Colombo Telegraph

අසාධනීය දේශපාලඥයන්: අපට කළ හැක්කේ කුමක්ද?

දොස්තර යු. පෙතියාගොඩ

දේශපාලඥයන්ව පුනරුත්ථාපනය කළ නොහැකි වීම පසුපස ඇති සරළ හේතුව වන්නේ, ඔවුන් සුවිශේෂී වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමයි. ඒ වෘත්තීය පෙළගැසීම හරහා තම වේතන ඇතුළු අනේක වරප‍්‍රසාද තමන් විසින්ම සකසා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. එහිදී, මූල්‍යමය ශික්ෂණය සහ සමානුපාතිකතාව ගැන ඔවුහූ නොතකති. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, රටේ අද පවතින වඩාත් අර්ථලාභී රැුකියාවක් බවට දේශපාලනය පත්ව තිබේ. හෙවත්, සොච්චම් නිෂ්පාදනයක් වෙනුවෙන් ලබා ගන්නා ගෙවීමක් වශයෙන්, අත දිග හැර තමන්ටම ප‍්‍රතිලාභ ලබාගත හැකි රැුකියාවක් බවට එය පත්ව ඇති අතර, බොරුව සහ මිථ්‍යාව ඉහවහා ගිය, කමකට නැති නිකමුන් රොත්තක් එම ක‍්‍රමය තුළ නඩත්තු කෙරෙමින් තිබේ. මේ තත්වය සදහටම එසේ වනු ඇත. එහෙත් එය, ශ‍්‍රී ලංකාවට පමණක් සීමා වූ ලක්ෂණයක් නොවේ. කෙසේ වෙතත්, එසේ නොවන වෙනත් රටවල්ද නැතිවා නොවේ. අපරාධකරුවන් සහ වෙනත් අපතයන්ගෙන් තම ක්ෂේත‍්‍රය රැුක ගැනීමට එම රටවල් පවා අප‍්‍රමාදී නැත. එම වගකීම හුදෙක් ඡුන්දදායකයා මත පැටවීම, නොම්මර එකේ ප්‍රෝඩාවකි.

හිටපු ලොක්කා ඉදිරියේ වැඳ වැටුණු ගැහැනියක් මෙවර පාලනය යටතේ අළුත් ලොක්කාගේ පය ලෙවකෑමටත් සුදුස්සියක් වන්නීය

දේශපාලඥයන් මෙවන් ගැරහීමට පත් සත්ව කොට්ඨාශයක් වන්නේ ඇයි? මා සිතන පරිදි, එවන් අපතයන් දේශපාලනය වෙත ආකර්ශනය කර ගැනීමේ මූලික හේතුවක් වන්නේ, දේශපාලනය හරහා අත්පත් කරගත හැකි සැප සම්පත්වල පවතින අසීමිත භාවයයි. විධායක ජනාධිපති පදවියේ තේජස සැලකිල්ලට ගන්න. කිසි මනුෂ්‍ය ජීවියෙකු වෙනුවෙන් වසරකට රුපියල් මිලියන හත් දහසක් වැය කිරීම කෙසේ නම් යුක්ති සහගත කරන්නද? තවත් බොහෝ (නරක දේවල්) කිරීමට ඇති බලයත් සමග එකට ගත් විට, ‘අජූව’ යන වචනය පවා එවැනි තත්වයක් හැඳින්වීමට නොසෑහේ. මේ දක්වා එම පදවිය දැරූ කිසි පුද්ගලයෙකු දුෂ්ට දුර්ගන්ධයක් සහ ද්වේෂය දනවන පිළිකුලක් ඉතිරි නොකොට ගෙදර ගොස් නැත. කිසි පෘථග්ජනයෙකු ඒ සා බලයක් අතේ තියාගෙන අශීලාචාර නොවී සිටිතැ යි, ඥාති සංග‍්‍රහයෙන් වැළැකී සිටිතැ යි, වංචනික නොවී සිටිතැ යි අපේක්ෂා කළ හැකිද නොවේ. සත්තකින්ම මේ තත්වය වෙනස් කිරීමේ වුවමනාවක් ඇතොත් මුලින්ම කළ යුත්තේ, කිසි පෘථග්ජනයෙකු වෙත පැවරිය යුතු නැති ඒ අනර්ථකාරී බලතල එම තනතුරින් ඉවත් කිරීමයි. කෙසේ වෙතත්, එම බලතල මාරු කිරීම පමණක් විසඳුමක් වන්නේ නැත. එසේ කළොත්, බොහෝ දෙනා අද පිටුදකින අර දුර්ජනයාම නැවත එම බලයට හිමිකම් කීමට බැරි නැත. නිතර උඩ දමන අපේ ඡන්දදායකයාගේ ‘පරිණත භාවය’ ගැන සිතන විට, කෙනෙකුට මළවුන්ගෙන් නැගිටීමට බැරි කමක් ඇතැයි කෙසේ නම් අප සිතන්නද?

පිරිවැය ප‍්‍රතිලාභ ගැන අබමල් රේණුවක තැකීමක් නැති පාර්ලිමේන්තුවත්, ඊට අනුබද්ධිත පුහුණු කිරීමේ පාසල් (පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා) වලත් කැරැුට්ටුව දෙස බලන විට, මිනීමරුවන්ව, කුඩුකාරයන්ව, විවිධාකාරයේ තක්කඩින්ව, බොරුකාරයන්ව සහ මදාවියන්ව ජනතා පිංපඩියෙන් නඩත්තු කරන මේ මජර ක‍්‍රමය ඉදිරියටත් පවතිනු ඇත. එය වෙනස් කිරීමේ ප‍්‍රතිසංස්කරණ පැමිණියේ යුත්තේ, අභ්‍යන්තරයෙන්මයි. ඒ නිසාම, වෙනසක් ඇති කර ගැනීමට ඇති ඉඩකඩ ඉතා අල්ප ය.

අසීමිත වරදාන, බෙලි කපන තරගය, අධිකතර මැතිවරණ වියදම් ආදිය හරහා ගොඩනැගෙන දුෂ්ට චක‍්‍රය තුළ ගුණාත්මක ප‍්‍රමිතීන් පරිහානියට පත්වීම වැළැක්විය නොහේ. මේ චක‍්‍රය කැඩිය හැකි එකම ලක්ෂ්‍යය වන්නේ, එය ආරම්භ වන ස්ථානයමයි. එබැවින්, දේශපාලඥයන්ට ගෙවන සියලූ පිංපඩි සහ වරදාන වහා නතර කිරීම අත්‍යාවශ්‍ය වන්නේය.

යම් අමාත්‍යාංශයක ඇති අවශ්‍යතාව ගැන හෝ අමාත්‍යාංශයට පත්කෙරෙන පුද්ගලයාට ඒ විෂය සම්බන්ධයෙන් ඇති සාමර්ථය හෝ කාර්යක්ෂමතාව ගැන හෝ කතා කරන කිසිවෙකු නැත. මස්කඩකාරයෙකුට පවා සුදුසුකමක් තිබිය යුතුය. එහෙත් දේශපාලඥයාට එවැන්නක් අවශ්‍ය නැත. හිටපු ලොක්කා ඉදිරියේ වැඳ වැටුණු ගැහැනියක් මෙවර පාලනය යටතේ අළුත් ලොක්කාගේ පය ලෙවකෑමටත් සුදුස්සියක් වන්නීය. කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව අවම කරන බවට ප‍්‍රතිඥා දුන්නත්, මැතිවරණමය අවශ්‍යතා සැළකිල්ලට ගෙන එම සංඛ්‍යාව ඉහළ නැංවීමට සිදුව තිබේ. බුදුරජාණන් වහන්සේට අගසව්වන් සිටියේ දෙන්නෙකි. ක‍්‍රිස්තුස් වහන්සේට අපොස්තුලූවරුන් සිටියේ දොළාස් දෙනෙකි. දුටුගැමුණුට යෝධයන් සිටියේ දස දෙනෙකි. මහදැනමුත්තට ගෝලයන් සිටියේ අට දෙනෙකි. අලි බබාට පවා හොරුන් සිටියේ හතළිහකි. එසේ තිබියදී සීයකටත් වැඩි ඇමති මණ්ඩලයක් අපට අවශ්‍ය කරන්නේ ඇයි?

කඩමාළු හැඳ සිටි බොහෝ දේශපාලඥයන් ඉතා කෙටි කාලයකින් මහරාජාවරුන් බවට පත්ව තිබේ. බයිසිකල් කටුවෙන් ආගිය දේශපාලඥයෝ බෙන්ස් කාර්වල යති එති. අඩු වශයෙන් මේ මිනිසුන්ගේ වත්කම් උපයා ගත්තේ කෙසේදැ යි විමසා සිටීමටවත් කෙනෙකු අද නැත. දින 100 ඇතුළතම මේ මිනිසුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ සටහන් කොටගෙන, ඒවායෙන් ආවරණය නොවෙන යම් ධනයක් වේ නම්, වසංගා ඇති යම් දේපලක් වේ නම්, ඒවා ලංකාවේ වෙතත්, පිටරටක වෙතත්, රාජසන්තක කළ යුතුව තිබේ. මේවා පිළිබඳ තොරතුරු සපයන්නන්ට පවා පාරිතෝෂික ගෙවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කරන නීතිරීති දැනටමත් තිබේ. එහෙත් අද ඇති ප‍්‍රශ්නය වන්නේ එම නීති ක‍්‍රියාත්මක නොකිරීමයි.

මේ දේශපාලනය වසා පවතින මිථ්‍යාවන් ගැනත් අප සැළකිලිමත් විය යුතුය. අමාත්‍යාංශයක් ඇති කළහොත් ප‍්‍රශ්න සමනය කෙරෙතැ යි අධ්‍යාහාරයෙන් ගැනෙන විශ්වාසය එවැනි එක මිථ්‍යාවකි. ඇත්තෙන්ම අමාත්‍යාංශයකින් කෙරෙන්නේ පවතින තත්වය තවත් උග‍්‍ර කිරීමයි. සංස්කෘතිය වෙනුවෙන්, ක‍්‍රීඩාව සහ භාෂාව වෙනුවෙන් අමාත්‍යාංශ තිබෙන්නේ කුමකටද? මගේ සංස්කෘතිය, මා කරන කී‍්‍රඩාව. මා කතා කරන හෝ ලියන කියන භාෂාව මගේ කටයුත්තක් මිස වෙනත් කිසිවෙකු ඇඟිලි ගැසිය යුත්තක් නොවේ. මේ සෑම ක්ෂේත‍්‍රයක්ම අමාත්‍යාංශයක ඇඟිලි ගැසීම් නිසා අද කුරුවල් වී ඇත.

දැන් මගේ මූලික කාරණයට පැමිණිය යුතුය. කළ යුත්තේ කුමක්ද? කාමසුඛල්ලිකානු නැමියාවට අමතරව, සමාජ පිළිගැනීම සහ සමාජ අභිවාදනය සඳහාද දේශපාලඥයෝ කෙළ හලති. නුසුදුස්සෙකුට එම වරප‍්‍රසාදය ලැබීම වළක්වනු ලබන්නේ නම්, කාලයාගේ ඇවෑමෙන් ඔවුන් මේ ක්ෂේත‍්‍රය අතහැර යනු ඇත. නැතහොත් ශිෂ්ට සම්පන්න ප‍්‍රමිතියකට අනුව ඔවුන්ද හැඩගැසෙනු ඇත.

අප ඉදිරියේ තේරීම් දෙකක් තිබේ. එකක් වන්නේ, දේශපාලඥයාව නොතකා හැරීමයි. දෙවැන්න වන්නේ, ඔහුව පරිහාසයට පත්කිරීමයි. හැම මගුලකටම දේශපාලඥයන්ට ඇරියුම් කිරීම විහිලූවකි. මගුල් ගෙවල් සඳහා මෙසේ ඇරියුම් කිරීමට මංගල පාර්ශ්වය දක්වන ආශාවට නොදෙවැනි ආශාවක්, ඒවාට සහභාගී වීමට දේශපාලඥයෝද දක්වති. ඊළඟට මරණ ගෙවල්/ රූපවාහිනී කැමරා කණ්ඩායම්ද මොවුන් යන එන මේ සෑම තැනකටම යති. එසේම, පන්සල් ගානේ දිනපතා වඩින, මල් වට්ටි පුජා කරන, බෝ ගස්වලට ඇඳුම් අන්දවන දේශපාලඥයන්ගේ දර්ශනද අපුල දනවයි. සිවුරු පාත්තරවලින් කිසි අඩුවක් නැති මහණුන්ට තව තවත් අටපිරිකර පුජා කිරීම මොන තරම් නාස්තියක්ද/ මේවා දේශපාලඥයන්ගේ ‘ආගමිකත්වය’ දක්වන තක්කඩි සංකේතයන් මිස වෙන කිසිවක් නොවේ. සැදැහැති නායකයන් රටකට සිටීම හොඳ ය. එහෙත් ඔවුන්ගේ එකී ශ‍්‍රද්ධාව ඔවුන්ගේ පුද්ගලික කාරණයක් විය යුතුවා මිස රට සමග බෙදාගත යුත්තක් නොවේ.

මොවුන්ව පරිභවයට ලක්කිරීම තවත් ක‍්‍රමයකි. එය පහසුවෙන් කළ හැකිද වන්නේය. ඔවුන්ගේ කල්ක‍්‍රියාවන් ඒ තරමට හාස්‍යාකාර වන බැවිනි.

කිසිවෙකු පමණට වඩා ඉදිමිය යුතු නැත. විශේෂයෙන්, දේශපාලඥයන්ට සහ උසස් නිලධාරීන්ට එය අදාළ වන්නේය.

*2015 අපේ‍්‍රල් 02 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Incorrigible Politicians: What Can We Do?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page