Colombo Telegraph

කුරම් ෂයික් සහ වැලිවේරිය: විරෝධතාවයේ පාඩම්

තිසරණී ගුණසේකර

බි‍්‍රතාන්‍ය ජාතික කුරම් ෂයික්ව කපා කොටා ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සාමූහිකව දූෂණය කරනු ලැබීමේ චෝදනාවට ලක්ව සිටින තංගල්ලේ සම්පත් චන්ද්‍රපුෂ්ප සහ සෙසු සැකකාර මිනීමරුවන්/ස්ත‍්‍රී දූෂකයන්ට එරෙහිව, එම සිද්ධියෙන් මාස විසි දෙකක් ඇවෑමෙන් දැන් නඩු පවරා තිබේ.

සම්පත් චන්ද්‍රපුෂ්ප යනු, රටේ පාලක පවුල් විසින් තංගල්ලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිත්වයට පත්කරගෙන සිටි පුද්ගලයා ය. තමන්ගේ මේ හෙංචයියාට නඩු නොදමා සිටීමට කළ හැකි සෑම දෙයක්ම රාජපක්ෂලා කෙළේය. වරින් වර, මේ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කෙරෙන බව කීවත්, ඒ හැම විටකම යුක්තිය පස්ස ගැහැව්වේය. එපමණක් නොව, රුසියානු ජාතික තරුණියව සාමූහිකව දූෂණය කිරීමේ චෝදනාව පවා අහක් කර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව යම් ප‍්‍රයත්නයක් ගැනුණි.

මේ නඩු දෙකම ඉල්ලා අස්කර ගත්තේ, හිටපු නිතිපති මොහාන් පීරිස් විසිනි

ළමා අපහරණ චෝදනාවෙන් දුමින්ද සිල්වා ගැලවී ගියා සේ, මිනිමැරුම් චෝදනාවෙන් චන්දන කත‍්‍රිආරච්චි ගැලවී ගියා සේ (මේ නඩු දෙකම ඉල්ලා අස්කර ගත්තේ, හිටපු නිතිපති මොහාන් පීරිස් විසිනි), සම්පත් චන්ද්‍රපුෂ්පත් මේ චෝදනාවන්ගෙන් යම් දවසක ගැලවී යනු ඇත. එහෙත් රාජපක්ෂලාගේ නඩු නැති දේශයේ, මොහුට විරුද්ධව අඩු වශයෙන් මේ විදිහට නඩු පැවරීමටවත් පාලකයන්ට සිද්ධ වීම, රට ලැබූ එක්තරා ජයග‍්‍රහණයකි.

කෙසේ වෙතත්, ඒ අවම ජය පවා අත්කරගත හැකි වුණේ, මරණයට පත් තැනැත්තා බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු වීම නිසා ය. ඔහුගේ පවුල සහ ඔහුගේ පළාතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා යුක්තිය ඉල්ලා එක දිගටම සටන් කළ නිසා ය. බි‍්‍රතාන්‍ය මාධ්‍යයේ යම් කොටසක් මේ ප‍්‍රශ්නය යටපත් වන්නට නොදී එක දිගටම මහජන අවධානයේ රඳවාගත් නිසා ය. පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවෙන් තමන් අපේක්ෂා කරන කීර්තියට රාජපක්ෂලා මේ මොහොතේ වසඟ වී සිටින නිසා ය.

කැනඩාව මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කිරීමත් සමග, එම සමුළුව ලංකාවේ පැවැත්වීමේ ඇති යෝග්‍යතාව පිළිබඳ ප‍්‍රශ්නය නැවත ඉස්මතු වුණි. (පොදුරාජ්‍ය මණ්ඩලයේ/බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ දුෂ්ට, ලේ වැකි සම්භවය ගැන සිතන විට සහ එම සංවිධානය වර්තමානයේ අවලංගු කාසියක් වී ඇති තත්වය ගැන සිතන විට, මෙම සමුළුව පැවැත්වීමට ඇති හොඳම ස්ථානයත් ලංකාවම තමා). විදේශ කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කාරක සභාව, ඉහත සඳහන් ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය අනුගමනය කරන ලද ක‍්‍රියාකලාපය ‘බයාදු’ එකක් වශයෙන් හැඳින්වීම නිසා, ඒ පිළිබඳ ලැජ්ජාවෙන් ගැලවීමේ මගක් වශයෙන්, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට කලින් මෙම සිද්ධිය ගැන නඩු පවරන ලෙස ලංකා රජයට බි‍්‍රතාන්‍ය බලධාරීන් බල කරන්නට ඇත. එපමණක් නොව, මෙම සමුළුව වර්ජනය කිරීමට කැනඩාව ගෙන ඇති තීරණය ගැනත් සිය ප‍්‍රසාදය පළ කළ එකී පාර්ලිමේන්තු කාරක සභාව, බි‍්‍රතාන්‍යයත් එවැනි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව පෙන්වා දී තිබුණි. මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මාගේ ක‍්‍රියාකලාපය ගැන අප‍්‍රසාදය පළ කරනු වස්, පවුම් මිලියන 3 ක ආධාර මුදලක් බි‍්‍රතාන්‍ය රජය මගින් මේ වසරේ කපා හැර තිබේ.

ෂයික් සහ ඔහුගේ පෙම්වතිය වෙනුවෙන් අර්ධ වශයෙන් හෝ යුක්තිය ඉෂ්ට වීමේ වාතාවරණයක් එසේ ගොඩනැගෙද්දී පිරිසුදු වතුර ඉල්ලා කළ වැලිවේරියේ අරගලය ගමන් ගන්නේ විරුද්ධ දිසාවකටයි. වැලිවේරියේ ජනතාවට, තමන් වෙනුවෙන් පෙනී සිටින බලගතු විදේශ රාජ්‍යයන් නැත්තේය. ඔවුන් වෙනුවෙන් සටන් කරන වෙනත් බලවතෙකු ද ඔවුන්ට නැත.

ඉතිං, වැලිවේරියේ ජනතාවටත් සිදුව ඇත්තේ= ලංකාවේ සෑම තැනකම සාමාන්‍ය මහජනතාවට සිදුව ඇතිවා සේ- රාජපක්ෂලා දෙන දෙයක් භාර අරගෙන නිකං සිටීමට ය.

ප‍්‍රශ්නයට තුඩු දී ඇති කම්හලේ අයිතිකරුවාත්, සම්පත් චන්ද්‍රපුෂ්ම සේම, රාජපක්ෂලාගේ හෙංචයියෙකි. ධම්මික පෙරේරා මහා ව්‍යාපාරික අධිරාජ්‍යයක මස්තකයේ වැජඹෙනවා පමණක් නොව, (ඔහුගේ අළුත්ම ව්‍යාපාරය වන්නේ, ඩොලර් මිලියන 350 ක වියදමින් කැසිනෝ පුරවරයක් කොළඹ නගරයේ බිහි කිරීමයි), ගමනාගමන අමාත්‍යාංශයට රාජපක්ෂ විසින් පත්කරන ලද ලේකම්වරයා ද වන්නේය.

එවැනි මහා ධනස්කන්ධයක් සහ බලයක් සමග වැලිවේරියේ මිනිසුන් කෙසේ නම් හැප්පෙන්න ද?

වැලිවේරියේ මහජන උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කෙරෙන අධිකරණ නියෝගයක් පසු ගිය දා පොලීසිය ලබා ගත්තේය. ජලයට ඇති අයිතිය සඳහා කරන මහජන උද්ඝෝෂණ ඒ මගින් නීතියෙන්ම තහනම් කෙරේ. එම මහජන උද්ඝෝෂණයට නායකත්වය දුන් බෞද්ධ භික්ෂුව, යම් හේතුවක් නිසා, දැන් රාජපක්ෂලාට ස්තෝත‍්‍ර ගයන සෙයක් පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත්, ‘ජල සංරක්ෂණය සඳහා වන සියනෑ කෝරලේ ජනතා ව්‍යාපාරය’ ඉතා දුෂ්කර සහ භයානක තත්වයන් යටතේ අරගලය දිගටම ගෙන යයි. ජනතාවට නිදහස් ජල සම්බන්ධතා සැපයීමට රාජපක්ෂලා පියවර ගත්තේ නම් සෑම ප‍්‍රශ්නයක්ම සාමකාමීව නිරාකරණය කර ගැනීමට හැකි වන්නට තිබුණි. එහෙත්, නිරර්ථක වරායවල් සහ ගුවන් තොටුපොළවල් සඳහා කෙල කෝටි ගණන් මුදල් නාස්ති කරන පාලකයෝ, ජනතාවගේ මූලික අයිතියක් වෙනුවෙන් තුට්ටුවක්වත් වැය කිරීමට ඉදිරිපත් නොවෙති.

ඒ වෙනුවට රාජපක්ෂලා මානබලන්නේ, වැලිවේරිය ජනතාවගේ සාමූහික චිත්ත ධෛර්යය, මුදලින්, නීතියෙන් සහ මර්දනයෙන් මැඩලීමටයි.

තවත් ජනතා අරගලයක- පිළිකාකාරක නොවන වාතය සඳහා කෙරෙන= අරගලයක නියමුවෙකුගේ ඉරණම ගැන කතාව, සිංහලයාගේ අනාගතය දෙමළාගේ අතීතයෙන් සහ වර්තමානයෙන් වෙනස් නොවන බව කියාපාන්නකි. ගාල්ලේ දොරපේ රබර් කම්හලකින් පිළිකාකාරක විස දුම් නිකුත් කෙරෙන බවට චෝදනා නැගුණි. ඊට එරෙහිව මාස ගණනක් තිස්සේ පළාත්වාසීහූ සාමකාමී විරෝධතා දැක්වූහ. මේ සතියේ දවසක් පාන්දර දෙකට පමණ, එහි එක් නායකයෙකුගේ-නෝබට් සිල්වාගේ-නිවසට කඩාවැදුණු ත‍්‍රස්ත විරෝධී ආරක්ෂක කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගත්හ. ඔහුගේ වත්තේ, අත්බෝම්බ සහ පතරොම් තිබුණු බවක් පොලීසිය කියයි. මෙය පොලීසියෙන් සැලසුම් කළ වැඩක් බව කවුරුත් දනිති.

අළුතෙන් ඇති කළ ‘නීතිය හා සාමය’ අමාත්‍යාංශය මගින් පොලිස් විශේෂ කාර්ය බලකාය අළුතෙන් ප‍්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කිරීම සමග මෙම තත්වය සසඳා බලන්න. අමාත්‍යාංශය කියන පරිදි, එසේ කරන්නේ අනාගතයට සූදානම් වීමක් වශයෙන් ලූ. රටින් පිට සිට ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදී කල්ලි දේශීය පිරිස් සමග එකමුතුව ඇති කළ හැකි අනාගත ව්‍යවසනයන්ට මුහුණදීම සඳහා මෙවැනි ප‍්‍රතිසංවිධාන අවශ්‍ය බව බලධාරීහූ කියති. ‘බාහිර ත‍්‍රස්තවාදී බලවේග හිස එසැවීම, තිස් අවුරුදු යුද්ධයේ ඉතිහාසයට වඩා විනාශකාරී සහ විසකුරු විය හැකි බව’ එම අමාත්‍යාංශ ලේකම් (ජෙනරාල්) නන්ද මල්ලවාරච්චි කියයි. ‘තිතට වෙඩි තැබීමට හැකිවන සහ පිටවන හැම වෙඩි උණ්ඩයකින්ම හතුරාව වනසන පරිදි හමුදාව පුහුණු කිරීම’ එහි අරමුණ බව කියැවේ.

වැලිවේරියේ දී වෙඩි තැබීමේ සිද්ධියත්, දොරපේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් අනුව බලන කල, මේ විශේෂ පොලිස් කාර්ය සාධක බලකාය වෙඩි තබන සතුරා වනු ඇත්තේ, අයුක්තියට එරෙහිව හඩ නගන සාමකාමී සාමාන්‍ය සිංහලයන්ම බව පෙනේ.

ගිය සතියේ රාජපක්ෂලා සහ අගවිනිසුරුවරයා, රාජපක්ෂ නීතියේ නව මානයක් ස්ථාපිත කළහ. එනම්, ත‍්‍රස්තවාදීන්ට මානව හිමිකම් අයත් නොවන බවයි. ගනේෂන් නිමලරූබන්ගේ ඝාතනය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප‍්‍රභා කරමින් අගවිනිසුරුවරයා මෙසේ කීය: ‘‘ත‍්‍රස්තවාදය ගැන තදින්ම ක‍්‍රියා කරන්න ඕනේ. හරියට, චෙච්නියාවේ දී කළා වගේ. නිමලරූබන් කියන්නේ ත‍්‍රස්තවාදියෙක්. ඒ වගේ ත‍්‍රස්තවාදියෙකුට වෙන මොන විදිහකින් සළකන්න ද?’’

නිමලරූබන්, ත‍්‍රස්තවාදියෙකු හෝ කොටියෙකු වශයෙන් කිසි විටෙක ඔප්පු කොට නැත. යුද්ධ කාලයේ ඔහු පාසල් යන ශිෂ්‍යයෙකි. අත්අඩංගුවට ගැනුණේ ඉන් මාස කිහිපයකට පසුවයි. ඔහු ත‍්‍රීවීලර්යක ආයුධ ප‍්‍රවාහණය කරමින් සිටි බව පොලීසිය කියයි. පොලීසිය කරන චෝදනාවක්, යමෙකු ත‍්‍රස්තවාදියෙකු වශයෙන් ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් ද? රාජපක්ෂලාගේ ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදියෙකු නම් කෙරෙන්නේ එලෙසින් ද?

ඒ තර්කය මතම, දොරපේ නෝබට් සිල්වාත්, මානව හිමිකම්වලට අයිතියක් නැති, ජීවිතයට පවා අයිතිය නැති, ත‍්‍රස්තවාදියෙක් ද?

රාජපක්ෂගේ හමුදාපතිවරයාට අනුව: ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ කෙනෙක් ඉන්නවා නං අපි කාටත් සන්තෝසෙන් ඉන්න පුළුවන්. ඒත්, කෙනෙක් ඒකෙන් එහාට යනවා නං, අන්තවාදියෙක් වෙනවා නං, අන්තිමට වෙන්නේ රට බෙදෙන එක නෙවෙයි, ඒ පුද්ගලයාගේ ඔලූව බෙල්ලෙන් වෙන් වෙන එක.’’

රාජපක්ෂලන්තයේ දී ත‍්‍රස්තවාදියා කවරෙකු දැ යි මුලින් තීරණය කරන්නේ පොලීසියයි. අනතුරුව, එම පුද්ගලයාව ඔහු සතු නෛතික අයිතීන්ගෙන් තොර කෙනෙකු බවට නීතියෙන්ම පත්කොට, හමුදාවෙන් ඝාතනය කරනු ලැබේ.

විරෝධතා ව්‍යාපාරයක් සකසා ගැනීම

සම්පත් චන්ද්‍රපුෂ්පට එරෙහිව නඩු පැවරීමට ආණ්ඩුවට සිද්ධවීමේ කතාව තුළ කියැවෙන්නේ, රාජපක්ෂ පාලනයට එරෙහිව නැගෙන සාර්ථක විරෝධයක් කෙරෙහි ජාත්‍යන්තර සාධකය මගින් ඇති කළ හැකි බලපෑමේ ඇති වැදගත්කමයි. ලංකා ඉතිහාසයේ වත්මන් අවධියේ දී, ශ‍්‍රී ලාංකීය ඩයස්පෝරාවේ සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මධ්‍යස්ථ කොටස්වලට ඉටු කළ හැකි වැදගත් කාර්ය භාරයක් තිබේ. පාලනයේ අසාධාරණකම්වලට විරුද්ධව නැගෙන විරෝධතා රැුළි රටේ තැනින් තැන මතුවෙමින් තිබේ. එහෙත්, හරි හමන් විපක්ෂයක් නැති කමින් එවැනි අරගල නිරපරාදේ නාස්ති වෙයි.

ලාංකීය ඩයස්පෝරාවට එම තත්වය වෙනස් කළ හැකිය.

තැනින් තැන හුදෙකලාව නැගෙන උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන්නේ, මුදල් නොව, ජාත්‍යන්තරයට ඒවා නිරාවරණය කිරීම සහ ඒ මගින් ලබාගන්නා ජාත්‍යන්තර සහයෝගීතාවයි. එහි දී මොන තරම් අඩු මට්ටමේ ප‍්‍රසිද්ධියක් වුවත් අපතේ යන්නේ නැත.

වැලිවේරිය අරගලය අරගෙන බලන්න: ආන්දෝලනයට තුඩුදී ඇති කර්මාන්ත ශාලාව පවතින්නේ, විදේශ ඇණවුම් මත ය. එම භාණ්ඩ මිළදී ගන්නා විදේශ ගැනුම්කරුවන් කෙරෙහි බලපෑම් කිරීම, ඩයස්පෝරාවේ කාර්යශීලී සාමාජිකයන් කිහිප දෙනෙකුට වුවත් කළ හැක්කකි. එවැනි ව්‍යාපාරයක් මගින් විදේශ ඇණවුම් අහුරවනු ලැබුවොත්, ධම්මික පෙරේරා සහ රාජපක්ෂලාව යම් විදිහක සමාදාන මාවතකට තල්ලූ කිරීමට හැකි වනු ඇත.

සාමාන්‍ය ලාංකිකයන්ට තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන විදේශීය බලවතුන් නැත. එහෙත් ශ‍්‍රී ලාංකීය සිංහල, දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව එම රටවල වෙසෙති. මෙය, අඩු වශයෙන් එයින් යම් පිරිසක් හෝ තමන්ගේ රටවැසියන්ට අතහිත දීමට ඉදිරිපත් විය යුතු කාලයකි.

*2013 ඔක්තෝබර් 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Khuram Shaikh And Weliweriya: Lessons In Resistanceලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page