Colombo Telegraph

රාජ්‍යය ගොඩ ගැනීම 

තිසරණී ගුණසේකර

සමහර වාර්තා අතිශයෝක්තීන් විය හැකිය. තව සමහරක් එසේ නැත. මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවෙස්වල සිට සොයාගත්තේ යැයි කියන ‘ආනයනය කළ’ බල්ලන්, කුරුල්ලන්, අශ්වයන්, මෝරුන් සහ ඇත් පැටවුන්ගේ සිට පෞද්ගලික අවි ගබඩා කිහිපයක් සොයා ගැනීම දක්වා පසුගිය දිනවල හෙළිදරව් වූ බොහෝ සිදුවීම් මගින් පෙන්නුම් කරන්නේ, රාජපක්ෂලා මොන තරම් නම් මේ රටේ රාජ්‍යය තමන්ගේ පෞද්ගලික භුක්තියක් වශයෙන් සළකා ඇත් ද යන්නයි.

ඔවුන්ට අවශ්‍ය කළ යමක් විණි ද, ඔවුහූ ඒවා ලබා ගත්හ. යමක් කිරීමට ඔවුන්ට අවශ්‍ය විණි ද, ඔවුහූ ඒවා කර ගත්හ.

විසම සිදුවීම් රාශියක සංයුතියෙන් ඇති කරන ලද සුවිශේෂී තත්වයක් විසින් ඔවුන්ගේ පරාභවයත් සිදු කෙරිණ. දැන් කිරීමට ඇති කර්තව්‍යය වන්නේ, රාජ්‍යයට සහ සමාජයට ඔවුන් විසින් කරන ලද හානිය ආපසු හැරවීමයි. ඒ විනාශකාරී මාවතේම අනාගත පාලකයෙකුටත් ගමන් කළ හැකි පරිසරය නැති කිරීමයි.

දේශපාලඥයන් හැම දාමත් බලය අපහරණය කොට ඇත. මත්තටත් එසේ කරනු ඇත. එහෙත් රාජපක්ෂලා යටතේ බලය අපහරණය වුණේ, ඊට පෙර සිහිනෙන්වත් සිතා නොතිබූ ආකාරයකිනි. මුල පටන්ම, රාජ්‍යය සහ තමන් අතර වන සෑම සීමා ඉරක්ම මකා දැමීමට රාජපක්ෂලා දැනුවත් උත්සාහයක් ගත්හ. තමන්ට අවශ්‍ය කරන ඕනෑම දෙයක් කිරීමේ අවසරය සැපයෙන වටපිටාවක් නිර්මාණය කර ගැනීමට පියවර ගත්හ.

පවුල් අවශ්‍යතාවන්, ජාතික අවශ්‍යතාවන් සමග ඔවුහූ සමපාත කර ගත්හ. ප‍්‍රතිපත්ති, හිතුමතේ සකසා ගත්හ. තමන්ගේ මන ලෝලයන් ජාතික ප‍්‍රතිපදා බවට පත්කර ගත්හ. නීතිය සහ අවනීතිය අතර වෙනස නොපෙනී ගියේය. අනිසි පරිහරණය, සාමාන්‍ය සම්මතය බවට පත්විය.

උදාහරණයක් වශයෙන්, ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ප‍්‍රතිපත්තිය ගිය අපූරු ගමන් මග බලන්න. ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ මේ ද්විත්ව පුරවැසි භාවය ලබාගෙන සිටි අයයි. එහෙත් මීට අවුරුදු කිහිපයකට කලින් මහින්ද රාජපක්ෂ ඒ ද්විත්ව පුරවැසි භාවය මේ රටේ අනිත් පුරවැසියන්ට දීම නතර කෙළේය. හේතු වශයෙන් දැක්වූයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් වන බවයි. එහෙත්, ද්විත්ව පුරවැසි භාවය එසේ හිටිහැටියේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණේ කෙසේදැ යි ඔවුන් පැහැදිළි කෙළේ නැත. අනතුරුව, පසුගිය දා පැවති ජනාධිපතිවරණ සමයේදී අංශක 180 කින් එම ප‍්‍රතිපත්තිය ආපසු හැරවූ රාජපක්ෂ, එම ද්විත්ව පුරවැසි භාවය ඉතා වේගවත් සහ වඩාත් පහසු ආකාරයකින් නැවත ලබා දීමට කටයුතු කෙළේය. නැවතත්, ඉහත කී තර්ජනය දැන් එම ද්විත් පුරවැසි භාවය දීමේදී දුරු වුණේ කෙසේදැ යි ඔවුන් පැහැදිළි කෙළේ ද නැත. රාජපක්ෂලාගේ ලෝලයන් සහ ආත්මාර්ථයන් පසුගිය දස වසරක කාලය තුළ මේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි බලපෑ තරම එම කතාවෙන් පෙන්නුම් කෙරේ.

තමන් සහ රාජ්‍යය අතර වන සීමා ඉරි මකා දැමුණු එකී රාජපක්ෂ භාවිතය හේතුවෙන්, අනේක විධ ව්‍යුහාත්මක අර්බුද නිර්මාණය කොට තිබේ. එයින් ලොකුම අපබ‍්‍රංසය වන්නේ, අගවිනිසුරුවරයා අරභයා මතුවී තිබෙන ආන්දෝලනයයි. අනීතික දෝෂාභියෝගයක් හරහා ශිරානී බණ්ඩාරනායකව අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු එම තනතුරට පත්කරන ලද්දේ රාජපක්ෂලාගේ දේශපාලනික/නීති ඉත්තෙකි. මේ නව අගවිනිසුරුවරයා මුල පටන්ම පාලක පවුලේ ගැත්තෙකු සේ කටයුතු කිරීමට පටන් ගත්තේය. උදාහරණයක් වශයෙන්, 2014 සිංහල සහ දෙමළ අළුත් අවුරුදු උත්සවය සැමරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැදමුලන නිවසට ගිය මොහු, දේශපාලඥයන් සහ අනිත් ගැත්තන් සමග කා බී පී‍්‍රති වුණේය. දැන් ගෞරවාන්විතව ඉල්ලා අස්වීම ප‍්‍රතික්ෂේප කරන ඔහු, එසේ අස්වීමට නම් තමන්ට තානාපති තනතුරක් පිරිනැමිය යුතු බව කියන්නේලූ. ලංකාවේ රාජ්‍යයට පවුල් පාලනයෙන් සිදු කර ඇති වින්නැහිය එයාකාර ය.

රටේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට උපස්ථම්භක වුණේ ද රාජපක්ෂලාගේ පෞද්ගලික අවශ්‍යතා සහ පෞද්ගලික ඕනෑ එපාකම් ය. රජයේ බදු පිළිවෙත, ඔවුන්ට ධනය ඩැහැගන්නා අවියක් විය. පාලක කල්ලියේ මහේශාක්‍ය ජීවන විලාසිතාව සාමාන්‍ය ජනතාව විසින් නඩත්තු කෙරෙන ක‍්‍රමවේදයක් විය. රාජපක්ෂ පාලනය යටතේ රාජ්‍ය සම්පත් පාවිච්චි කෙරුණේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට, ගැත්තන්ට සහ හිතවත් රටවල්වලට අනුග‍්‍රහ සැලසෙන ආකාරයට ය. නාරාහේන්පිට පිහිටි ඉතා වටිනා මිල්කෝ ඉඩම ‘සොෆ්ට් ලොජික්’ සමාගමට කුණුකොල්ලයට විකිණීම සහ චීන සමාගම්වලට අධිකතර වරදාන සැපයීම ආදියෙන් පෙන්නුම් කෙළේ, ‘පවුල්වාදී ආර්ථිකය’ ප‍්‍රායෝගිකව ක‍්‍රියාවේ යෙදුණු ආකාරයයි. එහි අවසාන ප‍්‍රතිවිපාකය වුණේ, එක විට තරබාරු ද කෙසඟ ද වන රාජ්‍යයක් නිර්මාණය වීමයි. එක පැත්තකින්, රාජපක්ෂලාගේ සහ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ ධන තෘෂ්ණාවෙන් තරබාරු වන රාජ්‍යයක් ද, අනිත් පැත්තෙන් සාමාන්‍ය ලාංකිකයන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් කේඩෑරි වන රාජ්‍යයක් ද දක්නට ලැබුණි.

ලංකාවේ රාජ්‍යය සහ පාලක කල්ලිය අතර පැවතිය යුතු සීමා ඉරි බොඳ වෙමින්, එසේ වියැකී යන අතරේ නිර්මාණය වූ තත්වය, හුදු විපරීතයක සිට සාහසික අවදානමක් දක්වා වර්ධනය වුණි. කාර්ල්ටන් පෙර-පාසල් පද්ධතියේ හැසිරීමෙන්, විපරීතය පෙන්නුම් කෙරුණි. ‘අවොං ගාද්’ ආරක්ෂක සමාගමේ ක‍්‍රියාකලාපයෙන් බරපතල අනතුර දනවයි. ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට අනුව, කාර්ල්ටන් පෙර-පාසල්වලට ළමුන් ඇතුළත් කරගෙන ඇත්තේ, ඔවුන්ගේ නිසි වයස පැමිණි පසු ඔවුන් කැමති කොළඹ ජාතික පාසලකට තම දරුවන්ව ඇතුළත් කරගත හැකිය යන විශ්වාසය දීමෙනි. එවැනි කොළඹ පාසල්වල විදුහල්පතිවරුන්ට නිකුත් කොට ඇති ලියුමක් හරහා, කාර්ල්ටන් පෙර-පාසලක උගෙනීම ලැබීම කොළඹ පාසලකට ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශයෙන් සැළකිය යුතු බව දන්වා තිබේ. එම පාසල්වල විදුහල්පතිවරුන්, තමන් පළිගැනීමට ලක්වේය යන බිය නිසා ඒ අනුව කටයුතු කොට ඇතැ යි කියැවේ. අනිත් අතට, ‘අවොං ගාද්’ ආරක්ෂක සමාගම මොන තරම් රාජ්‍ය අනුග‍්‍රහය ලබා තිබුණේ ද යත්, ගාල්ලේ නාවුක හමුදා කඳවුර තුළ ඔවුන් පවත්වාගෙන ගොස් ඇති අවි ගබඩා පරිශ‍්‍රයට ඇතුළුවීමේ අවසරය, නාවුක හමුදාවටවත්, පොලීසියටවත් තිබී නැත. ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතම පෙන්වා දෙන පරිදි, මේ අවි ගබඩාව පිහිටියේ නාවුක හමුදා කඳවුර තුළම වුවද, එය පරීක්ෂා කර බැලීමේ අයිතියක් ඔවුන්ට හෝ පොලීසියට තිබී නැතිවා පමණක් නොව, එම ගබඩාව තුළ තිබුණේ මොනවාද යන්න ගැන කිසි විස්තරයක් පවා ඔවුන්ට සපයා තිබී නැත. එසේම, ගාල්ලේ නාවුක හමුදා කඳවුර තුළ පිහිටි සේවා වනිතා අංශයට අයත් කාමරවල පවා ආයුධ සහ පතරොම් ගබඩා කොට තිබී ඇතත්, ඒවා ගැන සොයා බැලීමේ අවසරයක් පවා නාවුක හමුදාවට තිබී නැත.

ඒ ආකාරයට රාජපක්ෂ පාලනය යටතේ සිදු වී තිබෙන හමුදාකරණය ස්වයං-කේන්ද්‍රීය ස්වභාවයක් ගනී. එම හමුදාකරණයෙන් බලගැන්වී ඇත්තේ හමුදාවන් නොව, පාලක පවුල සහ එහි ගැත්තන් ය. රාජපක්ෂගේ හමුදාකරණය තුළ, සිවිල් පාලකයන් සමග ඉහළ සම්බන්ධකම් තිබූ හිටපු හමුදා මේජර්වරයෙකුට, රටේ හමුදාපතිට හෝ නාවුක හමුදාපතිට වඩා ඔවුන්ගේම කඳවුරු තුළ දී පවා, බලපුලූවන්කාරයෙකු වීමේ ඉඩකඩ තිබී ඇත.

දැන ගැනීමට ඇති අයිතිය සහ කැමැත්ත

සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ජරමානු ජාතික ගුන්ටර් ග‍්‍රාස් මීට වසර ගණනකට පෙර, ලොව මවිත කරවන පෞද්ගලික හෙළිදරව්වක් කෙළේය. එනම්, ඉහත කාලයකදී තමන් හිට්ලර්ගේ නට්සිවාදී එස්.එස්. සංවිධානයේ සාමාජිකයෙකුව සිටි බවයි. දශක ගණනාවක් තිස්සේ නැතැ යි කී දෙයක් දැන් පිළිගැනීමට හේතු කවරේදැ යි ඔහුගෙන් විමසන ලදි. ඔහුගේ පිළිතුර වුණේ, එක් උදේක රැුවුල බාමින් සිටින අතරේ, ‘හිට්ලර් තරුණයෝ’ සංවිධානයේ ගීයක් තමා නොදැනුවත්වම තමාගෙන් මිමිණුනු බවත්, ඒ අනුසාරයෙන් හිට්ලර්ගේ ‘තෙවැනි රාජ්‍යයේ’ බලපෑම මොන තරම් තමා තුළ තවමත් සනිටුහන් වී ඇත් ද යන්න තමාට අවබෝධ වූ බවත් ය. රාජපක්ෂලා ඔවුන්ගේ චින්තනය මොන තරම් දුරට ලංකාවේ රාජ්‍යය තුළ කොටා තිබුණේද යන්න පසක් වුණේ, රාජපක්ෂලාගේ සැක කටයුතු මූල්‍ය ක‍්‍රියාකාරකම් යුක්ති සහගත කිරීමට වර්තමාන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ද ප‍්‍රකාශයක් නිකුත් කිරීමෙනි. පසුව ඔහු එය ඉල්ලා අස් කරගෙන ඇතත්, නොදැනුවත්ව හෝ ඉබේ මෙන් ඔහුගෙන් එසේ ප‍්‍රකාශයට පත්වීම, රාජපක්ෂ රෝගය මොන තරම් බෝ වී ඇත් ද යන්න පෙන්නුම් කරවන්නකි.

පාලකයන්ගේ පෞද්ගලික රක්ෂිත අඩවියක් සේ රාජ්‍යය පරිහරණය කිරීම නිසා අපේ පාලන මාදිලිය අන්ත මුග්ධ භාවයට පත්වී, එයම අවසානයේදී පාලකයන්ට පාරාවළල්ලක් විය. ඒ අගාධයෙන් ලංකා රාජ්‍යය මුදාගෙන එහි යථා තත්වය තුළ එය යළි ස්ථාපනය කිරීම නව ආණ්ඩුවට පැවරෙන හදිසි වූත්, මගහැරිය නොහැකි වූත් කර්තව්‍යයකි.
රාජපක්ෂලා බලය අතහැර යන තෙක්, ඒ වරිගයා අරඅඳිමින් සිටියේ කුමකට ද යන්න ගැන පැහැදිළි අවබෝධයක් බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ට තිබුණේ නැත. මාධ්‍ය නිහඬ කිරීමෙන් ඔවුන් කෙළේ, තමන්ගේ දේශපේ‍්‍රමී සහ ජනතාවාදී මුහුණුවරට යටින් පවතින යථාර්ථය ගැන ජනතාව නොදැනුවත්ව තබා ගැනීමයි.

තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතියට එරෙහිව පවතින සියලූ බාධක ඉවත් කරන බවටත්, ජනතාව වෙත තොරතුරු නිදහසේ ගලා යාම සහතික කරන බවටත් නව ආණ්ඩුව ප‍්‍රතිඥා දී ඇත. එහෙත් නීති පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත. තොරතුරු දැන ගැනීමට සහ සිදුවන දේවල් ගැන දැනුම්වත් වීමට අපගේ ද උවමනාවක් තිබිය යුතුය. ‘‘දැන ගැනීම’’ යන්න, සිදුවන අපරාධ ගැන දැන ගැනීම හෝ රාජපක්ෂලාගේ විෂමාචාර ගැන දැන ගැනීමට පමණක් සීමා විය යුතු නැත. වර්තමාන සහ අනාගත සෑම පාලනයක් සහ පාලකයෙකුගේම වැරදි චර්යාවන් ගැන දැන ගැනීමට ද අපට උවමනාවක් තිබිය යුතුය.

එසේම, නීතියට සහ ව්‍යවස්ථාවට බැඳී සිටින සහ ඒ සීමාවන්ගෙන් පිටට පැනීමට පාලකයන් බල කරන විට ඊට එරෙහි වීමේ ශක්තියක් ඇති රාජ්‍ය පරිපාලන සේවයක් ද රටට අවශ්‍ය කරන්නේය. අවසාන වශයෙන්, විපක්ෂයේ පමණක් නොව, තමන්ගේ පැත්තේමත් ඇදකුද ගැන දැනුම්වත් වීමටත්, ඒ ගැන විවේචනාත්මක වීමටත් සූදානම් ජනතාවක් ද රටට අවශ්‍ය කරන්නේය.

එය දුෂ්කර ය. එහෙත් දැන් පටන් ගත යුතුය.

*2015 ජනවාරි 25 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Reclaiming The State නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page