Colombo Telegraph

රටට මඟ හැර යන්නට බැරි දේශපාලන විසඳුම දිනවන්නට හැකි විශ්වාසය දිනපු නායකයා තමයි ජනාධිපති රාජපක්‍ෂ

තිස්ස ජයතිලක

තිස්ස ජයතිලක

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ට පසුව අත්වූ වූ වාසි අවාසි ගැන මොන විග‍්‍රහයන් ඉදිරිපත් වුණත්, ඉන්දීය අගමැති මංමෝහන් සිං මහතා ඊට සහභාගී නොවීමත්, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මහතා ගේ පැමිණීමත් යන සිද්ධි, කොහෙත්ම අහක දමන්නට නොහැකි විශේෂ ශේෂ පත‍්‍රයක්. පශ්චාත් යුද සමයට පසුව රටට අවශ්‍ය වූ සංහිඳියාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත හා ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය කියන කාරණා මේ ශේෂ පත‍්‍රය මත තබා බලනවානම්?

මේ සිද්ධිය ගැන වඩාත් හොඳින් පැහැදිළි කර ගන්නට නම් අප, යුද්ධයට පෙර මෑත කාලය ගැනවත් ටිකක් අවධානයට ගත යුතුයි. එමෙන්ම ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ගත් විට, ඒ සඳහා අඩු තරමේ ලක්‍ෂමන් කදිරගාමර් විදේශ ඇමතිවරයා දැක්වූ ”නායකත්ව දෘෂ්ඨිය” ඔහුගෙන් පසුව රටට මඟ හැරී යාම ගැනත් කිසි විටෙක අමතක නොකළ යුතුයි.

කොටි ත‍්‍රස්තවාදය බිහි වීමේ ඉතිහාසය කවර සාධක වලින් පිරී තිබුණත්, 2009 දි එය අවසන් කරන්නට අසල්වැසි ඉන්දියාව හා බටහිර ලෝකය ලංකාවට සම්පූර්ණ සහය දුන්න. ඒකට ඉන්දියාවට හා බටහිරට බලපාන වර්ගයේ හේතුවකුත් තිබුණ. ඒ තමයි රජීව් ගාන්ධි අගමැති වරයාගේ ඝාතනය හා 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එල්ල කෙරුණු ත‍්‍රස්ත ප‍්‍රහාරය. ඒ සිද්ධිවලට පසුව තමයි ඉන්දියාව හා බටහිර, කොටි ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් එක මතයකට එන්නෙ.

අප මතක තබා ගත යුතු අනෙක් වැදගත් කාරණය තමයි ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය හොඳ තැනක තිබුණු රාජ්‍ය පාලන කාල විදියට සැලකිය හැකි අගමැති ඞී. එස්. සේනානනායක මහතා ගෙ කාලය හා අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ කාලය වගේ නෙමෙයි, අගමැති රජීව් ගාන්ධි ඝාතනයට ලක් වෙන්නත් කළින් ම, විශේෂයෙන්ම ආර්ථික කාරණා වලදි ඉන්දියාව බටහිරට නැඹුරු වෙමින් හිටිය. කොටි ත‍්‍රස්තවාදය ඉවර කළ යුතු ය කියන අදහසට ඉන්දියාව හා බටහිර එකට එකඟ වීම කෙරෙහි ඉන්දියාවේ ඒ බටහිර නැඹුරුවත් විශාල ලෙස බලපෑව. අසල්වැසි ඉන්දියාව බටහිර සමඟ ඒ විදියට සන්ධාන ගත වීම ගැන ලක්‍ෂමන් කදිරගාමර් විදේශ ඇමති වරයාට පසුව ලංකාව හොඳින් කළමණාකරණය කළේ නැහැ.

ඉන්දියාව හා බටහිර ලෝකය හැසිරෙන මේ ප‍්‍රවණතාව ලංකාව හරි හැටි කළමණාකරණය කළානම්, 2009 දි හා 2012 දි ජිනීවා මානවහිමිකම් යෝජනාව සමබන්ධයෙන් ලංකාවෙ පැත්ත ගත්ත ඉන්දියාව, 2013 දි ඡන්දය විමසන අවස්ථාවෙදි ලංකාවට විරුද්ධ නොවන තැනක තබා ගන්නට ඉඩ තිබුණ. ජාත්‍යන්තර තලයෙදි මුළින් ම ඉන්දියාව ලංකාවට පක්‍ෂ වුණා. කොටි ත‍්‍රස්තවාදය පරාජය කළාට පසුව ඉන්දියාව ලංකාවට ඉඩ දීල බලා ගෙන හිටිය. බටහිරත් එහෙම කළා. යුද්ධයට පසුව ලාංකික සමාජයේ සංහිඳියාව සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර ගැන මේ අය බලාගෙන හිටිය කිව්වොත් එය වඩාත් නිවරදියි. 2013 වෙනකනුත් එහෙම දෙයක් ගැන ඉන්දියාවට මෙන්ම ඒ නිසාම බටහිරටත් දකින්නට ලැබෙන්න නැතුව ඇති.

දිල්ලිය හා තමිල්නාඩුව අතර අභ්‍යන්තර දේශපාලනයත් එක්කම වුණත්, මේ ප‍්‍රශ්නය දිහා පුළුල්ව බැලූවොත්, අගමැති මංමෝහන් සිං මෙහි නොපැමිණීම ලංකාවට රතු එළියක්. බි‍්‍රතාන්‍ය අගමැති වරයා මෙහි ඇවිත් කළේ ඒ රතු එළිය වඩාත් දීප්තිමත්ව දල්වපු එකයි. මේ අය රතු එළි දල්වන්නට පෙර සිංහල හා සිංහල නොවන සියලූ ලාංකික ජන කොටස් වලට සමානාත්මතාවයක් ඇතැයි සිතන්නට හැකි, සංහිඳියා ප‍්‍රවේශයක් ගෙන, ලෝකෙට කොල එළියක් දැල්වීමට ලංකාවට අවස්ථාව තිබුණ. ඒක සිද්ධ වුණේ නැහැ. එය තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවෙනුත් අවසානයට ලෝකයට ගිය පණිවුඩය වුණේ.

කොටි ත‍්‍රස්තවාදයට කිරි පොවා තමන්ට රිසි ලෙස ලංකාව නැටවීමට ඉන්දියාවට අවශ්‍ය වූ අතර, බටහිරට ඕන වුණේ ලංකාව දෙකඩ කරන්නට ය කියන අදහස ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට කා වැදී තිබෙන්නක්. සිංහල ජාතිකත්වය විසින් අදත් ඔසවා තබන මතය වෙලා තියෙන්නෙ, කොටි ත‍්‍රස්තවාදය පරාජය කළාට පසුවත් ඉන්දියාව හා බටහිර, මේ න්‍යාය පත‍්‍රය අත්හැර දමා නොමැති බවයි. ලංකා ආණ්ඩුව මේ අභ්‍යන්තර දේශපාලනයේ හිර වුණා නෙමෙයිද?

වෙන්න පුළුවන්. නමුත් මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමත් ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නය විසඳන්න අගමැති ඬේවිඞ් කැමරන් අපට අණ දෙනතුරු ඉන්න ඕනෙ නැහැ. අගමැති මංමෝහන් සිං බලපෑම් කරනකම් ඉන්න ඕනෙ නැහැ. ලංකාව අවංකව වටහා ගත යුතුයි අපට මඟහැරී ගිය අභ්‍යන්තර දේශපාලනයක් තමයි අද මේ බාහිර බලවේග විසිනුත් ඔවුන්ගේ වාසියට හරවා ගෙන තියෙන්නෙ. සිංහල ජාතිකත්වයේ අන්තවාදයටම යට වෙලා මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න බැරි බව අපට දැන් ඕනාවටත් වඩා පාඩම් තියෙනව.

මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත්ම දේ තමයි, මේ සිංහල ජාතිකත්වය නාමයෙන් මතුව එන අන්තවාදය රටේ සැබෑ ජනතා වුවමනාවද කියන කාරණය. මේ ප‍්‍රවණතාව කපටි දේශපාලනඥයන් ඡුන්දය දිනන්න බලාගෙන කරන උසිගැන්වීමක් බව හොඳින් විමසා බැලූවොත් පෙනී යනව. තමා කවර ජාතියකට අයත් වුවද මේ රටේ සාමාන්‍ය ජනතාවට, අනෙක් ජාතියකට සමාන අයිතිවාසිකම් අහිමි කරන්න කැමත්තක් නැති බව, උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කොමිසමේ වාර්ථාවෙනුත් කියවෙනව. ජාතිය කුමක් වුවද සාමාන්‍ය ජනතාව අතර ඇති අදහස ඒකයි.

ජාතිකත්වය නාමයෙන් කෙරුණු පටු දේශපාලන උසිගැන්වීම් නිසා අපට ලැබුණ දේට වඩා අහිමි වු දේ වැඩියි කියලයි මට හිතෙන්නෙ. අගමැති ඞී. එස්. ගෙ පාලනයෙන් පස්සෙ, දශක පහක පමණ කාලය දිහා හැරිල බැලූවොත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද? මේ රටේ සිංහල බහුතරයටත් තමන්ගෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පවා එන්න එන්නම හීන වෙලා යාම. තව විදියකට කියනවනම් සිංහල ජාතිකත්වය ට ම ඉඩ දීල මේ ප‍්‍රශ්නය දිහා බැලූවයි කියල තමන්ට ලැබිච්ච අමුතු වාසියක් ද නැති බව. තිබුණ දේශපාලන ඉඩත් ඇහිරිලා ගිහින් තියෙනව බව. සිංහල ජාතිකත්වයට ඉඩදීමෙන් තමන්ටත් අයිතිවාසිකම් අහිමි වුණාය කියලයි සිංහල නොවන ජන කොටස් විශ්වාස කරන්නෙ. ඉතිං කවුරු බලපෑම් කළත් නොකළත් අපම විසඳා ගත යුතු දැවෙන ගැටළුවක් අපට තවමත් ඉතිරි වෙලා තියෙනව.

කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම කාලීනව ඉන්දියාවට හා බටහිරටත් ඕන දෙයක් වුණාට එය ලංකාවට තමයි හැමදාම අත්‍යවශ්‍ය වුණේ. ඉතිං ඒක කළාට පස්සෙවත් ලංකවට ගැලපෙන, ලංකාවට හැකියාව තියෙන, දේශපාලන විසඳුමකට අප යා යුතුව තිබුණ. ඒක කරන්නට හැකියාව තිබුණ, සුදුසුම රාජ්‍ය නායකය වුණෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියලයි මම හිතන්නෙ. එය නිසි ලෙස ඉටු නොවීමේ ඵල විපාක අප හිතන තරම් ලෙහෙසි වෙන්නෙ නැහැ. මොකද අභ්‍යන්තරව අප මොන විදයේ ආඩම්බර කම් කතා කළත්, ලංකාවට ලෝකයත් එක්ක ගනුදෙනු කරන්නෙ නැතිව, හුදෙකලාව ජීවත් වෙන්න බැහැ.

අගමැති ඞී. එස්. සේනානයක මහතාගෙ ඉඳල මේ රට පාලනය කළ සෑම රාජ්‍ය නායකයෙක් ම ලංකාවේ ජාතීන් අතර සමඟිය තහවුරු කරන්නටත්, විශේෂයෙන් ම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙ ඉඳළ රට පාලනය කළ සෑම රාජ්‍ය නායකයෙක් ම කොටි ත‍්‍රස්තවාදය පරාජය කරන්නටත්, අඩු වැඩි වශයෙන් විවිධ දේශපාලන පියවරයන් අරන් තියෙනව. ඒ අතරින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ වෙන්නෙ කොහොමද?

සිංහල ජාතිකත්වය උසිගන්වල ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය හසුරුවන අන්තවාදී කොටස් පවා හොඳින් ම විශ්වාසය තැබූ නායකය තමයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා. යුද්ධය නිම කිරීම මඟිනුත් ඔහු ඒ ජන මතය තහවුරු කර ගත්ත. පශ්චාත් යුද සමයෙදි, රටේ සංහිඳියාව ට අදාළව දිය යුතුව තිබුණු දේශපාලන විසඳුම, තවත් විදියකට කියවනවනම් මේ ගැටළුව සම්බන්ධව රටට මඟ හැර යා නොහැකි විසඳුම සම්බන්ධයෙන් ඔහු බාහිර ලෝකයට යම් කොළ එළියක් දැල්වූවානම්, එය බාහිරින් ලංකාවට මේ සම්බන්ධව එල්ල වෙන බලපෑම් සමනය කරගන්නට හේතුවක් වන්න තිබුණ. එසේම අභ්‍යන්තර අන්තවාදී බලවේගත් තමන්ගේ හොඳම විශ්වාස වන්තයා කරන්නෙ නිවරදි දේ කියා ජනාධිපති රාජපක්‍ෂ මහතා ව විශ්වාස කරන්නට ඉඩ තිබුණ. එවැනි දේ සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැදිහත් වෙන විට ඔවුන්ට රට අභ්‍යන්තරයෙන් ලැබෙන්නෙ, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එවැනි දෙයක් වෙනුවෙන් ලැබෙන ප‍්‍රතිචාරය නෙමෙයි. මෙය මා එක්තරා නිදසුනක් මඟින් මෙසේ පැහැදිළි කරන්නම්.

ඇමෙරිකාවෙ 37 වෙනි ජනාධිපතිවරය වුණේ රිපබ්ලිකන් පක්‍ෂයේ රිචඞ් නික්සන් මහතා. ඔහුගේ පාලන කාලය වුණේ 1969 හා 1974. මේ කාලයේ ඇෙරිකාවෙ ප‍්‍රධාන හතුරෙක් තමයි කොමියුනිස්ට් චීනය. නික්සන් ජනාධිපතිට ඕන වුණා කොමියුනිස්ට් චීනය සමඟ යම් සුහදතාවයක් ගොඩ නඟා ගන්න. මේ අදහස බැරි වෙලාවත් ඩිමොක්ක‍්‍රටික් පක්‍ෂයේ ජනාධිපතිවරයෙක් එහෙම දැරුවානම් ඇමෙරිකානු ජනතාව එය නිසැකවම දකින්නෙ චීනයට ඇමෙරිකාව පාවාදීමක් හැටියට. හරියට රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන හෝ චන්ද්‍රිකා මහත්මිය ගැන අපේ රටේ සමාජය දකින විදියට. නමුත් ජනාධිපති නික්සන් ගැන ඇමෙරිකානු ජනතාවට විශ්වාසයක් තිබුණ ඔහු චීනය සමඟ මොන දේ කතා කළත් ඇමෙරිකානුවන්ට අබමලක අවාසියක් වෙන වැඩක් නොකරන බවට. මෙන්න මේ ඇමෙරිකානු හද ගැස්ම ජනාධිපති නික්සන් තම රාජ්‍ය තාන්ත‍්‍රික භාවය ප‍්‍රකට කරන්න අපූරුවට යොදා ගත්ත.

ඒ කාලෙ ඇමෙරිකානු රාජය ලේකම් තමයි හෙන්රි කිසිංගර්. කොමියුනිස්ට් චීනය සම්බන්ධයෙන් තමන්ට ඇති අදහස ජනාධිපති නික්සන් හෙන්රි කිසිංගර් රාජ්‍ය ලේකම් වරයාට පවසන්නට ඇති. මේ රාජය ලේකම් වරයා හිටි හැටියේම ඇමෙරිකාවට හිතවත් පකිස්ථානයට සංචාරයක් සඳහා පැමිණෙනව. පකිස්ථානයට පැමිණියාට පසුව ඔහුගේ ඇති නිළ රාජකාරි කටයුතු වල නොදැක්වෙන දවස් තුනක පමණ කාලයක් ඔහු පකිස්ථානයේ ගත කරන බව කියවෙනව. ඒත් මොකටද කියා පැහැදිළි නැහැ. සමහර විට අසනීපයක් හෝ විවේකයක් ගැනීම හෝ එවැනි දෙයක් ගැන කියවෙන්න ඇති. නමුත් ඇත්තටම වුණේ ඔහු රහසේම පකිස්ථානයේ සිට චීනයට ගොස් තම ජනාධිපතිට චීනයට පැමිණීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමයි.

අද චීනය කියන්නෙ විශේෂයෙන් ම ආර්ථික වශයෙන් ගත් කල ඇමෙරිකාවට අත්හරින්න ම බැරි රටක්. චීනයටත් එය එහෙමයි. මේ තත්ත්වය දශක තුනකට පමණ පෙර ඇමෙරිකාව දකිනව. ජනාධිපති නික්සන් ඒ වෙලාවෙ මුළු ඇමෙරිකාවම ලෙහෙසියෙන් ම තමන්ට එරෙහිව යා හැකි අවදානමක් ගන්නෙ ඒකයි. ඔහු කෙරෙහි ඇමෙරිකානු ජනතාව තබා තිබුණු විශ්වාසය අනාගත ඇමෙරිකාව සඳහා ජනාධිපති නික්සන් ආයෝජනය කළේ ඒ විදියට. ඇමෙරිකාවට ඉතා පැහැදිළි අභ්‍යන්තර දේශපාලන ප‍්‍රතිපත්තියක් තිබුණ නිසා බාහිර සතුරා සමඟ වුණත් ගනුදෙනු කරන විදිය දැන ගෙන හිටිය. ඒකයි රාජ්‍ය තාන්ත‍්‍රික බව කියන්නෙ. යුද්ධයට පසුව ලංකාවට ලැබුණෙ එහෙම අනගි අවස්ථාවක්.

ඉන්දියාව හෝ බටහිර රටවල් ලංකාවට විරුද්ධව වැඩ කළොත්, ලංකාව බේර ගන්න චීනය ඉන්වා ය කියන ආකල්පයේ තමයි සිංහල ජාතිකත්ව දේශපාලනය රැුඳී ඉන්නෙ. ලෝක දේශපාලනය හා ආර්ථික ප‍්‍රවණතා හමුවේ මෙය කොතරම් දුරට වැදගත් වෙයිද?

ඒක කිසිම වැදගත් කමක් නැති, ලංකාව යළි යළිත් ආරුවේ දමන්නට ඉඩ හදන පිළිවෙතක්. ඔහොම අදහසක් ලංකාවෙ ජනප‍්‍රිය වෙන්න බලපාන හේතුවක් තමයි චීනය ඉන්දියාව සමඟත් බටහිර රටවල් සමඟත් එතරම් හොඳ හිතක් නැතෙයි කියන මතුපිට අදහස. අප වටහා ගත යුතුයි ඒක මතු පිටින් ගෙනියන දේශපාලන වාචාලකම් වලදී කියවෙන්නක්. ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. ඉන්දියාව සමඟ මොන මොන ප‍්‍රශ්න චීනයට තිබුණත්, බටහිර රටවල් සමඟ මොන මොන ප‍්‍රශ්න චීනයට තිබුණත්, ලෝක දේශපාලනය හා බල තුළනය ගණන් බලන චීනය, කිසිම වෙලාවක ඉන්දියාවටත්, බටහිරටත් වඩා ලංකාව තමන්ට වටිනාවාය කියා හිත්නෙ නැහැ. චීනයේ රාජ්‍ය තාන්ත‍්‍රික පිළිවෙත් ඒ තරම් බංකොලොත් වෙලා ඇතැයි කියා මා විශ්වාස කරන්නෙ නැහැ.

ඇත්තටම මේ වෙලා තියෙන්නෙ, ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය ”ඇඟිල්ලේ තරමට වඩා ඉදිමීමක්”. අපව අවතක්‍ෂේරු කර ගැනීමක් වත්, අපට ශක්තියක් නැතැයි කීමවත්, නෙමෙයි මා එයින් අදහස් කරන්නෙ. අද ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය කියන්නෙ තමන්ම හදා ගත්ත සීමාන්තික ලෝකයක්, එකම ලෝකය ලෙස දකින මුළාවකට වැටීමක්. ඉතින් ඊට අනුව තමයි බාහිර ලෝකය ගැනත් ගනන් හදන්නෙ. මේක මුළාවක් බව වටහා ගන්නට අපට, අප ලඟම නිදසුන් තියෙනව.

දැන් බලන්න අගමැති ඞී. එස්. සාර්ථක ලෙස රටේ අභ්‍යන්තර දේශපාලනයත්, බාහිර දේශපාලන බලපෑමත් හොඳින් ගලපා ගත්තෙ ඉන්දියාව බටහිරත් එක්ක නොයෙක් ප‍්‍රශ්න තිබුණ කාලයක. ඉන්දු පකිස්ථාන ගැටුම වෙලාවෙ බටහිර, පකිස්ථානයට නැඹුරුව සිටි නිසා බටහිරත් එක්ක ඒ වෙලාවෙ ඉන්දියාවට ප‍්‍රශ්න තිබුණ. ඒත් ඒ ගැටුමට අගමැති ඞී. එස්. ගෙ විදේශ ප‍්‍රතිපත්තිය කොටු වුණේ නැහැ.

අගමැති සිරිමාවෝ සාර්ථක ලෙස රටේ අභ්‍යන්තර දේශපාලනයත්, භාහිර ලෝකයේ දේශපාලන බලපෑමත් සමබර කර ගත්තෙ, ඉන්දු චීන හෝ චීන සෝවියට් ගැටුමට මැදිහත් නොවී සිටිමින්. ඒ අවස්ථාවෙ විපක්‍ෂයේ ඉන්න ජේ. ආර්. ජයවර්ධන මහතා පවා අගමැති සිරිමාවෝගෙ විදේශ ප‍්‍රතිපත්තිය අගය කරනව.

“සිරිමා ශාස්ත‍්‍රී” ගිවිසුම අත්සන් කරන්න අගමැති සිරිමාවෝ ඉන්දියාවට ගිහින් අන්තිම අවස්ථාවෙත්, එවක විපක්‍ෂ නායක ඩඞ්ලි සේනානයක මහතාගෙන් ඒ ගැන කැමත්ත අහනව. ඒ කාලෙ, විශේෂයෙන්ම විදේශ සබඳතාවලදි, ආණ්ඩුව පොදු ප‍්‍රතිපත්තියක් මත පිහිටල වැඩ කළා මිස, තනි මතයට වැඩ නොකළ බවයි එයිනුත් කියවෙන්නෙ.

ඒ ඒ කාල වලදි ලෝක දේශපාලනයත් රටේ අභ්‍යන්තර දේශපාලනයත් කොටි ත‍්‍රස්වාදය හා යුද්ධය නිමවුණාට පසුව තත්ත්වයට වඩා වෙනස්. මා කියන්නෙ අද වගේමයි එදා ප‍්‍රශ්න එදාට සංකීර්ණයි. ඒ සංකීර්ණ ප‍්‍රශ්න විසඳා ගැනීම පිණිස එදා පවත්වා ගත් විදේශ ප‍්‍රතිපත්තියේ පදනම, ක‍්‍රමාණකූලව ගිලා බහින බව තමයි අප මේ වෙලාවෙ වටහා ගන්න ඕනෙ. කාලෙන් කාලෙට එන දේශපාලන ප‍්‍රවණාතා වෙනස්. ඒත් රටකට ඒ වෙනස් කම් හමුවේ අවස්ථාවාදී විදියට හැසිරෙන්න ම බැහැ. ස්ථාවර පදනමකුත් පොදු එකඟතාවයකුත් තියෙන්න ඕනෙ.

ඔබ හිතන්නෙ එහෙම පදනමකට දැන් රට ශක්තිමත් නැහැ කියලද? එහෙම නැතිනම් අද ඉන්දියාව බටහිරත් සමඟ අත්වැල් බැඳ ගෙන ලංකාවට කරන බලපෑම සමහන් කර ගන්නට ලංකාවට හැකියාවක් නැහැ කියලද?

අපට ශක්තිය හා හැකියාව ඇති බව කියවෙන්නෙ කතාවෙ විතරයි. ක‍්‍රියාවෙන් අපි කිසිම දෙයක් කරන්නෙ නැහැ. ලංකාවට වසර දෙදහස් පන්සියයයකට වැඩි සංස්කෘති හයියක් තියෙ බවට කතා කළාට මොකද එහි සාරය ගැන කිසිම වැටහීමකින් අවබෝධයකින් අපි කටයුතු කරනවද? එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ.

මා විශ්වාස කරන විදියට ලංකාවේ ගැටළු වලට විසඳුම් සොයා ගත යුත්තේ අපිමයි. ඒ සඳහා අපට ඉතිහාසයෙන් සංස්කෘතියෙන් තියෙනවාය කියන ශක්තිය තමයි බුදු දහමේ සාරය. අභ්‍යන්තර දේශපාලනයටත්, බාහිරින් එන බලවේග වලටත් හොඳම දේශපාලන විසඳුම් සොයා ගන්න පාරවල් අපේ සංස්කෘතික වටිනාකම් වලින් මතු කර ගන්න පුළුවන්. අද වෙන්නෙ ඒ ගැන වාචාල විදියට කතා කිරීම විතරයි. ප‍්‍රායෝගිකව නොකරන්නෙම අපේ වටිනාකම් හා අපට ඇති පාඩම් ප‍්‍රායෝගික තලයට නොගැනීමයි.

අපි අපට ඇති අතීත වටිනාකම් අත්හැරල දැන් හුඟක් කල්. අද දේශපාලනයට ඇවිත් තියෙන බුද්ධාගම නියම බුදු දහමේ සාරය සිඳුණු, ඊට ළං වෙන්නවත් බැරි ප‍්‍රකෝපකාරී ව්‍යාපෘතියක්. අතීත වටිනාකම කියමින් ජනතාව ඊට රැුවටෙන තරමට, ඒ අන්තවාදය මත රටේ දේශපාලනය තීන්දු කරන තරමට, රට තව තවත් අමාරුවට වැටෙනව. සිංහල ජාතිකත්වයේ ප‍්‍රශ්නයත් ඒකයි. සිංහලයින් ලෝකෙටම ආදර්ශයක් වුණු ඉතිහාසයක් අපට තිබුණට අද තියෙන්නෙ එහි වටිනා සාරය නෙමෙයි. ඒ අතීත පාඩම නමට පමණක් ගත්ත, අනෙකාව නොඉවසන ප‍්‍රකෝපකාරී ව්‍යාපෘතියක් තමයි දැන් ක‍්‍රියාත්මක වෙන්නෙ. ඒකයි මං කියන්නෙ, ලංකාව දැන් ඉන්නෙ තමන්ම හදා ගත්ත, මායා ලෝකයක සිරවෙලා. එහි සිරවී ඇති දේශපාලනයට බාහිර ලෝකයේ ඇත්ත කතාව පමණක් නෙමෙයි තමන්ගේම රටේ අතීත උරුමය හා වටිනාකම් පවා පෙන්නෙ නැහැ. පෙනුනත් තමන්ටම රැුවටීමෙන් හට ගන්න උද්දච්චකම නිසා ගණන් ගන්නෙ නැහැ.

*සර්වෝදය මඟින් ප‍්‍රකාශයට පත් කෙරෙන ”සංසද” නොවැම්බර් – දෙසැම්බර් කලාපයට, එහි ප‍්‍රධාන සංස්කාරක ලක්‍ෂමන් පියසේන විසින් කරන ලද සාකච්ඡුාවකින් මෙය සැකසිණි. තිස්ස ජයතිලක -ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ගැන නිරන්තරව අධ්‍යනයෙන් හා අවධානයෙන් කටයුතු කරන විද්වතෙකි. විශ්වවිද්‍යාල භාහිර කතිකාචාර්ය වරයෙකි.

Back to Home page