Colombo Telegraph

ඌව: කනේපාර සහ සංඥාව

තිසරණී ගුණසේකර

ඌව වනාහී, පාලක පවුලට වැදුණු මැතිවරණමය කනේපාරකි. රාජපක්ෂගේ විජ්ජාව පුස්සක් වීමට පටන්ගෙන ඇති බව අඟවන නොවරදින සංඥාවකි.

රාජපක්ෂලා ඌව යාන්තමින් බේරා ගත්තේය: ඒ, හොඳටම වෑරුණු සියයට 51.2 කිනි.

එසේ වුණේ, හැම පැත්තකින්ම රාජපක්ෂලාගේ වාසියට තිබුණු 18 වැනි සංශෝධනයේ වාසිය ද ඔවුන් සතුව තිබියදී වීම වැදගත් ය: විගඩම් දොඩන මෝඩ මැතිවරණ කොමසාරිස්වරයෙකු එක පැත්තක ය. මැතිවරණ හිංසනය නතර කිරීමටවත්, වැරදිකාරයෙකු අත්අඩංගුවට ගැනීමටවත් අසමත් බෙලහීන පොලිස් සේවාව තවත් පැත්තක ය. ඌව පුංචි යුද පිටියක් කළ පාලක කල්ලිය ඒ මැද්දේ ය.

බදුල්ලේ දී සියයට 50 සීමාවට පැමිණීමට රාජපක්ෂලාට නොහැකි විය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්තවාදී සන්ධානය එකතුව එහි දී සියයට 50.6 ක් ලබා ගත් අතර ආණ්ඩුවට ලබා ගත හැකි වුණේ සියයට 47.37 ක් පමණි.

ඉතා ප‍්‍රචණ්ඩ මැතිවරණ ව්‍යාපාරයකට යට වූ මොනරාගලදී පවා රාජපක්ෂලාගේ ඡුන්ද පදනම ගරා වැටුණි. ඒ, 2009 පළාත් සභා මැතිවරණයෙන් ඔවුන් සියයට 81 ක් වැනි ඉහළ ප‍්‍රතිශතයක් ලැබ තිබියදී ය. (මෙහි දී, ෂෂීන්ද්‍ර රාජපක්ෂගේ කෙරුවාවත් සළකා බැලීම වටී. 2009 දී ඔහු ගත් ඡුන්ද ප‍්‍රතිශතයට සාපේක්ෂව ඔහු කඩා වැටී ඇතිවා පමණක් නොව, හරීන් ප‍්‍රනාන්දුගේ ඡන්ද ප‍්‍රතිශතයට කිට්ටු කිරීමටවත් ඔහුට නොහැකි විය).

අධික ප‍්‍රචණ්ඩත්වය ඌවේ රජ කෙළේය. අසීමිත බල අපහරණය සහ දූෂණය රජ කෙළේය. මේ ඡන්දය ඒ සා අසාධාරණ සහ දූෂිත නොවිණි නම් සහ විපක්ෂය එක්සත් විණි නම්, රාජපක්ෂලාව ඌවෙන් පරාජය කිරීමටත් තිබුණි.

අතීතයේ සිට ඌවේ රජ කෙළේ රාජපක්ෂලා ය. 2009 පළාත් සභා ඡුන්දයෙන් සියයට 72.39 ක් ද, 2010 ජනාධිපතිවරණයෙන් සියයට 58.6 ක් ද, 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සියයට 63.6 ක් ද, 2011 පලාත් පාලන ඡන්දයෙන් සියයට 55.87 ක් ද ඔවුන් ලැබ තිබුණි. ඒ අතීත සාමර්ථය උඩ, මේ මැතිවරණය ඔවුන් අත උඩින් දිනිය යුතුව තිබුණි.

එහෙත් එවැන්නක් වුණේ නැත. උතුරු සහ නැගෙනහිර මැතිවරණ පැත්තකින් තිබ්බොත්, රාජපක්ෂ ආණ්ඩුව වෙන කිසි පළාතක මේ සා පහත් අඩියකට වැටුණේ නැත.

මෙම මැතිවරණ ප‍්‍රතිඵලය කෙරෙහි හරීන් ප‍්‍රනාන්දුගේ අපේක්ෂකත්වය විශාල පිම්මක් වූ බව අවිවාදිත ය. මීට පෙර පැවති පළාත් සභා ඡුන්දවලදී එක්සත් ජාතික පක්ෂය මුහුණදුන් බරපතලම ප‍්‍රශ්නය වුණේ නිසි මහඇමති අපේක්ෂකයන් ඉදිරිපත් කර ගැනීමට එය අපොහොසත් වීමයි. එක්සත් ජාතික පක්ෂයේ වෙනත් මහ ඇමති අපේක්ෂකයන් එම පෙදෙස්වල යම් ජනප‍්‍රියත්වයක් ඉසුළු අයවළුන් වුණා විය හැකිය. එහෙත් ඒ කිසිවෙකුට ජාතික තලයේ ප‍්‍රතිරූපයක් තිබුණේ නැත. ඡන්දදායකයාට ඔවුන්ව බරසාරව නොපෙනුණී. තමන්ගේ පාර්ලිමේන්තු ආසනයත් අතහැර ඌව පළාත් සභා ඡුන්දයට ඉදිරිපත් වීමට තීරණය කිරීමෙන් හරීන් ප‍්‍රනාන්දු ඒ වැදගත් හිඩැස පුරවා ගති. ඔහු කෙළේ, සජිත් පේ‍්‍රමදාස දකුණ් පළාතේ කළ යුතුව තිබු, එහෙත් නොකළ කටයුත්තකි. රවී කරුණානායක හෝ හර්ෂ ද සිල්වා බස්නාහිර පළාතේත්, දයාසිරි ජයසේකර වයඹ පළාතේත් කළ යුතුව තිබූ, එහෙත් නොකළ කටයුත්තකි. අනාගතයේ දී කුමක් වෙතත්, හරීන් ප‍්‍රනාන්දු ගත් නිර්භීත තීරණය ගැන ඔහුට කාගේත් ප‍්‍රශංසාව හිමි වන්නේය. (එක්සත් ජාතික පක්ෂයේ මේ ජයග‍්‍රහණයට සජිත් පේ‍්‍රමදාස සාධකය ආධාරයක් නොවුණු බවත් මෙහිදී මතක් කරගත යුතුව ඇත. ඔහු පෙනී සිටියේ මැතිවරණ රැළි කිහිපයක පමණි. මැතිවරණයේ ඉතා තීරණාත්මක අවසාන සතියත් ඔහු ගත කෙළේ ඌවේ නොව, හම්බන්තොට බව සැළයි.)

අනාගතයට මාවතක්

එක්සත් විපක්ෂයෙන් ප‍්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් මහින්ද රාජපක්ෂට බරපතල අභියෝගයක් එල්ල කළ හැකි බව ඌව පළාත් සභා මැතිවරණය, සාධාරණ සැකයෙන් තොරව පෙන්නුම් කෙළේය. රාජපක්ෂ සෘජු ජයග‍්‍රහණයක් අත්කර ගැනීමෙන් වළකා, මැතිවරණයේ දෙවැනි වටයකට තල්ලූ කිරීමට එවැනි විපක්ෂයකට විශාල ඉඩක් තිබේ.

2012/2013/2014 මැතිවරණවලදී ආණ්ඩුව ලබා ගත් ඡුන්ද ප‍්‍රතිශතවල සමස්ත සාමාන්‍යය වන්නේ සියයට 54 කි. ජාතික මට්ටමේ සහ ප‍්‍රාදේශීය මට්ටමේ මැතිවරණවලදී ක‍්‍රියාත්මක වන ගතිකත්වයන් එකිනෙකින් වෙනස් ය: එසේම, ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලඥයන් බොහොමයකට වඩා මහින්ද රාජපක්ෂ ජනප‍්‍රිය චරිතයක් වීමටත් ඉඩ තිබේ. එසේ තිබියදී පවා, තාර්කිකව එළැඹිය හැකි එක් නිසැක නිගමනයක් තිබේ: මහින්ද රාජපක්ෂ උපරිම ජනප‍්‍රියත්වයේ සිටි 2010 සමග සසඳන විට අද ඔහුගේ ජනප‍්‍රියත්වය සෑහෙන දුරට බාල්දු වී ඇත.

1988 ජනමත විචාරණයේ දී අනපේක්ෂිත අයුරින් පරාජය වූ චිලී රටේ ආඥාදායක ජනාධිපති  ඕගස්තෝ පිනෝචේ තුළ බලය අතහැර යාමේ කැමැත්තක් නොවුණි. ඔහු බැලූවේ තවත් හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කිරීමටයි. ජනතා කැමැත්ත නොතකා හැරීමට ජෙනරාල් පිනෝචේ ඇටවූ ඒ සැලැස්මට තමා සහ පාලක ජුන්ටාවේ තවත් සාමාජිකයන් විරෝධය පෑ බව, එදා පාලක ජුන්ටාවේ සාමාජිකයෙකු වූ ෆර්නැන්ඩෝ මතෙයි සිය මතක සටහන් සංග‍්‍රහය තුළ ප‍්‍රකාශ කරයි. පළමු වටයෙන්ම ජයග‍්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ අසමත් වුවහොත් සහ දෙවැනි වටයකටත් ජනාධිපතිවරණය දිග් ගැස්සුණොත්, රාජපක්ෂලාගේ බෙර පදේට නටන්ට රාජ්‍ය අංශයේ ප‍්‍රධාන කොටස් එකඟ නොවන්ට ඉඩ තිබේ. එවැනි තත්වයකදී, රාජපක්ෂලාට පක්ෂපාතී නොවන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් නායකයන් ඔහුට එරෙහිව එළියට බැසීමටත් ඉඩ තිබේ.

එහෙත් ඒ  ඕනෑම දෙයක් එසේ සිදුවීමට නම්, විපක්ෂයේ එක්සත් භාවයක් තිබිය යුතුය.

ලංකාවේ දේශපාලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ අත්‍යාවශ්‍ය සාධකයකි. එසේම ප‍්‍රචාරණයේ දී සහ සංවිධානාත්මක අංශයේ දී ඔවුන්ට සම කළ හැකි වෙනත් ව්‍යාපාරයක් ද නැත. එහෙත්, හොඳට හෝ නරකට, ශ‍්‍රී ලංකාවේ තවමත් පවතින්නේ ද්වි-පක්ෂ ක‍්‍රමයකි. ජාතික වශයෙන් ගත් විට, ලංකාවේ තුන්වැනි පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ නොව, දෙමළ ජාතික සන්ධානයයි. ඒ යථාර්ථය ජනතා විමුක්ති පෙරමුණ තේරුම්ගත යුතුය. එසේ කිරීම ඔවුන් ප‍්‍රතික්ෂේප කරන්නේ නම් වන්නේ, එකී ව්‍යාජ විඥානය හේතුවෙන් රාජපක්ෂලාගේ පාලනය පෙරලා දැමීමට ඔවුන්ගෙන් ඉටු විය යුතු වගකීම ඔවුන් අතින් මගහැරීමයි.

එසේම, ජනතා විමුක්ති පෙරමුණ විශාල ඡුන්ද ප‍්‍රමාණයක් සහිත පක්ෂයක් නොවුණද, කරට කර කෙරෙන ජාතික මට්ටමේ  ඕනෑම මැතිවරණයකදී, ජය පරාජය අතර වෙනස කෙරෙහි බලපෑම් කළ හැකි ව්‍යාපාරයක් වශයෙන් ඔවුන්ව හඳුනා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයත් තේරුම්ගත යුතුය. ජනතා විමුක්ති පෙරමුණත්, ජෙනරාල් ෆොන්සේකාත් යථාර්ථවාදී විය යුතු අතර, එක්සත් ජාතික පක්ෂය ත්‍යාගශීලී විය යුතුය. සහනශීලී විය යුතුය. රාජපක්ෂලා නැවත වරක් දින්නොත්, ඔවුන් තුන්ගොල්ලන්ම පරාජය වනු ඇත.

විපක්ෂයේ එක්සත් භාවය, වාර්ගික සහ ආගමික අංශයෙන් ද සිදුවිය යුත්තකි. ඊළඟ මැතිවරණයත් රාජපක්ෂලා දින්නොත්, ඒ ජයග‍්‍රහණය 13 වැනි සංශෝධනය තවදුරටත් දුර්වල කිරීමටත්, උතුරු නැගෙනහිර දේශපාලනයේ නව ක‍්‍රීඩා කොන්දේසි නිර්මාණය කිරීමටත් යොදාගැනෙනු ඇත. තුන්වැනි රාජපක්ෂ පාලනයක් යටතේ, උතුරුනැගෙ නහිර ජනවිකාශ සංයුතිය බලහත්කාරයෙන් වෙනස් කිරීමත් දැනට වඩා වේගවත් වනු ඇත. එවැනි ජනසංයුතික පරිවර්තනීය ව්‍යාපෘතියක් සම්පූර්ණ කරගත් පසු, සුළුජන ප‍්‍රජාවන්ගේ දේශපාලනික-මැතිවරණමය කේවල් කිරීමේ ශක්තිය හොඳටම බාල්දු වෙනු නිසැකයි. තවත් රාජපක්ෂ පාලනයක් දරා සිටීමට සිංහලයන්ට තරම්වත් සුළු ජාතීක ප‍්‍රජාවන්ට නොහැකි වන නිසා, විපක්ෂයේ සන්ධානයකට සුළුජාතීන් සහයෝගය දැක්විය යුතුව තිබේ.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් කරන ලද අළුත්ම ජනමත සමීක්ෂණයට අනුව, පසුගිය දෙවසර තුළ තමන්ගේ ආර්ථික තත්වය තරමක් නරක් වූ බව ඌවේ වැසියන්ගෙන් සියයට 43.4 ක් සිතති. එකී කාලය තුළ සිය ආර්ථික තත්වය බොහෝ සෙයින් පිරිහුණු බව සියයට 31.9 ක් දෙනා සිතති. එම වාර්තාව පෙන්වා දෙන පරිදි, පසුගිය වසරේ බේත්හේත් හෝ ප‍්‍රතිකාර ගත නොහැකිව සිටි ඌවේ පවුල් ප‍්‍රතිශතය සියයට 28.6 කි. මිළදී ගත් ආහාරවල වර්ගය බාල කිරීමට බලකෙරුණු පවුල් ප‍්‍රතිශතය සියයට 43 කි.

පැහැදිළිවම, ආර්ථික කරුණු ඌවේ ඡන්දයට තීරණාත්මකව බලපෑවේය. ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව, විපක්ෂයට එක්සත් විය හැකි හොඳම වේදිකාව විය හැකිය. එහෙත් ජනතාව පෙලන ආර්ථික දුෂ්කරතා, ප‍්‍රමුඛතා ලැයිස්තුවෙන් පිටමං කළ යුතු නැත.

ඌවෙන් රාජපක්ෂලාට අනතුරු අඟවා තිබෙන තත්වය තුළ ඊළඟ මාස කිහිපය, හැකි සෑම අවියකින්ම සන්නද්ධ වීමට ඔවුන් පාවිච්චි කරනු ඇත. දැනටමත්, මැතිවරණ නීති සංශෝධනය කිරීමේ සැලසුම් පිළිබඳ සූදානමක් තිබේ. එම සංශෝධනවලට අනුව, ඇතැම් අසාධාරණ මැතිවරණ භාවිතාවන් ඉන් මත්තට අනීතික නොවනු ඇත.

ජනාධිපතිවරණය, ඌවට වඩා හැම අතකින්ම ප‍්‍රචණ්ඩ, අසාධාරණ සහ නිදහසක් නැති ඡන්දයක් වනු නිසැකයි. ඒ යෝධ අවදානමට සාර්ථකව මුහුණදීම සඳහා විපක්ෂයට ඇති එකම අවිය වන්නේ එක්සත් භාවයයි. ඒ අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසිය සපිරෙන්නේ නම්, තවත් රාජපක්ෂ පාලනයකින් සහ එවැනි පාලනයකින් ජනනය කෙරෙන භීෂණයකින් ගැලවීමට රටටත්, ජනතාවටත් හැකි වන්නේය.

*2014 සැප්තැම්බර් 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Uva: The Slap & The Sign නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Back to Home page