27 October, 2020

Blog

‘සිහලාරාමය’ චරියා වත

තිසරණී ගුණසේකර

‘‘වෙනස් කම් ප‍්‍රතික්ෂේප කිරීමේ හෝ බිළි දීමේ ප‍්‍රතිඵලයක් වන සරුවපිත්තල සමගිය…’’ – මහා කිවි තාගෝර් (‘තනි ජාතිකවාදී පක්ෂය’)

හරියටම නවී පිල්ලේ ශ‍්‍රී ලංකාවෙන් ගිය දවසේම, රාජපක්ෂ රාජ්‍ය තන්ත‍්‍රය සුපුරුදු සෙල්ලමට නැවත බැස්සේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියට එරෙහි මුසාවාද මාලාවේ ප‍්‍රථම ඔල්වර හඩ, අපේක්ෂිත පරිද්දෙන්ම මුලින්ම පිම්ඹේ, ආණ්ඩුවේ ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතයි. ‘‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රධානී නවී පිල්ලේ මෑතක දී උතුරට ගිය ගමනේ දී, මළගියවුන් වෙනුවෙන් මල් පිදීමකට අවසර ඉල්ලා ඇතත්, එය ලංකා ආණ්ඩුවෙන් ප‍්‍රතික්ෂේප කොට ඇත. මියගිය ත‍්‍රස්තවාදී නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් වෙනුවෙන් මල් පුදා ගෞරව දැක්වීමට තමන්ගේ ඇති කැමැත්ත ඇය ආණ්ඩුවට කලින් දන්වා තිබූ බව, තතු දත් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත්, පිල්ලේගේ එම ඉල්ලීම ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කොට ඇත’’

පාලන තන්ත‍්‍රයේ බොරුව, වෙනදා මෙන්ම, කුණුහරුපයක් වන තරමට, අන්ධ මුග්ධ ය. කොටින් පිළිබඳ පිල්ලේ මහත්මියගේ කොන්දේසි විරහිත විවේචනයෙන් එය සනාථ කෙරේ: ‘‘බොහෝ අපරාධ කළ, බොහෝ ජීවිත විනාශ කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය, මිනීමරු සංවිධානයකි’’. තවදුරටත් එය පැහැදිළි කරමින් ඇය මෙසේ ද කියයි: ‘‘මං රටකට යනකොට කැමතියි, විපතට පත් මිනිසුන්ට ගෞරව දක්වන්න. සෑම වින්දිතයෙකුටම, එල්.ටී.ටී.ඊ. සංවිධානය නිසා විපතට පත් අයවළුන්ට වාගේම, සොල්දාදුවන්ට, පවුල්වලට.. මං මේක කරලා තියෙනවා, උදාහරණයක් විදිහට, මොස්කව් ගිය අවස්ථාවේ. එතකොට, ගෝතමාලාවට ගිය අවස්ථාවේ. මෙහෙදිත් මං කරන්න හිතුවේ ඒක.’’

සංහිඳියාව වෙනුවෙන් ඇය කළ මෙම මානවවාදී ආයාචනය, පිල්ලේ මහත්මියගේ වන්නි සංචාරයම අහෝසි කරන බවට තර්ජනය කරමින් රාජපක්ෂ පාලනය විසින් ප‍්‍රතික්ෂේප කළා පමණක් නොව, ඇගේ එම ඉල්ලීම ගැනත්, ඊට අදාළ වෙනත් දේවල් ගැනත් බොරු මාලාවක්ම, ඇය රටින් පිටව ගිය සැණින් ප‍්‍රබන්ධ කෙළේය.

‘ද ඔස්ටේ‍්‍රලියන්’ පුවත්පතේ විදේශ තොරතුරු සංස්කාරකවරයාට මහින්ද රාජපක්ෂ දෙන ලද සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙවැනි නෝක්කාඩුවක් කියා තිබුණි: ‘‘ප‍්‍රචාරක සටන අපි පැරදුණ බව පිළිගන්න ඕනේ. ඒක අන්තෙටම පැරදුණ බව මං පිළිගන්න ඕනේ.’’ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රණාමය පෑමේ කැමැත්තක් පිල්ලේ මහත්මිය තුළ තිබිණැ යි ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පත ගොතන අභූත බොරුව, ආණ්ඩුව තමන්ගේ ‘ප‍්‍රචාරක සටන පැරදුණේ ඇයි?’ ද යන්න සහ ‘අන්තෙටම’ පැරදුණේ ඇයි ද? යන්නත්, මත්තටත් එම සටනින් එසේම පැරදෙනු ඇත්තේ මන්ද යන්නත් කියාපාන මනා සාක්ෂියකි.

පිල්ලේ මහත්මිය, ඉන්දියානු දෙමළ සම්භවය සහිත දකුණු අප‍්‍රිකානුවෙකි. ඇයම පෙන්වා දුන් පරිදි, තමාව ඇය සලකන්නේ දකුණු අප‍්‍රිකානුවෙකු වශයෙන් මිස දෙමළ ජාතිකයෙකු වශයෙන් නොවේ. දකුණු අප‍්‍රිකාවේ වර්ණ භේදවාදයට එරෙහි අරගලයේ ඇය පැරණි ක‍්‍රියාකාරිනියක් වූවාය. වර්ණ භේදවාදී දකුණු අප‍්‍රිකාවේ නීති වෘත්තියට පිළිපන් ප‍්‍රථම කළු ජාතික ගැහැනිය වන ඇය, වර්ණ භේදවාදයට එරෙහිව නැගී සිටි ක‍්‍රියාධරයන් වෙනුවෙන් නීතිය ඉදිරියේ පෙනී සිටි අතර, සුදු ජාතික ස්වෝත්තමවාදී පාලකයන්ගේ මර්දනකාරී සැහැසි ක‍්‍රියා නිභයව හෙළිදරව් කරමින් ‘රොබන් දූපතේ’ රඳවා සිටි දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළාය. වර්ණ භේදවාදී සුදු පාලනයේ නිමාවත් සමග, නෙල්සන් මැන්ඬේලා විසින් ඇයව දකුණු අප‍්‍රිකානු මහාධිකරණයේ විනිසුරුවරියක් ලෙස පත්කළාය.

එම පිල්ලේ මහත්මියව දෙමළ ජාතිකයෙකු වශයෙන් අප සැළකීම, බරක් ඔබාමාව කෙන්යානු ජාතිකයෙකු වශයෙන් සළකන තරමටම, අන්ධභූත ය.

ඇමරිකාවේ ‘බර්තර්වාදීන්’ (ජන්මවාදීන්) වශයෙන් හැඳින්වෙන කණ්ඩායම ජනාධිපති බරක් ඔබාමාව ඇමරිකානුවෙකු වශයෙන් භාර ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නා සේම, (ඔහුගේ පියාගේ සම්භවය කෙන්යානු වීම නිසා), රාජපක්ෂලා ද පිල්ලේ මහත්මිය ගැන දරණ ඉහත සඳහන් ‘දෙමළ ජන්මයත්’ එකම මනෝ මූලයකින් උපත ලබන්නකි: ජාතිවාදය.

රාජපක්ෂ දර්ශනයට අනුව, ලෝකයේ ඕනෑම තැනක වෙසෙන දෙමළ සම්භවයෙන් යුත් ඕනෑම කෙනෙක් දෙමළෙකු වන්නේය. ඒ අනුව, තත්වාදීව හෝ සසම්භාවීව කොටියෙකු වන්නේය. රාජපක්ෂ සහෝදරවරු හතරවැනි ඊලාම් යුද්ධයේ දී සටන් වැදුණේත්, දැන් සාමයක් ගොඩනැගීමට තතනන්නේත්, මේ බිහිසුණු සහ අනර්ථකාරී සාවද්‍ය ආකල්පය මත සිටගෙනයි.

නවී පිල්ලේව දෙමළියක වශයෙන් සහ කොටියෙකු වශයෙන් රාජපක්ෂ පාලන තන්ත‍්‍රය විසින් අර්ථ ගන්වනු ලැබීම, රාජපක්ෂලා මේ රට පාලනය කරන තාක් කල් තිරසාර සාමයක් සහ අව්‍යාජ සංහිඳියාවක් අත්කර ගැනීමට ලංකාව අසමත් වන්නේ මන්දැ යි කියාපාන පෙරනිමිත්තකි.
භේදකාරී සාමයක්

ග‍්‍රෑන්ඞ්පාස් මුස්ලිම් පල්ලියට සිංහල=බෞද්ධ මැර කල්ලියක් පහර දුන් කාලයේම, යාපනේ පිහිටි පන්සලක් ද ප‍්‍රහාරයට ලක්විය. සාමය කෙරෙහි වන රාජපක්ෂලාගේ සමස්ත එළැඹුම තුළ පවතින දෝෂය, හමුදාවේ අනුග‍්‍රාහකත්වය සහිතව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධානයකින් පිහිටුවන ලද මේ පන්සල හඳුන්වන නාමයෙන්ම සංකේතවත් කෙරේ: සිහලාරාමය.

වාර්තා වන අන්දමට, මේ සිහලාරාමය, ‘සිංහල රාවයේ’ කැඳවුම්කරු වන මාගල්කන්දේ සුදන්ත හිමියන්ගේ වැඩකි. මෑතක දී සිදු වූ සැහැසි ක‍්‍රියා ගණනාවකට මේ හිමියන් සම්බන්ධ ය. තංගල්ලේ මස් කඩයක් ගිනි තැබීම ඉන් එකකි. (අගෝස්තු 18 වැනි දා දිනසේන රතුගමගේ විසින් ලියා ‘ඉරිදා දිවයිනේ’ පළ කරන ලද ‘ආගමික යුද්ධවලට පාර කපන මෝඩ ශ‍්‍රද්ධාව’ යන උචිත උද්ධෘතය සහිත ලිපියට අනුව), මේ ‘සිංහල රාවය’ විසින් සිංහල පවුල් ගණනාවක් යාපනේ නාවක්කුලි ප‍්‍රදේශයේ ‘නැවත පදිංචි කොට’ ඇත්තේය. ඉහත සඳහන් පන්සල පිහිටුවා ඇත්තේ ඒ පවුල් සඳහා ය. මේ පන්සල ප‍්‍රහාරයට ලක්වන අවස්ථාවේ එහි වැඩ වාසය කොට ඇත්තේ එක් හිමි නමක් පමණි.

සිහලාරාමය යනු, යුද්ධයෙන් පසු උතුරේ පිහිටුවන ලද තවත් බොහෝ පන්සල්වලින් එකක් පමණි. එම පන්සල්වල වැඩ වාසය කරන භික්ෂූන්ට දානමානාදියෙන් සංග‍්‍රහ කිරීමට තරම් බෞද්ධ සිවිල් වැසියන් එම ප‍්‍රදේශවල නොමැති බැවින්, මේ හිමිවරු නිතැතින්ම හමුදාව මත මුළුමණින් පරායත්ත වෙත්. එවැනි සම්බන්ධතාවක් දෙමළ ජනයා දකිනු ලබන්නේ, හමුදාව විසින් නඩත්තු කරගෙන යනු ලබන තවත් පිටස්තර ආයතනයක් හෙවත් පීඩාකාරි සහ අසාධාරණ බාහිර පැවැත්මක් වශයෙනි.

බෞද්ධ සිවිල් වැසියන් නොමැති පෙදෙසක බෞද්ධ පන්සල් පිහිටුවීම, ඉහත සඳහන් ලේඛකයා නිවැරදිව පෙන්වා දෙන පරිදි, සාමයකට නොව, ආගමික යුද්ධයකට අතවැනීමකි.

සිංහල-බෞද්ධ පවුල් ‘නැවත පදිංචි කැරැුවීම’ සහ බෞද්ධ පන්සල් මෙම ප‍්‍රදේශයේ පිහිටුවීම, රාජපක්ෂලාගේ අනුග‍්‍රහයකින් තොරව කිසිවෙකුට කළ හැක්කක් නොවේ. එවැන්නක් සඳහා ‘සිංහල රාවයට’ අනුමැතිය ලැබෙන්නේ, රාජපක්ෂලා විශ්වාස කරන සාමය සහ ජාතිය ගොඩනැගීමට ගැළපෙන්නේ එවැනි අන්තවාදි සංවිධානවල මතිමතාන්තර වන බැවිනි.

සිවිල් යුද්ධ හෝ කැරලිකාරී තත්වයක් අවසානයේ ජාතික ඒකාග‍්‍රතාව ගොඩනැගීම සඳහා දේශපාලන නායකත්වයකට පියවර ගත හැකි ක‍්‍රම දෙකක් වෙයි. එකක් වන්නේ, සියලූ ජන කොටස් ඒකරාශී කරගන්නා ක‍්‍රමයයි. අනික වන්නේ, ඇතැම් ජන කොටස් කොන් කරමින් හෝ බැහැර කරමින් ද, තවත් ජන කොටස් උඩ දමමින් ද කෙරෙන, කළමනා සම්පාදනයයි. මුලින් සඳහන් කළ ක‍්‍රමයට, මෙතෙක් සමාජයෙන් කොන් වී හෝ පිටමං කරනු ලැබ සිටි ජන කොටස් තුළ අළුත් වෙනස තමන් සඳහා ය සහ තමන්ගේ ය යන හැඟීමක් ඇති වන ආකාරයේ, දේශපාලනික සහ සමාජ=ආර්ථික ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. දෙවැනි ක‍්‍රමයෙන් සිදුවන්නේ, අධිකාරී එක් කණ්ඩායමක අනන්‍යතාව අධිතක්සේරු කොට, අවශ්‍යතාවන්හි පොදු බවක් වටා ගොඩනැගෙන සමබර ඒකාග‍්‍රතාවක් වෙනුවට, ‘පිටස්තර අනිකා’ පිළිබඳ භීතියක් වටා ඒකපාර්ශ්වීය ඒකාග‍්‍රතාවක් ගොඩනැගීමකි.

රාජපක්ෂලා භාරගෙන ඇත්තේ, ජන කොටස් පලවා හැරෙන, දෙවැනි ක‍්‍රමයයි. ඔවුන් අද කතා කරන ලාංකීය ජාතිය, එල්.ටී.ටී.ඊ. සංවිධානය කතා කළ ‘දෙමළ කතා කරන ජනතාවට’ වෙනස් නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ එම හිතළුව තුළ මුස්ලිම් අනන්‍යතාව දෙමළ ජාතියේ සන්තකයක් කරගත් අතර, ඒ මගින් මුස්ලිම් ප‍්‍රජාවේ අවශ්‍යතාවන් ප‍්‍රතික්ෂේප කෙරුණා පමණක් නොව, වෙනස් ජන කොටසක් වශයෙන් එසේ වෙනස් අවශ්‍යතා දැරීම අපරාධයක් වශයෙන් ද අර්ථ ගැන්වුණි. ඒ මගින් සිදුවුණේ දෙමළ-මුස්ලිම් සමගියක් ගොඩනැගීම නොව, දෙමළ-මුස්ලිම් විරසකයක් බිහි වීමයි. ඒ ආකාරයෙන්ම, රාජපක්ෂලා අදහස් කරන ලාංකීය ජාතියත්, වාර්ගික සංහිඳියාවක් වෙනුවට බිහි කරනු ඇත්තේ, දැනටමත් දැදුරු වී ඇති දේශයක තවත් මාරාන්තික විරසකතා නිර්මාණය කිරීමකි.

දකුණේ කැරැුල්ල අවසානයක් කිරීමෙන් පසුව ආපසු හැරී බැලීමේ දී, එම කැරැුල්ලේ එකම හේතු කාරණය වුණේ ජනතා විමුක්ති පෙරමුණේ බල තෘෂ්ණාව යැයි පේ‍්‍රමදාස සැළකුවේ නම් සහ එදා පැවති ක‍්‍රමයේ සමාජ අසාධාරණකම් පැවති බව නොපිළිගත්තේ නම් ද, මූලික සමාජ ප‍්‍රතිසංස්කරණවල අවශ්‍යතාව බැහැර කොට ආරක්ෂක විධිවිධාන මගින් ක‍්‍රමයේ ස්ථාවරත්වය සරි කරගත හැකි වේ යැයි විශ්වාස කෙළේ නම් ද, ඒ සියල්ලට උඩින් භෞතික යටිතල පහසුකම් මාත්තුවක් ආලේප කිරීමෙන් ප‍්‍රශ්නය විසඳේ යැයි විශ්වාස කෙළේ නම් ද, තත්වය කුමක් විය හැකිව තිබිණි ද?

දකුණේ වෙසෙන පීඩිත කුලවල සෑම තරුණයෙකුම ක‍්‍රමවිරෝධී මනෝ භාවයකින් පෙළෙන්නේ යැයි සිතා ඔවුන්ව ආණ්ඩු විරෝධීන් වශයෙන් සළකමින්, නිරන්තර දඩුවමට හෝ මුර කිරීමකට යටත් කොට ඔවුන් ගැන ඇස ගසාගෙන සිටිය යුතු යැයි එදා පාලකයන් සිතුවේ නම් තත්වය කුමක් වනු ඇත් ද? එම කැරැුල්ල තුළ ජනතා විමුක්ති පෙරමුණු පාලනය යටතේ පැවති දකුණේ ගම්මාන, කැරැල්ල පරාජය කිරීමෙන් පසු එක දිගටම හමුදා බැරැක්ක ගසා පාලනය කරගත යුතු යැයි එදා පාලකයන් සිතුවේ නම් තත්වය කුමක් වනු ඇත් ද? ජනතා විමුක්ති පෙරමුණ නැමති ව්‍යාපාරය උපද්දවන ලද්දේ රටේ පැවතුණු ‘අසාධාරණ ක‍්‍රමයක්’ විසින් බව පේ‍්‍රමදාස පිළිනොගත්තේ නම් සහ එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ‘මුලික වශයෙන්’ පවතින තත්වයේ වෙනසක් ඇති කිරීම සඳහා ‘සමස්ත ප‍්‍රතිපත්ති මාලාවක්’ දියත් නොකෙරුණේ නම්, තත්වය කුමක් වනු ඇත් ද?

දකුණ එන්න එන්නම හමුදාකරණය වනු ඇත. ඒ මගින් යම් කාලයකට ස්ථාවරත්වයක් ඇති වීමට පිළිවන. එහෙත් ඒ සන්සුන් භාවය සඳහා, මූල්‍යමය වශයෙන් සහ සමාජ-ආර්ථිකමය වශයෙන් දැරිය නොහැකි මිළක් ගෙවීමට රටට සිදුවනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ මහ කොමසාරිස් නවිනීදන් පිල්ලේ මහත්මියට, යුද්ධයෙන් මියගියවුන් වෙනුවෙන් ශෝකය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවක් නොදීම සහ සිහලාරාමය නමින් පන්සලක් යාපනේ තිබීම සහ එය නන්නාඳුනන පිරිසකගේ ප‍්‍රහාරයට ලක්වීම මගින් කියාපාන්නේ, රාජපක්ෂ පාලනය යටතේ වෛරය වියැකී නොයන බවත්, එක දිගටම හිංසනය දළු ලා ලියලන බවත් ය.

*2013 සැප්තැම්බර් 1 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Sihalaramaya Syndrome ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’  / Photo AFP’s Ishara Kodikara/ Foreign Correspondents’ Association of Sri Lanka Facebook page

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Pilleta neme thisarani oyatai demala sanbavayak thiyenne.hamudawa yapanen iwath karan naththe jathivadaya yali hisa esavima novima sadaha.e golla demala janathava ekka sahodarathvayen inne ehe.eka yapane demala janathawata prasnayak nowenam obatath pille mahathmiyatath prasnayak une kohomada ?

  • 0
    0

    තිසරණි පෙනීසිටින ජාතිය කුමක් උවත් ඒ හැම ජාතියකටම නිදහසේ ජීවත්වෙන්න වාතාවරණය සැලසුවේ රාජපක්ෂලා මිස අන් කවරකුත් නොවේ .ඒ නිසා ඔබේ පෑනෙන් යලි ජාතිවාදයඅව්ස්සා,මේ රටේ අසරණ ජනතාව බිල්ලට නොදෙන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි .

  • 0
    0

    I highly appreciated your brave articles. Don’t worry about the racist comments made by uncivilized people. As a Sinhala woman you gave the courage for all Sinhala Tamil and Muslims males and females in this country.

  • 0
    0

    බෞද්ධ සිවිල් වැසියන් නොමැති පෙදෙසක බෞද්ධ පන්සල් පිහිටුවීම, ඉහත සඳහන් ලේඛකයා නිවැරදිව පෙන්වා දෙන පරිදි, සාමයකට නොව, ආගමික යුද්ධයකට අතවැනීමකි?

    බෞද්ධ ආරාම යනු තුන් ලොවටම ඇති අභයස්ථාන යි. බෞද්ධ දර්ශනය නොදැන ලිවූ බව පෙනේ. බුද්ධ දර්ශනය යනු අතහැරීම යි. එහි ආගමකුත් නැත ඇදහිල්ලකුත් නැත. කුමන හෝ ආගමික සිද්ධස්ථානයක් දෙස ද්වේශයෙන් බලා ගැටුම් ඇති කරන්නේ නම් එම පුද්ගලයින් සාමාන්‍ය සිවිල් වැසියන් විය නොහැකිය (කුමන ජාතියක හෝ වේවා). එසේ කරන්නේ ආගමික අන්තවාදීන් ය. ලියන්නා කුමන පසෙකට මේ ප්‍රශ්නය හරවන්නේ දැයි පැහැදිලිය. ලියන්නා කෙසේ කීවත් කියවන්න සිහිබුද්ධියෙන් කියවිය යුතුය. එවැනි ජන කොටස් සිටින්නේ නම් හමුදා බැරැක්ක බිහි වීමත් නියත දෙයකි. කෙසේ වුවත් හමුදාකරණය වීම නම් අනුමත නොකරමි. එය දූපත් මානසිකත්වයේ එක් භීතිකාවක් නිසා සිදුවන්නක් සෙ පෙනේ. කෙසේ වුවත් බෞද්ධ සිද්ධස්ථාන ජාතික ලේබලය අලවා ජාතියකට කොටු කිරීම මෝහාන්ධකාරයෙන් නොමිදුනු පිරිසකගේ ආත්මාර්ථය සඳහා වූවක් නම් එයද විවේචනය කල යුතුය. එහි නියම බෞද්ධ ප්‍රතිපත්තියක් නැත.

    සියලුම ජන කොටස් ඒකරාශී කිරීමට විරුද්ධව තවමත් උතුරේ මෙන් ම දකුණේත් වර්ගවාදී අදහස් ක්‍රියාත්මක වෙන පරිසරයක එම වර්ගවාදය මැඩලීමට හැකි පරිදි සන්හින්දියාත්මක කතිකාවක් ගොඩනැගීම මාධ්‍ය සතු වගකීමකි. මේ තාක් දේශපාලනය විනා එවන් රටේ අනන්‍යතාවය ට ගැලපෙන අයුරින් (බටහිර කරණය වූ මානසිකත්වයෙන් තොරව) සාර්වත්‍ර වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට කිසිම මාධ්‍යයක් ඉදිරිපත් වූයේ නැත. වන්නේත් නැත. වන්නේ ප්‍රශ්නයක් එනතුරු ආවදීමත් එය ඔඩු දිවූ පසු විවේචනය කිරීමත් පමණි. :)

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.