරෙහිව ගෙන යන සටන් මාලාවක් වශයෙනි. මේ ‘මානුෂීය මෙහෙයුමේදීත්’ කිසි සිවිල් වැසියෙකු මිය නොයයි. එහෙත් ඒ සංවර්ධන අරගලය තුළ තමන් ගොදුරක් වී ඇතැ යි කියන කෙනෙකු වෙතොත් හෝ තමන් නැතත් වෙනත් පිරිසක් හෝ ඊට ගොදුරු වෙතැ යි කියන කෙනෙකු හෝ වෙතොත්, ඔවුහූ හුදෙක්, ‘සංවර්ධනයේ සතුරෝ’ ය.

ඉතිං, මේ අරගලය තුළ අවාසනාවන්ත වින්දිතයන් බවට පත්වන ගොදුරු නැති විට, අනුකම්පා කිරීම සහ අනිකා ගැන තැකීම අවශ්‍ය නැත. එසේ තැකීම, නීති විරෝධී වීමට පවා ඉඩ තිබේ. ‘‘කොළඹ කෙරීගෙන යන සංවර්ධන සැලසුම්වලට බාධා කිරීමට කිසිවෙකු තැත් නොකළ යුතු’’ යැයි කියමින්, රාජපක්ෂලාගේ අගවිනිසුරුවරයා සිය හාම්පුතුන්ගේ ගසාකන ආර්ථික ව්‍යාපෘති සඳහා නෛතික ආවරණයක් ද සපයා තිබීමෙන් එය පෙනේ.

භේදභින්න ඇවිළවීම

බි‍්‍රතාන්‍ය ධනවාදයේ රාජ්‍ය-නිර්බාධ සමය තුළ, එකිනෙකා අතර ආශ‍්‍රයක් හෝ අනුකම්පාවක් නැති ජාතීන් දෙකක් එකම රටක බිහි කෙරිණැ යි, බෙන්ජමින් ඩිස්රායෙලී වරක් කීවේය. එම තත්වය වර්තමාන ලංකාවේ තත්වයටත් උචිත බවක් පෙනේ. රාජපක්ෂ සංවර්ධනය, එන්න එන්නම වැඩි වන රටේ විශාල ජන කොටසකගේ අසංවර්ධනයක් බවට පත්වෙමින් තිබේ. එම යථාර්ථය වසං කිරීමට පාලකයන් කරන්නේ, ආදිකල්පික ජාතික අනන්‍යතාවන්ගෙන් පුපුරු ගසන කටාරම් හැඳිගෑමයි.

වාර්ගික සහ ආගමික අධි-පරාසයන් හරහා නැවත වතාවක් ලංකාවේ දේශපාලනය විකෘති වුවහොත්, ජීවන තත්වයන් පිළිබඳ ගොඩනැගෙන ජනතා අප‍්‍රසාදය, (තමන්ට වාසිදායී) ආරක්ෂිත කලාපයකට තල්ලූ කර ගැනීමට නැවත වරක් පාලකයන්ට හැකි වන්නේය. මේ නිසා රාජපක්ෂ පාලනයෙන් දැන් කෙරෙමින් පවතින්නේ, පංති තීරු දිගේ සහ වාර්ගික-ආගමික තීරු දිගේ රට දෙකට බෙදීමයි.

වාර්තා වන අන්දමට, බොදුබල සේනාව තමන්ගේ කොළඹ මූලස්ථානයේ සිට නුවර දක්වා ගමන් කෙරෙන වාහන පෙරහැරකින් ‘හලාල් විරෝධී යුද්ධය’ නැවත දියත් කිරීමට සැරසෙයි. වැලිවේරියේ සාමකාමී විරෝධතා සාර්ථක අන්දමින් මැඩපැවැත්වූ පාලකයන්, භීතිකාව සහ වෛරයේ විෂ වපුරමින් යන මේ පෙළපාලියට ඉඩ දෙයි ද?

ආණ්ඩුවේ සංචාරක ප‍්‍රවර්ධන සැලසුම් තුළ, ලංකාවට සෞදි සංචාරකයන් 100,000 ක් අද්දවා ගැනීමේ අදහසක් තිබේ. එහෙත් හලාල් නිෂ්පාදන ආණ්ඩුව තහනම් කළොත්, එක සෞදි සංචාරකයෙකුවත් මෙහි ඒවි ද? මෙය තේරුම් නොගැනීමට තරම් බොදුබල සේනාව මෝඩ විය නොහැක. ඒ නිසා, ‘හලාල් යුද්ධය’ නැවත ඇවිළවුවහොත් එය, සිංහලයාගේ කෝපය රාජපක්ෂලාගෙන් විතැන් කොට සහෝදර මුස්ලිම් ප‍්‍රජාව වෙතට එල්ල කෙරෙන සේ සිංහලයාව ගොනාට ඇන්දවීමේ කුහක ව්‍යාපෘතියක් මිස වෙන දෙයක් නොවන බව කිව යුතුය.
දශක කිහිපයකට පෙර ඒබ‍්‍රහම් කොවූර් එක් අවවාදයක් කෙළේය: ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාවගෙන් බහුතරයක් ආගම් පිළිබඳ අන්ධ භක්තිකයන් වන විට, රැවටීම නැමැති වෙළඳාම දඩුවමකින් තොරව කරගෙන යාමට වංචනිකයන්ට අවස්ථාව සැලසෙන්නේය.’’ දේශපාලනික නායකයන් වැටෙන්නේ ද ඒ ඝනයටයි.

2006 අගෝස්තු මාසයේ බුදු පිළිමවලින් රැුස් විහිදෙන බවට හාහෝවක් ගියේය. සිංහල දකුණ සියල්ල නතර කොට, බුදු පිළිම පස්සේ දුවන්නට විය. පාරවල් ඇහිරුණි. ගුවන් යානා පමා වුණි. ගුවන් විදුලි සහ රූපවාහිනී සේවා සජීවී වාර්තාකරණයක නියැළුණි. පුවත්පත් සිරස්තල ඒවායින් පිරුණි. බැතිමත්තු මහා හාස්කමක් බලාපොරොත්තුවෙන් උන්හ.

මිථ්‍යා හාහෝවෙන් හේතුවාදී හඩ යටපත් කෙරුණි.

මුල්ම රැුස් වළල්ල පෙනුණේ තමාගේ බල ප‍්‍රදේශය වන හම්බන්තොට දී බවට මහින්ද රාජපක්ෂ උදම් ඇනුවේ යැයි වාර්තා විය. අන්තවාදී සිංහල බෞද්ධයෝ එම සිද්ධිය, කොටින්ට එරෙහි ජයග‍්‍රහණයක දේව සංඥාවක් සේ උඩ දැමූහ.

දවස් තුනක් තිස්සේ දිග්ගැස්සුණු මේ ‘හාස්කම’, සාමූහික ජනතා උන්මාදයක් ඉබේ පුපුරා යාමක් ද, නැත්නම්, රාජපක්ෂ සහෝදරයන් විසින් හිතාමතා සැලසුම් කොට දියත් කළ උප්පරවැට්ටියක් ද යන්න දවසක සොයාගත යුතුව තිබේ. කෙසේ වෙතත්, එය පටන් ගැනුණේ කොතැනකින් වෙතත්, රාජපක්ෂලා එයින් උපරිම පල නම් භුක්ති වින්දෝය.

ආගමික අන්තවාදය/මිථ්‍යාව, රාජපක්ෂලාගේ දේශපාලනික යාන්ත‍්‍රණයේ අනිවාර්ය අංගයකි. සිය බලය ග‍්‍රහණයේ රඳවා ගැනීම සඳහා බැතිමතුන්ව අවුස්සන්නට සහ අවුළුවාලන්නට රාජපක්ෂලා කිසි විටෙකත් පසුබට වන්නේ නැත. දැනටමත් කෝටුමස් වී ඇති ලංකා සමාජය ඒ මගින් තවත් අළුත් සහ මාරාන්තික බොරු වළවල්වල වැටෙන්නට ගිය ද එයින් ඔවුන්ට කම් නැත.

*2013 ඔක්තෝබර් 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩබියේ පළවු Extremism In Hard Times ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page